ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට දැඩි අභියෝග එල්ල වුණු 2018 වසරේ කොළඹ හිල්ටන් හෝටලය මෙම අයහපත් වෙළෙඳපොළ තත්ත්ව දැඩි ලෙස දරාගෙන ඊට ශක්තිමත්ව මුහුණ දුන් බව හොටෙල් ඩිවලොපර්ස් ලංකා පී එල් සී ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා සඳහන් කරයි.
2018 දෙසැම්බර් 31 වැනි දායින් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ මෙරට සංචාරක කර්මාන්තය විවිධ පසුබෑම් ගණනාවකට මුහුණ දුන් කාලපරිච්ඡේදයක් බවත් විශේෂයෙන් එම වසරේ රටේ ඇතිවූ දේශපාලනික අස්ථාවර තත්ත්වය තුළ විශාල අවිනිශ්චිත භාවයක් නිර්මාණය වූ බවත් සභාපතිවරයා සඳහන් කර ඇත්තේ පසුගියදා නිකුත් වූ මෙම සමාගම් වාර්ෂික වාර්තාවෙනි.
කොළඹ හිල්ටන් හෝටලය 2018 වසරේ දී තම සමස්ත පිරි වැටුම ලෙස රුපියල් බිලියන 2.9 උපයාගෙන ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන දශම එකක අඩුවීමකි.
2017 වසරේදී සමාගම බදු පෙර ලාභය රුපියල් බිලියන 258 ක්ද 2018 වසරේ රුපියල් බිලියන 126.4ක පාඩුවක් විඳ ඇත.
කාමරවලින් ඉපැයූ ආදායම රුපියල් බිලියන 1.2 ක් වන අතර 2017 වසරේදී එම ආදායම රුපියල් බිලියන 1.3 කි. කාමර අලෙවිය සියයට 57 සිට සියයට 48 දක්වා අඩු වී ඇතත් ආහාරපාන අලෙවියෙන් ලද ආදායම නොවෙනස්ව රුපියල් බිලියන 1.6 ක රඳවා ගැනීමට හෝටලය සමත්ව ඇත.
ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සංචාරක ආකර්ෂණයක් පවතින වසරේ අවසන් කාර්තුවේ වාර්තාගත අමුත්තන් ප්‍රමාණය පිළිගැනීමට හෝටලය සූදානම්ව සිටිය ද 2018 වසරේ දේශපාලනික වශයෙන් ඇති වූ කැලඹිලි සහගත ස්වභාවය හේතුවෙන් හා කොළඔ නගරයේ හෝටල් ආසන්නයේ පැවති මහජන විරෝධතා ආදිය නිසා එම අවස්ථා අහිමි වූ බවද සභාපතිවරයා පවසයි.
එසේ වුව ද ආයතනයේ යහපත් ප්‍රතිපත්ති, කාර්ය මණ්ඩලයේ කැපවීම්, අභියෝග ශක්තිමත්ව දරා ගැනීමට හැකි වූ බවත් ඔවුන්ගේ කැපවීම හේතුවෙන් ක්ෂේත්රයේ තරඟකාරීව රැඳීමට සහ ආදායම් මට්ටම අඩුවීම සුළු පරාසයක් තුළ රඳවා ගැනීමටත් හැකිවූ බවද සභාපති කුරේ මහතා පෙන්වා දී ඇත.
එසේම පසුගිය අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් පසුව හෝටලය විසින් යොදා ඇති දැඩි රැකවල් සහ ආරක්ෂක උපක්‍රම මේ වන විට තම ගනුදෙනුකරුවන්ගේ හා හෝටලයට එන අමුත්තන්ගේ විශ්වාසය තහවුරු කරගැනීමට හේතු වී ඇති බවද හොටෙල් ඩිවලොපර්ස් ලංකා පී එල් සී ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා තම වාර්තාවේ පෙන්වා දී තිබේ.