ඌව පළාතේ පිහිටි නමුනුකුළ කන්දෙන් ආරම්භ වී වියළි කාෂ්ටක ප්‍රදේශ රැසක් ජලයෙන් තෙත් කරමින් සහ වගාබිම් රැසක් සරු කරමින් කිලෝ මීටර් 150ක් දුර ගෙවා ඓතිහාසික කතරගම පුජා භූමියද පසු කරමින් ඉතා පාරිශුද්ධත්වයෙන් යුතුව ගලා බසින මැණික් ගං කොමලිය මුහුදට ගලා බසින්නේ ශුද්ධ වු ජලය ඇති පුජනීය වු ගංගාවක් ලෙසයි.
ලංකාවේ පිහිටි ගංගා අතරින් පූජනීය ගංගාවක් ලෙසත් හා ශුද්ධ වූ ජලයක් ඇති ගංගාවක් ලෙසත් වන්දනාවට ලක් වන එකම ගංගාව මැණික් ගඟය. අනාදිමත් කාලයක සිට කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමත්හු මැණික් ගඟෙන් දිය නා පිරිසුදු වී කතරගම පුද බිම වන්දනාමාන කිරීමට පුරුදුව සිටියහ.
එහෙත් අද එම තත්ත්වය දරුණු ලෙස වෙනස් වී තිබේ. එදා සුනිලවන් දිය පහරක් ලෙස ගලා ගිය මැණික් ගං කොමළිය තුළ අද දක්නට ඇත්තේ අසුන්දර දසුන් පෙළක් පමණි. එදා පාරිශුද්ධ ජලය ගලාගිය මැණික් ගඟ අද ඉතා අපිරිසුදු ජලය ඇති ගංගාවක් බවට පත් වී ඇත්තේද ඇතැම් බැතිමතුන්ගේ සහ මැණික් ගඟ අවට ජිවත් වන ඇතැමුන්ගේ නොමනා පුරුදු හේතුවෙනි.
මැණික් ගංගාව අද දරුණු මිනීමරු කිඹුලන් පිරී කැළි කසළවලින් අපිරිසුදු වූ ගංගාවක් ලෙස බැතිමතුන්ගේ විශ්වාසය වී තිබේ.
මැණික් ගංගාව අවට ඇවිද ගිය අපට දක්නට ලැබුණේ ඉතා අසුන්දර දසුන් පෙළකි. දිය නෑමට තියා මැණික් ගංගාවේ ඉවුරු දිගේ ඇවිද යෑමත් අපහසුය. ඉවුරු අවට තැන තැන දමා ඇති ප්ලාස්ටික් බෝතල් මදුරුවන්ගේ රජදහන බවට පත් වී තිබේ. වැසිකිළිවලින් පිටාර ගලන අපද්‍රව්‍ය මෙන්ම ඇතැම් නිවාඩු නිකේතනවලින් බැහැර කරන අපජලයද ඉතා සුක්ෂම ලෙස මැණික් ගංගාවට මුදා හැරීමට කටයුතු කර තිබේ. විවිධ පිරිස් මල මුත්‍රා කිරීමට යොදාගෙන ඇත්තේ ගංඉවුර දෙපස පෙදෙස්ය. එදා සුදු වැලි තලාවකින් ගලා ගලා ගිය සුන්දර මැණික් ගංගාව අද කබොක් ගල් මතු වු රළු පොළොවක් සහිතව පවතී. එදා වන්දනාවේ පැමිණි බැතුමතුන්ට දිය නෑමට ඉතා ආරක්ෂිත ගංගාවක් ලෙසින් පැවති මැණික් ගංගාව අද දිස් වන්නේ බැතිමතුන්ගේ මරු කපොල්ලක් ලෙසය.
