මහවලතැන්නේ ඉපදී නොබැඳි සමුළුවට නායකත්වය දුන් ලොව ප්‍රථම අගමැතිනිය | සිළුමිණ

මහවලතැන්නේ ඉපදී නොබැඳි සමුළුවට නායකත්වය දුන් ලොව ප්‍රථම අගමැතිනිය

 

ලොව ප්‍රථම අග­මැ­ති­නිය වූ සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නි­යගේ 19 වැනි ගුණා­නු­ස්ම­ර­ණය  ඔක්තෝ­බර් 10 වැනි­දාට යෙදී තිබුණි. මේ ලිපිය එතු­මි­යට උප­හා­ර­යක් වශ­යෙනි.

මුළු රටම මැලේ­රියා උව­දු­රින් ඇළලී යද්දි බළ­න්ගොඩ ප්‍රදේ­ශය පාල­නය කළ මහ­වල තැන්න රටේ මහ­ත්ත­යාට රාජ­කාරි බහුල වූයේ එකී ප්‍රදේ­ශ­යේද මැලේ­රි­යාව ව්‍යාප්ත වූ බැවිනි. රටේ මහ­ත්තයා සිය හිත­ව­තුන් සමඟ කඳු පල්ලම් බැස අස­රණ රෝගීන් වෙනු­වෙන් බෙහෙත් වර්ග රැගෙන යන ගම­නට ඔහුගේ වැඩි­ම­හල් දිය­ණිය ද ඔහු පසු­ප­සින් වැටුණේ ඈ තුළ තිබූ මානව දයාව නිසාය. එතැ­නින් නොනැ­ව­තුණු ඈ සිය පියා බළ­න්ගොඩ ප්‍රදේ­ශය පාල­නය කරන විට ප්‍රදේ­ශයේ කාන්තා­වන් වෙනු­වෙන් යම් මෙහෙ­ව­රක් කළ යුතු යැයි සිතු­වාය.

 

බළ­න්ගොඩ සමාජ සේවා සංග­මය නමින් කාන්තා සංවි­ධා­න­යක් බිහි වූයේ එහි ප්‍රති­ඵ­ල­යක් වශ­යෙනි. ගැබිනි මාතා­වන්ට නොමිලේ කිරි ලබා දීම ඇතුළු සුබ සාධක කට­යුතු රැසක් ඉටු කරන බළ­න්ගොඩ සමාජ සේවා සංග­මය, වරක් නාට්‍ය­යක් රඟ දක්වා ලැබුණු ආදා­ය­මින් මහ­ව­ල­තැන්න වලව්වේ පසෙක තැනුණු රෝහල වැඩි දියුණු කිරී­මට සමත් විය. එම නාට්‍යය පුහුණු කළේ රටේ මහ­ත්ත­යාගේ වැඩි­ම­හල් දිය­ණි­යයි.

එව­කට සිටි පළාත් පාලන ඇමති දිනක් කොළඹ සිට බණ්ඩා­ර­වෙල දක්වා යන ගම­නේදී බළ­න්ගොඩ මහවලතැන්න සමාජ සේවා සංග­මය අධී­ක්ෂ­ණය කිරී­මට සිතුවේ ඉන් ඉටු වන මෙහෙ­වර ඒ වන විට රට පුරා ප්‍රසිද්ධ වී තිබූ බැවිනි. එහි ගිය ඇම­ති­ව­රයා ඉන් සිදු වන සේවා ගැන බෙහෙ­වින් සතු­ටට පත් වී ඔවුන් දිරි­මත් කළේ ඊට රාජ්‍ය අනු­ග්‍ර­හය ද ලබා­දෙන බව පව­ස­මිනි. රටේ මහ­ත්ත­යාගේ වැඩි­ම­හල් දිය­ණි­යගේ රූප­ශ්‍රීය පම­ණක් නොව මහ­ජන සේව­යට ඇති ඇගේ කැප­වීම ගැන එව­කට තනි­කඩ ජීවි­ත­යක් ගත කළ ඇම­ති­ව­ර­යාගේ සිතේ තදින්ම කා වැදුණා නම් එය පුදු­ම­යක් නොවේ.

