මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන් ආරක්ෂිතව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ හොඳම මඟ ලෙස දැන් යොදාගන්නේ අධිවේගී මාර්ගයි. මාකඳුරේ මධුෂ්ගේ හොඳම ගෝලයෙකු වන කැවුමා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු හෙළි කර සිටියේ අධිවේගී මාර්ගය ඔස්සේ කිලෝ සිය ගණනින් තමන් දකුණේ සිට කොළඹට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවකි. මත්කුඩු අධිවේගී මඟ ඔස්සේ ඔහු රැගෙන ආවේ කෝටියකට එහා වටිනාකමක් ඇති මිල අධික සුභෝපභෝගී වාහනවලිනි. එවැනි වාහන කුඩු ප්‍රවාහනයට යොදාගන්නේ එවන් වාහන නතර කර පරීක්ෂා කරන්නට බොහෝ පොලිස් නිලධාරීන්ට හයියක් නැති කම නිසාය. ඩිපෙන්ඩර්ද මත්කුඩු ප්‍රවාහනයට යොදාගන්නා අවස්ථා බොහෝය.
කැවුමා දකුණේ සිට කොළඹට ප්‍රවාහනය කළේ මධුෂ් ඩුබායි සිටින වකවානුවේදී ඔහුගේ මෙහෙයැවීමෙන් පාකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවලින් සහ කුඩා නෞකාවලින් මිරිස්සෙන් සහ දෙවුන්දරින් ගොඩබාන ලද මත්කුඩුය. වරක් ඔහු මත්කුඩු තොගයක් කොළඹට ප්‍රවාහනය කර තිබුණේ සුඛෝපභෝගී බස් රථයක සඟවාගෙනය. බස් රථයට ඉදිරියෙන් ඔහු ඩිපෙන්ඩරයකින් ගමන් කර තිබුණේ බස් රථයට ආරක්ෂාව ලබාදෙමින් ගමන් කරන ආකාරයටය. ඒ, පොලිසිය එවන් වාහනද පරීක්ෂා කරන්නට යන්නේ නැති බව කැවුමා දැන සිටි බැවිනි.
හැම ජාවාරම්කරුවෙකුම සිය ජාවරම් සඳහා වැඩි වශයෙන් යොදා ගන්නේ රාත්‍රී කාලයයි. මත්කුඩු ජාවාරම්කරුවන් රාත්‍රියට තම ජාවාරම යොදාගැනීමට විශේෂ හේතුවක් තිබේ. මත්කුඩු ජවාරම්කරුවන් වැඩි පිරිසක් දැන් ඔවුන්ගේ සුඛෝපභෝගී මෝටර් රථවල ඉදිරිපස වීදුරුවේ වී.අයි.පී. ලයිට් යැයි පොදුවේ හඳුන්වනු ලබන රතු සහ නිල් පැහැති නිවෙන දැල්වෙන විදුලි බුබුළුවලින් සමන්විත පද්ධතියක් සවි කර තිබේ. රාත්‍රී කාලයට ඔවුන් ගමන් කරන්නේ එම විදුලි බල්බ දල්වාගෙනය. අපේ රටේ බලයක් ඇති දේශපාලනඥයන් මෙන්ම ප්‍රභුවරුන් යැයි සැලකෙන වැඩි දෙනෙකු ගමන් කරන්නේ ඒ ආකාරයේ විදුලි බුබුළු පද්ධති සවි කරගෙනය. එබැවින් පොලිසිය එවැනි වාහනවලට අත දමා නතර කරන්නට තබා ඒ ගැන සිතන්නේවත් නැත. වැරදිලාවත් පොලිස් අතක් එම වාහනවලට දැමුවාට ඒවා නතර කෙරෙන්නේද නැත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් “වී.අයි.පී. පහන්” දල්වාගෙන මත්කුඩු ප්‍රවාහනය කරන්නේ ඒ බව දැනගෙනය.
