නිසං­සලා නිසල කළ මාරයා මහ වැස්සද? | සිළුමිණ

නිසං­සලා නිසල කළ මාරයා මහ වැස්සද?

දුව හැම­දාම ඉස්කෝලේ ඇරිලා හවස හත­ර­හ­මාර වෙන­කොට ගෙද­රට එනවා... පළ­මු­වැ­නිදා හය වෙන­කො­ටත් ගෙදර ආවේ නෑ... ඒක නිසා අපි විදු­හ­ල්ප­ති­තු­මා­ටත් කතා­ක­රලා ඇහුවා... වෙනද වෙලා­ව­ටම යාළු­වොත් එක්ක පාස­ලෙන් ගියා කිව්වා... ඒත් අන්ති­මට ගෙදර ළඟ­ටම ආපු දරු­වට වෙච්ච දෙයක්.“ චන්දිමා නිසං­සලා ඉංග්‍රීසි ගුරු­ව­රි­යගේ මව චන්ද්‍රා ජය­වී­ර හඬා වැල­පෙ­න්නීය.

රටම කම්පා­වට පත්වූ ගම්පොළ කීර­පන ප්‍රදේ­ශයේ විසූ අබිර­හස් ලෙස මිය­ගිය නිසං­ස­ලාගේ මළ­සි­රුර ඇය අතු­රු­දන්වූ ගම්පොළ සිට කිලෝ­මී­ටර් 40ක් පමණ දුරින් පිහිටි හාර­ගම ප්‍රදේ­ශයේ මහ­වැලි ගඟේ වික්ටෝ­රියා ජලා­ශයේ තිබි­යදී හමු­වූයේ දින අට­කට පසු­වයි.

පසු­ගිය නව වැනිදා ඇගේ සිරුර පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පැවැත්වූ මහ­නු­වර රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි සිව­සු­බ්‍ර­ම­නි­යම් මහතා විවෘත තීන්දු­වක් ලබා දුන්නෙ ඇගේ මර­ණය පිළි­බ­ඳව ප්‍රශ්නා­ර්ථ­යක් ඉතිරි කර­මිනි.

චන්දිමා නිසං­සලා රත්නා­යක 27 හැවි­රිදි රූමත් තරු­ණි­යකි. හැටන් ශ්‍රීපාද මධ්‍ය මහා විද්‍යා­ලයේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍ය පන්තිය භාර ගුරු­ව­රිය ලෙස සේවය කළ ඇය දින­පතා ගම්පොළ සිට කිලෝ­මී­ටර් පන­හක් පමණ දුරින් පිහිටි හැටන් ශ්‍රීපාද මධ්‍ය මහා විද්‍යා­ල­යට ආව ගියාය. කෙත­රම් වෙහෙ­ස­කර ගම­නක් වුවද පාසල් දරු­වන්ට මෙන්ම ගුරු වෘත්ති­යට ඇය දැක්වූ ආද­රය නිසා කුමන බාධක පැමි­ණි­යද නිසං­සලා පාසල් යෑම අත­පසු නොක­ළාය.

පළමු වැනි­දාට යෙදුණු ලෝක ළමා දින­යදා පාසල් දරු­වන්ට සතු­ටු­දා­යක දිනකි. එදින පාසලේ පැවැති ළමා දින වැඩ­ස­ට­හ­න්ව­ලදී ප්‍රමුඛ කාර්ය­භා­ර­යක් කළ නිසං­සලා තමාගේ පන්තියේ දරු­වන්ට අයි­ස්ක්‍රී­ම්ව­ලින්ද සංග්‍ර­හ­යක් කර තිබු­ණාය.

