නිදහස් අධ්‍යාපනයේ පියාගේ සොහොන රකින ලූල්බද්දූවේ නෑයෝ | සිළුමිණ

නිදහස් අධ්‍යාපනයේ පියාගේ සොහොන රකින ලූල්බද්දූවේ නෑයෝ

කන්නන්ගර මැතිඳුන්ගේ 135 වැනි ජන්ම දින සමරුව අදට යෙදේ

- විශ්‍රාම වැටුප රුපියල් පන්සියය ගන්නත් කථානායකට ලියන්න වෙලා 
- ලූල්බද්දූවේ පර්චස් 25 ඉඩම මිලට අරන් තියෙන්නෙ රුපියල් තිහකට 
- දේපළකට කියලා තිබුණේ පියාගේ අළු තැන්පත් කළ බිම් කෑල්ලයි

අද අපට කිසි ලෙසකින් අමතක කළ නොහැකි දිනයකි. එහෙත් බොහෝ දෙනෙකුට ඒ දිනය පිළිබඳ මතකයක් නැතිවාට සැකයක් නැත. නිදහස් අධ්‍යාපනයේ පියා නමින් විරුදාවලිය ලත් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමා උපත ලද්දේ අද වැනි දිනෙකය. එනම් 1884 ඔක්තෝබර් 13 දිනය. එතුමා පිළිබඳ තොරතුරු සෙවිමේ උනන්දුවක් අප තුළ ඇති කළේ ප්‍රදීප්ය.

“අපේ ගමේ හල්වල සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර විද්‍යාලය අවුරුදු සීයකටත් වැඩිය පැරණියි. ඒ පාසලේ තියෙනවා කන්නන්ගර මහත්තයා ඉන්න පැරණි ඡායාරූපයක්. ඒ වගේම කන්නන්ගර මහත්තයාගේ පිය පස ඥාතීන් ඉන්නෙත් මේ ගමේ.”

සිළුමිණ පාඨකයකු වන ප්‍රදීප් කන්නන්ගරගේ තොරතුරකට අනුව අපි ඒ ගමන පිටත් වීමු.

අප යමින් සිටියේ හොරණ නෑබඩ ඔස්සේය. මතුගමට ගොස් එතැනින් අවිත්තාව පාර දිගේ ගොස් ලූල්බද්දූව ගමට පිවිසියෙමු.

කන්නන්ගර මැතිතුමාගේ උපන් ගම වන්නේ අම්බලන්ගොඩ රන්දොඹේ ගමය. දානියෙල් විජේකෝන් කන්නන්ගර හා එමලි වීරසිංහ යුවළට උපන් තුන්වැනි දරුවා කන්නන්ගර මැතිතුමාය.

කන්නන්ගර මැතිතුමා අධ්‍යාපන ක්ෂේත්‍රයට සුවිශාල සේවාවක් කළ ද එතුමා පිළිබඳ සමාජය තුළ එතරම්ම කතාබහක් නැතැයි විටෙක සිතේ. අපි මුලින්ම ගියේ හල්වල කන්නන්ගර විද්‍යාලයටය.

“මේ ඉස්කෝලේ පටන් අරගෙන තියෙන්නනේ 1868 අවුරුද්දේ. ඉත්තෑපාන සරණංකර හාමුදුරුවෝ ළමයි කිහිප දෙනෙකුගෙන් පාසල ආරම්භ කර තිබෙන්නේ. 1874 අවුරුද්දේ තමයි මෙය රජයේ පාසලක් බවට පත් වෙලා තියෙන්නේ. එදා මුල් ගුරුතුමා කැලණියේ සිල්වා කියන මහත්මයා. 1888 වෙද්දි බෙන්තර දියෝනිස් මුල්ගුරුතුමා ඉඳලා තියෙනවා. ඒ කාලේ පාසලේ ළමයි 100 දෙනෙක් ඉගෙනුම ලබලා තියෙනවා. 1937 වෙද්දි පාසලේ විදුහල්පති වූයේ නයිනමඩමේ ඩබ්ලිව්. අයි. බී ප්‍රනාන්දු කියන මහතා.