ඔවුන් දෙදෙනා 1940 ඔක්තෝ­බර් මස 03 වැනි දින යුග දිවි­යට ඇතු­ළත් වූයේ දෙපා­ර්ශ්ව­යේම වැඩි­හි­ටි­යන්ගේ ආශි­ර්වා­දය මැද මහ ඉහ­ළින් විවාහ මංග­ල්‍යය පව­ත්ව­මිනි. එදා පළාත් පාලන ඇම­ති­ව­රයා වූයේ හිටපු අග­මැති දිවං­ගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩා­ර­නා­යක මහ­තාය. ඔහුගේ අත ගත් රටේ මහ­ත්ත­යාගේ වැඩි­ම­හල් දිය­ණිය වූයේ සිරි­මාවෝ රත්වත්ත මැති­නි­යයි. පසු­ක­ලෙක සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක ලෙසින් ගෞර­වා­ද­ර­යට පාත්‍ර වූ අද මෙරට ශ්‍රේෂ්ඨ චරි­ත­යක් වූයේ බණ්ඩා­ර­නා­යක මහ­තාගේ ප්‍රිය බිරිය වූ නිසා ම නොවේ. ලොව ප්‍රථම අග­මැ­ති­නිය ලෙසත් තෙව­රක්ම ශ්‍රී ලංකාවේ අග්‍ර­මා­ත්‍ය­ව­රිය ලෙසත් අභි­ෂේක ලද සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නිය ශ්‍රී ලංකා දේශ­පා­ලන ඉති­හා­සයේ සදා­නු­ස්ම­ර­ණීය චරි­ත­යක් වන නිසාය. ඔක්තෝ­බර් 10 වැනි දිනට ඈ අභා­ව­යට පත් වී වසර 19 ක් ගත වුවද තව­මත් අප ඈ පිළි­බ­ඳව කතා කරන්නේ එවැ­විනි.

ඈ අග­මැ­ති­නිය වශ­යෙන් කට­යුතු කළ කාල 1960 – 1965, 1970 – 1977, 1994 – 2000 වශ­යෙන් දැක්විය හැකිය. ඇගේ දේශ­පා­ලන ගමන් මග ඇර­ඹුණේ ඇගේ සැමියා වන හිටපු අග­මැති එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩා­ර­නා­යක මහ­තාගේ ඝාත­න­යත් සම­ගිනි. 1959 සැප්තැ­ම්බර් 26 වැනි දින බණ්ඩා­ර­නා­යක මහතා ඝාත­නය වීමත් සමඟ රටේ අග­මැති වශ­යෙන් පත් වූයේ විජ­යා­නන්ද දහ­නා­යක මහ­තාය. එහෙත් ඉතා කෙටි කාල­ය­කින් ඔහු පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරීම නිසා 1960 මාර්තු මාසයේ පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වී­මට සිදු විය. එහි දී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ නාය­ක­ත්වය හිමි වූයේ සී.පී. ද සිල්වා­ටය.

එම මැති­ව­ර­ණ­යෙන් එක්සත් ජාතික පක්ෂය ජය­ග්‍ර­හ­ණය කළේ ආසන 55ක් ලබා­ග­නි­මිනි. ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ලබා ගත හැකි වූයේ ආසන 46 ක් පමණි. අග­මැති ලෙස ඩඩ්ලි සේනා­නා­යක මහතා පත් විය. නමුත් පාර්ලි­මේ­න්තුව විවෘත කිරීමේ යෝජ­නා­වක් කථා­නා­යක තේරීම් යෝජ­නා­වත් පරා­ජ­යට පත් වීමෙන් පසු රාජා­සන කතාව ද පරා­ජ­යට පත් වීම නිසා පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරී­මට සිදු විය. නැව­තත් මහ මැති­ව­ර­ණ­යක් කැඳ­විණි.

එම අව­ස්ථා­වේදී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ නාය­ක­ත්වය භාර ගැනී­මට මැති­නි­යට පාක්ෂි­ක­යන් ඇර­යුම් කළ ද ඈ ඊට කැමැ­ත්තක් දැක්වූයේ නැත. එහෙත් පක්ෂ­යෙන් කෙරෙන ඉල්ලීම් ප්‍රති­ක්ෂේප කළ නොහැකි තැන ඈ ඊට එකඟ වූයේ අක­මැ­ත්තෙනි. 1960 මැයි මස 07 වැනි දා ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ සභා­ප­ති­නිය ලෙස පත් වූ සිරි­ම‍ාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නිය ඡන්ද සට­නට පිවි­සු­ණාය. එකී මැති­ව­ර­ණ­යෙන් ආසන 98 කින් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ආසන 75 ක් හිමි මිය. එක්සත් ජාතික පක්ෂ­යට හිමි වූයේ ආසන 30කි.

