ජාතිවාදයෙන්, ආගම්වාදයෙන්, කුලවාදයෙන් තොරව සමාජ සේවයට කැප විය හැකි එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව, 35 වසරක කීර්තිමත් හමුදා සේවයෙන් ඉසිඹු ලැබූ හිටපු මේජර් ජනරාල් නිශ්ශංක රණවන මහතා පැවැසීය. හමුදා සේවයෙන් ලැබූ පන්නරයෙන් ඉදිරියටත් රටට, ජාතියට මෙන්ම සමාජයට වැඩදායි යමක් කිරීමේ අරමුණෙන් දේශපාලනයට පිවිසෙන බව කියන රණවන මහතා පසුගියදා එජාපයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස පත් කෙරිණි. මේ හිටපු මේජර් ජනරාල් රණවන මහතා සමඟ සිළුමිණ කළ සම්මුඛ සාකච්ඡාවයි.
● යුද හමුදා සේවයෙන් පසුව දේශපාලනයට එන්න හිතුවේ ඇයි?
වසර 35ක යුද හමුදා රාජකාරියේදී රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම මම රාජකාරි කළා. එම රාජකාරි කටයුතුවලදී විශේෂයෙන්ම යුද සමයෙන් පසුව මහජනයා සමඟ සමීපව කටයුතු කරමින් බොහෝ සේ ජනයාගේ පොදු වැඩකටයුතුවලට මගේ උපරිම දායකත්වය දුන්නා. එහෙම මහජනයා සමඟ සමීපව කටයුතු කරද්දී බොහෝ දෙනා කී කතාවක් තමයි, සාමාන්‍ය යුද හමුදා නිලධාරියෙකුට වඩා මගෙන් විශේෂත්වයක් දකින බව. ඒ මං මහජනයා සමඟ සමීපව කටයුතු කිරීම නිසායි. ඒ වගේම මගේ ඇඟේම තියෙන සමාජ සේවය කිරීමේ උනන්දුව. ඒ නිසා මං හිතුවා හමුදා සේවයෙන් විශ්‍රාම යෑමත් සමඟ රටේ ජනතාවට සේවයක් කිරීමට දේශපාලනය තෝරාගත යුතුයි කියා. අන්න ඒ නිසායි මං දේශපාලනයට එන්න හිතුවේ...
● ඔබගේ දේශපාලනයට එජාපය තෝරාගත්තෙ කුමක් නිසා ද?
මට ආරාධනාවක් ලැබුණා අගමැතිතුමා සහ මහනුවර එක්සත් ජාතික පක්ෂ නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් එක්සත් ජාතික පක්ෂයට එක් වන්නයි කියා. ප්‍රතිපත්ති වශයෙන් බලන විට විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පෙරමුණ කියන ප්‍රධාන බලවේග දෙකේ ප්රතිපත්තිවලින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති දිහා බැලුවාම පේනවා එදා සිටම සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු මේ රටේ සියලු ජාතී, ආගම්වලට එකම මේසයක සිට කතා කළ හැකි සමානත්වයෙන් සලකන පක්ෂයක් කියලා.
එදා 1948 ඩී.එස්. සේනානායක මහතාගේ සිට වත්මන් නායක රනිල් වික්‍රමසිංහ දක්වා ස්ථාවර ප්රතිපත්තියක සිටින පක්ෂය එජාපය. සුළු ජාතීන්ට, මහ ජාතීන්ට එක සමානව සැලැකීම තමයි මේ රටේ මේ ප්‍රශ්නවලට දිය හැකි එකම සහ හොඳම පිළිතුර. අන්න ඒ පිළිතුර නිවැරැදිව දෙන්නෙ එජාපය. පොදුජන පෙරමුණ කරන්නෙ මොකද්ද, මේ රටේ ජාතිවාදය, ආගම්වාදය අවුස්සමින් නැති ප්‍රශ්නයක් රටේ ගොඩනඟන්නයි හදන්නෙ. එසේම එතැන තියෙන්නෙ පවුල්වාදයක්. ඒ පවුලට අයවැයෙන්ම සියයට 90කට වැඩිය වෙන් කරගන්නවා. ඒ වගේම එජාපය කියන්නෙ පොඩි මිනිහට වුවත් රටේ නායකයා දක්වා ඉහළටම යා හැකි පක්ෂයක්. ඔන්න ඔය කරුණු තමයි මට එජාපය තෝරාගැනීමට මූලික ලෙසම බලපෑවේ.
● හිටපු හමුදා නිලධාරියෙකු ලෙස ඔබ පවසන ජාතිවාදය, ආගම්වාදය මතු කරමින් ඇතැම් දේශපාලන පක්ෂ කරන දේශපාලන සෙල්ලම' රටට බලපාන්නෙ කෙසේ ද?