පාසල නිම වීමෙන් පසු තම යෙහෙ­ළි­යක වූ සාවිත්‍රි ගුරු­ව­රිය සම­ඟින් සුපු­රුදු ලෙස හැටන් සිට මහ­නු­වර බලා පිට­ත්වන බස­යට ගොඩ වී තිබුණේ නිවෙස් බලා යෑම­ටයි. පැය දෙකක පමණ ගම­න­කින් පසු ගම්පො­ළට පැමිණි නිසං­සලා, යෙහෙ­ළි­ය­ගෙන් සමු­ගෙන ගම්පොළ නග­රයේ සිට මීටර් 150ක් පමණ දුරින් පිහිටි නිවෙ­සට පාග­ම­නින් ගොස් තිබු­ණාය. ඒ ඇය දින­පතා යනෙන සුපු­රුදු ගමන් මාර්ග­යයි.

සාමා­න්‍ය­යෙන් සවස හත­රයි තිහ පමණ වන විට සෑම දිනෙ­කම ඇය නිවෙ­සට පැමි­ණෙ­න්නීය. පාසලේ විශේෂ උත්ස­ව­යක් හෝ අති­රේක පන්ති­යක් පැවැති දින­වල නිවෙ­සට පැමිණ තිබුණේ රාත්‍රී අඳුර වැටෙන විටයි. එවැනි බාහිර වැඩක් යෙදි නොති­බුණු පළ­මු­වැ­නිදා සුපු­රුදු වේලාව ගෙවී පැය ගණ­නක් යන­තුරු අගේ නොපැ­මි­ණිම නිවැ­සි­යන්ට ප්‍රශ්න­යක් විය. එදින හැන්දෑවේ ඇද හැළුණ ධාරා­නි­පාත වර්ෂාව දුවගේ ගම­නට බාධා­වක් වන්නට ඇතැයි ඔවුහු සිතුහ. ඇයගේ දුර­ක­ථ­න­යට ඇමැ­තුම් ගත්තද එයද අක්‍රි­යව තිබිණි. අන­තු­රුව පාසලේ විදු­හ­ල්ප­ති­ව­රයා ඇමැතූ විට නිසං­ස­ලාගේ දෙමා­පි­යන්ට විදු­හ­ල්ප­ති­ව­රයාගෙන් දැන ගන්නට ලැබී ඇත්තේ නිසං­සලා සුපු­රුදු වෙලා­වට පාස­ලෙන් පිටත් වූ බවයි.

මහ වැස්සේම නිසං­සලා ගැන සොයා බැලී­මට ඇගේ ඥාතිහු උනන්දු වූහ. නිසං­ස­ලාගේ අන­පේ­ක්ෂිත අතු­රු­දන් වීම පිළි­බ­ඳව ගම්පොළ පොලිස් පොතේද සට­හ­නක් තැබිණි. ගම්පොළ දුම්රිය පොළ ආස­න්නයේ කීර­පන දුම්රිය හරස් මාර්ගය මාරුවී නිවෙ­සට යාමට ඇති අතුරු මාර්ගය නිසං­සලා සැමදා යනෙන මාර්ග­යයි. ඒ මාර්ගයේ සෝදි­සි­යේදී 'ඉගෙ­නුම' නමැති උසස් අධ්‍යා­පන ආය­තන සීසී­ටීවී කැම­රාවේ සට­හන් වී තිබුණේ නිසං­සලා කුඩ­යක් ඉහ­ළා­ගෙන යන ආකා­ර­යයි. එහි වෙලාව ලෙස සවස 4.06 සට­හන් වී තිබිණි. එතැන් සිට නිසං­ස­ලාගේ නිවෙ­සට තිබුණේ මීටර් සිය­යක පමණ දුරකි.

