මාත් ඉතිං එක්තරා රස්තියාදුකාරයෙක්නේ | සිළුමිණ

මාත් ඉතිං එක්තරා රස්තියාදුකාරයෙක්නේ

 

“මං නං කැමතිම නෑ බස් එකේ යන්න..”

“වවුලගෙ ගෙදර ආව නං එල්ලිලා ඉන්න පුරුදු වෙනවා ඉලන්දාරියා..”

කිසිසේත් අ‍‍ෙප්ක්ෂා නොකළ ඒ කතාව ඔහුගේ මුවග සිනාවක් මතු කළේය.

අකැමැත්තෙන් වුව ඔහු බසයට ගොඩවිය. ඇය ඕනෑම බාධාවක් අබියස සැහැල්ලුවෙන් ද සොම්නසින් ද පසුවිම කොතරම් අපූරුදැයි නොසිතා ඉන්නට හෙතෙම අපොහොසත් විය.

“ඔයා මාරයි අමාලි...” යි ඔහු බසයේ තදබදය අතරේ වුව ඇගේ කනට කොඳුළේය.

“හිතන්න එපා මම රැවටෙයි කියලා ඔය චාටු කතාවලට...”

මගීන් සියලු දෙනාම පාහේ වෙළාගන්නා අසහනයෙන් තොරව ඔහු ප්‍රමුදිතව පසුවිය. ඇගේ සැහැල්ලුව ද සහනයද තමාට බෝ වන සෙයක් ඔහුට දැනිණ.

“බහිමු.. බහිමු..” යි එක්වරම ඇය කී කල ඔහු පුදුමයට පත් විය.

“තව යන්න ඕන නේද?”

“ඒ ෆාමසියටනෙ”

“ඉතිං ෆාමසියට නොවේද අපි යන්නෙ?”

උත්තරයක් දෙන්නට වේලාවක් නොතිබිණ.

“බහින්ඩ... බහින්ඩ... ඉක්මන් කරන්ඩ ඉක්මන් කරන්ඩ” යි කොන්දොස්තර හඬ ගෑ බැවිනි.

“අපි යන්නෙ පාක් එකට..” බසයෙන් බට කෙල්ල දැරියකගේ කෙළිලොල් බවින් කීවාය.

සතරකන් මන්ත්‍රණයකට ඒ කුඩා උද්‍යානය කිසිසේත් යෝග්‍ය නොවූවද, සිය අභිප්‍රාය හෙළිදරව් කිරීමෙන් පසු ඇය ළය පුරා ඉතිර පැතිර යන සැහැල්ලුවෙන් ද සැනසීමෙන් ද දිගු සුසුමක් හෙළුවාය.

ඔහු ඒ සුසුමින් නොව ඇගේ කතාවෙන් කම්පිතව බලා සිටියේය.

“මගෙ අම්මව අක්කව... ඔයාගෙ තාත්තව නැන්දව රවට්ටන එක පාපයක් නෙමේද අමාලි...?”

නිබඳ ඔහු වෙත දක්නට ලැබෙන සැහැල්ලු විලාසය අතුරුදහන්වූ සෙයකි.

“පව් පිං කෙසේ වෙතත් ඒ දේ කරන්නෙ මගෙ අම්මා වෙනුවෙන් නිසා මට නම් වැරැද්දක් පේන්නෙ නෑ...”

“ඔයා හිතන තරම් සරල අහිංසක දෙයක් නෙමේ මේක.”

ඇය දෑස හකුළා ගනිමින් ඔහු වටහා ගන්නට යත්න දැරුවාය. වෙනත් එකෙකැයි තමා වරදවා වටහා ගන්නේ දැයි සැකයෙන් හා වේදනාවෙන් “කිසි දෙයක් සරලත් නෑ අහිංසකත් නෑ රමේෂ්...” යි මිමිණුවාය.

නුදුරෙහි කෙළිදෙළෙන් දුව පනින දරු දැරියන් වෙත යොමු වූ ඔහ‍ුගේ දෙනෙත අඳුර වියැකිණ. සොයුරිය හා තමා කැටිව ඇවිදින්නට යෑමට ප්‍රිය කළ පියාගේ මතකය ඔහුගේ හද මොළොක් කරවයි.

“මේ රට මොන තරම් ලස්සන රටක් ද කියන එක ඔයාලා දැන ගන්නම ඕන. ඒකට ඉතිං ඇවිදින්න එපායැ... මේ වගේ පුංචි රටක අදහන්න බැරි තරම් ලොකු භූ විෂමතා තියෙනවය කියන එක ඔයාලා ඔයාලගේ ඇස් දෙකෙන් ම දකින්න ඕන...” යි කියන්නට රමේෂ්ගේ පියා පුරුදුව සිටියේය. සුන්දරත්වයට පෙම් බැඳි එහෙව් මිනිසෙකුගේ අකල් මරණය කොතරම් විශාල ඛේදවාචකයක්දැයි සිතුණෙන් රමේෂ්ගේ මුවින් නිතැතින්ම සුසුමක් ගිලිහිණ.

