පහේ ශිෂ්‍යත්වයෙන් රටම හොල්ලන මහව හපනුන්ගේ හාස්කම් | Page 2 | සිළුමිණ

පහේ ශිෂ්‍යත්වයෙන් රටම හොල්ලන මහව හපනුන්ගේ හාස්කම්

 

 

මේ පිපුණු පුංචි මල් කැකු­ළු­වල සුවඳ ලොව පුරා පතු­රවා හරි­න්නට මෙව­රත් පුංචි හප­නුන් රැස­කට හැකි­යාව ලැබිණ.ඒ 2019 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රති­ඵල හර­හාය. 2016 වර්ෂයේ සිට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රති­ඵ­ල­ව­ලට අනුව ස්ටැන­යින් පරි­මාණ දර්ශ­කයේ මුල් ම පාසල් දහය අත­රින් වැඩිම පාසල් ප්‍රමා­ණ­යක් මහව අධ්‍යා­පන කලා­පයේ පාසල් විය.මෙව­රද, එම ජය­ග්‍ර­හ­ණය එලෙ­සම පව­තිත් දී, දිව­යිනේ ලකුණු 199ක් හිමි කර ගත් ශිෂ්‍යයා ද මහව අධ්‍යා­පන කලා­ප­යෙන් බිහි­වීම විශේ­ෂ­ත්ව­යකි.

 

ලකුණු 199 ලැබූ අදීෂ

මෙවර ශිෂ්‍යත්ව විභා­ගයේ වැඩිම ලකුණ වූ ලකුණු 199 ක් ලබා ගත්තේ ව/ම/ගල් සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක ආදර්ශ ප්‍රාථ­මික විද්‍යා­ලයේ එච්.එම්. අදීෂ නෙතුම් හේරත්ය. එම විදු­හ­ලෙන් මෙවර සිසුන් 98ක් ශිෂ්‍යත්ව විභා­ග­යට පෙනී සිටි අතර සිසුන් 60ක් දිස්ත්‍රික් කඩ­ඉම් ලකුණ පසු­කර ඇත. එය 62%ක ප්‍රති­ඵ­ල­යකි.

“මමත්, මගේ අක්කල දෙන්නත් 1 ශ්‍රේණියේ ඉඳ­ලම ආවේ මේ ඉස්කෝ­ලෙට. මගෙ ලොකු අක්කා ශිෂ්‍ය­ත්ව­යෙන් ලකුණු 192ක් ගත්තා. අනිත් අක්කා ලකුණු 184යි. ඉතිං මට ඕන වුණේ ලොකු අක්කට වඩා එක ලකු­ණක් හරි වැඩි­පුර ගන්න. ලොකු අක්කගෙ බැනර් එක තාම ඉස්කෝලෙ ශාලා­වක ප්‍රද­ර්ශ­නය වෙනවා. මං විභා­ගෙට යන්න කලින් ලොකු අක්කට කීවා “අක්කා දැන් ඔයාගෙ බැනර් එක ගැල­වෙ­නවා” කියලා. මං විභා­ගෙට හොඳින් මූණ දුන්න නිසා මට ලකුණු 200 ම ලැබු­ණත්, මට ඒ ගැන පුදු­ම­යක් නැහැ. මං ඒ තරම් හොඳින් විභා­ග­යට මුහුණ දුන්නා. මේ ජය­ග්‍ර­හ­ණය මට ලැබුණේ පාසලේ ගුරු­වරු හා විදු­හ­ල්ප­ති­තුමා නිසා. ගුරු­ව­රුන්ට මගෙ හිතේ පුදු­මා­කාර ගෞර­ව­යක් තියෙ­නවා. ඒ නිසා මං කව­දා­වත් ගෙදර වැඩ මඟ­හැ­රියෙ නෑ. හැබැයි මං පාන්දර නැගිට්ටෙ නෑ. හවස වැඩ කළා. ටීවී එකත් බැලුවා. කොච්චර වැඩ වැඩි වුණත්, මගෙ අම්මා හැම­දාම මගෙ පොත්පත් බැලුවා. මම හරිම ආසයි ක්‍රිකට් ගහන්න. කවද හරි නැෂ­නල් ටීම් එකට යන්න පොඩි බලා­පො­රො­ත්තු­වක් තියෙ­නවා. ඉංජි­නේ­රු­වෙක් වෙන අද­හ­සත් කොහොම හරි ඉටු කර­ග­න්නවා” යැයි පැව­සුවේ ලකුණු 199ක් ලබා­ගත් එච්.එම්. අදීෂ නෙතුම් හේරත් ය.