කිලෝ­මී­ටර් පන­හක් පමණ දුරක සිට පැමිණි ඇයට නිවෙ­සට මීටර් සිය­යක දුර­කදී වූයේ කුමක්ද යන්න සැමට ප්‍රහේ­ලි­කා­වකි. එහෙත් එම මාර්ගය අධික වර්ෂාව පව­තින විටදී ජල­යෙන් යට වන බවත් එවැනි අව­ස්ථා­වල මාර්ග­යට සමා­න්ත­රව ගලා යන කොන්ක්‍රිට් කාණු­වට අතුරා තිබෙන කොන්ක්‍රීට් ලෑලි මත ගමන් කිරීම බොහෝ දෙනෙ­කුගේ පුරු­ද්දකි. එහෙත් ඇතැම් ස්ථාන­වල කොන්ක්‍රිට් කාණුවේ ලෑලි නොමැති බවකි. නමුත් ජල­යෙන් ය­ටවූ විට කොන්ක්‍රිට් නොමැති ස්ථාන හරි­හැටි නොපෙනේ.

නිසං­සලා මේ කාණු­වට වැටු­ණාද යන්න බොහෝ දෙනෙ­කුට සැක­යක් මතු­විණි. එහෙත් ඒ පිළි­බ­ඳව කිසිදු හෝඩු­වා­වක් නොවිණි. අඩුම තරමේ ඇය සන්ත­කයේ වූ අත්බෑ­ගය, සෙරෙ­ප්පු­වක් හෝ ඉහ­ළා­ගෙන ගිය කුඩ­යද අස­ලක රැඳී නොති­බිණි. ගම්මු සහ පොලි­සිය එක්ව අධික වර්ෂා­වේම ඇය ගැන සොයා බැලු­වත් කිසිඳු හෝඩු­වා­වක් නොවූහ. එම කාණුව මඳ දුරක් ගොස් වැටුණේ ඇළ­ක­ටයි. එම ඇළ කිලෝ­මී­ටර් භාග­යක පමණ දුරක් ගොස් මහ­වැලි ගඟට එක්වේ.

පළමු වැනිදා සිට කිසිදු තොර­තු­රක් නොමැ­තිව දින ගණ­නා­වක්ම අතු­රු­දන්ව සිටි නිසං­සලා ගැන ඒ වන විට නොයෙක් කට­ක­තාද පැති­රෙ­මින් තිබිණි. ඇය විවාහ වීමට ඒ වන විටත් නම් ප්‍රසි­ද්ධි­යට පත්කොට සිටි­යාය. ඒ, යෝජිත විවා­හ­යක් මත උප­පො­ලිස් පරී­ක්ෂ­ක­ව­ර­යෙක් වන සංජීව සුරේෂ් සම­ඟිනි. කලක් ගම්පොළ පොලි­සියේ සේවය කළ ඔහු මේ වන විට මන්නා­රම පොලි­සියේ සේවය කර­මින් සිටී. නිසං­ස­ලාගේ අතු­රු­දන් වීම සිදු­වන විට සංජීව නිවාඩු ලැබ පැමිණ සිය ගම් ප්‍රදේ­ශය වන හොරණ විසු­වේය. ඔහුද මේ මස 29 වැනිදා විවා­හය ලියා­ප­දිංචි කිරී­මට සිටි සිය අනා­ගත බිරි­යගේ අන­පේ­ක්ෂිත අතු­රු­දන් වීම පිළි­බ­ඳව මහත් කම්පා­වට පත්ව ඇය සෙවීමේ කට­යු­තු­ව­ලට ද එක්ව සිටි­යේය.

