“සුරක්නා” සමඟ අපේකම ලොවට ගෙනයන අංගම්පොර කලාව... | සිළුමිණ

“සුරක්නා” සමඟ අපේකම ලොවට ගෙනයන අංගම්පොර කලාව...

අතීතයේ අපේ රටට පැමිණි පරදේශිකයන් විසින් මෙරටට විත් තහනම් කළ දේ අතුරින් අංගම්පොර සටන් කලාව ප්‍රමුඛ දෙයක් බවට පත්වුණා. එයට හේතුව වුණේ මේ සටන් කලාව තිබෙන තාක් ඔවුනට අපේ රට ආක්‍රමණය කිරීමට නොහැකි බවත්, මෙරට මිනිසුන් වෙනස් කරන්නට නොහැකි බව ද ඔවුන් දැන සිටිමය.

අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කළ ගුරුවරුන් මරා දැමීමට ද, වෙඩි තැබීමට ද ඔවුන් ක්‍රියා කළේ ඒ නිසාමය. මෙකී ක්‍රියාවන් නිසා කලක් සැඟව ගිය අංගම්පොර කලාව... ඒ අපේ උරුමය අදටද අපෙන් වියැකී නොයන්නට පෙරමුණ ගන්නා පිරිස අතර සදුන් ප්‍රනාන්දු ඉදිරියෙන්ම සිටිනවා. මොරටුවේ උපන් සදුන් ගුරු පරම්පරාවෙන් තමා ලද ශිල්පය අපේ රටේ වගේම අන්තර්ජාතික වේදිකාව දක්වා රැගෙන යන්නට තරම් මේ ගන්නා උත්සාහය සතුටට කරුණක්.

මම හිතන්නේ විදේශ ආක්‍රමණවලින් පසුව අපිට අංඟම් පොර එළියට ගිහින් පෙන්වන්න හැකියාවක් තිබුණේ නෑ; අපිට උරුමවූ මේ අංගම්පොර සටන් කලාව තාමත් අප අතර තියෙනවා කියලා. ඒත් එහි මූලික පියවර වශයෙන් අපි පසුගිය නවවැනිදා යුරෝපය බලා ගියා. නෙදර්ලන්තය, ප්‍රංසය, බෙල්ජියම, වගේම අවසන් දිනයේදී ඉතාලියේදී අපගේ සාම්ප්‍රධායික අංගම්පොර සංදර්ශන කිහිපයක් පවත්වන්නට හැකියාව ලැබුණා.

සඳුන්ට කොහොමද ඒ දුර්ලභ අවස්ථාව හිමිවුණේ?

ශාන්ත ජෝසප් විද්‍යාලයේ හිටපු දැනට ඉතාලියේ සිංහල සහ ඉතිහාසය උගන්වන හර්ෂණ කාරියවසම් සහෝදරයා නිසා තමයි මේ සඳහා මූලික අඩිතාලම වැටුණේ. පසුගියදා ඔහු අප අතරින් සමුගත්තා.මේ වෙලාවේ මම ඔහුව ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔහු හරහා නෙදර්ලන්තයේ සිටින මහාචාර්යවරයකු වන ක්‍රිෂ්ණා ගෝපල් පැමිණි අවස්ථාවේ එතුමාගේ තියෙන සංචිතයට ලංකාවේ අංගම්පොර එකම නියෝජිතයා හැටියට අපේ ‘සුරක්නා‘ කණ්ඩායම ඇතුළු මාව තෝරාගන්නවා. මේ යුරෝපා සංචාරයට අවස්ථාව ලැබුණේ එහෙමයි.

කාන්තා පිරිමි භේදයකින් ‍තොරව නියැළෙන අංගම්පොර සටන් කලාවේ මෙම සංචාරය සඳහා ඔබත් සමඟ කාන්තා නියෝජනයන්ද දක්නට ලැබුණා.ගොඩක් අය හිතන්නෙ අංගම්පොර සටන් කලාව පිරිම් පාර්ශවයට උරුම වූ දෙයක් කියලයි.

මාත් සමඟ මේ යුරෝපා සංචාරය සඳහා කොළඹ විශාඛා විද්‍යාලයේ හිරුණි ගමඇතිගේ සහ හිමාසා සොයිසා යන දෙදෙනා නියෝජනය කරනවා.ඒ වගේම ඩී.එස් සේනානායක විද්‍යාලයේ මනූෂ මෙන්ඩිස්,දැනට කරාටේ සංගමයේ කළමණාකරු වන නදිත සොයිසා අපේ කණ්ඩායමේ ඉතිරි නියෝජනයන්.

