1947 දී දවස් 19ක් පුරා පැවැත්වූ ලංකාවේ ප්‍රථම පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය | සිළුමිණ

1947 දී දවස් 19ක් පුරා පැවැත්වූ ලංකාවේ ප්‍රථම පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය

මෙරට පාර්ලි­මේන්තු මැති­ව­රණ ඉති­හා­සයේ පළමු තීර­ණා­ත්මක මහා මැති­ව­ර­ණය පව­ත්වනු ලැබුවේ 1947 දී ය. ඒ 1948 පෙබ­ර­වාරි 04 දින මෙර­ටට ඩොමි­නි­යන් තත්ත්වයේ නිද­හ­සක් බ්‍රිතාන්‍ය අධි­රා­ජ්‍ය­යෙන් හිමි වීමට ද පෙර දී ය. 1944 දී මෙර­ටට සුදුසු ආණ්ඩු­ක්‍ර­ම­යක් පිළි­බඳ සොයා බලා වාර්තා කිරීම සඳහා එව­කට එංග­ල­න්තයේ කොන්ස­වේ­ටිව් ආණ්ඩුවේ අමා­ත්‍ය­ව­ර­යකු වූ ශ්‍රීමත් සෝල්බරි සාමිගේ නාය­ක­ත්ව­යෙන් යුක්ත වූ ත්‍රිපු­ද්ගල කමි­ටු­වක් ලක්දි­වට සම්ප්‍රාප්ත වූයේ ය.

 

1944 දෙසැ­ම්බර් මස සිට 1945 අප්‍රේල් මස 9 දින තෙක් මෙරට රැඳී සිටි එම කමි­ටු­වට සිංහල නාය­ක­යන්ගේ අද­හස් ලබා­ගැ­නී­මට නොපු­ළු­වන් වුව ද සුළු ජාතීන් නියෝ­ජ­නය කළ පක්ෂ­වල නාය­කයෝ බොහෝ දෙනෙක් තම අද­හස් හා දුක්ගැ­න­විලි ඉදි­රි­පත් කිරී­මට උනන්දු වූහ. රටේ විවිධ ප්‍රදේ­ශ­වල චාරිකා කිරී­මෙන් අන­තු­රුව මෙරට සමාජ සංවි­ධාන හා පොදු ජන­යාගේ දේශ­පා­ලන පරි­ණ­ත­භව පිළි­බඳ අද­හ­සක් ලබා­ගත් කමි­ටුව, එව­කට මෙරට මන්ත්‍රණ සභාවේ සභා­නා­ය­කයා ලෙස කට­යුතු කළ ඩී. එස්. සේනා­නා­යක මහතා ඉදි­රි­පත් කළ අද­හස් පිළි­බඳ දැඩි අව­ධා­න­යක් යොමු කළේය. 1945 සැප්තැ­ම්බර් මස ප්‍රසි­ද්ධි­යට පත් කළ සෝල්බරි කමි­ටුවේ නිර්දේශ මත 1947 වසරේ දී මෙරට පැවැත්වූ පළමු පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට අවශ්‍ය මූලික නෛතික රාමුව සකසා ගන්නා ලද්දේ ය.

පාර්ලි­මේන්තු මන්ත්‍රී­ධුර 95කට මහ­ජන නියෝ­ජි­ත­යන් තෝරා­ගැ­නීම සඳහා 1947 අගෝස්තු මස 23 දින සිට සැප්තැ­ම්බර් 20 වන දින දක්වා, දින 19 පුරා පැවැති එම මැති­ව­ර­ණය මෙරට දේශ­පා­ල­න­ඥ­යන්ට, දේශ­පා­ලන පක්ෂ­ව­ලට මෙන්ම ඡන්දය දීමට සුදු­සු­කම් ලැබූ ජන­තා­වට ද නුහුරු අත්දැ­කී­මක් වූයේ ය. දේශ­පා­ලන පක්ෂ ක්‍රමය මුල්බැ­ස­ගෙන නොතිබූ එකල මෙරට පළමු පාර්ලි­මේන්තු මැති­ව­ර­ණ­යට තරග කිරී­මට ස්වාධීන අපේ­ක්ෂ­ක­යන් 182ක් ඉදි­රි­පත් වීම ද මතු වී පෙනෙන කරු­ණකි. තම ජාතිය, කුලය, ආගම නියෝ­ජ­නය කළ මැති­ව­රණ අපේ­ක්ෂ­ක­යන් කෙරෙහි ජන­තාව තුළ පැවැ­තියේ දැඩි අව­ධා­න­යකි. සංවි­ධා­නා­ත්මක දේශ­පා­ලන පක්ෂ අත­රින් ප්‍රධාන වූයේ ඩී. එස්. සේනා­නා­යක මහතා විසින් 1946 සැප්තැ­ම්බර් මස 06 දින පිහි­ටු­වා­ගත් එක්සත් ජාතික පක්ෂ­යයි.