 

2007 දීත් ප්‍රථම ස්ථාන­යට

එම විද්‍යා­ලයේ නිය­මු­වා­ණන් වන ව.මු. වරුණ බණ්ඩාර විදු­හ­ල්ප­ති­ව­රයා මෙම ජය­ග්‍ර­හ­ණය සඳහා තම කණ්ඩා­යම මෙහෙය වූ ආකා­රය පිළි­බ­ඳව මෙසේ පැහැ­දිලි කළේය.

“2007 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රති­ඵ­ල­ව­ලට අනුව අපි ලංකාවෙ ප්‍රථම ස්ථානය ලබා ගත්තා. එතැන් පටන් අද දක්වාම ස්ටැන­යින් පරි­මාණ දර්ශ­කයේ මුල්ම පාසල් 10 අතර අප රැඳුනා. මෙවර දිව­යිනේ වැඩිම ලකුණ අපේ පාස­ලින් වාර්තා වීම සතු­ටට කාර­ණ­යක්. මෙම ජය­ග්‍ර­හණ සඳහා කණ්ඩා­යම මෙහෙය වූයේ මම තමයි. නමුත් සිය­ලුම ගුරු­වරු ඉතාම කැප­වී­මෙන් වැඩ කළා. පාස­ලට එන ඕනෑම ගුරු­ව­ර­යෙක් මගේ ක්‍රම­යට හැඩ­ගැ­හෙ­නවා. මම මගේ ගුරු­භ­ව­තුන්ට ඉතා සමී­පව කට­යුතු කරන කෙනෙක්. ඒ නිසා ඔවුන් කව­දා­වත් මගේ වච­නය අහක දැම්මෙ නෑ. අනික මං හැම­දාම දරු­වෙක් විභා­ග­යට වාඩි කර­වන්න කලින් ඒ දරු­වගෙ තියෙන දක්ෂතා සහ අඩු­පාඩු දෙම­වු­පියො ගෙන්වල සාකච්ඡා කර­නවා.

මහව කලායේ හොඳම ප්‍රති­ඵ­ලය ගත්ත පාසල විදි­හට මුල්ම වාර්තාව තිබ්බෙ අපෙ පාසල. ඒ වගේම වැඩිම ලකුණු ලබා­ගත්ත දරුවා බිහි කළෙත් අපේ පාසල. ඒ අපේ සාමූ­හික බවේ ප්‍රති­ඵල. ඒ වගේම කලාප, කොට්ඨාස කාර්යා­ල­ව­ලි­නුත් අපිට උප­රිම සහ­යෝ­ගය ලැබුණා. ගුරු උප­දේ­ශ­ක­වරු, අධ්‍ය­ක්ෂ­වරු සහ කොට්ඨාස අධ්‍ය­ක්ෂ­තුමා මෙන්ම කලාප අධ්‍ය­ක්ෂ­තුමා‍ත් ඉතා­මත් ගෞර­ව­යෙන් සිහි­පත් කර­නවා.