එසේ තමන්ට අයත් සුඛෝපභෝගී ජිප් රථයෙන් කොළඹ වටේටම මත්කුඩු බෙදූ අංක එකේ ජවාරම්කරුවෙකු සහ ඔහුගේ ගෝලයෙකු මත්කුඩු තොගයක් සමඟ පොලීසියට කොටු වන්නේ ඉකුත් 07 වැනිදාය. ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිටවුමේදීය. ජිප් රථයේ තිබෙන්නේ සුළුපටු මත්කුඩු ප්‍රමාණයක් නොව කිලෝ 50කි. වෙළඳ පොළ වටිනාකමට අනුව එම හොරොයින්වල වටිනාකම රුපියල් කෝටි සියයකට කිට්ටුය. එය හසු වන්නේ අධිවේගී මාර්ග රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල් ලංකාජීව (61760)ගේ උකුසු ඇසටය.
කොස්තාපල් ලංකාජීව
අධීවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ අතුරුගිරිය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ඒ.ඩී. චන්දන ඉකුත් 07 වැනිදා පෙරවරුවේ අතුරුගිරිය පිටවුමේ රාජකාරි සඳහා යොදවන්නේ ලංකාජීව (61760) නැමැති කොස්තාපල්වරයාය. තිස්පස් වියැති ලංකාජීව දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාජකාරිවල නිරතව සිට ඇති අතර අධිවේගී රථවාහන අංශයට එක් වී ඇත්තේ 2015 වසරේදීය. අතුරුගිරිය ඒකකයේ සේවයට ඔහු අනුයුක්ත කරන්නේ වසර එකහාමාරකට පමණ ඉහතදීය.
කොස්තාපල් ලංකාජීව එදින උදෑසන සිටම සේවයේ නිරත වී සිටියේ කඩවත සිට පැමිණෙන වාහන පිට වන දොරටුවේය. එදාත් ඔහු සුපුරුදු ලෙස පිටවුමෙන් එළියට එන වාහන අහඹු ලෙස පරික්ෂා කරමින් සිටියේය. එම අහඹු පරීක්ෂාවන්වලදී රියදුරු බලපත්‍ර නැති රියදුරන් කොතෙකුත් හසු වී තිබිණි. වැඩි හරියක් හසු වන්නේ සුඛෝපභෝගී වාහන රියැදුරෝය. එබැවින් වැඩි වශයෙන් ඔහුගේ ඉලක්කය වූයේ සුඛෝපභෝගී වාහනය.
වේලාව පෙරවරු 11.24ට පමණ ඇත. කඩවත දෙසින් පැමිණ පිටවුමෙන් එළියට යන්නට සූදානම් වූ සී.ඒ.ඩබ්ලිව්.1789 අංකය දරන සුදු පැහැති ලෑන්ඩ් කෘෘෂර් රථය ලංකාජීවගේ අවධානය අහඹු ලෙස යොමු වන තවත් එක් වාහනයකි. රියැදුරුගේ අමුතු බැල්ම ලංකාජීවට එතරම් ඇල්ලුවේ නැත. ගාස්තු අය කිරීම්වලින් පසු ප්‍රාඩෝ රථය අයිනකට කර නතර කරන්නැයි ලංකාජීව සංඥාවක් කරන්නේ එම සැකය මුල් කරගෙනය. ඒත් එක්කම රියැදුරු අසුනට යාබද අසුනේ රැඳී සිටි තරුණයාගේ මුහුණේ ඉරියව් වෙනස් වන අයුරු ද ලංකාජීව දුටුවේය.
“මහත්තයා කොහේ ඉඳන්ද එන්නේ.“ ලංකාජීව රියැදුරාගෙන් විමසුවේය.
“කඩවත ඉඳන්“ රියැදුරා කීය.
“ලයිෂන් ඉන්ෂුරන් දෙන්නකෝ“ ඒත් එක්කම රියැදුරු බලපත්‍රය සහ රක්ෂණ සහතිකය රියැදුරාගෙන් ඉල්ලුවේ සුපුරුදු පරීක්ෂාවකටය.
“ආ මෙන්න“ ඉල්ලූ සැණින්ම ලංකාජීව අතට රථයේ සියලුම ලියැකියවිලි පත් කරමින් රියැදුරා අමුතු විදිහට මෝටර් රථය පිටුපස ආසන වෙත බැල්මක් හෙළුවේය. ඒ බැල්ම ලංකාජීවට ගෙන දුන්නේ දැඩි සැකයකි. ඇතුළත නොපෙනෙන තරමට කළු පැහැ ගන්වා තිබුණු වීදුරු අතරින් ලංකාජීව රථයේ පිටුපස ආසන වෙත සිය තියුණු බැල්ම යොමු කළේය. එවිට ඔහු දකින්නේ ආසන හකුළා ඒ මත තබා තිබුණු පොහොර උර දෙකකි.
