කොළඹ හිල්ටන් හෝටලයේ සාමාන්‍යාධිකාරි මනේෂ් ප්‍රනාන්දු මහතා, අවුරුදු 23ක හෝටල් ක්ෂේත්රයේ අත්දැකීම් ඇති ප්රවීණයෙකි.
ඉදිරියේදි, රටපුරා ව්‍යාප්ත වීමට නියමිත හිල්ටන් ජාලය සමඟ ඔහුට ද වගකීම් රැසක් පැවරෙන අතර, ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරිවරයා ලෙස ඔහු උසස් කිරීමට, සිංගප්පූරු හිල්ටන් ප්‍රධාන කාර්යාලය කටයුතු කර තිබේ. මේ කතා බහ ඒ නිමිත්තෙනි.
• හිල්ටන් සාමාන්‍යාධිකාරි තනතුරට අමතරව ඔබට පැවරුණු මේ අලුත් වගකීම කුමක්ද...
එය, හිල්ටන් සිංගප්පූරු ප්‍රධාන කාර්යාලයෙන් පිරිනැමූ උසස්වීමක්. ලංකාවේ GM තනතුරේ හිඳිද්දී ම, ඉදිරියේදි ව්‍යාප්තවීමට නියමිත හිල්ටන් ජාලය වෙනුවෙන් Area General Manager වරයා ලෙස ඔවුන් මා පත්කොට තිබෙනවා. එය මට, වැඩියෙන් වැඩකරන්නට ලැබුණු, හොඳ අවස්ථාවක්.
• අපේ රටට ඇයි, මෙහෙම තනතුරක්...
හිල්ටන් සහ ජයික් හිල්ටන් පමණයි, දැනට අපේ තිබෙන හිල්ටන් ජාලයට අයත් හෝටල් දෙක. නමුත් ඉදිරියේදි ලංකාව පුරා තවත් හිල්ටන් හෝටල් නවයක් ව්‍යාප්ත වනවා. හිල්ටන් ආධිපත්‍ය වැඩිකරගන්නට නම්, හුඟක් වැඩියෙන් වැඩකරන්න වේවි. ඔවුන් මා පත්කොට තිබෙන්නේ, ඒ දුෂ්කර අභියෝගය වෙනුවෙන්.
• මෙහෙම තනතුරක් ලංකාවට ලැබෙන්නේ පළමු වතාවටද...
නැහැ. හරියට ම අවුරුදු පහළොවකට පස්සේ. මීට අවුරුදු 15කට කලින් මේ තනතුරේ හිටියේ, කොළඹ හිල්ටන් හෝටලයේ සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කරද්දිම, මාලදිවයින, මියන්මාරය, පකිස්ථානය සහ බංග්ලාදේශයත් බාරව කටයුතු කළ ගාමිණි ප්‍රනාන්දු මහත්මයා. ඒ මහත්මයා සාමාන්‍යාධිකාරි තනතුරේ කටයුතු කරද්දි, මං මේ හිල්ටන් හෝටලයේ ‘ට්‍රේනි’ කෙනෙක්. ඒක හරි දෛවෝපගත සිදුවීමක්.
• අලුත් කලාපීය සාමාන්‍යාධිකාරිවරයා ලෙස, ඔබේ පරමාර්ථ මොනවද...
මේ රටේ ඕනෑම පුරවැසියකුට පහසුවෙන් යා හැකි පරිදි, තමන්ගේ නිවෙසේ සිට මීටර් හතළිහක් දුරින් හැම ගමක් නගරයක්ම ආවරණය වන පරිදි මේ රටේ හිල්ටන් ජාලය ව්‍යාප්ත කිරීම.
• හිල්ටන් හෝටල් 11ක් ව්‍යාප්ත වෙද්දි මොන තරම් රැකියා ප්‍රමාණයක් රටට ලැබෙයිද...
උදාවන ඍජු රැකියා අවස්ථා ප්‍රමාණයට වඩා මං සතුටු වෙන්නේ මෙතැනින් බිහිවන ජාත්‍යන්තර තලයේ ශ්‍රමික පිරිස ගැන. මේ හිල්ටන් අවුරුදු 33ක ඉතිහාසය තුළ මෙතැනින් පුරුදු පුහුණුව හෝටල් ක්ෂේත්රයේ ඉහළට ගිය පිරිස, දහදාහකට වඩා වැඩියි. දෙස් විදෙස් ඕනෙ හෝටලයක හිල්ටන් වැඩකරපු එක්කෙනෙක් හරි ඉන්නවා. එහෙම බලද්දි හිල්ටන් කියන්නෙ, හෝටල් ක්ෂේත්රයට විශ්වවිද්‍යාලයක්. ඉතින්, රටපුරා හිල්ටන් හෝටල් එකොළහක් හැදෙනවා කියන්නෙ, රටට විශ්වවිද්‍යාල 11ක් හැදෙනවා කියන එක. ඒ වගේම, හිල්ටන් වැඩකළා කියන්නෙ, ලෝකෙ ඕනෙම හෝටලයක රස්සාවකට යද්දි හොඳ පිළිගැනීමක් ලැබෙනවා කියන එකයි.