 

අදී­ෂගේ ඉල­ක්කය හා පොරො­න්දුව

ඒ වගේම වැඩිම ලකුණු ගත්ත අදීෂ පුතාගෙ මුල් ම ඉල­ක්කය වුණේ ලකුණු 193ක් අරන් එයාගෙ ලොකු අක්කව පර­ද්දන එක. නමුත් මා ඇතුළු ගුරු මණ්ඩ­ල­යම පුතා ධෛර්ය­මත් කළේ ලකුණු 200කට යන්න. පුතා මගෙන් ඇහුවා “මං ලකුණු 200ක් ගත්තොත් ලොකු සර් මට මොන­වද දෙන්නෙ” කියලා. මං දෙපා­රක් නොහිතා මගෙ කාර් එක දෙනවා” කියලා කීවා. තව එක ලකු­ණක් එහෙ මෙහෙ වුණා නම් මට මගෙ කාර් එක අහිමි වෙනවා” යැයි පව­ස­මින් විදු­හ­ල්ප­ති­ව­රයා සින­හ­මුසු මුහු­ණින් පැව­සු­වේය.

 

හොඳම පාසල - එරි­යාව

අලි වැටෙන් සීමා මායිම් පැන වූ රටක් කතා කළ “දුයි­ෂෙන් ගේ පාසල” මෙවර ද ඉතා ඉහළ ශිෂ්‍යත්ව ප්‍රති­ඵ­ල­ය­කට හිමි­කම් කීවේය. ඒ මහව අධ්‍යා­පන කලා­පයේ ඇහැ­ටු­වාව, එරි­යාව ප්‍රාථ­මික විද්‍යා­ල­යයි. 2016 වසරේ සිට ස්ටැන­යින් පරි­මාණ දර්ශ­ක­යට අනුව මේ දක්වාම දිව­යිනේ ප්‍රථම හා දෙවන ස්ථාන වරින් වර ලබා­ගත් මෙම විදු­හලේ ශිෂ්‍ය­ත්වය සමත් වීමේ ප්‍රති­ශ­තය මෙවර වෙන­දා­ටත් වඩා වැඩිය.

සිසුන් 29ක් විභා­ග­යට පෙනී සිටි අතර ඉන් සිසුන් 19ක් කඩ­ඉම් ලකුණු සීමාව පසු­කර ඇත. අන් සිය­ලුම සිසුන් කඩ­ඉම් ලකු­ණට ආසන්න ලකුණු ලබා ඇති අතර, සිය­යට වඩා ලකුණු අඩු කිසිදු සිසු­වෙක් නොමැති වීම විශේ­ෂ­ත්ව­යකි. ඒ අනුව මෙවර ප්‍රති­ඵ­ලය 65.5% කි.

දරු­වන් ශිෂ්‍යත්ව විභා­ගය සමත් කර­වීමේ අර­මු­ණින් කට­යුතු කළ ජේ.එම්. අමිල ප්‍රසාද් ජය­සේ­කර ගුරු­තුමා තම අද­හස් ප්‍රකාශ කළේ මෙසේය.

“මෙව­රත් මගේ ශිෂ්‍යත්ව ප්‍රති­ඵල වෙන­දා­ටත් වඩා හොඳ ප්‍රති­ශ­ත­යක තියෙ­නවා. වෙනදා වගේම මෙව­රත් ගණ­නය කිරීම් සිදු වුණා නම්, දිව­යිනේ අංක එකේ පාසල බවට පත්වන්නේ අපේ පාසල. වස­රෙන් වසර අපේ පාසලේ ශිෂ්‍ය­ත්වය සම­ත්වීමේ ප්‍රති­ශ­තය වැඩි වුණා මිස, අඩු වුණේ නෑ. දරු­වන් ලබා­ගන්නා ලකු­ණත් වර්ෂ­යෙන් වර්ෂය ඉහළ ගියා. මෙවර මගේ පාසලේ ලකුණු 190ක් වාර්තා වෙනවා. මේ පාසල අලි­වැ­ටෙන් වට­වුණු පාස­ලක්. ප්‍රදේ­ශයේ ඉන්නෙ අහිං­සක දුප්පත් ළමයි.