දක්ෂි­ණාං­ශික දේශ­පා­ලන මත­ධාරී පක්ෂ රාශි­යක් එම අභි­නව දේශ­පා­ලන පක්ෂයේ කොට­ස්ක­රුවෝ වූහ. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩා­ර­නා­යක මහ­තාගේ සිංහල මහා සභාව, ලංකා ජාතික සභාව, මුස්ලිම් සංග­මය හා ලංකා යෝනක සංග­මය එක්සත් ජාතික පක්ෂය බිහි කිරී­මට මුල් වූ ප්‍රධාන දේශ­පා­ලන සංවි­ධා­නයෝ වූහ. වතු­ක­රයේ වාසය කළ ඇතැම් ඉන්දි­යා­නු­වන් හා උතුරේ ධන­වත් ද්‍රවි­ඩ­ය­න්ගෙන් ද එම පක්ෂය වර්ධ­නය වූයේ ය. එක්සත් ජාතික පක්ෂයේ නාය­ක­ත්ව­යට ඩී. එස්. සේනා­නා­යක මහතා නිත­ර­ග­යෙන් පත් වූයේ ඒ මහතා කෙරෙහි මෙරට ජන­තාව තුළ පැවැති පිළි­ගැ­නීම නිසාය.

මෙර­ටට ස්වාධීන පාලන ව්‍යූහ­යක් ලබා­ගැ­නීම සඳහා බ්‍රිතාන්‍ය රජය සමඟ දීර්ඝ කාල­යක් කට­යුතු කළ එතුමා අත්පත් කොට­ගෙන තුබූ ඇතැම් ජය­ග්‍ර­හණ ද මෙරට උගත් ජන­තා­වගේ ප්‍රසා­දය පිණිස වූයේ ය. එංග­ල­න්තයේ අධ්‍යා­ප­නය ලබා මෙර­ටට පැමිණි, වාමාං­ශික දේශ­පා­ලන අද­හ­ස්ව­ලින් පෝෂ­ණය වූ එන්. එම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණ­ව­ර්ධන වැනි අය 1935 දෙසැ­ම්බර් 18 වන දින පිහි­ටු­වා­ගෙන තුබූ ලංකා සම­ස­මාජ පක්ෂය ද ඒ යුගය වන විට මෙරට ජන­තාව අතර අව­ධා­න­යට ලක් වූ දේශ­පා­ලන ව්‍යාපා­ර­යක් වූයේ ය. උතුරේ සාමාන්‍ය ද්‍රවිඩ ජන­තා­ව­ගෙන් කොට­සක් එක්සත් ජාතික පක්ෂය වටා එක්රොක් වූ අතර අනෙක් කොටස ජාති­වාදී අද­හස් දැරූ ද්‍රවිඩ සංග­මයේ දේශ­පා­ලන දර්ශ­න­යට පක්ෂ­පාතී වූයේ ය. උඩ­රට වතු­ක­රයේ බහු­තර ජන­තාව ලංකා ඉන්දි­යානු සංග­මයේ දේශ­පා­ලන චින්ත­න­යට නැඹුරු වූයේ ජාති­වා­ද­යට මුල් තැන දීම නිසා ය.

