‘මුතු අහුරේ’ සොන්ගුල් දැන් සෙනෙහෙබර මවක් | Page 2 | සිළුමිණ

‘මුතු අහුරේ’ සොන්ගුල් දැන් සෙනෙහෙබර මවක්

‘දෙරණ’ චැනලයෙන් සතියේ දිනවල විකාශය කෙරෙන ‘මුතු අහුර’ ටෙලි නාට්‍යය ඔබත් නරඹනවා ඇති. තුර්කියේ නිර්මාණයක් වූ මෙහි මුල් නාමය ‘කිර්ගින් සිසෙක්ලර්’. එහි අරුත, ‘අනාථ කුසුම්’ යන්නයි.

මේ ටෙලි නාට්‍යයේ රසික හදවත් ආකර්ෂණය කර ගත් චරිතයක් තමයි, සොන්ගුල්. මේ චරිතය නිරූපණය කරන්නේ තුර්කි ජාතික සුරූපිනියක වන ගොක්චේ ඇකිල්ඩිස්. 1992 ඔක්තෝබර් 30 දා තුර්කියේ සිනොප් නුවරදී උපන් ගොක්චේ, සහෝදර සහෝදරියන් සිවු දෙනකු අතරින් තුන්වැන්නිය බවට පත්වුණා. ළමා වියෙහි පටන් රංගනයට සමත්කම් දැක්වූ ඇය 2002 දී තිරගත වූ ‘බිර් ටුටාම් බහරට්’ නම් වූ තුර්කි චිත්‍රපටයෙන් තම කුළුඳුල් රංගනය ඉදිරිපත් කළා.

2005 දී විකාශය වූ ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑමට ඇයට අවස්ථාව සැලසුණා. මේ සුරූපිනිය 2006 දී ‘ඉසෝ ගෙලින්’ ටෙලි නාට්‍යයේ රඟපෑ චරිතය නිසා කාගේත් අවධානය ඇය වෙත යොමුවුණා. ඉන්පසුව ටෙලි නාට්‍ය රැසකම ප්‍රධාන චරිත රඟපෑ ගොක්චේ ‘මුතු අහුර’ (කිර්ගින් සිසෙක්ලර්) ටෙලි නාට්‍යයේ රංගනයට එක්වූයේ 2015 දීයි. මේ ටෙලි නිර්මාණය තුර්කියේදී එම වසරේ සිට 2018 මාර්තු 12 දා දක්වා විකාශය වූයේ එරට ප්‍රේක්ෂක ජනතාවගේ ප්‍රසාදය දිනා ගනිමින්. ගොක්චේ, 2016 දී ලිප්ටන් සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කළ වෙළඳ දැන්වීමක ද රඟපෑවා.

පෙනුමෙන් නව යොවුන් යුවතියක ලෙස අප දුටුවද, මේ වන විට 27 වැනි වියෙහි පසුවන ගොක්චේ, කුඩා පුතෙකු සිටින සෙනෙහෙබර මවක්. ඇගේ සැමියා මුස්තාපා ඔස්යට්. මේ දෙදෙනා 2017 දී විවාහ වුණා.

ගොක්චේ සහ මුස්තාපා හමුවී ඇත්තේ ටෙලි නාට්‍යයක රූගත කිරීම් වලට සහභාගි වෙද්දීයි. ඔහු ටෙලි නාට්‍ය කාර්මික ශිල්පියෙක්. ගොක්චේ ද එම ක්ෂේත්‍රයම වෘත්තිය කරගත් කෙනෙක්.

“අපි දෙන්නා මුණ ගැහුණු මුල්ම දවසේ ආදරෙන් බැඳුණා. ටික කාලයක් ආශ්‍රය කරලා අපි විවාහ වුණා. දැන් අපිට පුංචි පුතෙකුත් ඉන්නවා. මට ගොක්චේව හමුවෙන කොට මගේ වයස අවුරුදු 23යි. අපි දෙන්නම එකම ක්ෂේත්‍රය තමයි රැකියාව කරන්නෙ. ගොක්චේ විශේෂයෙන් ම දක්ෂ ශබ්ද සංකලනය කරන්නයි. එයා ශබ්ද තාක්ෂණ ශිල්පිනියක්. අපි දෙන්නා මුලින්ම හමුවුණාට පස්සෙ ඇති කර ගත්ත බැඳීම ටික කාලයක් යනතුරු කාටවත් ම හෙළි කළේ නැහැ. ටික කාලයකට පස්සේයි, ඒ වගතුග හෙළි කළේ.” ගොක්චේ ගේ සැමියා එලෙස පැවසුවා.

ගොක්චේ දැන් මව් පදවිය ලබා කාලය ගත කරන්නෙ හරිම සතුටින්. “අපි, අපේ පුතාවත් අරගෙන පාක් එකට ගියාම සමහර දෙමවුපියො මගෙන් අහනවා, ඇයි ඔයාලා මේ තරම් ඉක්මනට විවාහ වුණේ කියල. මට නම් එහෙම ඉක්මන්කමක් දැනිල නැහැ. මම දරුවන්ට හරිම ආදරෙයි. ඒ නිසා අපිට ඉක්මණින්ම දරුවකුත් ලැබුණා. පුතා වෙනුවෙන් මහන්සි වෙන්න අපි දෙන්නටම හොඳ ශක්තියක් තියෙනවා. මං හිතන්නෙ මේ තමයි විවාහ වෙලා දරුවො ලබන්න හොඳම කාලෙ කියලා. මම ලෑස්තිවෙලයි හිටියෙ මවු පදවිය ලබන්න.” ගොක්චේ දැඩි සතුටකින් එලෙස කීවා.

 

Comments