මං ඉගැ­න්වීම් කට­යුතු කරද්දි මේ සියලු දෙනාම එක හා සමා­නව සල­ක­නවා. කුමන බාධක ආවත්, මං මගේ ඉල­ක්කය අත­හැ­රියෙ නෑ. පාසලේ විදු­හ­ල්ප­ති­තුමා, අනෙක් සිය­ලුම ගුරු­ව­රුන් සහ දෙම­වු­පි­යන් මට විශාල සහ­යෝ­ග­යක් ලබා දුන්නා. කලාප අධ්‍යා­පන කාර්යා­ල­යෙන් වගේ ම, කොට්ඨාස කාර්යා­ල­යෙ­නුත් ලැබිය යුතු උප­රිම සහ­යෝ­ගය මට ලැබුණා. ඇත්ත­ටම මම හෘදය සාක්ෂි­යට එකඟ ගුරු­ව­ර­යෙක්, මම මේ වෘත්තිය පිළි­බ­ඳව සීය­යට දෙසී­යක් තෘප්ති­මත්.”

මෙවර එම විදු­හලේ වැඩිම ලකුණු 190ක් ලබා­ගත් එම්.එම්. සඳසි චේතනා මේධාවි සිසු­විය ඉතා සතු­ටින් අප සමඟ කතා­බහ කිරී­මට එකතු වූවාය.

‍එරි­යාවේ සඳසි චේතනා

“මගේ පන්ති­භාර අමිල ප්‍රසාද් ජය­සේ­කර සර්. සර් අපිට ඉතා කැප­වී­මෙන් ඉගැ­න්වීම් කට­යුතු කළා. උදේ 6ට පාසල පටන් ගත්තෙ. හවස පොඩි විවේ­ක­ය­කින් පස්සෙ අපි ආපහු පාස­ලට ගියා. ඉස්කෝලෙ ලොකු සර්, අනෙක් ගුරු­ව­රුත් අපිට සම­හර දව­ස්වල ඉගැ­න්වීම් කට­යුතු කළා. මේ සියලු දෙනා­ගෙම සහ­යෝ­ගය මට ලැබුණ නිසා තමයි මං මේ තරම් හොඳ ලකු­ණක් ගත්තෙ. මගෙ අම්මයි, තාත්තයි ත් මට උදව් කළා. අපේ ඉස්කෝලෙ වටේට ම අලි වැට. ඒ කොහොම වුණත් සර් අපිව අධෛ­ර්ය­මත් කළේ නැහැ. මම වෛද්‍ය විද්‍යාව පිළි­බඳ මහා­චා­ර්ය­ව‍ර­යෙක් වෙනවා.

 

ඇහැ­ටු­වැව ආදර්ශ ප්‍රාථ­මි­කය

මහව අධ්‍යා­පන කලා­පයේ ඇහැ­ටු­වැව ආදර්ශ ප්‍රාථ­මික විදු­හල ද මෙවර ශිෂ්‍යත්ව විභා­ග­යෙන් 48%ක ප්‍රති­ශ­ත­යක් ලබා­ගෙන ඇත. මෙම විදු­හල ද 2016 වර්ෂයේ සිට ශිෂ්‍යත්ව ප්‍රති­ඵල, ස්ටැන­යින් පරි­මාණ දර්ශ­ක­යට අනුව මුල්ම පාසල් දහය අත­රට එක්වූ පාස­ලකි. මෙවර මෙම විදු­හලේ ශිෂ්‍යත්ව විභා­ගය සඳහා සිසුන් 130ක් පෙනී සිටි අතර, ඉන් සිසුන් 62ක් කඩ­ඉම් ලකුණ ඉක්මවා ඇත. වැඩිම ලකුණ වූ ලකුණු 186ක් හිමි කර ගත්තේ ඩී.එම්. හෙසාරා සනුලි දිසා­නා­යක සිසු­වි­යයි.

එම විදු­හලේ විදු­හ­ල්පති එච්.එම්. ජයන්ත ගුණ­ති­ලක මහතා මෙම ප්‍රති­ඵ­ලය ලබා ගත්තේ විවිධ අභි­යෝග මධ්‍යයේ බව මෙසේ පැහැ­දිලි කළේය.