ලංකා පාර්ලි­මේන්තු මැති­ව­රණ දෙපා­ර්ත­මේ­න්තුව සංවි­ධා­නය කළ 1947 පළමු පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය අගෝස්තු මාසයේ 23, 25, 27, 28 සය 30 යන දින පහේ දී ද සැප්තැ­ම්බර් මාසයේ 1, 4, 6, 8, 9, 10, 11, 13, 15, 16, 17, 18, 20 යන දින දාහ­තර තුළ දී ද පව­ත්වන ලද්දේ ය. එම ඓති­හා­සික මැති­ව­ර­ණ­යෙන් වැඩිම මන්ත්‍රී ආසන සංඛ්‍යා­වක් දිනා ගැනී­මට සමත් වූයේ ඩී. එස්. සේනා­නා­යක මහ­තාගේ නාය­ක­ත්ව­යෙන් තරග කළ එක්සත් ජාතික පක්ෂ­යයි. එම පක්ෂ­යට හිමි වූ පාර්ලි­මේන්තු සමස්ත ආසන අනූ පහෙන් අඩ­කට වඩා වැඩි නොවූ නිසා තනි ආණ්ඩු­වක් පිහි­ටු­වීමේ අව­ස්ථාව එක්සත් ජාතික පක්ෂ­යට අහිමි වූයේ ය.

එහෙත් ස්වාධී­නව තරග කළ අපේ­ක්ෂ­ක­ය­න්ගෙන් 21 දෙනෙකු මෙරට පළමු වන පාර්ලි­මේ­න්තු­වට තේරී පත් වී සිටීම එක්සත් ජාතික පක්ෂ­යට වාසි­දා­යක වූයේ ය. ඔවු­න්ගෙන් බහු­ත­ර­යක් වාමාං­ශික හා ජාති­වාදී පක්ෂ­ව­ලට සහාය පළ කිරී­මට අක­මැති වූ නිසා ආණ්ඩු­වක් පිහි­ටු­වී­මට අවශ්‍ය ඉතිරි ආසන ප්‍රමා­ණය එක්සත් ජාතික පක්ෂ­යට ලබා­ගැ­නී­මට හැකි වන බව එව­කට මෙරට බ්‍රිතාන්‍ය අග්‍රා­ණ්ඩු­කා­ර­ව­රයා වූ ශ්‍රීමත් මන්ක් මේසන් මුවර් මහ­තාට අව­බෝධ වූයේ ය. ආණ්ඩු­කා­ර­ව­ර­යාට මන්ත්‍රීන් හය­දෙ­නෙකු පත් කිරීමේ බල­ත­ලය ද වූ බැවින් ආසන 42ක් දිනූ එක්සත් ජාතික පක්ෂයේ නායක ඩී. එස්. සේනා­නා­යක මහ­තාට 1947.09.24 දින ආණ්ඩු­වක් පිහි­ටු­වී­මට අග්‍රා­ණ්ඩු­කා­ර­තුමා ආරා­ධනා කළේ ය. එම අභි­යෝ­ගා­ත්මක ආරා­ධ­නාව ඩී. එස්. සේනා­නා­යක මහතා පිළි­ගත් බැවින් එදි­නම ඒ මහතා මෙරට පළමු වන අග්‍රා­මා­ත්‍ය­ව­රයා ලෙස අග්‍රා­ණ්ඩු­කා­ර­තුමා විසින් පත්ක­රනු ලැබීය. 1947 මැති­ව­ර­ණයේ අව­සන් ඡන්ද ප්‍රති­ඵ­ලය මෙසේ විය.

 

⚫ එක්සත් ජාතික පක්ෂය -  දිනා­ගත් මන්ත්‍රී ආසන - 42

⚫ ස්වාධීන අපේ­ක්ෂ­ක­යෝ -දිනා­ගත් මන්ත්‍රී ආසන - 21

⚫ ලංකා සම­ස­මාජ පක්ෂය -දිනා­ගත් මන්ත්‍රී ආසන - 10

⚫ ද්‍රවිඩ සංග­මය - දිනා­ගත් මන්ත්‍රී ආසන - 07

⚫ ලංකා ඉන්දි­යානු සංග­මය -දිනා­ගත් මන්ත්‍රී ආසන - 06

⚫ බොල්ෂෙ­වික් ලෙනි­න්වාදී පක්ෂය -දිනා­ගත් මන්ත්‍රී ආසන - 05

⚫ කොමි­යු­නිස්ට් පක්ෂය -දිනා­ගත් මන්ත්‍රී ආසන - 03

⚫ කම්කරු පක්ෂය - දිනා­ගත් මන්ත්‍රී ආසන - 01

 

⚫ සමස්ත මන්ත්‍රී ආසන සංඛ්‍යාව - 95

 