එදා කතරගම වන්දනාවේ පැමිණි බැතිමතුන් මැණික් ගංගාවට බැස දිය නා පිරිසුදු වී දෙවියන් වඳින්නට දේවාලයට ගියත් අද එය වෙනස් වී ගොස්ය. දැන් බැතිමතුන් කතරගමට එන්නේ නිවාඩු නිකේතනයක් වෙන් කරවාගෙනය. බැතිමතුන්ගේ මනසේ මැණික් ගංගාව පිළිබඳ මැවී ඇත්තේද බියකරු චිත්රයකි. කතරගමට එන බැතිමතුන් නිවාඩු නිකේතනයට පැමිණ පසු එහි ඇති පිහිනුම් තටාකයෙන් නාවා පුජා වට්ටියද අතටම දී වාහනයෙන්ම දේවාලය අසලට රැගෙන යෑමට හෝටල් හිමියෝ සහ නිවාඩු නිකේතන හිමියෝ කටයුතු කරති. අද කතරගම වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගෙන් බහුතරයක්ම පැරණි සිරිත්විරිත්වලට පයින් ගසා හොර පාරෙන් ගොස් දෙවියන් වැඳීමට පුරුදු වී සිටිති.
1821 දී දෙවරක්ම කතරගම වන්දනාවේ පැමිණි බව කියන ඉංග්‍රිසි ජාතික වෛද්‍යවරයෙකු වන ජෝන් ඩේවි මහතා පවසා ඇත්තේ තමන් කතරගම වන්දනාවේ පැමිණි බවත් ඒ පැමිණි අවස්ථා දෙකේදීම කතරගම දෙවියන් වැඳීමට යෑමට තමන්ට මැණික් ගඟ තරණය කිරීමට සිදු වු බවත්ය. එමෙන්ම වන්දනාවේ පැමිණෙන බැතුමතුන්ද විශාල වශයෙන් මැණික් ගඟෙන් දිය නා පිරිසුදු වි දේවාලයට ගිය බවත්, සුන්දර වු මැණික් ගංගාව ඉතා සුනිලවන් දිය පහරකින් යුක්ත වු බවත් හා ප්‍රදේශයේ ජනතාව ලබු කැටවල පුරවා රැගෙන එන ජලය බීමට ලබාගත් බවත් ජෝන් ඩේව් මහතා සිය සටහන්වල දක්වා තිබේ.
මැණික් ගඟේ මඩ හා ජරාව තැන්පත්ව ඇති අයුරු |
එදා පිරිසුදු ජල පහරක් ලෙසින් ගලා ගිය මැණික් ගංදිය අද දිස්වන්නේ බොර වු අපිරිසුදු දිය පහරක් ලෙසය. එදා ගලාගෙන ගිය දිය පහර අද එක තැන පල්වෙමින් පවතී. ගංගාව අද වැවක ස්වරූපයක් ගෙන තිබේ. අද මැණික් ගඟෙන් දිය නාන අයට විවිධ දද කුෂ්ට රෝග ඇති වීමේ අවදානමක් පවතී. ඒ තරමටම ජලය අපිරිසුදුය. ගඟ අයින දිගටම කැළිකසළ තැන්පත් වී පල් වී ගොස්ය. ඇතැම් ස්ථානවලින් ගඟට බසින්නටද බැරි තරමට අපිරිසුදුය. ගංඟාවට බහින්න ඉදි කර තිබු පඩි පෙළ ද අබලන් වි ගොසිනි.
රජ දවස මෙන්ම ඉංග්‍රිසි ආණ්ඩු සමයේද මැණික් ගංගාව හා මැණික් ගං ඉවුර ආරක්ෂා කිරිමට වෙනම වැඩපිළිවෙළක් තිබු බවට සාක්ෂි ඕනෑ තරම්ය. 1973 දී කතරගම ඇසළ කඳවුර බාරව සිටි බව කියන ඉංග්‍රිසි ජාතික තෝමස් ස්ටීල් මැණික් ගංඟාව ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අනුගමනය කර තිබේ. පෙරහර සමයේදී මැණික් ගඟ දෙපසට මුරකරුවන් යොදවා මැණික් ගංඟාවට විශේෂිත ආරක්ෂාවක් සලසා තිබේ.
වන්දනාවේ පැමිණෙන පිරිසට හෝ වෙනත් කිසිවකුටත් මැණික් ගඟ දෙපස මල මුත්‍රා කිරීම තහනම් කර තිබේ. මුත්‍ර කළහොත් ඔහුගෙන් රුපියල් 5ක දඩයක්ද, මල පහ කළ අයෙකුගෙන් රුපියල් 10ක දඩයක්ද අය කිරිමට කතරගම ඇසළ කඳවුර බාරව සිටි ඉංග්‍රිසි ජාතික තෝමස් ස්ටීල් කටයුතු කර තිබේ. පෙරහර සමයේදී දෙවියන්ට පැන් ලබාගන්නා තොටුපළෙන් දිය නෑම ද තහනම්ය.
