මම තවම ලේඛකයකු වෙන්න පුහුණු වෙනවා | සිළුමිණ

මම තවම ලේඛකයකු වෙන්න පුහුණු වෙනවා

ශ්‍රී ලංකාව පසුබිම් කොට ඉංග්‍රීසි බසින් Ironwood Tree (අයන් ට්‍රී) නවකතාව ලියූ පෝල් පීරිස් (Paulpeiris) කෙටි නිවාඩුවකට ලන්ඩනයේ සිට ලංකාවට පැමිණි අවස්ථාවේ අපට හමු විය. ඔහුගේ නවකතාව ‘අයස්තුර’ නමින් දයා ආනන්ද රණසිංහ විසින් සිංහලයට පරිවර්තනය වී සරසවි ප්‍රකාශනයක් ලෙස 2016 නිකුත් වී ඇත. ‘අයස්තුර’ නවකතාවෙන් කියන කතාන්තරය යටත්විජිත යුගයේ අවසානයට ආසන්න කාලයේ අප රටේ මධ්‍යම පන්තික නාගරික ජන ජීවිතයේ සැබෑ මුහුණුවර සටහන් කරන්නකි.

මේ නවකතාව සිංහලයට නැඟූ දයා ආනන්ද රණසිංහ කවියෙකි; පුවත්පත් කලාවේදියෙකි; චිත්‍රපට තිරනාටක රචකයෙකි. 1973 ඉතාලියේ පැවති සිනමා උලෙළේදී ද 1982 දී ජර්මනියේ මෑන්හයිම් අන්තර්ජාතික සිනමා උලෙළේදී ද ශ්‍රී ලංකාවේ ඕ.සී.අයි.සී. සිනමා උලෙළේදී ද ඔහුගේ තිරරචනා ඇගැයීමට ලක් විය. ඒ සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ ‘අධිෂ්ඨාන’ චිත්‍රපටය සඳහා ය.‍ වසර ගණනකට පෙර ලන්ඩනයට ගිය දයා ආනන්ද රණසිංහ බ්‍රිතාන්‍යයේ වෙසෙන සිංහල ප්‍රජාව වෙනුවෙන් ‘ලංකා පුවත්’ නමින් පුවත්පතක් දස වසරක් සංස්කරණය කරමින් අඛණ්ඩ ව පළ කළේ ය. ලේක්හවුස් ආයතනයට සම්බන්ධ ‘සරසවිය’ පත්‍රයේ ස්වාධීන ලේඛකයකු ලෙස කටයුතු කළ ඔහු ’28 උදෑසන’ හා ‘රූප කාව්‍ය’ (සිංහල - ඉංග්‍රීසි පද්‍ය සංග්‍රහය) ලියා පළ කළේ ය.

‘අයස්තුර” ට පාදක වූ මුල් කෘතිය වූ Ironwood Tree නවකතාව ලියූ පෝල් පීරිස් සමඟ අප සිළුමිණ පුන්කලසට කළ සංවාදය මෙසේ ය.

ඔබේ මවුපියන්, ගම් පළාත, පවුල් පසුබිම ගැන පවසන්න.