“ඇතුළේ මොනවාද තියෙන්නේ“ ලංකාජීව ප්‍රශ්න කරන්නේ එම ගෝනිවල පුරවා ඇත්තේ කුමක්දැයි සැකහැර දැනගන්නටය.
“දානෙකට බඩු වගයක් “ පැකිළීමකින් තොරව ඔහු උත්තර දුන්නේය.
ඇති වන කුතුහලය නිසා ලංකාජීව තීරණය කරන්නේ එම ගෝනි දෙක පරීක්ෂා කරන්නටය.
“පිටිපස්සේ දොර පොඩ්ඩක් අරින්න “ ලංකාජීව කියනවාත් එක්කම රියැදුරු මෝටර් රථයෙන් එළියට ඇවිත් “රාලහාමි ඇත්තම කියනවා නම් මේ ගෝනිවල තියෙන්නේ දානෙක බඩු නෙමෙයි, කේ.ජී. අපට යන්න දෙන්න. රාලහාමිටත් සලකන්නම්“ කීවේ පොලිසියේ ඇතැම් නිලධාරීන් මෙන් ලංකාජීවත් මුදලට ගැනීමට හැකි වේ යැයි සිතාගෙනය.
ඒත් එක්කම ලංකාජීව සිය රාජකාරි රිවොල්වරය අතට ගත්තේය. එය රියදුරු දෙසට එල්ල කරමින් වාහනයේ යතුර සියතට ගත්තේය. ඒත් එක්කම වෝකිටෝකියෙන් ඔහු ස්ථානාධිපති චන්දනට දැනුම් දෙන්නේ ඉක්මනින්ම පිටවුම අසලට එන ලෙසය.
ඒ වන විට පොලිස් ස්ථානාධිපති චන්දන රැඳී සිටින්නේ මුරපොළේය. පිටවුමේ සිට මුරපොළට ඇත්තේ ඇවිද යන තරමේ දුරකි. ලංකාජීවගේ පණිවිඩය ලද සැණින් ඔහු නිලධාරීන් කිහිප දෙනෙක් සමඟ දුව එන්නේ, හදිසියකට මිස වෝකිටෝවෙන් කතා කර තමන්ට ඉක්මනින්ම එන්නැයි පහළ නිලධාරීන් නොකියන බව දැන සිටි නිසාය.
චන්දන එහි එන විටත් ලංකාජීව සිටින්නේ රියැදුරා දෙසට රිවෝල්වරය එල්ල කරමිනි. “මොකෝ ලංකාජීව. “ ඈත තියාම චන්දන විමසන්නේ දුටු දෙයින්ම ඇති වී තිබෙන බරපතළ තත්ත්වය වටහාගෙනය.
“සර් වාහනේ කේරල ගංජා ගෝනි දෙකක් තියෙනවා“ ලංකාජීව කීවේය.
“කේරල ගංජා“ එසේ පවසමින් ස්ථානාධිපති චන්දන මෝටර් රථයේ පිටුපස දොර විවර කර පොහොර උර දෙක පරීක්ෂා කළේය. කේරල ගංජා වෙනුවට එම ගෝනි දෙකෙන් හෙරොයින් මතු වන්නේ එවිටය. ගෝනි දෙකේ පුරවා තිබෙන්නේ කිලෝ එකේ හෙරොයින් පැකට්ය. පැකට් පනහක් එම උර දෙකේ ඇතැයි පෙනී යන්නේ රියැදුරාත් ඔහු සමග රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයාත් අත්අඩංගුවට ගැනීමෙන් පසුව කළ ගණනය කිරීම්වලදීය
ජාවාරමුන්ගේ පැටිකිරිය
රියැදුරාගෙත් ඔහුගේ සහායකයාගේත් පැටිකිරිය හෙළි වන්නේ ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරයට පත් වීමත් සමඟිනි. ඊට අනුව ඔවුන් දෙදෙනා එසේ මෙසේ අය නොව, කොළඹටම මත්කුඩු බෙදන ජාවාරමේ ප්‍රධාන පුරුක් දෙකකි. රියැදුරු අසුනේ සිටියේ පැල්ලවත්ත ගමගේ චමින්ද දිල්රුක් හෙවත් පොඩි සුදූය. තිස් අට වියැති ඔහු පොලිසිය හඳුන්වන්නේ පරයි සුදූ කියාය. ඒ ඔහු පරවි පිස්සෙකු වන බැවිනි. අනෙකා මංගල සිසිර කුමාරය. තිස් අට වියැති ඔහු උඩහමුල්ලේ සමඟි මාවතේය.
