මාතෘ නිවාඩු ලත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවන් | සිළුමිණ

මාතෘ නිවාඩු ලත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකාවන්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය එරට ක්‍රිකට් ක්‍රීඩක සම්මේලනයේද සහයෝගය ඇතිව සිය ක්‍රීඩිකාවන්ට මාතෘ නිවාඩු ක්‍රමයක් ක්‍රියාවට නංවා ඇත.

'කැන්ගරු' ක්‍රිකට් ඉතිහාසයේ එවැනි පියවරක් ගන්නා ලද පළමු අවස්ථාව මෙය වේ.

'ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මාතෘ නිවාඩු සැලසුම' පසුගිය ජූලි පළමුවෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාවට නංවා ඇත.

එම සැලැස්ම අනුව ප්‍රාන්ත සහ ජාතික මට්ටමේ මෙන්ම 'බිග් බෑෂ්' කොන්ත්‍රාත්තු සහිත ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට වැටුප් සහිත මාස දොළහක නිවාඩුවක් ලැබේ.

තමා විසින්ම ප්‍රසූත කරන ලද දරුවන් වෙනුවෙන් මෙන්ම හදාවඩා ගැනීම සඳහා ලබාගත් දරුවකු වෙනුවෙන් ද වැටුප් සහිත එම "දෙමාපිය නිවාඩුව" ලැබෙනු ඇත.

මෙම වැඩ පිළිවෙලේ තවත් විශේෂ ප්‍රතිලාභයක් වන්නේ, කොන්ත්‍රාත්තුවක් සහිත ක්‍රිකට් ක්‍රීඩිකාවක් ගැබ්ගත් විට හෝ හදාවඩා ගැනීමට දරුවකු ලබාගත් අවස්ථාවක ඇයගේ සහකරුට හෝ සහකාරියට ද සුමාන තුනක වැටුප් සහිත නිවාඩුවක් පිරිනැමීමය.

ඉහත කී සැලැස්ම අනුව එම වසරක මාතෘ නිවාඩුව අවසන් වීමෙන් අනතුරුව, ඊළඟ වසරේ පටන් ඔවුන්ගේ ක්‍රීඩා කොන්ත්‍රාත්තු යළි බලපැවැත්වේ.

එපරිද්දෙන් කොන්ත්‍රාත්තු යළි බල ගැන්වීමට අමතරව, දරුවාට වසර හතරක් වනතෙක් වෙනත් ප්‍රතිලාභ රැසක් ද ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට හිමිවෙන බව නව වැඩ පිළිවෙල මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

(බී.බී.සිය ඇසුරෙනි)

Comments