මෙරට පළමු පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ දී ඡන්දය ප්‍රකාශ කිරී­මට සුදු­සු­කම් ලැබූවෝ 30,48,145ක් වූහ. එහෙත් එම ඓති­හා­සික පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ දී ඡන්දය පාවිච්චි කොට තුබුණේ 56.10% පමණි. මීරි­ගම පාර්ලි­මේන්තු ආස­න­යට තරග කළ ඩී. එස්. සේනා­නා­යක මහතා තම ප්‍රති­වා­දියා වූ ඉන්දි­යානු බොල්ෂෙ­වික් ලෙනි­න්වාදී පක්ෂ­යෙන් තරග කළ එඩ්මන්ඩ් සම­ර­ක්කොඩි මහතා පරා­ජ­යට පත් කළේ වැඩි ඡන්ද 16,000කට වැඩි ඡන්ද ප්‍රමා­ණ­යක් ලබා­ග­නි­මිනි.

පළමු පාර්ලි­මේ­න්තුවේ විපක්ෂ නාය­ක­කම හිමි වූයේ මන්ත්‍රී ආසන 10ක් ජය­ග්‍ර­හ­ණය කළ ලංකා සම­ස­මාජ පක්ෂයේ නායක ඇන්. ඇම්. පෙරේරා මහ­තාට ය. ඒ මහතා රුව­න්වැල්ල ආසන දිනා පාර්ලි­මේ­න්තු­වට තේරී පත් විය.

1947 සැප්තැ­ම්බර් මස 26 දින ඩී. එස්. සේනා­නා­යක අග්‍රා­මා­ත්‍ය­ව­රයා විසින් අමා­ත්‍ය­ව­රුන් 14 දෙන­කු­ගෙන් සම­න්විත වූ මෙරට පාර්ලි­මේන්තු ඉති­හා­සයේ පළමු වන කැබි­නට් මණ්ඩ­ලය පත් කරනු ලැබීය. එම අමා­ත්‍ය­ම­ණ්ඩ­ල­යට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී­ව­රුන් මෙන් ම අග්‍රා­ණ්ඩු­කා­ර­ව­රයා පත් කළ සෙනට් සභි­කයෝ ද ස්වාධීන අපේ­ක්ෂ­ක­යන් ලෙස තරග කළ ද්‍රවිඩ මන්ත්‍රී­වරු දෙදෙ­නෙක් ද අයත් වූහ.

විදේශ කට­යුතු හා ආර­ක්ෂක අමා­ත්‍යාං­ශය අග­මැති යටතේ ක්‍රියා­ත්මක වූ අතර මුදල් අමා­ත්‍ය­ව­රයා ලෙස දිව­රුම් දුන්නේ ජේ. ආර්. ජය­ව­ර්ධන මහ­තාය. එක්සත් ජාතික පක්ෂයේ එකල ජන­ප්‍රිය නාය­ක­යකු වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩා­ර­නා­යක මහ­තාට සෞඛ්‍ය හා පළාත් පාලන අමා­ත්‍ය­ධුර හිමි විය. සර් ජෝන් කොත­ලා­වල මහතා ප්‍රවා­හන හා ප්‍රසිද්ධ වැඩ අමා­ත්‍ය­ව­රයා වූයේ ය. ඩඩ්ලි සේනා­නා­යක මහතා දිවු­රුම් දුන්නේ කෘෂි­කා­ර්මික හා ඉඩම් අමා­ත්‍ය­ව­රයා ලෙසිනි.

ස්වාධීන මන්ත්‍රී­ව­ර­යෙකු වූ සී. සිත­ම්ප­ලම් මහ­තාට තැපැල් හා විදුලි සංදේශ ඇමැ­ති­කම හිමි විය. තවත් ස්වාධීන මන්ත්‍රී­ව­ර­යකු වූ සී. සුන්ත­ර­ලිං­ගම් මහ­තාට වෙළෙඳ හා වාණිජ කට­යුතු අමා­ත්‍යාං­ශය භාර වූයේ ය. ආණ්ඩු­කා­ර­ව­රයා පත් කළ සෙනට් සභි­ක­යන් අත­රින් ටී. බී. ජයා මහ­තාට කම්කරු හා සමාජ සුබ­සා­ධන කට­යුතු අමා­ත්‍යාං­ශය ද ඊ. ඒ. නුග­වෙල මහ­තාට අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය ද හිමි­වූයේ ය.