“මම ගම්මල විදාන ආරච්චිගේ පෝල් ප‍ීරිස්. 1935 වසරේ සැප්තැම්බර් 28 වැනිදා කොළඹ මරදානේ පංචිකාවත්තේ උපන්නෙ. තාත්තාගේ නම ගිල්බට් පීරිස් සේවය කළේ ඊ.ස‍ී.බී. ක්‍රීසි සමාගමේ පරිපාලන නිලධාරියෙක් හැටියට. මගේ සීයාගේ ඉඩමක තමයි මරදානේ එල්පින්ස්ටන් සිනමා ශාලාව හදල තියෙන්නේ. අපේ තාත්තාත් අම්මාත් සැදැහැවත් බෞද්ධයෝ. මගේ අම්මගේ නම විමලා මාග්‍රට් ජයතිලක (පසුව පීරිස්) උපන්නේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් හී ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ පාරේ නි‍ෙවසක‍. ඒ කියන්නේ කොස්ගස් හන්දියේ. කොස්ගස් හන්දියේ සිරිසල හෝටලය හිමි මුහන්දිරම් නානායක්කාර අම්මගෙ ළඟම ඥාතියෙක්. කිත්සිරි පෙරේරාත් (ප්‍රකට චිත්‍රපට නළු) ඥාතියෙක්. මගේ අම්මා සමාජ සේවා කටයුතු කළ නැති බැරි අයට උදව් කළ කාරුණික මාතාවක්. අපේ පවුලේ 12 දෙනෙක් හිටියා. ඒ දරුවන් අතරින් මගේ බාල සොහොයුරකු වූ‍ෙය් ලයනල් ප‍ීරිස් දක්ෂ නර්තන ශිල්පියෙක් වුණා. ලයනල් නර්තනය ඉගෙන ගත්තේ චිත්‍රසේන කලායතනයෙන්. දවසක් චිත්‍රසේන මහත්තයා මල්ලීට කිව්වා “ලයනල් පීරිස් කියන ඔයාගේ නම කලාවට උචිත නැහැ. අපි අද ඉඳලා ‘සුනෙත් ගෝකුල’ කියලා වෙනස් කරමු කියලා. “මේ අනුව මල්ලී අපි පදිංචි වෙලා හිටියෙ දෙමටගොඩ ගෙදර “ගෝකුල නැටුම් කලායතනය” කියලා නැටුම් පන්තියක් පටන් ගත්තා. එතැනට අමරදේව, චිත්‍රසේන, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මොටාගෙදර වනිගරත්න ආදීන් නිතර ආවා ගියා. මගේ තවත් සහෝදරයෙක් හර්බට් ප‍ීරිස් විවාහ වී සිටින්නේ ප්‍රවීණ චිත්‍රපට නළුවකුව සිටි පියදාස ගුණසේකරගේ දියණියක් වූ ඉන්ද්‍රානි සමඟ.

ඔබේ ගෙදර පරිසරය කෙබඳු එකක්ද? ඉගෙන ගත් පාසල ගැන තොරතුරු.

අපේ ගෙදර තිබුණේ සම්පූර්ණ ආගමික පසුබිමක්. මරදානේ ටවර් රංග ශාලාව ඉදිිපිට තියෙන අභයසිංහාරාම පන්සල හැදුවේ 1920 දී පමණ මගේ සීයා. අභයසිංහලාට අයත් ලොකු ඉඩමකයි පන්සල හැදුවේ.

මම කුඩා කාලයේ ඉඳලම ‍ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. ඒ කාලයේ විදුහල්පතිවරුන් හැටියට පී. ද ඇස්. කුලරත්න, ඒ.බී. පෙරේරා, එල්.එච්. මෙත්තානන්ද මහත්වරු හිටියෙ. අපේ හෙඩ් මාස්ටර් කේ.ඩී‍. ද ලැනරෝල් මහත්තය. අපිට සිංහලත්, සිංහල සාහිත්‍යයත් ඉගැන්නුවේ ටිබෙට් ජාතික ඇස්. මහින්ද හාමුදුරුවෝ, කළලල්ඇල්ලේ ආනන්ද සාගර හාමුදුරුවෝ (පසුව සාගර පලන්සූරිය) ඉගැන්නුවේ. මගේ සාහිත්‍ය රුචිය වැඩි වුණේ මේ ශ්‍රේෂ්ඨ ගුරුවරු දෙදෙනා නිසා. මේ හාමුදුරුවෝ දෙනම වැඩ විසුවේ මා පදිංචිව සිටි දෙමටගොඩ පාරේ අංක 10 අද ශ්‍රී වජිරඥාන පාරේ නි‍ෙවසට යාබද ආවාසයක. මගේ පන්තියේ හිටිය මිත්‍රයෙක් තමයි ජෙනරාල් සරත් වනසිංහ.

ඔබේ සාහිත්‍ය දැනුම හා රසවින්දනය පෝෂණය වුණේ...

