රැකියා සොයන අයට කොරි­යා­වෙන් දෙන පණි­වි­ඩය | සිළුමිණ

රැකියා සොයන අයට කොරි­යා­වෙන් දෙන පණි­වි­ඩය

 

මීට දශක කිහි­ප­ය­කට උඩදී ශ්‍රී ලාංකික තරු­ණ­යන්ගේ ලොකුම හීනය ඉතාලි යෑම ය. බුඩීගේ ‘මිල්ලෙ සොයා’ සිනමා පටයේ කතා වස්තුව වූයේ ද ඒ ඉතාලි සිහි­නය යි. එහෙත් මේ වන විට ඒ සිහින සියල්ල උඩු යටි­කරු වී ගොසිනි. අද ඉතා­ලි­යට යෑමට දඟ­ලන්නේ එහෙ­මත් අයෙකි. ඉතාලි සිහි­නය අද කොරි­යා­වට මාරු වී ගොසිනි.

 

දකුණු කොරි­යාව යනු ආසි­යාවේ වේග­යෙන්ම දියුණු වන ආර්ථි­ක­යක් හිමි රටකි. ශීඝ්‍ර තාක්ෂ­ණික දියු­ණු­වක් සමඟ ඉදි­රි­යට පැමිණි කොරි­යාව, තම ශ්‍රමික වෙළෙ­ඳ­පොළ ලෝක­යට විවෘත කළේ 2004 වසර තරම් ඈතදී ය. කාර්මික නිෂ්පා­දන ආය­ත­න­වල පව­තින උග්‍ර සේවක හිඟය හේතු­වෙන් අග්නි දිග ආසි­යාවේ හා දකුණු ආසි­යාවේ තරුණ පිරිස් රැකියා සඳහා එර­ටට ගෙන්වා ගැනීම එරට රජයේ උප­ක්‍ර­මය විය. ඒ අනුව Employment Permit System (EPS) යනු­වෙන් විශේෂ ක්‍රම­වේ­දය හඳු­න්වා­දුන් අතර එය ඇරඹි 2004 වස­රේ­දීම ඊට ඇතු­ළත් වීමට ශ්‍රී ලංකාව සුදු­සු­කම් ලැබීය. ඒ, දෙරටේ ආණ්ඩු අතර ඇති කර­ගත් විශේෂ අව­බෝ­ධතා ගිවි­සු­මක් යටතේ ය.

 

කොරි­යාවේ ශ්‍රම හිඟය

EPS ක්‍රම­වේ­දය යටතේ ලාංකි­ක­යන් කොරියා රැකියා සඳහා යැවීමේ කට­යුතු භාරව කට­යුතු කරන්නේ බත්ත­ර­මුල්ලේ පිහිටි මෙරට EPS කාර්යා­ල­යයි. එහි දේශීය නියෝ­ජි­තයා ලෙස කට­යුතු කරන කිම් වොන් සියොක් මහතා, පසු­ගි­යදා සිළු­මිණ සමඟ සංවා­ද­යක නිර­ත­වෙ­මින් කොරියා රැකියා සිහි­න­යෙන් පසු වන ලාංකික තරු­ණ­යන් දැන සිටිය යුතු කරුණු රැසක් හෙළි කළේය.

ඔහු පැවසූ අන්ද­මට කොරි­යාවේ නිෂ්පා­දන, ඉදි­කි­රීම්, ධීවර සහ කෘෂි­කර්ම හා සත්ත්ව පාල­නය යන ප්‍රධාන කර්මා­න්ත­ව­ලට අදාළ රැකියා සඳහා විදෙස් ශ්‍රමි­ක­යන් බඳ­වා­ගැ­නීම සිදු­කෙරේ.

“කොරි­යාව තුළ මේ රැකියා ක්ෂේත්‍ර හතරේ විශාල ශ්‍රම හිඟ­යක් පව­ති­නවා. ඒ අනුව අපි ශ්‍රී ලංකාව ඇතුළු ආසි­යානු රට­වල් 16ක් සමඟ EPS සඳහා ගිවි­සුම් අස්සන් කර තිබෙ­නවා. ඒ ශ්‍රම හිඟ­යට හේතුව තමා කොරි­යාවේ ඉන්න ශ්‍රම බළ­කා­යෙන් සිය­යට 70කට වඩා උපාධි තිබෙ­නවා. ඉතින් එයාල සාමාන්‍ය රැකියා අව­ස්ථා­ව­ලින් සෑහී­ම­කට පත්වන්නේ නැහැ. තරුණ පිරිස් තමයි කොරි­යාවේ ආර්ථික සංව­ර්ධ­නයේ කොඳු නාර­ටිය. හැබැයි මේ වෙද්දි තරුණ ජන­ග­හ­න­යත් විශාල ලෙස අඩු වේගෙන යනවා. ගොඩක් පවු­ල්වල ඉන්නේ එක් ළම­යෙක් පම­ණයි. ජන­ග­හන වර්ධ­නයේ අඩු වීමත් වෙනත් රට­ව­ලින් ශ්‍රමය හොයා­ගෙන යෑමට එක් ප්‍රධාන හේතු­වක්” කිම් කතා­බ­හට මුල­පි­රීය.