අධි­ක­රණ ඇමැ­ති­ව­රයා ලෙස ලලිත රාජ­පක්ෂ මහතා පත්වූ අතර මෙර­ටට නිද­හස ලබා­ගැ­නීමේ දී ඩී. එස්. සේනා­නා­යක මහතා නියෝ­ජ­නය කර­මින් බ්‍රිතාන්‍ය රාජ්‍ය­තා­න්ත්‍රි­ක­යන් සමඟ සාර්ථක සාකච්ඡා මාලා­ව­කට සහ­භාගී වූ ඔලි­වර් ගුණ­ති­ලක මහ­තාට පව­රනු ලැබුවේ ස්වදේශ කට­යුතු සහ ග්‍රාම සංව­ර්ධන අමා­ත්‍යාං­ශ­යයි. මෙරට පළමු කැබි­නට් මණ්ඩ­ලයේ කාර්ය නිය­ම­යක් නැති අමා­ත්‍ය­ව­ර­යෙක් ද වූයේ ය. ඒ, සෙන­තර් ගුණ­ව­ර්ධන මහතා ය.

ලංකාවේ පළමු වන පාර්ලි­මේ­න්තුවේ පළමු සභා­වා­රය ආරම්භ වූයේ 1947 ඔක්තෝ­බර් 14 දින කථා­නා­යක ඇලෙ­ක්සැ­න්ඩර් ප්‍රැන්සිස් මොල­මුරේ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙනි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩා­ර­නා­යක මහතා සභා­නා­යක ලෙස කට­යුතු කළ අතර ඇන්. ඇම්. පෙරේරා මහතා විපක්ෂ නාය­කයා වූයේ ය.

පළමු පාර්ලි­මේ­න්තුවේ පළමු සැසි­වා­රය 1948.01.31 දින අව­සන් වූයේ ය. 1948 පෙව­ර­වාරි 04 දින මෙර­ටට ඩොමී­නි­යන් තත්ත්වයේ නිද­හස හිමි වූයේ බ්‍රිතා­න්‍යය සමඟ පෙර වසරේ අග භාගයේ දී විදේ­ශ­ක­ට­යුතු හා ආර­ක්ෂක කට­යුතු පිළි­බඳ අව­බෝ­ධතා ගිවි­සු­ම­කට ලාංකික නාය­ක­යන් එළ­ඹී­මෙන් අන­තු­රු­වය. එම නිසා මෙරට වාමාං­ශික මත­ධා­රීන් බොහෝ දෙන­කුගේ දැඩි විවේ­ච­න­ව­ලට 1948.02.04 දින අප ලැබූ නිද­හස ලක්වූයේ ය.

නිද­හස හිමි වීමෙන් පසු 1948.02.10 දින ආරම්භ වූ මෙරට පළමු පාර්ලි­මේ­න්තුවේ දෙවන සැසි­වා­රය ආරම්භ කිරීමේ උත්ස­වය සහ­භාගී වීම සඳහා බ්‍රිතා­න්‍යයේ VI ජෝර්ජ් මහ­රජු වෙනු­වෙන් එතු­මාගේ සොහො­යුරු ග්ලොස්ට­ර්ශ­යර්හි ආදි­පා­ද­ව­රයා වූ හෙන්රි කුමා­රයා මෙර­ටට සපැ­මි­ණියේ ය.

කොළඹ ටොරි­න්ටන් චතු­ර­ශ්‍රයේ නිද­හස් මන්දි­රයේ දී පැවැත්වූ පළමු පාර්ලි­මේ­න්තුවේ දෙවන සැසි­වා­රයේ ආර­ම්භක උත්ස­වයේ දී ග්ලොස්ට­ර්ශ­යර්හි ආදි­පා­ද­තුමා විසින් කිය­වනු ලැබූ රාජා­සන ප්‍රකා­ශයේ වැද­ගත් අද­හස් රාශි­යක් ගැබ්ව තිබිණි. ව්‍යව­ස්ථා­නු­ගත මාර්ග ඔස්සේ ලංකාවේ දේශ­පා­ලන නිද­හස මුදුන් පමු­ණු­වා­ගැ­නී­මට මෙරට නාය­ක­යන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමඟ සහ­යෝ­ගී­ත්ව­යෙන් කට­යුතු කිරීම එහි දී බ්‍රිතාන්‍ය මහ­ර­ජ­තු­මාගේ දැඩි ප්‍රසා­ද­යට ලක්ව තිබිණි.

අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ උප­දෙස් මත ශ්‍රීමත් හෙන්ඩ්‍රි මන්ක් මේසන් මුවර් මහ­තාව යළිත් මෙරට බ්‍රිතාන්‍ය අග්‍රා­ණ්ඩු­කා­ර­ව­රයා ලෙස පත් කරනු ලබන බව ද රාජා­සන කතාවේ දී ප්‍රකාශ වූයේ ය.

ඩී. එස්. සේනා­නා­යක අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ නාය­ක­ත්ව­යෙන් යුක්ත වූ මෙරට පළමු රජය දේශීය වශ­යෙන් මෙන් ම අන්ත­ර්ජා­තික වශ­යෙන් ද වැද­ගත් වූ කාර්ය­භා­ර­යන් රාශි­යක් ඉටු කිරී­මට සම­ත්වූයේ ය. පොදු­රාජ්‍ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­ත්වය ලබා­ගැ­නී­මෙන් පසු එම සංග­මයේ සාමා­ජි­ක­ත්වය දැරූ අනෙ­කුත් රට­වල් සමඟ තානා­පති සබ­ඳතා ඇති­කොට ගැනී­මට ද සේනා­නා­යක මහ­තාගේ ආණ්ඩුව ක්‍රියා කළේ ය.

පොදු­රාජ්‍ය මණ්ඩ­ල­යට අයත් නොවූ ඇම­රිකා එක්සත් ජන­ප­දය හා ජපා­නය සමග තානා­පති සබ­ඳතා ඇති­කොට ගැනී­මට හැකි වීම සේනා­නා­යක මහ­තාගේ රජයේ සුවි­ශේෂ ජය­ග්‍ර­හ­ණ­යක් වූයේ ය. 1950 වසරේ දී පොදු­රාජ්‍ය මණ්ඩ­ලීය රට­වල විදේශ අමා­ත්‍ය­ව­රුන්ගේ සමු­ළුව කොළඹ දී පැවැ­ත්වී­මට හැකි වීම ද සේනා­නා­යක රජය පිළි­බඳ පොදු­රාජ්‍ය මණ්ඩ­ල­යීය රට­වල් තුළ පැවැති පිළි­ගැ­නීම ප්‍රද­ර්ශ­නය වූ අව­ස්ථා­වක් විය. එහිදී යෝජනා වී සම්මත වූ කොළඹ ක්‍රමය (Colombo Plan) වැඩ­ස­ට­හන අව­ධා­නය යොමු කළේ ආසියා - පැසි­පික් කලා­පයේ රට­වල ජන­යාගේ ජීවන තත්ත්වය හා නිපු­ණතා සංව­ර්ධ­නය පිළි­බ­ඳය.

1948 වසරේ දී ද්‍රවිඩ සංග­මය එක්සත් ජාතික පක්ෂ මූලික රජ­යට එක් වීමෙන් පසු ආණ්ඩුව තව­දු­ර­ටත් බල­වත් වූයේ ය. ඉතාම සමෘ­ද්ධි­මත් ආර්ථික වට­පි­ටා­ව­ක­ ක්‍රි­යා­ත්මක වූ මෙරට පළමු වන ආණ්ඩු­වට තේ, පොල්, රබර් නිර්යාත කිරී­මෙන් සැල­කිය යුතු විදේශ විනි­ම­යක් ද උප­යා­ගත හැකි වූයේ ය. මේ නිසාම ගල්ඔය ජන­පද ව්‍යාපා­රය, උඩ­ව­ලව හා සේනා­නා­යක ජලාශ සංව­ර්ධන ව්‍යාපෘ­තීන් ද සාර්ථ­කව ක්‍රියා­ත්මක කිරී­මට අව­ස්ථාව උදා වූයේ ය.