හල්වල පාසලේ මතකය

එතුමා කතෝලිකයෙකු වුණත් දරුවන් දහම් 1968 පාසල් යවන්න, ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්න උනන්දු වෙලා තියෙනවා. පාසලේ සියවස් සමරුව තිබිලා තියෙන්නේ වසරේදී. සියවස් සමරුව වෙනුවෙන් පාසලේ උත්සවයක් තිබිලා තියෙනවා. බුදුමැඳුරක් සාදා විවෘත කර මේ පාසල කන්නන්ගර මැතිතුමාගේ නමින් නම් කර තිබෙනවා. විශේෂත්වය තමයි එදා උත්සවයට කන්නන්ගර මහතා, අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා, ජේ. ආර්. ජයවර්ධන මහතා ඇතුළු ප්‍රදේශයේ ප්‍රභූන් රැසක් සහභාගී වී තිබෙනවා. මේ තියෙන්නේ ඒ ඡායාරූපය.”

දශක ගණනක් පැරණි ඡායාරූපයක් පෙන්වමින් වර්තමාන විදුහල්පති එච්. ඩී. වජිර හේමන්ත මහතා පවසන්නට විය.

හල්වල පාසල පිහිටා ඇත්තේ පහුරකන්ද රජමහා විහාරය පාමුලය. අද වන විට පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තුන්සියයක් පමණ ඉගෙනුම ලබති.

කන්නන්ගර මහතා පාසලට පැමිණ ඇත්තේ 1968 වසරේ අගෝස්තු මාසයේ දිනෙකය. පාසලේ ලොග් සටහන් පොතේ ඉන් වසරකුත් මසකට පසු එනම් 1969 සැප්තැම්බර් මස 22 දින කන්නන්ගර මැතිතුමාගේ අභාවය වෙනුවෙන් එතුමාගේ අවසන් කටයුතු කෙරුණු දා පාසලේ ගුරුවරුන් ඊට සහභාගි වූ බවට සටහනක් ඇත.

තම පියාගේ උපන්ගම වූ ලූල්බද්දූව ගමේ අද කන්නන්ගර පරපුරේ කිසිවෙකු නැද්දැයි අපි සොයන්නට විමූ.

“මේ ගමේ බහුතරයක් ඉන්නේ කන්නන්ගර නම තියෙන අය. කන්නන්ගර මහත්තයාගේ මුනුපුරකු ඉන්නවා. ගිහින් බලන්න.”

පාසල පසු කර බොහෝ දුර එන විට පාරේ අතරමඟ තැනකදි අපට කන්නන්ගර මහතාගේ පිළිරුව හමු විණි. එය මෑතකදි කන්නන්ගර පදනම විසින් ඉදි කරනු ලැබූ පිළිරුවකි. ඊට යාබද ගස් සෙවණක ඇත්තේ කන්නන්ගර මැතිතුමාගේ හා එතුමාගේ පියාගේ භස්මාවශේෂ තැනපත් කළ සොහොන් කොත් දෙකය. එතැනින් ඇති පටු පාරේ දිගටම ගොස් අප නතර වූයේ පැරණි පන්නයේ නිවෙසක් ඉදිරිපිටය.

අවුරුදු අසූ ගණනක වයස ඇති කාන්තාවක් අප ඉදිරියට ආවාය. “අයියයි මමයි කන්නන්ගර මහත්තයාගේ මුනුපුරාලා වෙනවා.“

නිවෙසේ ඇත්තේ වසර ගණනක් පැරණි ඡායාරූපය. ඒ ඡායාරූප අතර කන්නන්ගර මහාතාගේ රුව සොයන්නට වීමූ.

