පාට පැන්සල් සොරකමට ගුරුවරයා දුන් දඩුවම | සිළුමිණ

පාට පැන්සල් සොරකමට ගුරුවරයා දුන් දඩුවම

හැටන් කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල යටතේ පාලනය වන පාසැලක ගුරුවරයෙකු තුන්වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලීසිය පරීක්ෂණ පවත්වයි.

පහර කෑමට ලක්වූ සිසුවා ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

අදාළ සිසුවාගේ ශරීරයේ තැලීම් සහ තුවාල 08 ක් දක්නට ලැබෙන බව වෛද්‍යවරු පවසති.

මෙම පහර දීම ඉකුත් 11 දා සිදුව තිබෙන අතර ඒ පිළිබඳ ඔහු දින තුනක් යනතුරු දෙමව්පියන්ට පවසා නැත.

සිසුවා පාසැල් නොගොස් අසනීප තත්ත්වයෙන් නිවසේ සිටියදී සොහොයුරිය කරුණු විමසා සිද්ධිය දෙමව්පියන්ට දැනුම් දී තිබේ.

පාසැලේ ගුරුවරයෙකු කෝටුවකින් දරුවාගේ ශරීරයේ ස්ථාන ගණනාවකට පහරදී තිබෙන බවත් මේ හේතුවෙන් පාසැල් යාමට නොහැකි බව දරුවා පවසන බවත් ඔහුගේ මව වන ආර්.මලර් පැවසුවාය.

සිද්ධිය සම්බන්ධයෙන් දික්ඔය මුලික රෝහලේ රෝහල් පොලිසිය මගින් හැටන් මුලස්ථාන පොලිසිය වෙත කරුණු වාර්තා කර තිබේ.

මේ සම්බන්ධව අදාළ පාසැලේ සිංහල අංශයේ ගුරුවරියකගෙන් කළ විමසීමකදී ඇය ප්‍රකාශ කළේ රෝහල් ගත කර සිටින සිසුවා අවස්ථා කිහිපයකදීම පාසලේ අනික් සිසුන්ගේ පාට පැන්සල් සොරකම් කිරිම සම්බන්ධයෙන් අවවාද කර සිටි සිසුවෙකු බවයි.

ඉකුත් සිකුරාදා (11) එවැනිම සොරකමක් සිදුකිරිම සම්බන්ධයෙන් විදුහලේ ගුරුවරයෙකු විසින් සිසුවා යහමගට ගැනිමේ චේතනාවෙන් අවවාද කර වේ වැලකින් පහරවල් කිහිපයක් ගසා ඇති බවද ඇය කීවාය.

(අසේල කුරුළුවංශ)

Comments