අනු­රා­ධ­පු­රය හා පොලො­න්න­රුව පෞරා­ණික නගර සංව­ර්ධ­නය කිරී­මට ද සේනා­නා­යක රජය වෙහෙ­සිනි. 1949 වසරේ දී ලංකා යුද්ධ හමු­දාව පිහි­ටු­වී­මට අදාළ පන­තක් 1950 සහ 1951 වස­ර­වල දී පිළි­වෙ­ළින් නාවික හමු­දාව හා ගුවන් හමු­දාව පිහි­ටු­වී­මට අවශ්‍ය පනත් ද පාර්ලි­මේ­න්තුවේ දී සම්මත කොට­ගැ­නී­මට ඩී. එස්. සේනා­නා­යක මහතා සමත් වූයේ ය. බ්‍රිතාන්‍ය රජය සමඟ එතුමා පව­ත්වා­ගෙන ගිය යහ­පත් සබ­ඳ­තාව නිසා එම අභි­නව හමුදා පුහුණු කොට වෘත්තීය හමුදා මට්ට­මට පත් කිරී­මට බ්‍රිතාන්‍ය හමු­දා­වල සහාය ද හිමි වූයේ ය.

1948.08.20දී ඩී. එස්. සේනා­නා­යක මහ­තාගේ රජය ලංකා පුර­වැසි පනත පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කළ අතර ඒ පිළි­බඳ පැවැති වාද­වි­වා­ද­ව­ලින් පසුව 1948.11.15 දින එය නීති­යක් බවට පත්වූයේ ය. එම නීතිය බලා­ත්මක වීමෙන් පසුව වතු­ක­රයේ විසූ දකුණු ඉන්දීය සම්භ­ව­යක් තුබූ 5000ක් පමණ පිරි­ස­කට මෙරට නීත්‍ය­නු­කූල පුර­වැ­සි­කම හිමි වූයේ ය. එහෙත් එම නීතිය නිසා ලක්ෂ හතක් පමණ වූ වතු­කර ද්‍රවිඩ ජන­තා­වක් රටක් අහිමි අනා­ථ­යන් පිරි­සක් බවට පත් වූහ. එම අභි­නව නීතිය පාර්ලි­මේ­න්තුවේ විරුද්ධ පක්ෂයේ දැඩි දෝෂ දර්ශ­න­යට ලක්වූ අතර වතු­ක­රයේ ජන­තාව තුළ විශාල අපේක්ෂා භංග­ත්ව­යක් ඇති කිරී­මට ද හේතු­වක් වූයේ ය.

ඩී. එස්. සේනා­නා­යක මහ­තාගේ රජය තුළ මුල් ම අර්බු­දය පැන නැඟුණේ 1951 වසරේ දී ය. ඒ එක්සත් ජාතික පක්ෂයේ ජන­ප්‍රිය නාය­ක­යකු වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩා­ර­නා­යක මහතා මන්ත්‍රී­ව­රුන් කිහි­ප­දෙ­නකු සමඟ ආණ්ඩු­වෙන් ඉවත් වීම නිසා ය. එව­කට බණ්ඩා­ර­නා­යක මහතා විසින් දැරූ සෞඛ්‍ය හා පළා­ත්පා­ලන යන අමා­ත්‍ය­ධුර දෙක අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ විෂය ක්ෂේත්‍ර­යට එක්කොට ගනු ලැබීය.

1951 වසරේ සැප්තැ­ම්බර් මස 02 දින බණ්ඩා­ර­නා­යක මහතා විසින් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂය නමින් නව දේශ­පා­ලන පක්ෂ­යක් පිහි­ටුවා ගන්නා ලද්දේ ය. එම පක්ෂයේ දේශ­පා­ලන දර්ශ­නය ධන­වා­ද­යට හා අන්ත­වාදී සමා­ජ­වාදී දර්ශ­න­යට අත­ර­මැදි ස්ථාන­යක වූ බැවින් මෙරට ග්‍රාමීය ප්‍රදේ­ශ­වල වාසය කළ සිංහල බෞද්ධ­යන්ගේ අව­ධා­නය ආර­ම්භයේ සිටම ඒ කෙරෙහි යොමු වූයේ ය.