එපමණක් නොව පෙරහර සමය ආරම්භ විමට පෙර එවකට ඇසල කඳවුර බාරව කටයුතු කළ පාලකයා විසින් ප්‍රදේශය පුරා අණබෙරකරුවන් යොදවා මැණික් ගඟේ දිය දින කිහිපයක් ප්‍රයෝජනයට නොගන්නා ලෙස දන්වා මැසි මදුරුවන්ට තෙල් ගසා මැණික් ගංඟාව මැසි මදුරු ඇතුළු කෘමි සතුන්ගෙන් හා විෂ බීජ රහිත කලාපයක් බවට පත් කිරීමට පියවර ගෙන තිබේ.
කතරගම එකමුතු වෙළඳ සංගමයේ සභාපති එච්.ආර්.කේ. සම්පත් ගයාන් මහතා මෙලෙස අදහස් දැක්වීය.
“ඉස්සර තිබුණු මැණික් ගඟයි වර්තමානයේ තියෙන මැණික් ගඟයි බැලුවාම විශාල වෙනසක් දකින්න පුළුවන්. කාලයත් සමඟ මැණික් ගඟ දෙපස ජනාවාස ඇති වීමත් සමඟ මැණික් ගඟේ තිබුණු පාරිශුද්ධත්වය නැති වෙලා තියෙනවා. ඉස්සර ඉඳන් තිබුණු චාරිත්‍රය අනුව කතරගම දෙවිහාමුදුරුවන් වදින්න එනකොට මැණික් ගඟෙන් නාලා කහ ගාලා පිරිසුදු වෙලා තමයි දේවාලයට ගියේ. නමුත් අද එන බැතිමතුන්ට ඒකට අවස්ථාවක් නෑ.
කවුරු හරි බැතිමතෙක් රෙදි ටික ගලවලා නාන්න මැණික් ගඟට බැහැලා නැවත ගොඩ එනකොට ඒ මනුස්සයාට දිය ඇඳුම විතරයි.
ගලවපු රෙදි හොරු අරගෙන ගිහින්. අන්තිමට දේවාලේ යනවා වෙනුවට යන්න වෙන්නේ පොලීසියට.
ගඟ අවට රාත්‍රියට තියෙන්නේ දැඩි කරුවලක්. වැඩි වශයෙන් බැතිමතුන් ගැවසෙන තැන්වලවත් ලයිට් දාන්න ඕනෑ. පොදු වැසිකළි පද්ධතිය බැලුවත් ඉතාම අපිරිසුදු මට්ටමකයි තියෙන්නේ. කතරගම කියන්නේ පැය විසිහතර පුරා බැතිමතුන් යන එන සිද්ධස්ථානයක්.
ඒ වගේ තැනකට එන පිරිස වැඩි නිසා බැතිමතුන්ට ප්‍රමාණවත් වැසිකිළි කැසිකිළි පහසුකම් පැය විසිහතර පුරාම තිබිය යුතුයි. එහෙම නැති වුණාම වන්දනාවේ එන පිරිස් සිය අවශ්‍යතාව සඳහා මැණික් ගඟ අයිනට හරි යනවා. ඒක වළක්වන්න බෑ. කතරගම තියෙන පොදු වැසිකිළිය රාත්‍රි අට නවය වෙන කොට ඒක බලා ගන්න කෙනා වහලා දමලා යනවා. භක්තියෙන් දෙවියන් වඳින්න ආවට පුදබිම අවට සිදු වෙන දේවල් දැක්කම භක්තිය අතුරුදන් වෙලා යනවා. අද මැණික් ගං ඉවුර දිගේ විවිධ අපචා සිදු වෙනවා. ගඟේ කිඹුල්ලු ඉන්නවා කියලා බැතිමතුන් බය කරලා තියෙන්නේ. පෙරහර කාලෙට වනජීවියෙන් ඇවිත් මෙහෙයුම් කරලා කිඹුල්ලු අල්ලනවා. කිඹුල්ලු ඉන්නවා කියලා හැමදාම හැම තිස්සේම අනතුරු වෙලා නෑ. කිඹුල්ලු ගැන තරමක අනවශ්‍ය බියක් තමයි ගොඩ නැඟිලා තියෙන්නේ.