“පාස­ලට පෝෂිත ප්‍රදේ­ශයේ ගම් දෙකක විතර ඉන්නෙ ඉතා අඩු අධ්‍යා­පන මට්ට­මක් තියෙන දෙම­වු­පියෝ. තවත් බොහො­ම­යක් දරු­වන්ගෙ මවු­වරු විදෙ­ස්ගත වෙලා ඉන්නේ. දරු­වන් ඉන්නෙ කිරි අම්මලා ළඟ. දෙම­වු­පි­ය­න්ගෙන් තරම් සහ­යෝ­ග­යක් කිරි අම්ම­ලා­ගෙන්,කිරි අත්ත­ලා­ගෙන් අපිට බලා­පො­රොත්තු වෙන්න බැහැ. අනිත් කාර­ණය තමයි, මේ මාස 6ක් තිස්සේ අපේ පාසලේ පැව­තුණ ගුරු හිඟය. එවැනි ගුරු හිඟ­යක් පැව­තු­ණත්, දැනට සිටින ගුරු­වරු සාමූ­හි­කව කට­යුතු කළා. කලාප කාර්යා­ල­යෙන් සහ කොට්ඨාස කාර්යා­ල­යෙන් අවශ්‍ය සහ­යෝ­ගය නොම­ඳව ලැබුණා.”

මහව අධ්‍යා­පන කලා­පයේ පලා­ප­ත්වල හෙන්රි ඕල්කට් ප්‍රාථ­මික විදු­හල ද මෙවර ශිෂ්‍යත්ව විභා­ග­යෙන් 47%ක ප්‍රති­ශ­ත­යක් ලබා­ගෙන ඇත. 2017 වර්ෂයේ ස්ටැන­යින් පරි­මාණ දර්ශ­ක­යට අනුව දිව­යිනේ ප්‍රථම පාසල බවට පත්වූ මෙම විදු­හල ද 2016 වසරේ සිට දිව­යිනේ මුල්ම පාසල් 10 අතර රැඳී සිටි පාස­ලකි. මෙවර සිසුන් 45ක් ශිෂ්‍යත්ව විභා­ග­යට පෙනී සිටි අතර ඉන් 21 දෙනෙක් කඩ­ඉම් ලකුණ පසු­කර ඇත. වැඩිම ලකුණ වූ 183 ලකුණ හිමි කර ගෙන ඇත්තේ උපේක්ඛා ස්වර්ණ­මාලි සිසු­වි­යයි.

 

දළ­දා­ගම ප්‍රාථ­මි­කය

2016 වසරේ සිටම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රති­ඵල අනුව දිව­යිනේ මුල් පාසල් 10 අතර රැඳී සිටින පාස­ලක් ලෙස දළ­දා­ගම ප්‍රාථ­මික විද්‍යා­ලය හඳු­නා‍ගත හැකිය. මෙවර එම පාසලේ සිසුන් 128 දෙනෙක් ශිෂ්‍යත්ව විභා­ග­යට පෙනී සිටි අතර, එයින් සිසුන් 61ක් කඩ­ඉම් ලකුණ පසු­කර ඇත. එය ප්‍රති­ශ­ත­යක් ලෙස 48%කි. ලකුණු 180 ට වැඩි සිසුන් 11ක් සිටින අතර, වැඩිම ලකුණු 191 ක් හිමි කර ගත්තේ එම්.එස්. සහන් රසං­ජන සිසු­වාය. එම පාස­ලේම ආර්.එම්. ගිම්හාන් සිසුවා ලකුණු 190 ක් ලබා ගෙන ඇත.

මහව අධ්‍යා­පන කලා­පයේ පාළු­ක­ඩ­වල ශ්‍රී සුමන විදු­හලේ සිසුන් 15ක් ශිෂ්‍යත්ව විභා­ග­යට පෙනී සිටි අතර, ඉන් 11 දෙනෙක් කඩ­ඉම් ලකුණ පසු කර ඇත. මෙම විදු­හල මීට පෙර මෙවැනි ජය­ග්‍ර­හ­ණ­යක් ලබා නොති­බුණි.