රටට ඉතාම අහිතකර ප්‍රවණතාවක්. සුළු ජාතීන් කොන් කිරීම කිසිසේත්ම සුදුසු දෙයක් නොවේ. එසේ සුළු ජාතීන් කොන් කිරීම යනු එම ජනයා ඉබේම ත්රස්තවාදයට ඇද දැමීමක්. ඒ සුළු ජාතීන්හි සිටින තරුණ ළමයින්ගේ සිත්වලට කා වැදෙනවා අපි මේ රටේ ඉපදුණත්, අපට සිංහල මහ ජාතිය සමඟ එකට හිටගන්න බැහැ කියා. දේශපාලනඥයන් පවසනවා නම් රටට සිංහල බෞද්ධ ජනතාව පමණයි අවශ්‍ය කියා සුළු ජාතීන් ඉබේටම ත්රස්තවාදයට ඇද වැටෙනවා.
හිටපු හමුදා නිලධාරියෙකු ලෙස කාරුණිකව විපක්ෂයේ දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටිනවා ජාතිවාදය, ආගම්වාදය අවුස්සමින් නැවතත් රට අරාජික තත්ත්වයකට ගෙන යන්න එපා කියා. ඔවුන්ගෙන් ඉල්ලනවා සුළු ජාතීන්ට කෙනහිලිකම් කරලා නැවතත් අනාගතයේ ත්‍රස්තවාදය හිස ඔසවන වටපිටාවක් හදන්න එපා කියලා.
● ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරමින් ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්ෂාව බාර ඇමැතිවරයා ලෙස පත් කරන බව පැවැසුවා...
පක්ෂ විපක්ෂ බේදයකින් තොරව හිටපු හමුදා නිලධාරින් සමඟ පසුගිය දිනවල මම කතා කරන විට ඔවුන් එම ප්‍රකාශය ගැන බොහෝම පැහැදීමකින් කතා කළේ. එය තමයි විය යුත්තේ කියා හැමෝම කියන්නෙ. හමුදා නිලධාරියෙකු ලෙස මම සරත් ෆොන්සේකා මහතා සමඟ එක්ව වැඩ කරලා තියෙනවා. මං දන්නවා එතුමාගේ දක්ෂතාව. කීප වරක්ම යුද පිටියේදී වෙඩි කාපු යුද වීරයෙක්. මේ මොහොතේ සත්‍ය කියනවා නම්, කවුරු මොනවා කීවත්, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නොසිටියානම් කවදාවත් ත්‍රස්තවාදය මේ රටෙන් තුරන් කරන්න බැරි වෙනවා. එතුමා කෙළින් වැඩ කළ කෙනෙක්.
යුද්ධයෙන් පස්සෙ ෆොන්සේකා මහතාගෙන් වැඩක් ගත්තෙ නැහැ. මං නැවතත් කියන්නෙ සජිත් ප්‍රේමදාස මහතා සුදුසු කෙනාට සුදුසු තැන දෙන බවට දුන් නියම සහතිකය තමයි සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාව බාර දෙන බවට කළ ප්‍රකාශය. එ් වගේම අනෙකුත්
ක්ෂේත්‍රවලටත් සුදුසුකම්ලත් නිපුණයන්ට අවස්ථාව ලැබෙන බවට රටේ ජනතාවට දැන් නියම සහතිකයක් ලැබී තිබෙනවා. පොදුජන පෙරමුණ නඟන චෝදනාවක් වන එජාපය බලයට පැමිණියහොත් රටේ ජාතික ආරක්ෂාව බිංදුවට වැටෙනවා කියන කතාව මේ ප්‍රකාශයෙන් පුස්සක් වෙනවා. මොකද ජාතික ආරක්ෂාව රටේ තහවුරු කළේ එවකට හමුදාපතිව සිටි ෆොන්සේකා මහතා සමඟ එක්ව හමුදා නිලධාරින් වන අපියි. අපි කවදාවත් මේ රටේ ජාතික ආරක්ෂාව බිංදුවට වැටෙන්නට ඉඩ තියන්නෙ නැහැ.
● පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධය මෙහෙයවූයේ හිටපු හමුදාපතිවරයා බව ප්‍රකාශ කළා. ඇත්තටම මොකක්ද වුණේ...
ඒ ප්‍රකාශය සත්‍යයක්. එතුමා දන්නවානේ මොකද වුණේ කියා. ඒ වගේම හැමෝම දැක්කනේ... සරත් ෆොන්සේකා යුද්ධය මෙහෙයවූ ආකාරය. ඔහු සතියකට කී වරක් නම් යුද භූමියට ගියාද... ඒ කාලයේ යුද භූමියේ සිටි අපට එතුමාගේ පැමිණීම ලොකු ශක්තියක්. තරුණ සොල්දාදුවන්ට දිරිය දීමක්. යුද ජයග්‍රහණයට සොල්දාදුවාගේ සිට අපි හැමෝම කැප වුණා වගේම මේ රටේ ජනතාවත් ලොකු කැප කිරීමක් කළා. එම නිසා යුද ජයග්‍රහණයේ නියම කොටස්කරුවන් ලෙස මේ රටේ ජනතාවත් සැලැකිය හැකියි.
● නිතරම සිදු වන රණවිරු උද්ඝෝෂණ සමඟ පැනනැඟී තිබෙන ගැටලුව කුමක් ද?