එදා ආනන්දේ පුස්තකාලය මහා විශ්වකෝෂයක්. ලංකාවේ තිබුණු (ලංකා විශ්ව විද්‍යාලයට පසු) හොඳම පුස්තකාලය ඒක. මම අසීමිතව ඉංග්‍රීසි පොත් කියෙව්වා. විශේෂයෙන් රුසියන්, ප්‍රංස නවකතාවල ඉංග්‍රීසි පරිවර්තන. ඩබ්ල්යු. ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහගේ ඔක්කෝම පොත් නවකතා, කෙටිකතා ඒ අතර විශේෂයි.ලෙනාඩ් වුල්ෆ්ගේ ‘විලේජ් ඉන් ද ජන්ගල්’ පොතේ ඒ.පී. ගුණරත්නගේ පරිවර්තනය ව‍ූ බැද්දේගම කියවන කොට එ් පරිවර්තනයක් කියලා දැනුණේ නැහැ‍. මගේ ප්‍රියතම ගායකයා වුණේ සුනිල් සාන්ත. ඔහු බොරැල්ලේ තරුණ බෞද්ධ ශාලාවේ පැවැත්වූ ප්‍රසංගයක් බලන්න මගේ ඥාතියෙක් එක්ක ගියා‍.‍ එදා මට මගේ නෑයා පෙන්නුවා ඒ ප්‍රසංගය බලන්න ඇවිත් හිටිය ඇල්බට් පෙරේරා. (පසුව අමරදේව) “අන්න අරයා තමයි ලස්සනට සින්දු කියන ‘ඇල්බට්’ කියලා. මම ආනන්දයේ ඉගෙන ගන්න කාලේ ඔහු ගැයූ ගීත අහලා තිබුණා. දවසක් ඔහු ආනන්දෙට ඇවිත් කවුදෝ හොයනවා‍. මම ඇහැව්වා ‘කාව හම්බවෙන්නද ආවේ කියලා. ආනන්ද සමරකෝන් හමුවෙන්න කිව්වා. ඒ කාලේ සමරකෝන් ආනන්දේ ඉගෙන්නුවා. මම ඇල්බට්ට ඔහු ගාවට එක්ක ගියා.

ඔබේ ජීවිතයේ අමතක නොවන අත්දැකීම කුමක්ද?

මමයි තව මිත්‍රයෝ ‍පස් දෙනෙකුයි 1956 අගෝස්තු 19 වැනිදා ලෝකය වටේ ගමනක් ගියා‍. අහස් යානයකින් ගියේ ඉන්දියාවට විතරයි. එතැන් සිට ගොඩබිමින්, නැව්වලින්, බස්වලින්, බෝට්ටුවලින් ලන්ඩන්වලට ගිහින් ලන්ඩන් නුවර සිට යුරෝපයේ අන්තිම තැන ව‍ූ නොත්පෝල් දක්වා දින 54 ගිය සවාරිය නිම කොට ලංකාවට ආවාම ලෝකය වටා අවදානම් ගමනක් ගිය අපි හයදෙනා ලේක්හවුස් එකට කැඳවලා විස්තර ලියා ගත්තා. ඡායාරූප ශිල්පි රියන්සි විජේරත්න විසින් ලේක්හවුස් පඩිපෙළ ළඟ සිටුවා ගත් ඡායාරූපයක් සමඟ ඒ ප්‍රවෘත්ති ‘ඩේලි නිවුස්’ පත්‍රයේ මුල් පිටුවේ පළ කරලා තිබුණා. මේ අත්දැකීම අලළා මම ඉංග්‍රීසියෙන් පොතක් ලිව්වා. ‘දෙවුන්දර තුඩුවේ සිට උතුරු කර දිවයිනට’ කියලා. මේ පොත පළ වුණාම එවකට සිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රේමදාස උඩගම මහතා ‘ඩේලිනිවුස්’ පත්‍රයට ලියලා තිබුණා හැම පුස්තකාලයක ම මේ පොත තිබිය යුතුයි කියා‍. එහි ඔහු කියා තිබුණා මුල්වරට විදේශගත වූ ලාංකිකයෙක් බ්‍රිතාන්‍ය ඇසින් නොව ලංකාවේ ඇසින් මේ ග්‍රන්ථය ලියූ බව. මේ කාලයේ මම ලන්ඩනයේ පදිංචි වෙලා උන්නේ.

ඔබේ Ironwood Tree නවකතාවේ කතාව පටන් ගන්නේ හය හැවිරිදි ළමයෙකුගේ ඇසින්. එහි එන බින්දු ඔබ ම ද?

සත්තකින් ම පුරසාරම් වශයෙන් නොව මට කුඩා කාලය ආදරයෙන් ස්මරණය කරන්න ස්පර්ශ කරන්න පුළුවන්. මගේ ස්මරණ ශක්තිය ප්‍රබලයි කියලා මම හිතන්නෙ. මගේ 84 වැනි උපන් දිනය සැමරුවේ පසුගිය මාසේ 28 වැනිදා. මම මහළු වුවත් තවම මට මගේ කුඩා කාලය, ඒ කාලේ සිදුවීම්, මගේ පාසල් සමය, මා නිව් ඔලිම්පියා, එල්පින්ස්ටන්, රීගල් සිනමා හල්වල නැරඹූ චිත්‍රපටවල නම්, එහි රඟපෑ නළු නිළියන් දින වකවානු මට මතකයි. මට අදත් ඒ සුන්දර ලෝකයට මතකයෙන් යන්න පුළුවන්. මේ නවකතාවේ 95%ක් මා ඇසින් දුටු මා අත්දුටු සත්‍ය තොරතුරු. ඒ නිසා තමයි සිංහල පරිවර්තනය කළ දයා ආනන්ද රණසිංහ ‘අයස්තුර’ නම් එම කෘතියෙන් මෙහෙම කියා තිබු‍ණේ.