• හිල්ටන් හෝටලයෙන් වෘත්තීය ජීවිතය අරඹන්න කැමැති අයට අත දෙන්න කැමැතිද...
ඔව්. ඒ ලෙවල් නෙවෙයි ඕ - ලෙවල් නැති වුණත් පුංචිම තැනින් වැඩපටන් ගන්න පුළුවන්. ලැදියාව, ආසාව තියෙනවා නම් පිඟන් හෝදලත් ඉහළට ගිය මිනිස්සු මේ ක්ෂේත්රයේ ඕනෙ තරම් ඉන්නවා. අපිට එහෙම දියුණු වෙන්න කැමැති ආධුනිකයන් දැක්කම හඳුනාගන්නත් පුළුවන්. ඈත ගමක තරුණයකුට වුණත් පුළුවන් උවමනාව උනන්දුව තියේ නම් ඒ පුංචිම තැනින් පටන් ගන්න, නැතිනම් අනාගතයේ ඔබේ ගමේ නගරයේ ඉදිවන හිල්ටන් හෝටලයේ මානව සම්පත් අංශයට ඍජුව කතා කරන්න.
• කොයිතරම් සේවක පිරිසක් දැනට මේ හෝටලයේ වැඩ කරනවද...
ස්ථිර සේවකයො 666ක්. ඊට අමතරව, හෝටල් පාසලෙන්, නයිටා ආයතනයෙන්, ආධුනිකයන් ලෙස පුහුණුව ලබන එකසිය පණහක් විතර හැම දවසකම මෙතැන වැඩ. එක කණ්ඩායමක් යන පරක්කුවෙන් තව කණ්ඩායමක් එනවා. ඇත්තටම මෙතැන විශ්වවිද්‍යාලයකටත් වඩා කාර්ය බහුල තැනක්. අධ්‍යාපනය හා රස්සාව එකවිට කරන්න ලැබෙන තැනක්.
• හිල්ටන් කියන්නෙ ලෝකෙ මොන තරම් ව්‍යාප්ත වූ හෝටල් ජාලයක්ද...
ලොවපුරා හිල්ටන් හෝටල් 6000කට අාසන්න ප්‍රමාණයක් තිබෙනවා. ලෝකෙ ඕනෙම හිල්ටන් හෝටලයක ක්‍රියාත්මක වෙන්නෙ එකම ප්‍රමිතියක්. ලංකාවෙ වැඩ කළොත් ඒ ජාලයේ ඕනෙම හෝටලයකට යන්නත් අවස්ථාව තිබෙනවා. ලබන අවුරුද්දෙ මුල වෙනකොට යාල සහ වීරවිල හෝටල් දෙකම විවෘත වෙනවා. අනිත් ඒවත් බොහොම ඉක්මනින් හදලා ඉවර කරන්නයි අපේ බලාපොරොත්තුව.
• කවුද මේ අලුත් හිල්ටන් හෝටල වෙනුවෙන් මුදල් යොදන ආයෝජකයෝ...
මෙල්වා ස්ටීල් සමාගම, අලුත් හිල්ටන් හෝටල් හයකට ආයෝජනය කරනවා. තව, කේ.ඩී.යු. ලෙෂර් කියන තේ අපනයන සමාගම... ඇතුළු ශ්‍රී ලාංකිකයො කිහිපදෙනෙක් තමයි මේ අලුත් හිල්ටන් ආයෝජකයෝ.
• එතකොට දැන් හිල්ටන් අයිතිකරුවො කවුද...
කොළඹ හිල්ටන් හෝටලයේ කළමනාකාරිත්වය සිංගප්පූරු හිල්ටන් යටතේ වුණාට, සියයට සියයක සම්පූර්ණ අයිතිය ආණ්ඩුවට. ජයික් හිල්ටන් හෝටලයේ සම්පූර්ණ අයිතිය ලංකාවේ ප්‍රකට ව්‍යාපාරික, හයිඩ්රාමනි පවුලට. නමුත්, ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරිවරයා විදියට මේ හෝටල් දෙකම බලන්නෙත් මං.
• ලංකාවට මුලින්ම හිල්ටන් හෝටලයක අයිතිය ගෙනාවෙ කවුද...