අපි යුද්ධය කළේ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. සෙබළුන් හෙල්මට් නැතිව, එකම ඇඳුම් දවස් ගණන් ඇඳගෙන, ඒ වගේම ඇතැම් අවස්ථාවල දවස් ගණන් කන්ඩ නැතිව, වර්ෂාවට තෙමෙමින්, අව්වට වෙළෙමින්, සපත්තුවලට කකුල් කුණු වෙලා... එහෙමයි යුද්ධ කළේ. අපි ඒ දේ කළේ මහත් අභිමානයකින්. එම නිසා රණවිරුවන් පාරේ කළ උද්ඝෝෂණය මම අනුමත කරන්නෙ නැහැ. අපි සොල්දාදුවන් ලෙස මේ රටේ සියලු දෙනාටම ආදර්ශයක් සැපයිය යුතුයි. දොස්තරවරුන්, හෙදියන්, දුම්රිය සේවකයන් මෙන්ම අනෙකුත් ක්ෂේත්රවල පුද්ගලයන් ජනතාව පීඩනයට පත් කරමින් කරන උද්ඝෝෂණවල තත්ත්වයට සොල්දාදුවන් වැටෙන්න හොඳ නැහැ. ඒ සියලු දෙනාට වඩා සොල්දාදුවාට අභිමානයක් තියෙනවා. පාරේ සටන් සොල්දාදුවන්ට උචිත නැහැ. නමුත් පසුගියදා සිදුවූ පාරේ සටන් අපි මේ රටට කළ සේවයට, අභිමානයට වූ කැළලක් ලෙසයි මම දකින්නෙ. එම නිසා මං බොහෝම ගෞරවයෙන් සෑම සොල්දාදුවෙක්ගෙන්ම ඉල්ලා සිටිනවා අපි අපේ අභිමානය කෙලෙසගන්න එපා කියා.
රණවිරුවන්ගේ ප්‍රශ්නය පසුගිය ආණ්ඩු කාලෙත් තිබුණා. ඒත් කවුරුවත් පාරට බැස්ස ද? නෑනේ. දන්නවා මොකද වෙන්නෙ කියලා. ඔය කිසිම රජයකට වඩා රණවිරුවන් ඇතුළු සියලු දෙනාටම පඩි වැඩි කරමින් සුබසාධන වැඩ කොටසක් කළේ මේ රජය. මේ උද්ඝෝෂණ සිදු වන්නෙ දේශපාලන අතකොලු බවට පත් වීම නිසා බව අද රටම දන්නවා.
පොදුජන පෙරමුණ පසුගිය දිනෙක තමන්ගේ දේශපාලන ප්‍රචාරණයට, වාසියට රටේ හමුදාපතිතුමාවත් යොදාගත්තා. හමුදාපති මගේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. අපි එකට රාජකාරි කළ අය. ශවේන්ද්‍ර සිල්වා කියන්නෙ අපේ කාලයේ යුද වීරයෙක්. මං දන්නවා එතුමා කිසිම විටෙක දේශපාලනයට සම්බන්ධ නෑ. ඔය ප්‍රකාශය හමුදාපති සිදු කළේ යුද ජයග්‍රහණය සමයේ. මේ අය ඒ ප්‍රකාශය ඔහුගේ ඡායාරූපයකුත් සමඟ මේ අවස්ථාවේ යොදාගත්තේ දේශපාලන වාසියට. එය ඔහුගේ කීර්තිනාමයට විශාල හානියක්.
● දේශපාලනයට නවකයෙකු වන ඔබතුමාගේ වැඩපිළිවෙළ ගැනත් සඳහනක් කළොත්?
මං යුද හමුදා සේවයේ සිටින සමයේ සිටම බොහෝ සමාජ සුබසාධන වැඩ කොටසක් කළ කෙනෙක්. විශේෂයෙන්ම ජනතාවගේ යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. ඒ දේවල් ඉදිරියටත් එසේම කරන ගමන් මගේ බලාපොරොත්තුව තමයි, මහනුවර දිස්ත්‍රික්කය තව තවත් සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක් බවට පත්කරමින් දුගී දුප්පත් ජනයාගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට වැඩපිළිවෙළක් සකස් කිරීමයි. ඒ වගේම රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් මගේ උපරිමය කැප වෙනවා.
● සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ගැන මොකද හිතන්නෙ...?
සජිත් ප්‍රේමදාස මහත්මා කියන්නෙ පොඩි මිනිහගෙන් ආපු නායකයෙක්. ඔහුගේ ආගමනයත් සමඟ පාක්ෂිකයන් වගේම සෑම දෙනාගේම ලොකු පිබිදීමක් තියෙනවා. ඔහු වටා නියම කණ්ඩායමක් එක්ව සිටිනවා. ඒ නිසා ඔහුගේ ජයග්‍රහණය ඒකාන්තයි... සත්තයි... තින්දුයි...
- ඡායාරූපය සමන් ශ්‍රී වෙදගේ