අමාලි සිනාසුණේ දයාවෙන් නොව අවඥාවෙනි.

“අපෝ.. ඔය තරම් කල්පනා කරන්නයි හූල්ලන්නයි දෙයක්ද මං කීවෙ..? හරි හරි ඔයාට බැරි නම් බෑ කියන්න... මං මොකක් හරි විකල්පයක් හොයා ගන්නම්..”

ඔහු ඇය දෙස එක එල්ලේ බැලුවේය. ඒ බැල්මෙහි වූයේ දැඩි බවකි.

“මට ඔයා එක්ක ඔයාගෙ අම්මව හොයන්න එන්න බැරිකමක් නෑ අමාලි. ඒත් ඒකට මේ තරම් ලොකු බොරුවක් ඕනද..? අපි මැරි කරනවා කියලා අපේ පවුල් දෙකම රවට්ටන්න ඕනද...?”

ඇය බංකුව මතින් නැගී සිටියාය. තවදුරටත් වාද විවාද අනවශ්‍ය බව ඒ එක් සරල ක්‍රියාවෙන් ගම්‍ය විය.

“මේක ලංකාව රමේෂ්... අම්මව හොයන්න වුණත් මම ඔයා එක්ක ඇවිදින එක ඉවසන්නෙ නෑ අපේ වැඩිහිටියො.. සැරයක් එහෙම ඇවිදලා මට මගේ හොඳම යාළුවා කසාද බන්දලා දෙන්න හැදුවා ඒ ගොල්ලෝ..”

ඔහුද නැඟී සිටියේ කිසියම් උද්දාමයකිනි.

“අන්න හරි.. අපි ඇවිදිමු.. අපි අම්මව යොයමු. එතකොට අපේ වැඩිහිටියො අපිව කසාද බන්දන්න හදයිනෙ. බොරුවකින් පටන් ගන්නවට වඩා ඒක හොඳ නැද්ද අමාලි..?”

ඇය මඳක් සිතා බැලුවාය.

“අනේ මංදා රමේෂ්.. ඒ ගොල්ලො අෂේන්ගෙ තාත්තවත් මට ප්‍රපෝස් කරන්න හැදුවා. බ්‍රයන්ටයි නලින්ටයි වඩා නම් ඔයාට ලකුණු දෙයි තමා.”

“ඒ මොකද? මාත් ඉතිං එක්තරා රස්තියාදුකාරයෙක්නෙ. රටින් රට රස්තියාදු ගහන රස්තියාදුකාරයෙක්. ඔයාගෙ ප්‍රින්සිපල් තාත්තා මට ලකුණු දෙන එකක් නෑ අමාලි..”

ඇය හඬනගා හිනැහුණාය.

“දේශීය රස්තියාදුකාරයාගෙයි ජාත්‍යන්තර රස්තියාදුකාරයාගෙයි වෙනස්කම් සමානකම් විග්‍රහ කර කර ඉන්න වෙලාවක් නෑ ඉලන්දාරියා. අපි යමුද?”

“කොහෙද?”

ඇය නෝක්කඩු බැල්මක් හෙළුවාය. ඔහුගේ සිත සසල කරන්නට තරම් ඒ බැල්ම සොඳුරු විය. එහෙත් ස්ත්‍රි බැල්මකින් තමා සසල වූ බවක් පිළිගන්නට ඔහු කැමති වූයේ නැත.

“ඔන්න ඉතිං මතක නෑ.. අපි යන්නෙ අම්මව හොයන්න..”

ඔහු හිස සැලුවේ මෝදු වන දයානුකම්ප‍ාවෙනි. ඇගේ මවගේ අතුරුදන් වීම පිළිබඳව තවදුරටත් විමසා දැනගත යුතු බව ඔහුට සිතිණ. ඔහු වැඩිමනත් යමක් නො අසන්නට වගබලා ගත්තේ අමාලිගේ සිත පෑරෙනු ඇතැයි සැකයෙනි.

“බස් එකේ ගිහිං හොයන්න බෑ නේද අමාලි. ඔයා මට අද දවස විතරක් දෙන්න. මම කාර් එකක් රෙන්ට් එකට අරගෙන ප්ලෑන් කරගන්නකම්..”

හදිසියේ හැමූ සුළඟ වියළි පත් වැස්සකට මුල පිරුවේය. අහිමි කරන ලද පත් පිළිබඳව තැවෙන්නට ඒ තුඟු තුරට ඉසිඹුවක් නැත. නව දළ මල් විතරක් ද... අතු ඉති අරා නළියන දහසක් ජීවීන් මෙන් ම පොළොවේ කිඳා බැස දිය සොයා යන අනන්ත ප්‍රාණීන් රැස පිළිබඳවද විසල් රුක කරදර විය යුතුය.