“මෙම කතාව තුළින් අප හමුවන්නට එන ඇසිලින්, සාලි බිංදු, අම්මා ජේසි මාමා හා ලෙහාන් ආදි චරිත එදා අප රටේ පැවති මධ්‍යම පාන්තික අව්‍යාජ සිංහල සමාජයේ මුහුණුවර සහ කොළඹ නාගරිකයේ ආධ්‍යාත්මය අපට කියා දෙන අතර ඔවුන් කෙරෙහි අප තුළ උපේක්ෂාවක් ඇති කරයි. මෙය දුර්ලභ ගණයේ කතාන්තරයකැයි මට හැඟුණ බැවින් ඉංග්‍රීසියෙන් ලියන ලද කතාව සිංහල පාඨකයා අතරට ගෙන යා යුතුයයි මම සිතුවෙමි.”

 

ඔබ ලේඛකයෙකු වීමට පසුබිම සැකසුණේ කෙසේද?

ඇත්තෙන් ම මම ලේඛකයෙක් නෙවෙයි. මම තවම රසිකයෙක්. ලේඛකයෙක් වෙන්න පුහුණු වෙන කෙනෙක්. මගේ මාමා (මවගේ සහෝදරයා) මගේ ‍රසවින්දනය පුළුල් කළ මගේ වීරයා‍. නවකතාවේ එන ජේසි මාමා ගේ සත්‍ය නම ජේ.සී. ජයතිලක‍. ඔහු කවිය ආදරය කළ රසිකයෙක්. ලංකාවේ බිහිවුණ අගනුවර කවි සමාජය ආරම්භ කළේ ඔහු පදිංචිව සිටි අංක 120 මරදාන පාරේ ‘ජය නි‍ෙවසේ’. ඒ නි‍ෙවසේ සිටි මට දිවයිනේ ප්‍රසිද්ධ කවියන්, ලේඛකයන් කරන වියත් සාකච්ඡා මම අහගෙන හිටියා. වරෙක ඔවුන් හිටවන කවි මගින් කරන සංවාද හරිම රසවත්. අපි එකල මහ කළු සිංහලයා යනුවෙන් හැඳින්වූ පී.බී. අල්විස් පෙරේරා, සාගර පලන්සූරිය, ජෝන් රාජදාස, පියදාස පලන්සූරිය, වී.ඩී‍. ද ලැනරෝල්, යූ.ඒ.ඇස්. පෙරේරා (සිරි අයියා) මම දුටු චරිත. ඒ වගේ ම මගේ මාමා (ජේ.සී. ජයතිලක) බණ්ඩාරනායක මහතා සිටි සිංහල මහා සභාවේ කොළඹ ශාඛාවේ භාණ්ඩාගාරික වෙලා හිටියාලු.

ඔබේ ඉංග්‍රීසි නවකතාව සිංහලයට පරිවර්තනය කළ දයා ආනන්ද රණසිංහ ගැන මොනවද හිතන්නෙ.