ඇගේ අතු­රු­දන් වීමෙන් දින හත­ර­කට පසු අප ප්‍රාදේ­ශීය වාර්තා­කරු දිල්හාන්ට අවට ප්‍රාදේ­ශීය මාධ්‍ය­වේ­දි­ය­කු­ගෙන් තොර­තු­රක් ලැබී තිබුණේ නුවර සිටඩෙල් හෝට­ලය ආස­න්නයේ මහ­වැලි ගඟේ තරු­ණි­ය­කගේ මළ­සි­රු­රක් පාවෙන බවයි. ඒ පිළි­බඳ අප මාධ්‍ය­වේ­දියා නිසං­ස­ලාගේ ඥාතින්ද දැනු­ව­ත්කොට එය බැලී­මට යාමට සැරැ­සෙද්දී නැව­තත් පණි­වි­ඩ­යක් ලැබී තිබුණේ ගඟේ සැඩ පහර වැඩි හෙයින් සිරුර ලේවැල්ල පාල­මද පසු­කොට ගොස් ඇති බවයි. පසුව තොර­තු­රක් ලැබී තිබුණේ එම සිරුර පොල්ගොල්ල වේල්ලෙන්ද පහ­ළට වැටුණ බවට හමුදා නිල­ධා­රි­යෙක් දැක ඇති බව­ටයි. කෙසේ හෝ ඒ වන විට නිසං­ස­ලාගේ සිරුර පිළි­බ­ඳව කටු­ග­ස්තොට, වත්තෙ­්ගම, කුණ්ඩ­සාලෙ, තෙල්දෙ­ණිය යන පොලිස් ස්ථානද දැනු­ව­ත්කොට තිබුණේ ගම්පොළ පොලි­සිය විසිනි.

පසු­ගිය හත් වැනිදා සවස මහ­වැලි ගඟ සහ වික්ටෝ­රියා ජලා­ශය යාවන ප්‍රදේශයේ ධීව­ර­ය­කු­ගෙන් හෝඩු­වා­වක් ලැබුණේ මළ­සි­රු­රක් පාවෙන බවට තෙල්දෙ­ණිය පොලි­සි­ය­ටයි. එම ඉසව්ව තෙල්දෙ­ණිය පොලි­සි­යට අයත් නොවන හෙයින් පසුව ඒ පිළි­බඳ පරී­ක්ෂණ තලා­තු­ඔය පොලි­සි­යට බාර කෙරිණි. කිමි­දු­ම්ක­රු­වන් දෙදෙ­නෙක් යොදා හත්වැ­නිදා රාත්‍රි­යේම මළ සිරුර ගොඩ­ගෙන තිබිණි. නිසං­ස­ලාගේ පියා­ණන් සහ ඥාතින් විසින් පසු­ගිය අට­වැ­නිදා පෙර­ව­රුවේ එම සිරුරේ අතෙහි බැඳි කහ­පැ­හැති නූලක් සහ ඇය අව­සන් වරට ඇඳ සිටි හැට්ටයේ පාට අනුව ඒ තම දිය­ණිය බවට හදුනා ගත්හ.

නිසං­සලා ගමන් ගත් මාර්ගයේ තිබූ කාණුව අධික වර්ෂා­වට ජල­යෙන් යට­වීම නිසා ඇය කාණු­වට වැටි එම කාණු­වෙන් ඇළට ගොස් ඊට මීටර් පන්සී­යක් පමණ දුරින් ඇති මහ­වැලි ගඟට ගසා­ගෙන ගොස් පසුව වික්ටෝ­රියා ජලා­ශය දක්වා ගසා­ගෙන යන්නට ඇතැයි පොලි­සීය සැක කරයි. එය එසේ වුවද ඇයට වූයේ කුමක්ද යන්න මෙතෙක් කිසිම ඇසින් දුටු සාක්ෂි­යක් නොමැත. ඇයගේ ගෙල බැඳි පවුම් තුන රන් මාලය මළ සිරුරේ තිබිණි.

නිසං­ස­ලාගේ පියා­ණන් වන වීර­සිංහ මුදි­ය­න්සේ­ලාගේ රත්නා­යක මහතා පවසා තිබුණේ තම දිය­ණි­යගේ අතු­රු­දන් වීම පිළි­බ­ඳව සැක­යක් පව­තින බවයි. “දුව ගැන මීට වසර පහ­කට පමණ පෙර පුද්ග­ල­යකු උන­න්දු­වෙන් හිටියෙ. ඊට අක­මැති වුණ නිසා ඒ පුද්ග­ලයා යම් යම් බල­පෑම් කළා. මගේ දුව හරිම අහිං­සක කෙනෙක්. දුවට වූ විපත ගැන විධි­මත් පරී­ක්ෂ­ණ­යක් කර­න්නයි මම ඉල්ලන්නෙ.“ නිසං­ස­ලාගේ පියා පව­සන්නේ බොහෝ කම්පා­වෙනි.