ශ්‍රී ලංකාව ද ඇතු­ළත්ව නේපා­ලය, තායි­ල­න්තය, ඉන්දු­නී­සි­යාව, මිය­න්මාර්, බංග්ලා­දේ­ශය, චීනය, පිලි­පී­නය, කිරි­ගි­ස්ථා­නය, උස්බෙ­කි­ස්ථා­නය ඇතුළු ආසි­යානු රට­වල් 16න්ම වාර්ෂි­කව කොරියා රැකියා සඳහා බඳ­වා­ගන්නා ප්‍රමා­ණය 56,000කට අධික ය.

සාමා­න්‍ය­යෙන් ලංකා­වෙන් කොරි­යා­වට වාර්ෂි­කව රැකියා සඳහා පිටත්ව යන සංඛ්‍යාව 3,500ක් පමණ වේ. ඒ සඳහා ඉල්ලුම් කරන සංඛ්‍යාව 22,000කට අධික ය.

 

“ලාංකි­කයෝ බුද්ධි­මත්; අවං­කයි”

කොරි­යා­වට මෙන්ම එරට රැකි­යා­ව­ල­ටත් ලාංකි­ක­යන් දක්වන කැමැත්ත සේම ඔවුන්ට කොරි­යා­වෙන් ඇති ඉල්ලුම ද ඉන් හොඳින් පිළි­බිඹු වේ.

“මම දන්නා තර­මට ශ්‍රී ලංකාවේ අය කොරි­යා­වට ගියාට පස්සේ තමන්ගේ උප­රිම හැකි­යා­වෙන් වැඩ කර­නවා. ඒ අය ඉතාම සහ­යෝ­ග­යෙන් වැඩ කරන බුද්ධි­මත් ජන­තා­වක්. ඒ හින්දා කොරියා සමා­ගම් ලාංකි­ක­යන් බඳ­වා­ගන්න සෑහෙන කැම­තියි” කිම් පව­සයි.

“මම ඇත්ත­ටම ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යන්ගේ කිසිම දුර්ව­ල­තා­වක් දකින්නේ නැහැ. එයාලා ඇත්ත­ටම හොඳට මහ­න්සි­වෙලා වැඩ කරන්න පුළු­වන් පිරි­සක්. නමුත් එයා­ලට කොරි­යාවේ දේශ­ගු­ණය නිසා ලොකු බල­පෑ­මක් වෙන බව නම් මම දැකලා තියෙ­නවා. මොකද ලංකාව කියන්නේ ගොඩක් උණු­සුම් දේශ­ගු­ණ­යක් තියෙන රටක්. ඒත් කොරි­යාවේ ඍතු වෙනස් වීම් තියෙ­නවා. විශේ­ෂ­යෙන්ම ශීත කාල­යේදී ඔවුන් ගොඩක් දුෂ්ක­ර­තා­වන්ට මුහුණ දෙන බවක් පේනවා”.

කොරියා රැකියා සඳහා ඉල්ලුම් කිරී­මේදී විශේෂ වෘත්තීය නිපු­ණතා පැව­තීම අත්‍ය­වශ්‍ය නොවුණ ද කොරියා භාෂාව දැන සිටිය යුතුම ය.

කෙසේ වෙතත් ලංකාවේ කොරියා භාෂා ඉගැ­න්වීම ගැන කිම් සෑහී­ම­කට පත් වන්නේ නැත. බොහෝ සිසුන්ට භාෂා ප්‍රවී­ණතා විභා­ග­යෙන් ලකුණු තිබුණ ද ඔවුන්ගේ භාෂා හැකි­යාව ගැන ප්‍රායෝ­ගික ගැට­ලු­වක් ඇති බව කිම්ගේ අද­හ­සයි. ඒ අනුව කොරියා භාෂා ඉගැ­න්වීම් වැඩි­දි­යුණු කිරීමේ අර­මු­ණින් ඉදි­රි­යේදී කොයිකා ආය­ත­නය හා එක්ව ක්‍රියා කිරී­මට ද EPS ආය­ත­නය සැල­සුම් කර තිබේ.

එහෙත් කොරි­යා­වට ගිය පසු භාෂාව අල්ලා­ගැ­නීම ලාංකි­කයෝ හප­න්නුය. “දෙවැනි තුන්වැනි වතා­වට කොරි­යාවේ යන ලාංකි­කයෝ මට වඩා හොඳට කොරි­යන් කතා කර­නවා” කිම් කියන්නේ සිනා­සෙ­මිනි.

