මෝටර් රථ දඩ කොළ භාෂා තුනෙන්ම | සිළුමිණ

මෝටර් රථ දඩ කොළ භාෂා තුනෙන්ම

මෝටර් රථ වැරදි සඳහා පොලීසිය විසින් නිකුත් කරනු ලබන "මෝටර් රථ වීදි දඩ කොළය" හෙවත්  රියදුරු බලපත්‍රය වෙනුවට නිකුත් කරනු ලබන අවසර පත්‍රය ප්‍රථම වරට භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්ගේ මූලිකත්වයෙන් මේ සඳහා අදාළ අංශ සමඟ  සාකච්ඡා සිදු කෙරුණු අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා කියා සිටියේ "1951 වසරේදී හඳුන්වා දුන් මෙරට මෝටර් රථ වීදි දඩ කොලය මේ වනතෙක් සටහන් වූයේ එක් භාෂාවකින් පමණක්“ බවයි.

විශේෂයෙන්  උතුරේ පොලිස් නිලධාරීන් දඩ කොළය සිංහලෙන් ලියූ විට දඩකොලය ලබා ගන්නා පුද්ගලයන්ට එය කියවා ගැනීමේදී අසීරුතාවයන්ට මුහුණ දීමට සිදු වු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

දීර්ඝකාලීන සාකච්ඡාවලින් අනතුරුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංගගේ අත්සනින් යුතුව භාෂා ත්‍රිත්වයෙන් යුත් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් රාඝවන් වැඩිදුරටත් කියා සිටියේය.

භාෂාව නොදන්නා අයෙකුට වුවද තම වරද හඳුනා ගත හැකි ආකාරයට මාර්ගයේ සිදු කරන වැරදි අංක ගත කර සිදු කළ වරද අංකයක් ආකාරයට දැක්වීම මෙහි විශේෂත්වයක් වෙයි.

ඒ අනුව අදාළ අංකය බලා තම භාෂාවෙන් ඊට අදාළ වරද හඳුනා ගත හැකිය. 

මෙය ප්‍රජාතන්ත්‍ර අවකාශය සඳහා ලබා ගත් විශාල ජයග්‍රහණයක් බව වැඩිදුරටත් අදහස් දක්වමින් උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් ප්‍රකාශ කළේය.

 

Comments