සඳ තරණයේදී ගගනගාමීන්ට අලුත් අභ්‍යවකාශ ඇඳුමක් | සිළුමිණ

සඳ තරණයේදී ගගනගාමීන්ට අලුත් අභ්‍යවකාශ ඇඳුමක්

සඳ මත ගොඩබැසීමට සූදානම් කෙරෙන මීළඟ ගගනගාමීන්ට ඇඟලීම සදහා නිර්මාණය කෙරුණු නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයේ මූලාකෘතිය, නාසා හෙවත් ඇමෙරිකාවේ ජාතික ගගන හා අභ්‍යවකාශ ඒජන්සිය විසින් එළිදක්වනු ලැබීය.

නාසා ආයතනයේ ප්‍රධානී ජිම් බ්‍රයිඩන්ස්ටයින් විසින් ඊළග පරපුරේ ඇඳුම් කට්ටලය විශේෂ වැඩසටහනක් අතරතුරදී ප්‍රදර්ශනය කරන ලදී.

The xEMU නමැති මෙම ඇඳුම් කට්ටලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ භාවිත කරන ඇඳුමට සමානය.

කෙසේ වෙතත්, නාසා ආයතනය පැවසුවේ, මෙම ඇඳුම් කට්ටලය සඳ මත ඇවිදීමේදී පහසු සහ යෝග්‍ය ආකාරයට වැඩි දියුණු කර ඇති බවය.

මෙහිදී ඔරායන් (Orion) අභ්‍යවකාශ යානය දියත් කරනවිට හා යළි පැමිණෙන විට එතුළදී කාර්ය මණ්ඩලය පැළඳිය යුතු හිස් ආවරණය සහ ඇඟලිය යුතු තැඹිලි පැහැති ඇඳුම ද ප්‍රදර්ශනය කරන ලදී.

Orion යනු අභ්‍යවකාශ ෂටලය වෙනුවට භාවිත කෙරෙන ආදේශක යානයකි. එහෙත් එය ෂටලයට වඩා වෙනස් ලෙස නිර්මාණය කර ඇත්තේ ගගනගාමීන් සඳට සහ ඈත අභ්‍යවකාශයේ අනෙකුත් ඉලක්ක වෙත ගෙන යාම සදහාය.

Exploration Extravehicular Mobility Unit (ගවේෂණ අතිධ්වනි සංචලතා ඒකකය - xEMU) ලෙස නම් කර ඇති නව සඳ ඇඳුම (Moon suit) එය ඇඟලන ගගනගාමීන්ගේ ශරීර ප්‍රමාණයට සරිලන පරිදි සකස් කර ගැනීම සඳහා නිර්මාණය කර ඇත.

මෙම නව ඇදුම් කට්ටලය හේතුවෙන් මෙතෙක් පැවති තත්ත්වයේ සැලකිය යුතු වෙනසක් වනු ඇත. නාසා ගගනගාමී ඈන් මැක්ලේන් හට සුදුසු ප්‍රමාණයේ ඇඳුමක් නොමැති නිසා මාර්තු මාසයේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ කාන්තාවන්ගෙන් පමණක් සමන්විත වූ පළමු අභ්‍යවකාශ ඇවිදීම නතර කිරීමට සිදුවිය.

මෙම ඇඳුමෙහි ඉණ ප්‍රදේශය ගගනගාමියාගේ ඉණෙහි ප්‍රමාණයට සකස් කර ගැනීම සදහා විශාල පරාසයක් තුළ අඩුවැඩි කළ හැකිය.

නාසා ආයතනයේ අභ්‍යවකාශ ඉංජිනේරු ක්‍රිස්ටීන් ඩේවිස් එම ඇඳුමේ විශේෂතා නිරූපණය කළේ, ඇගේ දෑත් කරකැවීම, පාද නවා ඉද ගැනීම වැනි ඉරියව් ප්‍රදර්ශනය කරමිනි.

"මේ ඇදුමේ තියෙන ලොකු ම දේ තමයි නම්‍යශීලීභාවය. ගගනගාමියෙකුට යම් පාෂාණ කැබැල්ලක් අහුලා ගන්න හරි නැත්නම් යම් උපකරණයක් බිම රදවන්න හරි ඕන වුණොත් ඔහුට ඒ දේවල් පහසුවෙන් කරන්න ඉඩ ලැබෙනවා මේ ඇදුමේ තියෙන නම්‍යශීලි බව නිසා," නාසා ගගනගාමී කේට් රූබින්ස් පැවසීය.

මෙම ඇඳුම තුළ 100%ක් ඔක්සිජන් ක්‍රියාකාරීත්වයක් පවතින අතර ගගනගාමීන්ට ඔවුන්ගේ ශරීරයෙන් නයිට්‍රජන් පිට කිරීම සඳහා වෙන ම කාලයක් ගත කිරීමට සිදු නොවේ. ඇඳුමේ ජීවිත ආධාරක පද්ධතිය ගගනගාමියාට පැය අටක පමණ කාලයක් වාතාශ්‍රය සැපයෙන අතර අමතර පැයක ආරක්ෂිත කාලයක් සැපයේ.

මෙහිදී Orion අභ්‍යවකාශ යානයේ කාර්ය මණ්ඩල ආරක්ෂිත ඇදුම ද ප්‍රදර්ශනය කෙරිණි.

(බී.බී.සිය ඇසුරෙනි)

Comments