“මගෙ නම එව්ලින් ග්‍රේස් විජේසේකර. වයස අවුරුදු 88යි. කන්නන්ගර මහත්තයාගේ සීයාගේ පවුලේ තුන්දෙනයි. වැඩිමල් සහෝදරිය කොර්නේලියා. එයා බැන්දේ බෙන්තොටට. දෙවෙනි තියදෝරිස්. එයා හිටියේ ලූල්බද්දූවේ. අනිත් කෙනා ජෝන් ඩැනියෙල්. එයා තමයි කන්නන්ගර මහත්තයාගේ සීයා. අපි එන්නේ කොර්නේලියාගේ පරපුරෙන්. කන්නන්ගර මහත්තයා ගැන මට මතකයි. එයා කළු වුණාට හරිම ප්‍රිය මනාපයි. සිරියාවන්තයි. කන්නන්ගර මහත්තයලාගේ මහගෙදරට කිව්වේ ගොඩ්ඩ වත්ත ගෙදර කියාලා. දැන් නම් ඒ ගේ නෑ. කන්නන්ගර මහත්තයා ඡන්දේ ඉල්ලනකොට මම පොඩි ළමයෙක්. අවුරුදු දහයක් දොළහක් විතර ඇති. ඔහු වැඩිය කා එක්කවත් කතා කළේ නෑ.

මට මතකයි කන්නන්ගර මහත්තයා වෙනුවෙන් ඒ කාලේ ඡන්දය ඉල්ලන්න කවි කොළ ගහලා තිබුණා. එක කවියක් මෙහෙමයි:

“මනරම් සිහල දරුවන් හට පියා මෙන 
මෙතරම් උතුම් වැඩ කළ සේ පතා ගෙන 
...... ඇමති කන්නන්ගර තුමා ගැන 
මම නම් මගේ දිවි පු‍ෙදමි දයාවෙන”

එව්ලින් අම්මා කවි පද සිහි කරන්නේ බොහෝ කලකට පසුවය. සමහරු දන්නේ නෑ අපි කන්නන්ගර මැතිතුමාගේ ඥාතීන් කියලා. ඔය තියෙන සොහොන් කොත ගාව කාලයක් තිස්සේ අපේ ඥාතියෙකු ඒ දිනේට පහනක් පත්තු කළා. දැන් එයත් ජීවතුන් අතර නැහැ.

එව්ලින්ට අම්මාට වඩා ඇගේ සොහොයුරාට තවත් දේ මතකය. ඔහු ආර්. එස්. විජේසේකර. වයස අවුරුදු 92යි.

“මම ඉගෙන ගත්තේ ගාල්ලේ. රස්සාව කරන්න විවිධ පැතිවලට ගියා. ගමේ රැඳුණේ අඩුවෙන්. කන්නන්ගර මහත්තයා ගැන මට මතකයි. ඔහු කා සමඟවත් වැඩිය කතාවක් නැහැ. ඔහුගේ බිරිඳත් එහෙමයි. අපේ හිත්වල එතුමා ගැන ලොකු ගෞරවයක් තියෙනවා. මේ රටේ දරු පරම්පරාවට කරපු සේවාවට. කන්නන්ගර මහත්තයා මැරුණාම හැම තැනින්ම සෙනඟ ගියා. එදා මටත් ඕනෑ නම් තනිවම යන්න තිබුණා. ඒත් මම ගමේ අයට කිව්වා කන්නන්ගර මහත්තයාගේ මළගෙදර අපි හැමෝම යන්න ඕනෑ කියලා. අපි බස් එකක් අරගෙන කොළඹ ගියා. මම එහෙ අයට කිව්වා අපි කන්නන්ගර මහත්තයාගේ ඥාතීන්. අපට අවමංගල්‍ය පෙරහරේ එතුමාගේ දේහය ළඟින්ම යන්න ඕනෑ කියලා. ඔවුන් ඒ සඳහා අපට අවසර දුන්නා.”

නිහඬ ජනතා සේවකයෙක්

“එතුමා රටට සේවයක් කළා නම් ඇයි ඡන්දයෙන් පැරදුණේ.”

