කටහඬ ලස්සන වෙන්න ස්වර අභ්‍යාස අවශ්‍යමයි | සිළුමිණ

කටහඬ ලස්සන වෙන්න ස්වර අභ්‍යාස අවශ්‍යමයි

ලෝකයේ ඕනෑම වෘත්තියකට වැදගත්ම සාධකය ලෙස කෙනෙකුගේ හඬ පෞරුෂය නැතිනම් කටහඬ වැදගත් වෙනවා. කටහඬ පුරුදු පුහුණු කිරීම වෙනත් රටවල හොඳ ඉල්ලුමක් තියන රැකියාවක් වෙලා තියෙන්නෙ ඒ නිසයි. ලංකාවෙත් දැන් දැන් එවැනි කටහඬ පුහුණුකරුවන් බිහිවෙලා තියෙන්නේ. කටහඬ ඒ තරමට වැදගත් සාධයක් නිසයි. අජිත් හේරත් කියන්නේ පළපුරුදු ගායන හා කටහඬ පුහුණු අධ්‍යක්ෂවරයෙක්. ඔහු ඉන්දියාවේ භාත්කණ්ඩ විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිධාරියෙක්.

අජිත්ට කුඩා කාලේ ඉඳලම ගායන හැකියාවක් තිබුණා. ඒ ඔහුගේ මවගේ ආභාසයෙන්. මාතලේ යටවත්ත වීරපරාක්‍රම විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා මාතලේ අළුවිහාරේ මධ්‍ය මහා විද්‍යාලයෙන් කලා අංශයෙන් උසස් පෙළ හදාරලා ජාතික තරුණ සේවා සභාවේ නුවර බෙල්වුඩ් ආයතනයට බැඳුණු අජිත් විශාරද ශ්‍යාමලී ගුණසේකර පාසල් ගුරුවරියගෙන් හා විශාරද නිහාල් ගම්හේවා බෙල්වුඩ් ගුරුවරයාගෙන් තමයි හොඳ පුහුණුවක් ලැබුවේ. මේ වන විට අජිත් හේරත් Thumar Music Acadamy කියලා ආයතනයක් අරඹලා වෘත්තීය කටහඬ පුහුණුකරුවකු ලෙස මේ වන විට කටයුතු කරනවා.

“තරුණ සේවා සභාවෙන් ලැබුණු පන්නරයෙන් ගායකයෙක් වන අරමුණින් ඒක පුද්ගල ප්‍රසංගවලට මම සම්බන්ධ වුණා. මේ අතර මට ශිෂ්‍යත්වයක් ලැබුණා ඉන්දියාවට. මම අවුරුදු 07ක් ආචාර්ය උපාධිය අවසන් වන තුරුම භාත්කණ්ඩේ විශ්ව විද්‍යාලයේ ඉගෙනගත්තා. ගායකයකුට වඩා හඬ පුහුණුකරන්නකු ලෙස මම යෝග්‍යයි කියලා එහෙදි තමයි මාව යොමු කළේ. මටත් වුවමනාවක් තිබුණා වෙනස් දෙයක් කරන්න.

මම 2007 ලංකාවට ආවාම Thumar Music Acadamy කියලා කටහඬ පුහුණු ආයතනයක් පටන්ගත්තා නුගේගොඩ. ඒක හුඟක් ජනප්‍රිය වුණා. දැන් ගාල්ල, මාතර, නුවර, ගම්පහ ශාඛා තියෙනවා.”

කෙනෙකුගේ හඬ පෞරුෂය නංවාගැනීමේ වැදගත්කම කුමක්ද?