පොඩි සුදූගේ ගුබ්බෑයම පිහිටා ඇත්තේ බොරැල්ල වනාතමුල්ලේ පිහිටි සරවනමුත්තු ක්‍රීඩාංගණය ආසන්නයේය. ක්‍රීඩාංගණයට යාබදව බේස්ලයින් ඇළට මායිම්ව ඇති තෙමහල් සුවිසල් නිවසේ හිමිකරු ඔහුය. මුල් කාලයේ එම නිවසේ ඔහු පදිංචිව සිටියත් දැන් එය වෙන්ව ඇත්තේ ගුවන් හමුදාවේ සහ කොළඹ රෝහල්වල සේවයේ නිරත රජයේ සේවකයන්ගේ බෝඩිමක් ලෙසිනි.
පොඩි සුදූ එහි පදිංචිව නොසිටියත් පොදු කටයුතුවලදී වියපැහැදම් කරන්නේ ලෝබ නැතිවය. සෙසු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන් ඔහු පාතාලයෙක්ද නොවීය. ඔහුගේ නම ඉදිරියේ මිනිස් ඝාතන කොල්ලකෑම් කප්පම් ගැනීම් මෙන්ම තර්ජනය කිරීම්ද පොලිස්පොත්වල ලියැවී ඇති බවක් සොයාගන්නට නැත. අවසන් වරට ඔහු සිය ගුබ්බෑයමට එන්නේ අත්අඩංගුවට ගැනීමට සති දෙකකට පමණ පෙරය. ඒ එන්නේද අසල්වැසි නිවසක මළ ගෙදරකටය. දිනක් දෙකක් එහි ගත කරන ඔහු නැති බැරි කිහිප දෙනෙකුටම අතමිට මොළවා තිබුණේ දහසේ නෝට්ටු මිටිවලිනි. මත්කුඩු පානයට ඇබ්බැහි වූවන්ටද ඔහු ඒ ගමනේදි සලකන්නට අමතක කර නොතිබිණි. දහසේ නෝට්ටු ඒ අය වෙනුවෙන් ඔහු විසි කරන්නේ නිවසේ තෙවැනි මහලේ බැල්කෙනියේ සිටය. මත්කුඩු පානයට ඇබ්බැහි වී සිටියවුන් එදා දහසේ නෝට්ටු අහුලා ඇත්තේ පොරකමිනි. ඉන් පොඩි සුදූ ලබා ඇත්තේ සියුම් වින්දනයකි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ තොරතුරු සඳහන් කරන ආකාරයට පොඩි සුදූ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් වන්නේ පළමු වතාවට නොවේ. ඔහු හය හත් වතාවක්ම පොලීසියට කොටු වී ඇත. පොලිස් මත්ද්‍රව්‍ය කර්යාංශය වරක් ඔහු අත්අඩංගුවට ගන්නේ කිලෝ එකහමාරක් පමණ බරැති හෙරොයින් තොගයක් සමඟිනි. තවත් වරෙක බොරැල්ල පොලීසිය ඔහුගේ යැයි සඳහන් හෙරොයින් කිලෝ 10 ක් අත්අඩංගුවට ගත්තේය. ඒ ඔහුගේ ගෝලබාලයන් බව සඳහන් කිහිප දෙනෙකු සමඟිනි. මෙවර ඔහු අත්අඩංගුවට ගන්නේ හෙරොයින් කිලෝ 50ක් සමඟිනි. ඒ ජාවාරම කරන්නේ ඔහු ඇප මත සිටියදීය.
කුඩු තොගය කාගෙද?