මහව අධ්‍යා­පන කලා­පයේ ම ව/ම/ම/ ඇල්ල­බ­ඩ­ගම ප්‍රාථ­මික විදු­හලේ ඩී.එච්.එම්. සෙනුර වත්සල කුමා­ර­සිංහ සිසුවා ලකුණු 192ක් ලබා­ගෙන ඇති අතර අඹ­න්පොල ආදර්ශ කනිටු විදු­හලේ ජේ.ඒ. චේතන සදෙව් පැහැ­සර ශිෂ්‍යයා ලකුණු 190ක් හිමි කරගෙන ඇත.

මේ අනුව මහව අධ්‍යා­පන කලා­පයේ සිසුන් දහ­ස­කට වැඩි ප්‍රමා­ණ­යක් ශිෂ්‍යත්ව කඩ­ඉම් ලකුණ පසු­කර ඇත.

මහව අධ්‍යා­පන කලා­පයේ ස්වර්ණ­මය යුගය

2016 - 2019 කාල වක­වා­නුව මහව අධ්‍යා­පන කලා­ප­යට ස්වර්ණ­මය යුග­යකි. එයට හේතුව 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභා­ග­යෙන් විවිධ ජය­ග්‍ර­හණ රැසක් හිමි­වී­මයි. එම ජය­ග්‍ර­හණ පිටු­පස සිටි­මින් දැවැන්ත කාර්ය­යක් සිදු කළ නිය­මු­වරු කීප දෙනෙක් මුණ ගැසී­මට අව­ස්ථාව උදා විය. මේ ඔවුන්ගේ අද­හස්ය.

මහව අධ්‍යා­පන කලා­පයේ නියෝජ්‍ය අධ්‍යා­පන අධ්‍යක්ෂ (අධ්‍යා­පන සංව­ර්ධන) එච්.ඒ.එල්.පී. හපු­ආ­රච්චි මහතා අද­හස් දක්ව­මින් “අපි මහව අධ්‍යා­පන කලා­පය තුළ පොකුරු පාසල් වැඩ­ස­ට­හන ක්‍රියා­ත්මක කළා. එත­නදි ගුරු­ව­රුන්ගේ දැනුම සිය­ලුම දෙනා වෙත බෙදී යනවා.

ඒ වගේම අපි සෑම වස­ර­කම මහව අධ්‍යා­පන කලා­පයේ දරු­වන් වෙනු­වෙන් කැප­වෙලා සුවි­ශේෂ ජය­ග්‍ර­හණ ලබා­දෙන ගුරු­ව­රුන් අග­ය­මින් සම්මාන ලබා­දීමේ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කර­නවා. මේ ජය­ග්‍ර­හණ සඳහා ඒ වැඩ­ස­ට­හ­න්ව­ලින් ද බල­පෑ­මක් සිදු­වුණා.

ඒ වගේම තමයි ප්‍රාථ­මික පාසල් 1- 5 ලෙස පැව­තී­මත් සාධන මට්ටම ඉහළ යන්න බල­පෑවා. ප්‍රාථ­මික අංශයේ ගුරු උප­දේ­ශ­ක­වරු, අධ්‍යා­පන අධ්‍ය­ක්ෂ­වරු, ගුරු­වරු සමඟ එක­තු­වෙලා කාලය, ශ්‍රමය, මුදල් ‍නොසලකා හැකියා දක්ෂතා ඇති ළමයි හඳු­නා­ගෙන ඔවුන් ඉදි­රි­යට ගෙන ඒමට විශේෂ වැඩ­ස­ට­හන් කළා.” යැයිද පැවැ­සීය.