 

රක්ෂණ ආව­රණ හත­රක්

මේ අතර EPS ක්‍රම­වේ­දය යටතේ හිමි වන තවත් වාසි­යක් වන්නේ දකුණු කොරි­යා­නු­වන් හෝ ලාංකි­ක­යන් කියා හිමි වන වැටුපේ වෙන­සක් නොති­බී­මයි. එමෙන්ම කොරි­යානු කම්කරු නීති ඉතා ශක්ති­මත් බැවින් ලාංකි­ක­යන්ට හෝ වෙනත් කිසිදු විදෙස් ශ්‍රමි­ක­යෙ­කුට වෙනස් කොට සැල­කී­මක් කිරීමේ හැකි­යා­වක් කොරි­යානු කර්මාන්ත හිමි­යන්ට නැත.

කොරි­යාවේ රැකි­යා­ව­කට යන ලාංකි­ක­යෙ­කුට එක් රක්ෂ­ණා­ව­ර­ණ­යක් නොව රක්ෂ­ණා­ව­රණ හත­ර­කම ප්‍රති­ලාභ භුක්ති විඳී­මට ද ඉඩ­කඩ සැලසේ. එය කොරි­යා­නු­ව­න්ට­වත් හිමි නොවන විදෙස් ශ්‍රමි­ක­යන්ට පම­ණක් එර­ටදී හිමි­වන පහ­සු­ක­මකි.

ඉන් එක් රක්ෂ­ණා­ව­ර­ණ­යක් වන්නේ රැකි­යා­වෙන් ඉව­ත්වන විට හිමි වන විශ්‍රාම සැල­සුම් රක්ෂ­ණා­ව­ර­ණ­යකි. දෙවැන්න වන්නේ මාසික වැටුප නිසි අයු­රින් නිසි දින­යේ­දීම ලබා­ගැ­නීම තහ­වුරු කිරී­මට ඇති රක්ෂ­ණ­යකි. තව ද රැකි­යාව නිමවා ලංකා­වට පැමිණි පසු ද තම කොරි­යානු හාම්පු­තු­ගෙන් යම් මුද­ලක් ලැබී­මට ඇත්නම් එය ලබා­ගැ­නීම සඳහා ද රක්ෂ­ණා­ව­ර­ණ­යක් පවතී. අව­සාන වශ­යෙන් කොරි­යාවේ රැකි­යාව කර­මින් සිටි­යදී ඇති වන වෛද්‍ය ප්‍රති­කාර ආදිය වෙනු­වෙන් පව­තින සෞඛ්‍ය රක්ෂ­ණා­ව­ර­ණ­යක් ද ඔවු­නට හිමි වේ.

මේ රක්ෂ­ණා­ව­රණ සම්බ­න්ධව ඇති තවත් අපූරු වර­ප්‍ර­සා­ද­යක් වන්නේ එරට සිටි­යදී මින් කුමන හෝ රක්ෂ­ණා­ව­ර­ණ­ය­කට අදාළ ප්‍රති­ලාභ ලබා­ගැ­නීම අත­පසු වුව­හොත් ලංකා­වට පැමිණි පසු ද මාස තුනක් ඇතු­ළත අදාළ රක්ෂණ හිමි­කම් ලබා­ගැ­නී­මට ඇති පහ­සු­ක­මයි.

“එහේ කාර්මික නිෂ්පා­දන අංශයේ සහ ඉදි­කි­රීම් අංශයේ රැකි­යා­ව­ලට ගිය අය ඉතා හොඳ ජීවි­ත­යක් ගත කර­නවා. හොඳ වැටු­ප­කුත් ලබ­නවා. නමුත් ධීවර කර්මා­න්තයේ රැකි­යා­ව­ලට ගිය අයට ඒ ජීවි­තේට හුරු වෙන්න ටිකක් අමා­රුයි. ධීවර අංශය තමයි රැකියා ලබා­ගන්න ලේසිම ක්ෂේත්‍රය. ඒත් ඒ රැකි­යා­ව­ලට යන ගොඩක් අය ලංකාවේ කව­දා­වත් ධීවර රැකි­යාව කරපු අය නෙමෙයි” කිම් පෙන්වා දෙයි.