පෙනී යන ආකාරයට පොඩි සුදූට මෙවර නම් ගැලවිල්ලක් නැත. එම හෙරොයින් තොගය පිකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ කුඩා නෞකාවකින් මෑතකදී මෙරටට රැගෙන ආ බව කියන හෙරොයින් කිලෝ පන්සීයෙන් කොටසක්දැයි ඇත්තේ සැකයකි. එම හෙරොයින් කිලෝ 500 ගැන ඇස ගසාගෙන සිටියේ පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරීහුය. මෙතෙක් ඉතිහාසයේ වැඩිම හොරොයින් තොගයක් අල්ලාගෙන ඇත්තේද පොලිස් විශේෂ කාර්ය බළකාය විසිනි. එම ප්‍රමාණය කිලෝ 2000කට ආසන්නය. ඒ සා විශාල හෙරොයින් තොගයක් විශේෂ කාර්ය බළකාය අල්ලාගන්නේ පසුගිය වසරේ අග භාගයේත් මේ වසරේ මුල්භාගයේත් මාස තුනක් වැනි කෙටි කාලයක් තුළය. ඒ කිලෝ දෙතුන් සියය එකවර අල්ලමිනි. ඒ නිසා ග්‍රෑම් එකක් රුපියල් 8000 කට තිබුණු හෙරොයින් මිල රුපියල් 24000 දක්වා ඉහළ ගියේය.
ඒ තත්ත්වය එක වරම වෙනස් වන්නේ පාකිස්තානයේ සිට මෙරටට හෙරොයින් කිලෝ 500ක් එකවර රැගෙන ඒමත් සමඟිනි. දැන් හෙරොයින් ග්‍රෑම් එකේ මිල අඩු වී ඇත්තේ රුපියල් 8000ටත් අඩු ගණනකටය. විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලැබී ඇති තොරතුරුවලට අනුව එම හෙරොයින් තොගය මෙරටට එවා ඇත්තේ මුජහිඩ් නැමැති ශ්‍රී ලංකීය අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුය. මෙරට දේශපාලනඥයන් සමඟද කාලයක් ඉතා කිට්ටු සම්බන්ධකම් පැවැත්වූ මුජහිඩ් දැන් සිටින්නේ ඩුබායිහිය. ජගත් පොලිසියේ රතු නිවේදනලාභියෙකු වන ඔහු යුරෝපයට පවා මත්කුඩු බෙදා හරින්නෙකි. මෙරට සිට ඔහු මත්කුඩු යුරෝපයට යැව්වේ සිලෝන් ටී නාමයෙනි.
මුජහිඩ් විසින් මෙරටට එවන ලද එම මත්කුඩු තොගය රටපුරා බෙදා හැර ඇත්තේ නියෝජිතයන් කිහිප දෙනෙකු මඟිනි. එක් නියෝජිතයෙකු වන්නේ කඹුරුපිටියේ ඉන්දිකය. පොඩි සුදූට හෙරොයින් දෙන්නේ ඔහුය. අතුරුගිරියේදී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 50ක ප්‍රමාණයද පොඩි සුදූට දී ඇත්තේ ඉන්දිකය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරන ආකාරයට ඉන්දික සිටින්නේ බන්ධනාගාරගතවය. ඒ මත්කුඩු චෝදනාවකට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලබාය. බන්ධනාගාරයේ රැඳෙමින් ඔහු තවදුරටත් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින්නේ එම දඬුවම ප්‍රමාණවත් නොවන නිසා වන්නට පුළුවන.
පොඩි සුදූගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළි වී ඇති ආකාරයට පොහොර උර දෙකක ඇසුරූ එම මත්කුඩු තොගය ඔහු අතට පත් වී ඇත්තේ කඩවතදීය. ඉන්දික ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව කඩවත-රාගම පාරේ යම් ස්ථානයකට යන ඔහුට එම මත්කුඩු තොගය ලබාදී ඇත්තේ තවත් වාහනයකින් පැමිණි අයෙකි. ඔහු කවුරුන්දැයි පොඩි සුදූ දැන හඳුනන්නේ නැත. එහෙත් ඔහු ඒ වාහනේ හැඩ රුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් හමුවේ පවසන්නේ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් උත්සාහ දරමින් සිටින්නේ ඒ ඔස්සේ එම වාහනය හඳුනාගන්නටය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විශ්වාස කරන්නේ ඉන් මෙතෙක් හෙළි නොවූ බොහෝ තොරතුරු හෙළි කර ගැනීමට හැකි වනු ඇතැයි කියාය.