විජේසේකර මහතාගේ කතාව අතරමඟදි අපි අසන්නට වීමු.

“කන්නන්ගර මහත්තයා වැඩිය කතාබහ නෑ. ආඩම්බර පෙනුමයි. මට හිතෙන්නෙම ඒ නිසයි ඡන්දය පැරදුණේ කියලා. එතුමා සමඟ ඡන්දය ඉල්ලු විල්මට් පෙරේරා මහතා ඊට හාත්පසින්ම වෙනස්. ඔහුට සල්ලි තිබුණා.”

ඔහුගේ කතාව අවසානයේ අපට සිතුණේ කන්නන්ගර මහතා දේශපාලනය කළාට එයින් මුදල් ඉපැයු කෙනෙක් නොවන බවය. වැඩිදුර තොරතුරු සෙවීමේදී එය ඇත්තක් යැයි පිළිගන්නට අපට සිදු විණි.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන්, අධ්‍යාපනය ලැබු කන්නන්ගර මහතා 1092 දී කේම්බ්‍රිජ් ජ්‍යෙෂ්ඨ විභාගයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන්ම ප්‍රථමයා වී ඇත. පාසල් අධ්‍යාපනයෙන් පසු රිච්මන්ඩ් විද්‍යාලයේම ගණිත ගුරුවරයකු ලෙස කටයුතු කළ එතුමා වේල්ස්කුමර, මෙතෝදිස්ත සහ වෙස්ලි විද්‍යාලවල ගුරුවරයකු ලෙස සේවය කර ඇත. පසුව ගුරු වෘත්තියෙන් ඉවත් වී නීතිය හදාරා නීතිඥ වෘත්තියට එළැඹි එතුමා 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරි පත් වන්නේය.

මෙරට ප්‍රථම අධ්‍යාපන ඇමැතිවරයා වන්නේ එතුමාය. කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපන ක්‍රමය මෙරටට හඳුන්වා දෙන්නේ 1943 වසරේදීය. ලංකාවේ පළමු මධ්‍යමහා විද්‍යාලය වන මතුගම මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කරන්නේ ද එම වසරේදීමය. 1944 දී පනතක් ගෙන එමින් නිදහස් අධ්‍යාපනය සඳහා මහඟු යෝජනා රැසක් ක්‍රියාත්මක කරන්නට වෙහෙසෙන කන්නන්ගර මැතිතුමාට පළමු ඇඟිල්ල දිගු කරන්නෙ රටේ ධනපති පන්තියයි.

“කන්නන්ගරගේ ඔය පනත සම්මත වුණාම අපිට ගහකින් ගෙඩියක් කඩාගන්න වත් කොල්ලෙක් නැති වෙයි” අපේ පැරැණියන් අදද මේ කතාව කියනු අසා ඇත.

අධ්‍යාපන පනත සම්මත වුවද, එය ක්‍රියාත්මක කිරීමේදී එතුමාට අන් අයගේ සහාය ලැබී ඇත්තේ අඩුවෙනි. 1947 පැවැති ඡන්දයෙන් කන්නන්ගර මහතා තම ආසනය ජයගන්නට බැරි වන්නේ විල්මට් ඒ. පෙරේරා මහතාට පරාජය වීම නිසාය. 1952 පසුව පැවැති ඡන්දයකදී අගලවත්ත ආසනයෙන් තරගකොට ජය ගත්තද එතුමාට හිමි වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය නොව පළාත් පාලන අමාත්‍ය ධුරයයි.

කලකට පෙර එතුමාගේ කතාවක් අසා සිටින ඉන්දියානු මහ කොමසාරිස් එම්. එස්. ආනි මහතා කතාව අවසානයේ කන්නන්ගර මහතා තම දෑතින් බදාගනිමින් පවසන්නේ “අයියා ඔබ ඉන්දියාවේ වූයෙහි නම් දෙවියකු සේ පූජනීයත්වයට පත් වෙනවා.” යනුවෙනි.