එසේ වුවද කොරි­යාවේ රැකි­යා­වක් කිරී­මට තිබෙන අධික වුව­ම­නාව නිසාම ඔවුහු ධීවර අංශයේ රැකි­යා­ව­කට ඉල්ලුම් කර කොරියා යති. නමුත් අව­සා­න­යේදී ඔවුන්ට සිදු වන්නේ කෙසේ හෝ වෙනත් අංශ­යක රැකි­යා­වක් සොයා­ගැ­නී­මට ය. එය කොරි­යාව තුළ ඔවුන් සොයා යන ජීවි­තය අසා­ර්ථක වීමට බල­පාන අත­රම ඔවුන්ට රැකියා ලබා­දුන් කොරි­යානු ආය­තන ද අසී­රු­තා­වට පත් වීමකි.

කොරි­යානු රජය මෑත­කදී හඳුන්වා දුන් නීති රීති මාලාව අනුව එර­ටදී සති­ය­කට වැඩ කළ යුතු පැය ගණන 52කි. ඒ අනුව සතියේ දින පහ තුළ තමන්ගේ රාජ­කාරි හරි­හැටි ඉටු කිරී­ම­ටත් අන­තු­රුව එළැ­ඹෙන සති අන්ත­යේදී පබ් එක­කට ගොස් හොඳින් විනෝද වීම­ටත් ශ්‍රමි­ක­යන්ට අව­කාශ උදා වේ.

“විදේ­ශි­ක­යෙක්ට කොරි­යාවේ ජීවත් වෙන එක එච්චර අමාරු නැහැ. එකම දේ කොරි­යානු භාෂාව ගැන තර­මක අව­බෝ­ධ­යක් තිබීම අත්‍ය­ව­ශ්‍යයි. එහෙම නැතුව කොරි­යා­නුවෝ එක්ක අද­හස් හුව­මාරු කර­ගන්න, හිත­වත් වෙන්න විදි­හක් නැහැ. ඒ වගේ කොරි­යානු සංස්කෘ­ති­යට ගරු කිරී­මත් අපි බලා­පො­රොත්තු වෙනවා” කිම් කීය.

 

අවම වැටුප රුපි­යල් දෙලක්ෂ හැට­ප­න්ද­හ­සක්

ශ්‍රී ලංකාවේ EPS කාර්යා­ලයේ මෙහෙ­ය­වී­මෙන් මේ වන විට දිව­යින පුරා විසිරී සිටින තරුණ පිරි­ස්ව­ලට කොරියා රැකියා පිළි­බඳ තොර­තුරු ගෙන යෑමේ සම්ම­න්ත්‍රණ මාලා­වක් සංවි­ධා­නය වෙමින් තිබේ. ඒ යටතේ ගාල්ල, මාතර සහ තංගල්ල මෙන්ම වවු­නි­යාව, පොලො­න්න­රුව හා ත්‍රිකු­ණා­ම­ලය වැනි ප්‍රදේශ කරාත් කොරි­යානු රැකියා ලබා­ගන්නා ආකා­රය ගැන සමා­ජය දැනු­වත් වී තිබේ. මේ කට­යුතු සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යං­ශ­යෙන් ද ඔවු­නට විශාල සහා­යක් ලැබී තිබේ.

“ලංකාවේ ශ්‍රමි­ක­යන්ගේ පළමු තේරීම කොරි­යාව බව මම අහල තියෙ­නවා. ඒකට ප්‍රධා­නම හේතුව හොඳ වැටුප් හිමි වීම වෙන්න ඕනෙ” කිම් සඳ­හන් කළේය.

ඔහු පව­සන ආකා­ර­යට දකුණු කොරි­යාවේ සේවය කරා යන ශ්‍රමි­ක­යෙ­කුට හිමි වන අවම වැටුප අමෙ­රි­කානු ඩොලර් 1,500ත් 2,000ත් අතර ප්‍රමා­ණ­යක් (ශ්‍රී ලංකා රුපි­යල් 265,000ත් 350,000ත් අතර අග­යක්) ගනී.

“ලංකාවේ EPS මධ්‍ය­ස්ථා­නයේ අධ්‍ය­ක්ෂ­ව­රයා විදි­හට මම ඇත්ත­ටම කැමැ­තියි ලංකා­වට දෙන රැකියා ප්‍රමා­ණය තවත් වැඩි කරන්න. මම ලංකා­වට ඇවිත් තවම මාස 10යි. ඒ කාලය තුළ ලංකාවේ මිනිස්සු ගොඩක් බුද්ධි­මත් අවංක මිනිස්සු පිරි­සක් කියලා මට තේරුණා. ඔවුන් හැම වේලා­වෙම හිනා­වුණු මුහු­ණින් ඉන්නෙ. හැබැයි ඉතින් රැකියා අවස්ථා ප්‍රමා­ණය ගැන තීර­ණය කරන්නේ කොරි­යානු රජ­යට අනු­බද්ධ කමි­ටු­ව­කි­නුයි” කිම් පැව­සීය.

 

සේයාරුව - දුෂ්මන්ත මායා­දුන්නේ

Comments