නුඹත් මා හට හිමි නොවන බව දැන දැනම නොකියම හිඳී... | Page 2 | සිළුමිණ

නුඹත් මා හට හිමි නොවන බව දැන දැනම නොකියම හිඳී...

රාත්‍රිය කිසිදා හමු­නො­වන බව

දහ­ව­ලත් නොකි­යම ඉඳී
සයුර වෙර­ළට හිමි නොවන බව
දැන දැනම වෙර­ළත් හිඳී
නුඹත් මා හට හිමි නොවන බව
දැන දැනම නොකි­යම හිඳී ...
ගඟට උල්පත හමු­නො­වන බව
උල්ප­තත් නොකියා ඉඳී
මලට සුව­ඳක් හිමි නොවන බව
ගහ වැලත් නොකි­යම ඉඳී
නුඹත් මා හට පෙම් කරන බව
දැන දැනත් නොකියා හිඳී ...
සඳත් අහ­සට හිමි නොවන බව
මහ­පො­ළොව නොකියා ඉඳී
හමු වුණොත් වෙන් වෙන්න වන බව
අපට අප නොකියා ඉඳී
නුඹත් මා හට අයිති නැති බව
දැන දැනත් නොකියා ඉඳී ...


ගාය­නය- විශා­රද දීපිකා ප්‍රිය­ද­ර්ශනී පීරිස්
පද රච­නය- නෙලූ ප්‍රනාන්දු
සංගී­තය - කලිඳු වීර­සිංහ

වසර ගණනකට පසු ඇය මට හමු විය. අඩුම තරමේ අප හමු වී වෙන්ව ගිය කාලය වසර විස්සකට වැඩි වූවා මිස අඩු වන්නේ නම් නැත. ඇය මගේ හොඳම යෙහෙළිය නොවීය. නමුදු ඇයත් මමත් හමු වුණ හැම විටෙකම සුහදව කතා බහ කළෙමු. කිසි දිනෙක අපි අපේ පෞද්ගලික තොරතුරු හුවමාරු කර නොගත්තෙමු. නමුදු ඇයට සිටි හොඳම යෙහෙළිය මා බව ඇය කියුවේ අප වෙන් වන්නට වූ දිනයේය.

“අම්මා ඇවිල්ලා ඉන්නවා මාව එක්කගෙන යන්න. මම එයත් එක්ක යන්න කැමැති නැහැ. අපේ තාත්තා එක්ක යන්නයි මම කැමැති. ඒත් එයා මාව ගෙනියන්න කැමැති නැහැ. කවදා හරි අපි ලංකාවට ආවොත් ඔයාව බලන්න එන්නම්. “ඇය පැවැසුවේ දෑසේ කඳුළු පුරවාගෙන. කාලය ගෙවිනි. ජීවිතේ අතරමඟකදී හමු වූ ඇය වෙන්ව ගියද ඈ ගැන සොඳුරු මතකයක් ඉතිරිව තිබිණි. ඇය පදිංචිව සිටියේ අපේ නිවෙසට නිවෙස් කිහිපයකට එහායිනි. ඇතැම් සන්ධ්‍යා කාලවල ඇය සිය පෙම්වතාගේ අතේ එල්ලී පාර දිගේ ඇවිද යන්නේ ඔවුන්ගේම ලොවක තනි වෙමිනි. තවත් දිනෙක ඇයත් ඔහුත් හමුවන්නේ පන්සල් වත්තට මෙහායින් ඇති පටු පාරේදීය. ඔවුහු බොහෝ වේලා එහි කතා කරමින් හිඳිති. ජංගම දුරකතන නොතිබූ එකල පෙම්වතුන්ට කතා කරන්නට බොහෝ දේ තිබිණි. එමෙන්ම දිනපතා හමු නොවුණත් සතියකට වතාවක් හමු වන ඒ හමුවීම ඔවුන්ට මහමෙරකි. ඇය යන්නට ගියේ මේ ප්‍රේමය ද අතහැර බව මා දැන ගත්තේ ඇය ලංකාවෙන් පිටව ගොස් මාස කිහිපයකට පසුය.

ඒ එක් හැන්දෑවකදි ඔහු පාළු දෙවැට දිගේ ඔහුගේ අලුත් පෙම්වතිය සමඟ එනු දැකීමෙනි. ඔහුගේ දෑස් මා මඟහැරියේය. ඔහු ළං වන විට මම ඔහුගේ අලුත් පෙම්වතිය හා හිනැහුණෙමි.

කාලය ගෙවිණි. ඔහු මගේ යෙහෙළිය මෙතරම් ඉක්මනින් අමතක කළේ කෙලෙසද?

පාසල් වියේ පටන් තිබූ ඒ ප්‍රේමය නැවතීම තැබුණේ කෙසේද?

වසර ගණනකට පසු මා යෙහෙළිය පැමිණියේ තනිවමය. ඒ සිය පියාගේ මරණයට සහභාගි වීමටය.

“අම්මා?” මම ඇසිමි

“අම්මා කිව්වා එයා එන්නේ නැහැ කියලා. මෙහෙන් ගියාට පස්සේ අම්මා ආයෙම විවාහ වුණා.

“එතකොට ඔයා?”

“මම හැමදාම තනිකඩව හිටියා. සඳුන් නම් බැන්දා නේද?“

ඇයට හීල්ලිණි. සිය පියාගේ අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු අප හමු වූදා ඇය බොහො දේ කියන්නට වුවාය.