ඒ විශිෂ්ට ජය­ග්‍ර­හ­ණ­යත් සමඟ ඈ මෙරට අග­මැ­ති­නිය වූයේ ලෝකයේ ප්‍රථම අග­මැ­ති­නිය ලෙස ඉති­හා­ස­ගත වෙමිනි. එහෙත් 1960 දී ඈ ආස­න­යට තරග නෙ‍ාකළ බැවින් නියෝ­ජිත මන්ත්‍රී මණ්ඩ­ලයේ හෝ සෙනෙට් සභාවේ සාමා­ජි­කා­වක වීම අවශ්‍ය විය. එම අව­ස්ථා­වේදී එම්.පී.ද සොයිසා සෙනෙට් සභා­වෙන් ඉල්ලා අස් වීම නිසා සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක සෙනෙට් මන්ත්‍රී­ව­රි­යක ලෙස පත් වූ අතර ආණ්ඩු­කාර ශ්‍රීමත් ඔලි­වර් ගුණ­ති­ලක ඈ අග­මැති ධූර­යට පත් කළේය.

1960 – 1965 කාලයේ සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක අග­මැ­ති­නිය අතින් සිදු වූ සේවා බොහෝය. විවිධ ආග­මික මණ්ඩල මඟින් මෙරට පිහි­ටු­වන ලද පෞද්ග­ලික පාසල් රජ­යට පවරා ගැනී­මෙන් ජාතික අධ්‍යා­පන ක්‍රම­යක් ස්ථාපිත කිරීම ඇගේ ප්‍රථම රජ­යෙන් සිදු කරනු ලැබීය.

1961 ජුලි 02 වැනි දා මහ­ජන බැංකුව ස්ථාපිත කළේ ගොවීන් සහ කුඩා ව්‍යාපා­රි­ක­යන් අත­රට බැංකු කට­යුතු රැගෙන යෑම­ටය. එමෙන්ම ලංකා බැංකුව රජ­යට පවරා ගැනී­මෙන් ආර්ථි­කයේ වැද­ගත් කොට­ස්ව­ලට, වඩා ඵල­දායි ලෙස ණය මුදල් යොමු කිරී­මට හැකි විය. රක්ෂණ සමා­ගම් කට­යුතු ද රජයේ බල­තල යට­තට පත් කිරී­මෙන් විදේ­ශීය සමා­ගම් මඟින් එකතු කළ මුදල් රට තුළම රඳවා ගැනී­මට හැකි විය.

1964 ඔක්තෝ­බර් 30 වැනි දින සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක මැති­නිය සහ ඉන්දීය අග­මැති බහ­දූර් ශාස්ත්‍රී මහතා අතර ඇති කර­ගත් සිරිමා - ශාස්ත්‍රි ගිවි­සුම ඇගේ දේශ­පා­ලන දිවියේ ඓති­හා­සික ජය­ග්‍ර­හ­ණ­යක් ලෙස හැඳි­න්විය හැකිය.

ඒ අත­ර­වා­ර­යේදී 1962 ජන­වාරි 27 දින බණ්ඩා­ර­නා­යක රජය පෙර­ළී­මට කළ ඉහළ පෙළේ රහස් කුම­න්ත්‍ර­ණ­යක් හෙළි­ද­රව් විය. 1964 ජුනි 11 වැනි දින ලංකා සම­ස­මාජ පක්ෂය සමඟ එකතු වී සභාග රජ­යක් පිහි­ටු­වනු ලැබුවේ ඇගේ අග්‍ර­මාත්‍ය ධූරය යට­තේ­දීය. එහෙත් ඇතැම් පුව­ත්පත් රජ­යට පව­රා­ගැ­නීම සඳහා වූ පනත පාර්ලි­මේ­න්තු­වේදී පරා­ජ­යට පත් වූ බැවින් 1964 දෙසැ­ම්බර් 3 වැනි දින පාර්ලි­මේ­න්තුව විසු­රුවා හැරී­මට සිදු විය.

1965 පැවැති මහ මැති­ව­ර­ණ­යේදී ජය­ග්‍ර­හ­ණය ලැබුවේ එක්සත් ජාතික පක්ෂ­යයි. එක්සත් ජාතික පක්ෂය ලබා­ගත් ආසන සංඛ්‍යාව 66 ක් වූ අතර ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ලබා­ගත හැකි වූයේ ආසන 41ක් පමණි. එබැ­වින් අග­මැති ධූර­යට සමු දුන් ඈ විපක්ෂ නායි­කාව වශ­යෙන් පාර්ලි­මේ­න්තුවේ අසුන් ගත්තාය. බණ්ඩා­ර­නා­යක මැති­නි­යගේ දෙවැනි අග­මැති ධුර කාලය ඇර­ඹුණේ 1970 මැයි 27 දා ය. එවර මහ මැති­ව­ර­ණ­යේදී ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය, ලංකා සම­ස­මාජ පක්ෂය, කොමි­යු­නිස්ට් පක්ෂය එකතු වී සමගි පෙර­මුණු රජ­යක් පිහි­ටු­වනු ලැබීම කැපී පෙනෙන සිදු­වී­මකි. සමගි පෙර­මුණු ගිවි­සු­මට අත්සන් තැබුවේ 1968 ජුනි 5 දාය.