මෙරට පළමු පාර්ලි­මේ­න්තුවේ පස් වන සැසි­වා­රයේ නිල කාලය අව­සන් වීමට පෙර ආණ්ඩුව විසු­රුවා හැරී­මට සිදු වූයේ අන­පේ­ක්ෂිත අව­ස්ථා­වක දී සිදු වූ ඩී. එස්. සේනා­නා­යක අග්‍රා­මා­ත්‍ය­ව­ර­යාගේ අභා­වය නිසාය. 1952 මාර්තු 21 දින කොළඹ ගෝල්ෆේස් පිටියේ දී ඩී. එස්. සේනා­නා­යක මහතා ලංකා පොලී­සියේ අශ්වා­රෝ­හක බළ­කායේ චිත්‍රා නම් වෙළ­ඹගේ පිටින් ඇද­වැ­ටුණේ ය. පෞද්ග­ලික ආරෝග්‍ය ශාලා­ව­කට ඇතු­ළත් කළ එතු­මාට ප්‍රති­කාර කිරී­මට මෙරට එකල විසූ කීර්ති­මත් වෛද්‍ය­වරු රාශි­යක් ඉදි­රි­පත් වූහ. එම අව­ස්ථාවේ දී නිල රාජ­කාරී කට­යු­ත්තක් සඳහා මෙර­ටට පැමිණ සිටි ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ විශේ­ෂ­ඥ­යන් පිරි­සක් ද අග­මැ­ති­තු­මාගේ ජීවි­තය බේරා­ගැ­නී­මට ඉදි­රි­පත් වූහ.

එංග­ල­න්තයේ වින්සන් චර්චිල් අග්‍රා­මා­ත්‍ය­ව­රයා එරට සිටි කීර්ති­මත් ස්නායු ශල්‍ය වෛද්‍ය­ව­ර­යෙකු මෙර­ටට එවී­මට කට­යුතු සම්පා­ද­නය කළේ ය. ඉන්දි­යානු රජය හා පකි­ස්තා­නය ද වෛද්‍ය විශේ­ෂ­ඥ­යන් මෙර­ටට එවී­මට සූදා­නම් වූයේ ය. එහෙත් පැය 32ක පමණ කාල­යක් සිහි­සුන්ව සිටි අග්‍රා­මා­ත්‍ය­ව­රයා 1952 මාර්තු 22 දින සවස 3.30ට පමණ අභා­ව­ප්‍රාප්ත වූයේ ය. එම සංවේ­ද­නා­ත්මක පුවත සැල­වී­මත් සමඟ මෙරට දස දිගින් එතු­මාගේ දේහ­යට අව­සන් බුහු­මන් දැක්වී­මට ලක්ෂ පහ­කට අධික පිරි­සක් අග්‍රා­මාත්‍ය නිල නිවා­ස­යට පැමිණි බව වාර්තා විය.

පූර්ණ රාජ්‍ය ගෞර­වය සහි­තව නිද­හස් චතු­ර­ශ්‍රයේ දී පැවැත් වූ එතු­මාගේ අව­සන් කට­යුතු සඳහා 32,000කට වැඩි ජන­තා­වක් සහ­භා­ගී­වී­මෙන් එතුමා පිළි­බඳ මෙරට පොදු ජන­තාව තුළ වූ පැහැ­දීම මනාව දිස්වේ.

ඩී. එස්. සේනා­නා­යක මහ­තාගේ පුර­ප්පාඩු වූ අග­මැති තන­තු­රට එතු­මාගේ පුත්‍ර ඩඩ්ලි සේනා­නා­යක මහතා පත්වූයේ ය. ඒ එව­කට පාර්ලි­මේ­න්තුවේ සභා­නා­ය­ක­ව­රයා වූ ශ්‍රීමත් ජෝන් කොත­ලා­වල මහතා ඩඩ්ලි සේනා­නා­යක මහතා යටතේ කට­යුතු කිරී­මට එකඟ වීම නිසාය.

එහෙත් ජන­ව­ර­ම­කින් තොරව රට පාල­නය කිරී­මට අක­මැති වූ ඩඩ්ලි සේනා­න­යක මහතා 1952.04.14 දින ආණ්ඩුව විසු­රු­වා­හැර මැයි මාසයේ 24, 26, 28, 30 යන දින හතර තුළ මෙරට දෙවන පාර්ලි­මේ­න්තුව වෙනු­වෙන් මන්ත්‍රී­ව­රුන් තෝරා­ගැ­නීම සඳහා වූ මහා ඡන්දය පැවැ­ත්වීය. ඉන් තීර­ණා­ත්මක ජයක් ලැබූ එක්සත් ජාතික පක්ෂය ඩඩ්ලි සේනා­නා­යක මහ­තාගේ නාය­ක­ත්වය යටතේ මෙරට දෙවන ආණ්ඩුව ද පිහි­ටු­වී­මට සමත් වූයේ ය.

Comments