“මම දැනගෙන හිටියා කවදාවත් මට සඳුන්ව හිමි වෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි අපේ පවුලේ අම්මා තාත්තා වෙන් වෙන්ව ජීවත් වීම. ඒත් සඳුන්ගෙයි මගෙයි ආදරය දිගටම තිබුණා. එයා කැමැති වුණේ නෑ මා ගැන තනි තීරණයක් ගන්න. වැඩිහිටියෝ අකැමැති වෙලා එකට එක් වෙලා මොකටද කියලා මට හිතුණා. ගෙවුණු හැම දවසකම මගේ ආදරේ වෙනසක් නැතිවම තිබුණා. නොලැබෙන අයිතියක් වෙනුවෙන් මම මගේ හිත හදා ගත්තා කිව්වොත් හරි. එහෙම වුණත් මගේ හිත හඬා වැටුණා.......ඉකිබින්දා..... ඒත් මගෙ හිතේ අඩුව පුරවන්න කාටවත් බැරිවුණා.... දෙනෝදාහක් ඉන්න ඒ රටේදීත් මට දැනෙනවා මම හුදෙකලා වෙලා කියලා. ඒ වෙලාවට මම ඇවිදින්න යනවා. එහෙම නැත්නම් කාමරේට වෙලා අඬනවා. දැනුත් මට ඇඬෙනවා. හිතාගන්න බෑ කාලය ගෙවුණේ කොහොම ද කියලා.” ඇය සුසුමක් හෙළුවාය. ඒ දෑසේ පිරුණු කදුළු දෑසේම වියළී ගොස් තිබිණි. යොවුන් වියේ තිබූ සුන්දර පෙනුම දැන් වියැකී ගොසිනි. යට ගිලුණු දෑස් තවමත් දීප්තිමත්ය.

ජීවිතය මහා පුදුමය. වසර ගණනක්ම ඇය ඔහුට පෙම් කරන්නීය. ඔහු මේ කිසිවක් නොදනී. හමුනොවන බව, එක් නොවන බව දැන දැන පෙම් කිරීම කොතරම් නම් වේදනාකාරීද? හදවතේ සියුම් තැන් පවා රිදුම් දෙවන ප්‍රේමය වෙනුවෙන් ලියැවුණ ගී බොහෝය. බොහෝ ප්‍රේම ගී, විරහ ගී අතුරෙන් මෑතකදී අසන්නට ලැබුණ

“රාත්‍රිය කිසිදා හමුනොවන බව

දහවලත් නොකියම ඉඳී

සයුර වෙරළට හිමි නොවන බව

දැන දැනම වෙරළත් හිඳී

නුඹත් මා හට හිමි නොවන බව

දැන දැනම නොකියම හිඳී ...”

ගීතය හදවතේ සියුම් රිදුමක් ඇති කළේ මන්දැයි තවමත් නොහැඟේ. විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් විසින් ගයන ගීතය ලියා ඇත්තේ යොවුන් ගීපද රචිකා නෙලූ ප්‍රනාන්දු විසිනි. මින් පෙර ගීත කිහිපයක්ම රචනා කර ඇති නෙලූගේ මේ අලුත් ගීතයේ පද අතර අපූරු බවක් ඇතැයි සිතේ. ඒ අපූරු බව වඩාත් වැඩි කරන්නේ කලිඳු වීරසිංහගේ තනු නිර්මාණයයි. දිපීකා ප්‍රියදර්ශනීගේ ගායන ලීලාවයි.

ගීතයේ අත්දැකීම පිළිබද නෙලූ පවසන්නේ මෙවැනි කතාවක්.

“මට හැම විටම හිතෙන දෙයක් තමයි මේ සොබාදහමත් මිනිස්සුත් අතර ඝට්ටනයක් තිබෙනවා කියලා. මම එහෙම කියන්නේ සොබාදහම මිනිස්සුන්ට හැමදේම දෙනවා. ඒත් මිනිස්සුන්ගෙන් කිසිම ‍ෙදයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට හිතෙනවා සොබාදහමටත් මිනිස්සුන්ට වගේම පණ තියෙනවා කියලා. මිනිස්සු සොබා දහමට කොයිතරම් රිදෙව්වත් සොබා දහම ඒවා ගණන් ගන්නේ නැහැ. අපේ හිත් රිදුණ වෙලාවට අපට පරිසරය ගහ කොළ ඇළ දොළ දිහා බලලා හිත සනසා ගන්න පුළුවන්. එත් මිනිස්සු මිනිස්සුන්ට කොයිතරම් රිදවනවද? අපි ආදරය කරන අය අපෙන් කොයිතරම් දුරස් වෙනවද? සමහර වෙලාවට ඔවුන් අපි ගැන අපේ ආදරයේ තරම ගැනවත් තැකීමක් කරන්නේ නැහැ. ඔවුන් අපෙන් දුරස් වෙලා යනවා. අපි අපේ ගේ දොරකඩ තියෙන ගහේ මල් ගහක අතු කැපුවත් ඒ ගහ අලුත් අතු ඇවිල්ලා ඒ අතුවල මල් පුබුදුවනවා. අපි අතු කැපුවා කියලා මල් නොපිපී තියෙන්නේ නැහැ වගේ තමයි. මිනිස්සුයි ගහකොළ පරිසරය අතර තියෙන වෙනස මේකයි. මේ හැමදේමත් එක්ක මම ලබපු පෞද්ගලික අත්දැකීමක් සමග තමයි මේ ගීතයේ පද ලියැවුණේ. කලිඳු වීරසිංහ බොහෝම කැමැත්තෙන් මේ සදහා තනුවක් නිර්මාණය කළා. දිපීකා ප්‍රියදර්ශනී මහත්මියත් පද පෙළ දුටු විටම කැමැති වුණා. හැමෝගෙම දායකත්වය ඉහළින් ලැබුණ නිසයි ගීතය මේ තරම් සාර්ථක වුණේ.

Comments