ගල්ග­මුව කොට්ඨාස අධ්‍යා­පන අධ්‍යක්ෂ ආර්.ඒ.එච්.එම්.එස්. බණ්ඩාර සිළු­මි­ණට අද­හස් දැක්වූයේ මෙසේය. “සාමූ­හි­කව වැඩ කර­නවා නම් ඕනෑම ජය­ග්‍ර­හ­ණ­ය­කට ළඟා වීමේ හැකි­යාව තිබෙන බව අපි ඔප්පු කර පෙන්නුවා. විදු­හ­ල්ප­ති­වරු, ගුරු­වරු විත­රක් නෙමේ මේ ජය­ග්‍ර­හ­ණ­ව­ලදි අධ්‍යා­පන කාර්යය මණ්ඩ­ල­යෙ­නුත් විශාල මෙහෙ­යක් සිදු­වෙ­නවා. පාසලේ මුර­කරු පවා එහි කොට­ස්කා­ර­යෙක්. අපි කොට්ඨාස මට්ට­මෙන් පාසල් සිය­ල්ල­ටම දිය හැකි උප­රිම සහ­යෝ­ගය ලබා දුන්නා පොදුවේ. ගුරු උප­දේ­ශ­ක­වරු, ප්‍රාථ­මික විෂය අධ්‍ය­ක්ෂ­තුමා, සංව­ර්ධන අධ්‍ය­ක්ෂ­තුමා, කලාප අධ්‍ය­ක්ෂ­තුමා මේ සියලු දෙනා­මත් මේ ජය­ග්‍ර­හණ පිටු­පස සිටි­නවා.”

මහව කලාප අධ්‍යා­පන අධ්‍යක්ෂ ඩබ්.එම්. අරුණ ශාන්ත මහතා අද­හස් දක්ව­මින් “මේ වසරේ ලංකාවේ වැඩිම ලකුණු ලැබූ ශිෂ්‍යයා බිහි වුණේ මහව අධ්‍යා­පන කලා­ප­යෙන්. එය ඉතා­මත් සතු­ටට කරු­ණක්. මහව අධ්‍යා­පන කලා­පයේ අධ්‍යා­ප­නය සංව­ර්ධ­නය කරා ගෙන­යා­මට, විදු­හ­ල්ප­ති­වරු, ගුරු­වරු, ප්‍රාථ­මික ගුරු උප­දේ­ශ­ක­වරු, විෂය අධ්‍ය­ක්ෂ­වරු, අධ්‍යා­පන සංව­ර්ධන අධ්‍ය­ක්ෂ­තුමා, කොට්ඨාස අධ්‍යා­පන අධ්‍ය­ක්ෂ­වරු එක්ව කට­යුතු කළා. එනිසා මම මේ සියලු දෙනා­ටම මගේ ගෞර­ව­නීය ස්තුතිය පුද කර­නවා.

මේ ජය­ග්‍ර­හ­ණ­ව­ලට හේතුව සාමූ­හි­කව ක්‍රියා කිරීම. සංඛ්‍යා­ත්ම­කව ගත­හොත් මෙවර සිසුන් 1000 ට වැඩි ප්‍රමා­ණ­යක් මෙම කලා­පය තුළ ශිෂ්‍යත්ව විභා­ගය සමත් වී තිබෙ­නවා. මේකෙ තියෙන විශේ­ෂ­ත්වය තමයි මේ කලා­පයේ සෑම පාස­ල­කම එක් සිසු­වෙක් හෝ විභා­ගය ජය ගෙන තිබී­මයි. 2016 සිට 2018 කාලය තුළ ලංකාවේ හොඳම ශිෂ්‍යත්ව විභාග ප්‍රති­ඵළ සහිත පාසල බිහි කළ මහව ගුරු­ව­රුන්ට 2019 දී ලංකාවේ වැඩිම ලකුණ සහිත සිසුවා බිහි කිරී­මට නාය­ක­ත්වය ලබා දීමට හැකි­වීම මා ලැබූ භාග්‍යක් වගේම, මේ යුගය මහව අධ්‍යා­පන කලා­පයේ රන් අකු­රින් ලියැ­වුණ යුග­යක් වෙනවා.

 

Comments