බණ්ඩා­ර­නා­යක මැති­නිය අත්ත­න­ගල්ල ආස­න­යෙන් වැඩි ඡන්ද 27, 723ක් ලබා ජය­ග්‍ර­හ­ණය කළාය. මෙම මැති­ව­ර­ණ­යෙන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ආසන 91ක් හිමි විය.

ඇගේ දෙවැනි අග­මැති ධූර කාල­යේදී ඈ මුහු­ණු­දුන් දරු­ණු­තම අභි­යෝ­ගය වූයේ 71 කැරැ­ල්ලයි.

1971 අගෝස්තු මාස­යේදී පස­ළො­ස්වක පොහොය රජයේ නිවාඩු දින­යක් බවට පත් කළේ ඈ ශ්‍රද්ධා­වෙන් යුක්ත බෞද්ධ කුල කාන්තා­වක වූ නිසාය. ජන­පති මන්දි­රයේ ප්‍රථම වරට බුදු මැඳු­රක් ඉදි වූයේද 1960 ඇ‍ගේ පාලන කාල­යේ­දීය. අඩ­සිය වස­කට ආසන්න කාල­යක් ක්‍රියා­ත්මක වූ අධි­රා­ජ්‍ය­වාදී සෝල්බරි ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව අහෝසි කර නව ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­ව­කින් ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කිරී­ට­යෙන් මිදී නිද­හස්, ස්වාධීන, ස්වෛරී ජන­ර­ජ­යක් බවට පත් කෙරුණේ 1972 මැයි 22 දින ඇගේ නාය­ක­ත්ව­යෙනි. එය ශ්‍රී ලංකාව ලැබූ සුවි­ශේෂි ජය­ග්‍ර­හ­ණ­යකි.

1974 දී කච්ච­තිව් දූපතේ අයි­තිය ශ්‍රී ලංකා­වට තහ­වුරු කර ගැනීම ඇගේ දේශ­පා­ලන දිවිය තුළ කැපී පෙනෙන අව­ස්ථා­වක් ලෙස සැල­කිය හැකිය. 1976 අගෝස්තු මාසයේ ලංකාවේ පැවැති නොබැඳි ජාතින්ගේ සමු­ළු­වට ඈ නාය­ක­ත්වය දෙමින් ජීවය දුන් ආකා­රය ඇගේ දේශ­පා­ලන පෞරු­ෂය විදහා දක්වන තවත් අව­ස්ථා­වකි.

2000 වසරේ ඔක්තෝ­බර් 10 වැනි දින පැවැත්වූ පාර්ලි­මේන්තු මහ මැති­ව­ර­ණය වෙනු­වෙන් ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිට්ට­ඹුව සංඝ­බෝධි විදු­හ­ලට ගොස් ආපසු එන අත­ර­ම­ඟදී හදිසි හෘද­යා­බා­ධ­යක් හට ගැනී­මෙන් ඇයව කඩ­වත පෞද්ග­ලික රෝහ­ල­කට අතු­ළත් කරණු ලැබූ අතර එහිදී ඈ මෙලො­වින් සමු­ගෙන ගියේ ජීවන ගමනේ 84 වැනි සැත­පුම් කණුව අසල සද­හ­ටම නැව­තෙ­මෙනි. ඇගේ මර­ණ‍යත් සම­ඟම ඇගේ දෙනෙත් දන් දෙනු ලැබුවේ ඇගේ ඉල්ලී­ම­කට අනු­වය. බණ්ඩා­ර­නා­යක මැති­නිය 1999 ජුනි 05 වැනි දින පෞද්ග­ලික ලඝු ලේඛක විලි විජේ­ර­ත්නට සට­හන් කර ගැනී­මට කියා දුන් අව­සන් කැමති පත්‍ර­යට අනුව දේහය ආදා­හ­නය නොකෙ­රිණි. ඔක්තෝ­බර් 13 සහ 14 දෙදින ජාතික ශෝක දින ලෙස ප්‍රකා­ශ­යට පත් විය. ඔක්තෝ­බර් 14 වැනි දින ඉතා චාම් අන්ද­මින් අව­සන් කට­යුතු සිදු කෙරුණේ හොර­ගොල්ලේ බණ්ඩා­ර­නා­යක සමා­ධිය අබි­ය­ස­දීය.

 

Comments