සුප්‍රකට කෝනල්ස් සමාගමේ හිමිකරු කෝනල් පෙරේරා මහත්මයා. ඔහු තමයි, ලංකාවේ පළමු හිල්ටන් ආයෝජකයා. ඒ වගේම, විවෘත ආර්ථිකයෙන් පස්සෙ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා තමයි, හිල්ටන්, ලංකාවට ගේන්න මූලික වුණේ. ඒ වෙලාවෙ රට දියුණු කරන්න, ජාත්‍යන්තර ව්‍යාපාරික හමුවීම් වැඩිකරන්න හිල්ටන් වගේ, වාණිජ වටිනාකමකින් යුතු හෝටලයක අවශ්‍යතාව එතුමා දුටුවා. එදා ඉඳලම හිල්ටන් ක්‍රියාත්මක වුණේ යම්කිසි ප්‍රතිපත්ති සහ නීති රාමුවක් ඇතුළේ. අපි හැමෝම ඒවා රකින්න බැඳිලා ඉන්නවා. නිර්මාතෘවරු නැති වුණත් හිල්ටන් සම්ප්රදාය තුළ, ආයතනයට අයහපතක් වෙන කිසිම දෙයක් අංශුමාත්‍රයකින්වත් වෙන්නෙ නැහැ. ඒක එදත් එහෙමයි. අදත් එහෙමයි.
• මොනවද ඔබට ආවේණික කළමනාකරණ ගුණාංග...
මං කවදාවත්, තමන්ගෙ බොස්ව ‘බයිපාස්’ කරගෙන මං ගාවට එන්න, සේවකයන්ට අනුබල දෙන්නෙ නැහැ. එහෙම එන්න පුළුවන් තමන්ගෙ බොස් නිදියාගෙන ඉන්නවා නම් විතරයි. වැඩ නොකරනවා නම් විතරයි. Open door policy එකට මං ඉඩ දෙනවා. හැබැයි කේළම් කියන්න නෙවෙයි. රඟපාන්න නෙවෙයි. මගේ ජීවිතයට මේ ප්‍රතිපත්ති ආවේ මගේ තාත්තගෙන්. මගේ තාත්තත් හෝටල් ක්ෂේත්රයේ දීර්ඝ ඉතිහාසයක් තිබුණු ජ්‍යෙෂ්ඨයෙක්. ඔහුගේ ආදර්ශය පුංචි කාලෙ ඉඳලා මගේ ජීවිතයට යහපත් දේ එකතු කළා.
• ආණ්ඩුවට අයිති බොහෝ තැන් පාඩු ලබද්දි හිල්ටන් විතරක් මෙහෙම තියෙන්නෙ කොහොමද...
හිල්ටන් කියන්නෙ කිසිම දේශපාලකයෙකුටවත් දේශපාලකයන්ගෙ ඕඩර්ස්වලටවත් නිකන් ආහාරපාන සපයන තැනක් නෙවෙයි. ඕනෙ ඕනෙ විදියට හසුරුවන්න මේවා අපේ පුද්ගලික දේපළත් නෙවෙයි. අපේ සේවය අවශ්‍ය නම්, සල්ලි ගෙව්වම අපි ඒ හැමෝටම ගෞරවනීය සේවයක් ලබා දෙනවා. ඒ වගේම, අපි පින් දහම් කරනවා. හැබැයි අපේ මුදල්වලින්.
ඒ හැරෙන්න ආයතනික නීති රාමුවෙන් පිට පැනලා, හිල්ටන් හෝටලයේ සල්ලිවලින් අපි අපිට ඕන පිං කරන්න යන්නෙ නැහැ. මේක ව්‍යාපාරයක්. ව්‍යාපාරයේ සල්ලි ඕනෙ ඕනෙ විදිහට අදින්න ගියොත් ඒ ව්‍යාපාරය දවසක බංකොලොත් වෙනවාමයි. දේශපාලකයො කියන කියන දේ කරන්න නම් මැනේජ්මන්ට් ටීම් එකක් මොකටද... මම නම් හිතන්නෙ රාජ්‍ය සේවයේ ඉන්න හැම කෙනෙක්ම වටහාගන්න ඕනෙ මේ දේ. මං හැම වෙලාවෙම හිතන්නෙ හිල්ටන් කියන්නෙ මේ රටේ ජනතාවට අයිති සම්පතක් කියලා.
අනික දේශපාලකයොත් ඔය කියන තරම් නරක නැහැ. හරියට ගෞරවනීය විදියට කිව්වොත් ඒ අය පිළිගන්නවා. මොකද, ඒ අයත් මොළයක් තියෙන මිනිස්සු. කියන කියන දේ කරලා රාජ්‍ය ආයතන පාඩු ලබන තත්වයට ගෙනාවොත් ඒක සියයට අනූවක්ම ආයතනය බාර නායකයාගේ වරද. ඒ නිසා බය නැතිව හරි දේ වෙනුවෙන් පෙනී සිටීමයි, නායකයකුගේ පළමු වගකීම. මං ඉන්නෙ එතැන.