මම දයාව හඳුනාගත්තේ නන්දා මාලිනී 1981 ලන්ඩනයේ ප්‍රසංගයක් සඳහා ගුවන් තොටුපළට ආ දවසේ‍. මට ඥාති සම්බන්ධයක් ඇති ඇය වසර 40කට පමණ පසු හමුවීමත් ලොකු සතුටක්. දයා විසින් ලන්ඩනයේ පළ කළ ‘ලංකා විත්ති’ පත්‍රයේ පළ වූ කවිවලට මම පිළිතුරු කවි ලියලා තියෙනවා.‍ ඔහු ලන්ඩනයේ සිටින සිංහල කලාකරුවන් අතර ජනප්‍රිය චරිතයක්. හැමෝම ආදරෙයි. මගේ මේ ඉංග්‍රීසි නවකතාව මුලින් ම සිංහලට පරිවර්තනය කරන්න හිටියේ නීතිඥවරියක්. ඇය හදිසියේ මිය ගියා. දවසක් මම දයාගෙන් ඇහැව්වා. මගේ නවකතාව සිංහලයට හරවන්න පුළුවන්ද කියලා. ඉංග්‍රීසි නවකතාව කියවා තිබූ දයා “‍මේක නං රසවත් නවකතාවක්. සිංහල පාඨකයන්ට සිංහල කෘතිය බැලීමට කැමැති වේවි” කිව්වා. ඔහුගේ පරිවර්තනය ඉතා උසස්. මුල් කෘතියට සාධාරණය ඉටු කර තිබෙනවා. මුල් කෘතියේ Grand father clock වචනයට අපි සිංහල වචනයක් සෙව්වා. මම පුංචි කාලේ අහල තිබුණා අ‍පේ ඥාතියෝ කියනවා “ඕවා සීයා මුතුන් කාලේ වැඩ” කියන වචන පෙළ. ඒ අනුව මම දයාට යෝජනා කළා අපි ‘සීය මුතුන් ඔර්ලෝසුව’ කියලා දාමු කියලා. * ඔබේ අලුත් ම කෘතිය ගැන කතා කළොත්.

“මේ පාර මම ඉංග්‍රීසියෙන් රචනා කළ කෘතිය 1956 වසරේ සිංහල පමණක් ‍කියන පනත ගැනයි. එහි නම Rebirth of Sinhala. එය නුගේගොඩ සරසවි ප්‍රකාශයක් ලෙස නිකුත් වේවි. එදා බණ්ඩාරනායක අගමැතිතුමා පාර්ලිමේන්තුවට ගෙන ආ මේ පනතට ලංකා සමසමාජ පක්ෂයත් කොමියුනිස්ට් පක්ෂයත් විරුද්ධ වුණා. මම හිටියේ ඒ පනතට පක්ෂව. මම කුඩා කාලයේ දැක්කා මරදානේ ස්ටේෂන් එකේ සුදු ජාතිකයන් සඳහා වෙනම ‘වේටින් රූම්’ එකක් තිබුණා. සිංහල හා අනිත් ජාතිකයන්ට වෙනමම වේටින් රූම් එකක්. මම කියන්නේ 1948 විතර කාලේ. ඉංග්‍රීසි කතා කරන සුදු මිනිස්සු ගියේ ‘ඒ’ ක්ලාස් මැදිරිවල‍. අනිත් අය ගියේ ‘බී’ ක්ලාස් මැදිරිවල. රජයේ උසස්වීම දුන්නෙත් ඒ විදිහට. සිංහල භාෂාවෙන් කතා කරන අයට සුදු ජාතිකයෝ හිනාවුණා. කොළඹ තිබුණේ කාගිල්ස්, මිලර්ස්, හන්ටර්, හේලීස්, කේව් බ්‍රවුන්ස්, වගේ කඩ සාප්පු. ඒවාට වැඩිය ගියේ සුදු මිනිස්සු හා ඉංග්‍රීසි කථා කරන සිංහල කළු සුද්දෝ. මේ ක්‍රමය වෙනස් කිරීමටයි සිංහල පමණයි පනත ආවේ. එහි ඉතිහාසය ගැන කියවෙන සමාජ විද්‍යාත්මක කෘතියක් මගේ අලුත්ම පොත. එය ඉතා ලිහිල් ඉංග්‍රීසි භාෂාවෙන් ලියූවක්.

අපේ ජාත්‍යන්තර පාසල් නිසා අපේ සිංහලකම, සංස්කෘතිය විනාශ වෙලා යනවා. බටහිරට ගැති කළු සුද්දෝ මේවා තුළින් නිෂ්පාදනය වෙන්නේ. අපේ ආගමට, භාෂාවට තැනක් ලැබුණේ පන්සල් ආශ්‍රයෙන්. එංගලන්තයේ භාෂාව, සංස්කෘතිය වැඩුණේ ආගමික දේවස්ථාන නිසා. අපේ ත්‍රිපිටකය ලියන කාලේ බයිබලය ලියලා තිබුණේ නෑ. අපේ ආගම භාෂාව සංස්කෘතිය ආරක්ෂා නොවුණොත් බටහිර කොදෙව් රටවල වගේ අයාලේ යන සංස්කෘතියක් බිහි වේවි. ඒක රැකගන්න අපේ අනාගත පරම්පරාවේ යුතුකමක්.

ඡායාරූප - ලාල් සෙනරත්

Comments