හුඟාක් අය හිතනවා කටහඬ පුහුණුව අදාළ වන්නේ ගීතයකට විතරයි කියලා. එහෙම වෙන්නෙ නැහැ. සෑම වෘත්තියක් සඳහාම සෑම කෙනෙකුට වෙන්වූ කටහ‍ඬේ අනන්‍යතාවක් තියෙනවා. සැබෑම මනුෂ්‍යයා මතු වන්නේ එතනින්. අපට කොතරම් හැකියාවක් දක්ෂතාවක් තිබුණත් සමහර අවස්ථාවල අප තුළ සිටින කෙනා අවදි කරගන්න අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. කෙනෙකු තුළින් වෙනත්ම කෙනෙක් බිහි වෙන්න පුළුවන්. කොතරම් හොඳ ගුරුවරයෙක් වුණත් හොඳ හඬක් නැත්නම් නියම ඵල ලබන්න බැහැනේ. අතට අත දෙද්දි, සිප වැලඳ ගනිද්දි දැනෙන දෙයට වඩා හඬ පද්ධතියෙන් අපි නොදන්න කෙනෙක් එළියට එනවා. හඬ එන්නේ ශබ්ද තරංග හරහා. ආදරය මොන විදිහකට කියලා දෙන්න බැහැ. කරලම තමයි පෙන්විය යුත්තේ. අන්න ඒ විදිහට මිනිසකු හඳුනා ගැනීමේ නිවැරැදිම ක්‍රමවේදය හඬ පද්ධතියයි. මෙලොව එළිය දකින දරුවා හැඬීමෙන් තමයි ස්වාධීන ජීවිතය අරඹන්නේ. පිරිත්, සෙත්කවි, වස්කවිවලිනුත් නිකුත් වන්නේ ශබ්ද තරංග මාලාවක්. උපතින්ම කතා කරන්න බැරි කෙනෙකුට අභ්‍යාස, ව්‍යායාම, ශල්‍යකර්ම මගින් සුව කරන්න පුළුවන්. කතා කරන්න බැරි අයට කන ඇහෙන්නේ නැහැ. කතා කරන්න හැකි අයට වෙනම හඬ පුහුණු අභ්‍යාස තියෙනවා.

කෙනෙකුට නිවැරැදිව හඬ පුහුණු කරන්නේ කොහොමද?

හඬ පුහුණු කිරී‍නේ තිබුණු හඬ වෙනස් කරලා, නිවැරැදි කෙනා මතුවන්න පුළුවන්. එවිට අප නොහිතන විදියට දක්ෂ ගුරුවරියක්, දක්ෂ නිවේදිකාවක්, දක්ෂ ගායිකාවක් බිහිවන්න පුළුවන්. හඬ පුහුණු කරද්දි සමේ වර්ණය පවා වෙනස් වෙනවා. ශරීරයේ අනවශ්‍ය මහත අඩුවෙලා ශරීරය සිහින් වෙනවා. ව්‍යායාම බොහොමයක් තියනවා. මානසික ආතතිය, හිසරදය පවා අඩු වෙනවා. දරා ගැනීමේ හැකියාව, මතක ශක්තිය, නව පෙනුමක් ලැබෙනවා. එය හුඟාක් ප්‍රායෝගික වෙනස්ම පුහුණුවක්. හරියට භාවනාවක් වගේ. හඬ පුහුණු කරද්දි වැඩකට නැති ශබ්ද ඉවත් වී යනවා.

කුඩා ළමුන්ට හඬ පුහුණු කිරීම කුඩා කල සිටම කළ හැකියි. තරුණ පිරිසට හඬ පුහුණුව පහසු වුණත් වැඩිහිටියන්ට සිත එක අරමුණක තබාගන්න අපහසු නිසා ටිකක් අපහසුයි. සාමාන්‍යයෙන් පිරිමි කෙනෙකුට අවු 70 සිට හඬ පවත්වා ගැනීමේ ප්‍රවණතාව ක්‍රමයෙන් අඩු වෙනවා. ගැහැනු අයකුගේ අවු 45 - 50 පසු හඬ තීව්‍ර වෙනවා. විදේශ රටවල නම් මේ හැමෝටම හඬ පුහුණුකිරීම් අභ්‍යාස කරනවා. ගායනයට වගේම කටහඬටත් විවිධ ප්‍රායෝගික අභ්‍යාස තියනවා. කටහඬ ලස්සන වෙන්න ස්වර අභ්‍යාස අවශ්‍යයමයි.