අංගම්පොර කියන්නේ බුදු දහම හා බැඳී පවතින සටන් කලාවක්. අපේ රට ජාතිය, ආගම, ශාසනය බේරා ගන්නට සටන් කළ මුතුන් මිත්තන් සටන් කළ සටන් කලාව තමයි අංගම්පොර කියන්නෙ.බුදු දහම හා බැඳි පවතින මේ සටන් කලාවට ඇළුම් කරන අන්‍යාගමික අයෙකුට මේ සටන් කලාව පිළිබඳ හැදෑරීම් කළ හැකිද?කියලා කෙනකු හිතන්නට පුළුවන්..

මෙහෙමයි.... කිසිම ආගමක දර්ශනයක කොටු කිරීමක් නෑ. අංගම්පොර කියන්නෙ හුදෙක් සටන් කලාවක්ම නොවෙයි. නොහික්මුණු අය හික්මවීමක් මේ හරහා සිදුවෙනවා. ඇත්තටම බුදු දහමත් එක්ක පැවැතුණු සටන් කලාවක් නිසා මේ හැදෑරීම්වලදී සිදුකරන වතාවත් හා වන්දනා මානවලට එකඟ වන්නේනම් ආගම් භේදයකින් තොරව අපි ඔවුනට අංගම්පොර ශිල්පය ලබා දෙනවා.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුවකු වන සඳුන් පාසල් යන අවධියේ සිටම සටන් කලාව ඉගෙනීමට දැඩි උනන්දුවක් දැක්වූ බවයි අපට කීවේ. වයස අවුරුදු දා හතරේදී පමණ අංගම්පොර සටන් කලාව ගැන ඉගෙන ගැනීම ආරම්භ කරන ඔහු කේ සුනිමල් ප්‍රනාන්දු නම් ගුරුවරයෙකු යටතේ මීට වසර විස්සකට පමණ පෙර අංගම්පොර ශිල්පය පිළිබද හැදෑරීම් පටන් ගෙන ඇත. ශිල්ප ක්‍රම දෙකක් මත පවතින අංගම්පොර ශිල්පය ගුරු පරපුර සහ ලේ පරපුර යනුවෙන් කොටස් දෙකකි.එයින් ගුරු පරපුර යටතේ ගුරුවරයෙකු යටතේ ශිල්පය හැදෑරූ සඳුන් අද වනවිට ඉදිරි පරපුර වෙත මේ සටන් කලාව කියා දෙන ගුරුවරයෙකු ද වෙයි.

දැනට වසර දහයක පමණ කාලයක සිට මම ඉගෙනගත් ශිල්පීය දැනුම ලබා දීමට කටයුතු කරනවා. මොරටුව ප්‍රදේශයේ මේවන විටත් මා යටතේ සිසුන් සියයක් පමණ ‍ශිල්පය හදාරනවා.

අංගම්පොර සටන් කලාව පිළිබඳ උනන්දුවක් දක්වන දරුදැරියෝ විවිධ ප්‍රදේශවල සිටිනු නොඅනුමානයි. එවැනි දරුවන් උදෙසා මෙම කලා‍ව උගැන්වීම සඳහා අනෙකුත් ප්‍රදේශවලට ගෙනයෑමට අදහසක් නැතිද?

ඇත්තම කිවුවොත් මේ ශිල්පය පිළිබඳ විශාල උනන්දුවක් ...පෙරට වඩා මේ කලාව ඉගෙන ගන්නට වැඩි නැඹුරුවක් තියෙනවා. අපේ රටේ විවිධ ප්‍රදේශවලත් අංගම්පොර ශිල්පය හදාරන්නට කැමැත්තක් දක්වන අය ඉන්නවනම් ඔවුන්ගෙන් ආරාධනාවක් ලැබුණොත් මම කැමැතියි ඒ ප්‍රදේශවලට ගිහිල්ලා ඔවුන්ට ශිල්පය ලබා දෙන්න. දැනටමත් එහෙම මට ලැබුණු ආරාධනාවක් මත ගලේවල ප්‍රදේශයේ පන්තියක් පවත්වාගෙන යනවා.

කොහොමද ඒ සඳහා ඔබව සම්බන්ධ කරගන්නෙ?

ෆේස් බුක් එකේ "සුරක්නා"නමින් අපේ පේජ් එකක් තියෙනවා.ඒ හරහා

ඕනෑම කෙනකුට අපි හා සම්බන්ධ වීමට අවස්ථාව තියෙනවා.

අපේකම අන්තර්ජාතික තලයට රැගෙන යමින් අපෙන් ඈත්ව යන අංගම්පොර සටන් කලාව මතු පරපුරට උරුම කරදෙන්නට සඳුන් ගන්නා වෑයමට රසඳුන අපගේ සුබපැතුම්.

Comments