චන්දිමා නිසං­සලා මූලික අධ්‍යා­ප­නය ලබා තිබුණේ ගම්පොළ ශාන්ත ජෝෂප් බාලි­කා­වෙනි. අපොස සාමාන්‍ය පෙළ ඉහ­ළින් සමත්වූ ඇය පසුව මහ­නු­වර පුෂ්ප­දාන බාලි­කා­වට ඇතු­ළත්ව උසස් පෙළට පෙනි සිට පේරා‍දෙ­ණිය සර­ස­වි­යට සුදු­සු­කම් ලබා තිබු­ණාය. ඉංග්‍රීසි භාෂා­වට හප­න්කම් පෑ නිංස­සලා ඉංග්‍රීසි මාධ්‍ය­යෙන් උපා­ධිය සම්පූ­ර්ණ­කොට ගුරු පත්වී­මක් ලැබු­වාය. 2016 වස­රේදී මුල්ම පත්වීම ලෙස ඇය වැඩ බාර­ගෙන තිබුණේ හැටන් ශ්‍රීපාද මධ්‍ය මහා විද්‍යා­ල­යෙනි. එම විදු­හලේ විදු­හ­ල්පති වසන්ත කවි­රාජ මහ­තාද නිසං­සලා ගැන මත­කය අවදි කළේ මෙසේය.

“අපේ පාසලේ ඉංග්‍රීසි විෂ­යට අම­ත­රව සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය විෂය ඉගැ­න්නු­වෙත් නිසං­සලා. ඒ වගේම පාස­ලට ඇතු­ළත් කිරී­මට පෙර හය ශ්‍රේණියේ දරු­වන්ට කරන විශේෂ ඉංග්‍රීසි වැඩ­ස­ට­හන් සිය­ල්ලම බාරව කට­යුතු කළේ මේ ගුරු­තු­මිය. ඇගේ වියෝව අපේ පාස­ලට මහත් පාඩු­වක්. කොත­රම් දුරක සිට පැමි­ණි­යත් කියන කිසිම වැඩක් අත­පසු කළේ නැහැ. දරු­වන් වෙනු­වෙන් ඉතාම හොඳින් කැප­වුණ ගුරු­ව­රි­යක් හැටි­යට මුළු පාස­ලේම දරු­වන්ගේ සිත් දිනා­ගෙන සිටියා. මොන­ත­රම් දුරක සිට පාස­ලට පැමි­ණි­යත් කිසිම දිනෙක පරක්කු වෙලා ආවෙ නෑ. දරු­වන් වෙනු­වෙන් හවස අති­රේක පන්ති පැවැත් වුවත් නිසං­සලා ටිචර් කිසිම දවසක එම පන්ති මඟ හැරියේ නෑ.

තව­මත් අබිර­හ­සක්ව පව­තින නිසං­ස­ලාට සැබැ­වින්ම සිදු වුයේ කුමක්ද? ඇය මිය ගියේ කොන්ක්‍රිට් දමා වසා නොති­බුණ කාණු­වට වැටී­මෙන් ද? එසේ වැටුණා නම් ඈ ඉහළ‍ෙගන ආ කුඩ­යට මෙන්ම ඈ අත තිබුණු බඩු­ව­ලට සිදු වුයේ කුමක්ද? එහෙ­මත් නැති­නම් කවු­රුන් හෝ ඇයට විප­තක් කළේද? මේ සිය­ල්ල­ටම පිළි­තුරු තිබිය යුතුය.

සේයාරූ - සුරංග දිල්හාන් ගම්පොළ සමූහ

Comments