“මං නං කැමති බස් එකේ යන්න. කාර් වෑන් වගේ පෞද්ගලික වාහනවල යද්දි අපට හුඟක් දේවල් මඟහැරෙනවා ‍රමේෂ්...”

ඔහු උනන්දුවෙන් ඇහුම්කන් දුන්නේය.

“විශේෂයෙන් ඔයා බස් එකේ යන්න ඕන රමේෂ්.. මේ රටේ මිනිස්සුන්ට ජීවිතය තෑග්ගක් නෙමේ දඬුවමක් කියන එක තේරෙන්න නම් බස් එකෙන් ම තමා යන්න ඕන..”

“ඔයාගෙ කතාවල හිතන්න හුඟක් දේවල් තියෙනවා අමාලි.. මං කැමතියි ඔයා එක්ක කතා කරන්න.”

ඇය පාව යන වියළි කොළයක් අල්ලා ගත්තේ දැරියකගේ දාංගලයෙනි.

“අපි හෙට උදේ බස් එකේ යන ගමං කතා කරමු..”

“කීයටද?” යි ඔහු ඇහුවේ ඉංග්‍රීසියෙනි.

“ඔයා අපේ ගෙදර ඇවිත් මාත් එක්ක ගමනක් යන්න අපේ තාත්තගෙනුයි නැන්දගෙනුයි පර්මිෂන් ගන්න ඕන. තාත්තා ඉස්කෝලෙට යන්න කලිං එන්න.”

ඔහු අවුල් සහගත සිතින් ඇය පසුපස ඇවිද ගියේය.

“බැරි වෙලාවත් ඔයාගෙ තාත්තා පර්මිෂන් නොදුන්නොත්..?”

“එතකොට ඒක බලා ගමු.. මං නං කලිං තැවි තැවි ඉන්නෙ නෑ.. එන එන හැටියට ගහ උලුවස්සා කියනවනේ..”

“ඒ කියන්නෙ ගඟ මැදදි ඔරුව පෙරළුණත් ඔයා කලබල වෙන්නෙ නෑ...?”

“නෑ.. පෙරළුණු පිට හොඳයි කියනවා..” යි කී ඇය හිනැහුණාය. ඔහු ද ඉතා ඉක්මණින් ඒ හිනාවට හවුල් විය. ඔවුන්ගේ සිනා හඩ උද්‍යානයේ පියකරු බව වඩාත් උළුප්පා දැමුවේය. වියළි පත් පවා පෙර නොවූ විරූ ප්‍රබෝධයකින් රඟ දුන්නේය.

* * * * *

‍රමේෂ් සැක කළ ලෙසින් ම සිරිමාන්න සිය අනුමැතිය ලබා දුන්නේ අවවාද අනුශාසනා අටෝරාශියකගෙන් පසුවය.

“හුඟක් කල් පිටරටක හිටපු කෙනෙක් නිසා රමේෂ් පුතාට අපේ සංස්කෘතිය ගැන ලොකු අවබෝධයක් හරි ලොකු හැඟීමක් තැකීමක් හරි නැතිව ඇති..”

තවදුරටත් නිහඬව හිඳින්නට අපොහොසත්වූ අමාලි එක එල්ලේ රමේෂ් දෙස බැලුවාය.

“ඔයා යන්න ‍රමේෂ්.. ඔයයි මායි ගමනක් යන්නෙ වාහනේක මිසක ඔය සංස්කෘතියේ සභ්‍යත්වයේ එල්ලිලා නෙමේ. ඒ අටමගලෙ පරිස්සං කරගෙන මම ගෙදර ඉන්නං..”

විදුහල්පති සුරත ඉහළට එසවිණ. අතුල් පහරකින් ඇය ගැලවුණේ මේ සුවිශේෂි හා අපූරු තරුණයා හේතු කොටගෙනය. සිරිමාන්න තුළ ඔහු කෙරෙහි ඇල්මක් මෙන් ම ගෞරවයක් ද වැඩෙමින් තිබිණි.

එහෙත් ඒ බවක් හරියාකාරව නොදත් සුනන්දා “අනේ අයියේ” යි බෙරිහන් දුන්නාය. පිටස්තරයෙකු අබිමුව දියණිය පහර කෑම ඉවසන්නට ඇයට කිසිසේත් නුපුළුවන.

“ඔන්න බලාගන්න රමේෂ්, අපේ සංස්කෘතිය. අකීකරු වුණොත් ගුටි. කියනදේ අහගෙන කරබාගෙන නොහිටියොත් ගුටි බැට විතරක් නෙමේ මරණයත් උරුම වෙන්න ඉඩ තියෙනවා..”

යුවතිය නොබියව නුපුරුදු සැහැල්ලු විලාසසෙයන් ම තෙපළුවාය.

 

ලබන සතියට‍...

 

Comments