දසුන් - චමත්කා සමඟ වැඩ කරන්න ලැබීම සතුටක් | සිළුමිණ

දසුන් - චමත්කා සමඟ වැඩ කරන්න ලැබීම සතුටක්

ඇය කාංචනා නන්දනී. වෘත්තියෙන් උපස්ථායකවරියක ලෙස කටයුතු කරන ඇය කලාවට මහත් සේ ඇලුම් කරන්නීය. වවුනියාව ප්‍රදේශයේ උපන් ඇ‍ය කලාවට තිබූ උනන්දුව නිසාම බැප්ටිස් ප්‍රනාන්දු හරහා රංගනයට කලාවට පිවිසියාය.

2006 වසරේදී ‘සඳ තනිවෙලා’ චිත්‍රපටය කාංචනා සිය රංගන දායකත්වය සැපයු කුලුඳුල් නිර්මාණයයි. මේ වන විට සිනමා නිර්මාණ දහයකට ආසන්න ප්‍රම‍ාණයකට රංගනයෙන් දායකත්වය ලබා දී ඇත. පාංශු, තිත්ත ඇත්ත, උදුම්බරා, රීලෝඩ්, ප්‍රසන්න විතානගේගේ ගාඩි එම නිර්මාණවලින් කිහිපයකි.

මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වන ‘හුස්ම’ සිනමා පටයෙහිද ඇය රංගනයෙන් දායක වෙයි. ඒ ගැන කාංචනා රසඳුනට කීවේ මෙවැන්නක්.

‘සුනිල් ටී ප්‍රනාන්දු තමයි ‘හුස්ම’ චිත්‍රපටය සඳහා මාව සම්බන්ධ කරලා දුන්නෙ. ඔහු මගේ හිතවතෙක්. සුදේශ් වසන්ත පීරීස්ගේ මීට පෙර ‘රීලෝඩ්’ කියන චිත්‍රපටයේ මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. දවසක් සුදේශ් මට කතා කරලා කීවා මෙවැනි නිර්මාණයක් තියෙනවා එහි මෘත ශරිරයක චරිතයක් තියෙනවා. කැමතිද ඇහුවා. මීට පෙරත් ඔහුත් එක්ක වැඩ කරලා තිබුණ නිසා මම ඒ සඳහා කැමැති වුණා. ‘හුස්ම’ චිත්‍රපටයේ මළ මිනියකගේ චරිතයකට පණ පෙවීමට මට අවස්ථාව හිමිවුණේ එහෙමයි. දසුන් පතිරණ, චමත්කා වැනි ජනප්‍රිය රංගන ශිල්පින් ශිල්පිනියන් සමග වැඩ කරන්නට ලැබීම ඇත්තටම ලොකු සතුටක්.

සිනමාවට වගේම පුංචි තිරයේ ද කාංචන‍ා නිර්මාණ කිහිපයක සිය රංගන දායකත්වය ලබාදී තිබේ. රාවණා, පූරි, අපේ ආදරේ, නේත්‍රා ඒ අතුරින් කිහිපයකි. ඉදිරියේදී විකාශය වීමට නියමිත සඳුන් කුමාර ලියනගේ අධ්‍යක්ෂණය කරන ‘මා’ ටෙලි සිත්තමේ ද වෙනස්ම ආරයේ චරිතයකින් ඇගේ රංගන හැකියාව ඉදිරියේදි ඔබට දැකබලා ගත හැකිය. සිනමාව තුළින් කලාවේ දිගු ගමනක් යෑමට පෙරුම් පුරනා ඇයට රසඳුන අ‍පි සුබ පතන්නෙමු.

ඡායාරූපය - ටෙනිසන් එදිරිසිංහ

Comments