එයට හෝටල් හිමියනුත් වගකියන්න ඕනෑ. මොකද අනවශ්‍ය කිඹුල් බියක් ගොඩ නැඟුවම හෝටල්වල තියෙන ස්විමින්පූල්වලට ආදායමක් එනවා. මැණික් ගඟේ පැති බැමි බොහොමයක් කඩා වැටිලා. පොලිතින් අාදියත් ගඟ දෙපස දිනපතා එකතු වෙනවා. පෙරහර සමයට නම් දිනපතා පිරිසිදු කිරීම් වෙනවා.
එච්.ඒ. ඉනෝකා මහත්මිය, “දැන් වැව්වලින් මැණික් ගඟට වතුර හරවලා තියෙනවා. වැව්වලඉන්න කිඹුලන් මැණික් ගග දිගේ පහළට එනවා. කිඹුලන් ගැන කියලා කියලා මිනිස්සු බය වෙලා තියෙන්නේ. දේවාලෙට එන බැතිමතුන් දැන් මැණික් ගඟට එන්නේ නැතිව වාහනවලින්ම දේවාලය ළඟට යනවා. ඉස්සර එහෙම නෙමෙයි තිබුණේ. කතරගම කවුරු ආවත් ඉස්සර වෙලාම ගියේ මැණික් ගඟට. ඒ ගිහින් මුහුණ කට සෝදගෙන පිරිසුදු වෙලා තමයි දේවාලයට ගියේ. දැන් එහෙම නැති නිසා වෙළඳාම් පවා කඩා වැටිලා තියෙන්නේ. ගිහින් බලන්නකෝ ගඟට බහින්න පඩිපෙළවත් හරියට තියේද කියලා.” පැවසීය.
හෙට්ටි ආරච්චිගේ රාජා මහතා, “ඉස්සර මේ පාලම් නෑ. කතරගම වඳින්න ආවා නම් කවුරුත් මේ ගඟෙන් එගොඩ වෙලා තමයි යන්න තිබුණේ. කවුරුත් බොහොම භක්තියෙන් මැණික් ගඟට ගිහින් මුහුණ සෝදලා දේවාලෙට ගියා. දැන් එහෙ ගඟෙන් බැහැලා යන්න ගියොත් මඩේ එරිලා මැරේවි. ඉස්සර ඔය ගගං පතුලේ තිබුණේ සුදු වැල්ල විතරයි. දැන් වැලි කැටයක්වත් නෑ. ගඟ පතුලේ තියෙන්නේ කබොක් ගල් විතරයි. කතරගම ප්‍රාදේශීය සභාව වැඩිම ආදායමක් හොයන ප්‍රාදේශීය සභාවක්. නමුත් පුජා භූමිය අවට නඩත්තුව නම් අන්තිමයි. නාන තොටුපොළට විදුලි ආලෝකය නෑ. එළි වන තුරු ඒ ස්ථාන කරුවලේ.ඉතින් බැතිමතුන් කොහොමද මැණික් ගඟට බහින්නේ. ඒ නිසා බැතිමතුන් හෝටලයේ නැවතිලා හෝටලයෙන්ම නාගෙන කියාගෙන එනවා. තැනින් තැන ඉවුරු කඩා වැටිලා ඒ ස්ථානවල කුණු රොඩු එක්ක වතුර පල් වෙලා පණුවෝ හැදිලා. ලංකාවේ ඉන්න හැම මැති ඇමතිවරවකුම මේ තැනට එනවා. ඒ අය චොපර්වලින් උඩින් ඇවිත් දෙවියන් වැඳලා පුදලා යනවා. බැතිමතුන්ට තියෙන අපහසුතා මේ අයට පේන්නේ නෑ.” පැවසුවේය.
කතරගම දේවාලයේ දෙවියන්ගේ පූජාව සඳහා ද අෂ්ටඵල බෝධිය නෑවීම සඳහා සහ නානුමුරය සඳහා ද ජලය ලබාගන්නේ මැණික් ගඟෙනි. මැණික් ගඟ හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර රැසක්ද පවතින අතර මේ පුජනීය ගංගාව අනාගත පරපුර සඳහා රැකදීම බලධාරීන්ගේ පරම වගකීමකි.