කෙනෙකුගේ හඬ හොඳ මට්ටමකට පත්වන්න අවශ්‍ය වෙනත් සාධක මොනවාද?

නිතරම වතුර වැඩිපුර භාවිතා කරන්න ඕනෑ. යහපත් සෞඛ්‍ය පුරුදු අවශ්‍යමයි. හොඳ ආහාර වේලක්, හොඳ නින්දක් අත්‍යවශ්‍යයයි. වන් මෑන් ෂෝවලදී එක දිගට ගීත 25 විතර ගායනා කරන්න හඬ එක අරමුණක තබා ගන්න නම්. නිතර දෙවේලේ අභ්‍යාස කළ යුතුයි. හොඳ ශක්තීන් ලබාදීම තුළින් සංවේදී පරිපූර්ණ දරුවෙක් නිර්මාණය වෙනවා වගේ ‍‍හොඳ හඬ පුහුණුවක් තුළින් ප්‍රශස්ථ මට්ටමේ කටහඬක් නිර්මාණය කළ හැකියි.

ශ්‍රී ලංකාව වගේ රටකට ‘හඬ‘ වැදගත්සා ධකයක් වන්නෙ කොහොමද?

ශ්‍රී ලාංකිකයන් සාක්ෂරතාව අතින් ඉහළ මට්ටමක සිටින්නේ. ඒ වගේම තමයි ලෝකයේ ඕනෑම භාෂාවක් ක්ෂණිකව ග්‍රහණය කරගත හැකි එකම ජාතිය සිංහල ජාතියයි. කටහඬ හොඳින් ප්‍රගුණ කළොත් කාටත් වාසියක් මිස අවාසියක් නැහැ. මා යටතේ විවිධ ක්ෂේත්‍රවල අය, දේශපාලනඥයන් පවා හඬ පුහුණු වෙනවා. රැකියාවක් වශයෙන් වුණත් තෘප්තිමත් විය හැකියි. පිටරටවල මෙය පාසල් විෂයයක්. විශ්ව විද්‍යාලවලත් උගන්වනවා. කටහඬ පුහුණුව ප්‍රායෝගිකව කළාම අපට අපිව දැනෙන්න ගන්නවා. උදේ පාන්දර 4 - 6 දක්වා හඬ පුහුණුව කළ හැකියි. ඒ තුළින් ශරීරයේ අනවශ්‍ය සෙම, මේදය ඉවත් කරලා ශරීරය ප්‍රබෝධවත් කරනවා. නිරෝගී කරනවා. මම පදිංචිවෙලා ඉන්නෙ නුවර. විවිධ ස්ථානවල විවිධ වෘත්තීන්වල නියැළෙන අය මා විසින්ම පුහුණු කරවනවා. උඩුගං බලා යන ගමනක් මේක.

ශ්‍රී ලංකා‍ෙව් අද රියැලිටි ෂෝ වැඩියි. මාධ්‍ය හරහා දක්ෂයින්ට කරළියට එන්න ඉඩ බොහොමයි. හඬ පාලනය ගැන දන්නෙ නැති අයත් ලංකාවේ මේ ගැන උගන්වනවා. නිවැරැදි දැනුම නිසි හැදෑරීම, ශාස්ත්‍රීය අංශය, හඬ පුහුණුව ආදියෙන් පසුව තමයි හොඳ ගායකයෙක්, හොඳ කථිකයෙක් බිහිවෙන්නේ.

ලංකාව වගේ රටවල අයට දේශීයව තම අනන්‍යතාවය ගොඩනගා ගන්නත් ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වන්නත් හඩ පෞරුෂය වැදගත් සාධකයක් වෙනවා. මම බලාපොරොත්තු වෙනවා හඬ අභ්‍යාස පුහුණුව මඟින් තව තවත් ප්‍රවීණයන් සමාජයේ විවිධ ක්ෂේත්‍රවල බිහි කරන්න.

Comments