සමරුවක් නැති විරුවෙක්

මෙරටද පූජනීයත්වය පත් විය යුතු කන්නන්ගර මහතා විශ්‍රාම දිවියට එළැඹිමත් සමඟ තත්ත්වය වඩාත් නරක වන්නේය. එතුමාට ජීවිතයේ සැඳෑ කාලයේදී ජීවත් වීමට විශ්‍රාම වැටුපක් ලබාගන්නට වන්නේ එවකට සිටි කථානායකවරයාට ඉල්ලීමක් කරය. ලැබුණ විශ්‍රාම වැටුප රුපියල් පන්සියයකි.

පසුකාලිනව එය රුපියල් දාහ දක්වා වැඩි වී ඇත. 1969 වසරේ සැප්තැම්බර් මස 23 දා එතුමා කොළඹ ජාතික රෝහලේ ඇඳක් මත මිය යන්නේ පවුලේ අයගේ පමණක් අවධානයට ලක්වීය. රටකට මහා මෙහෙයක් කළ එතුමා ගැන ඒ වන විට බොහෝ දෙනෙකුට අමතක වී තිබිණි.

කන්නන්ගර මැතිතුමාට සිය පියාගේ භස්මාවශේෂ තැන්පත් කිරීම සඳහාද බිමක් නොතිබූ අතර 1938 දී ලූල්බද්දූවෙන් පර්චර්ස් විසිපහක ඉඩමක් මිලට ගෙන ඇත්තේ රුපියල් තිහක මුදලක් ගෙවාය. කන්නන්ගර මහතාගේ භස්මාවශේෂ තැන්පත් කර ඇත්තේද එම බිමේය.

කන්නන්ගර මහතා පිළිබඳ කියවන විට සිතට දැනේනේ අභිමානයකි. මන්දයත් එතුමාගේ ප්‍රතිපත්ති නිසා මෙරටට බොහෝ උගතුන් විද්වතුන් බිහි වී ඇති නිසාය. බිහිවෙමින් පවතින නිසාය. නමුදු හද තුළ දුකක් ඇති වන්නේ අදත් එතුමා ගැන මේ සමාජය තුළ ප්‍රබල කථිකාවක් මෙන්ම ජාතික මට්ටමේ සැමරීමක් නැති බැවිනි.

කලක් හල්වල විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙසින්ද කටයුතු කළ පහුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති මාවිට සෝමාලෝක ස්වාමීන් වහන්නේ පවසන්නේ මෙවැනි කතාවකි.

“මම අදහන විශ්වාස කරන පළමු මානව හිතවාදියා තමයි ගෞතම බුදුරජාණන් වහන්නේ. ඒ හැරුණ විට අනෙක් මානව හිතවාදියා තමයි අපේ කන්නන්ගර මැතිතුමා. රටට මේ තරම් සේවයක් කළ කන්නන්ගර මැතිතුමා මීට වඩා රටේ පිළිගැනීමක් එතුමා ගැන සිහි කිරීමක් තිබිය යුතුයි.

“කන්නන්ගර මැතිතුමාගේ භස්මාවශේෂ තැන්පත් කර තිබෙන්නේ මේ ගමේ. මම කියන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් එතුමා සිහි කළ යුතුයි. සැමරිය යුතුයි. එතුමා ඉදිරිපත් කළ අධ්‍යාපන ප්‍රතිපත්තිය දිගින් දිගටම ක්‍රියාත්මක විය යුතුයි.”

ස්වාමීන් වහන්සේ පවසන්නේ දැඩිහඬිනි.

කන්නන්ගර මැතිතුමාගේ ගුණ සිහි කරනු වස් හල්ලවල සී. ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර විද්‍යාලය අද පින්කම් රැසක් පවත්වනු ඇත.

සේයාරූ - සමන් ශ්‍රී වෙදගේ

Comments