පුංචි එංගලන්තයේ සොඳුරු වන වියමන | සිළුමිණ

පුංචි එංගලන්තයේ සොඳුරු වන වියමන

ගමන් මාර්ගය - නුවරඑළිය නගරයේ සිට උඩුපුස්සැල්ලාව මාර්ගයේ 1 km පමණ ගියවිට හමුවන කෙටි මාර්ගය ඔස්සේ යායුතුය. විවෘතකර ඇත්තේ පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා පමණි.

සංචාරය කරන අප හැමවෙලාවෙම බලන්නේ හිරුඑළිය පතිත වන්නටත් ප්‍රථමව අපේ ගමන ආරම්භ කරන්න. ඒ දාහය අඩුකර ගන්න වගේම සොබාදහමේ අසිරිය උපරිමයෙන්ම විඳින්න පුළුවන් අරුණාලෝකය වැටීගෙන එද්දී නිසා. රාත්‍රිය පුරා නිසොල්මනේ නිදා වුන් පක්ෂීන් යන්තම් හිරු එළිය වැටෙද්දිම පින්නෙන් සීතල වුණු තමන්ගේ තටු විහිදා අපූරු රැඟුම් රඟන්නේ පාන්දර යාමයේ. අවට හමායන මඳනල සනීපවත් සුගන්ධත් වූවක්. ඉදින් සංචාරය කරන්න කැමැති ඔබ හිමිදිරි උදෑසන නම් මඟ හරින්නේ නැති බව මට විශ්වාසයි.

හැබැයි මා මේ කියන්න යන වනයට හිමිදිරි උදෑසන ඔබ එද්දි වෙන කැලෑවකට යනවාට වඩා වෙනස් අත්දැකීමක් විඳින්න වෙනවා. ඔබ දන්නවා නුවරඑළියට පුංචි එංගලන්තය කියන්නෙම දැඩි ශීතල නිසා. ඇගේ කටු ඇනෙනවා වගේ දැනෙන සීතල සුළඟ දරාගෙන එකිනෙකා නොපෙනෙන තරම් මිහිදුමෙන් වැසුණු මේ ගමන ඇත්තෙන් ම වෙනස් ම අත්දැකීමක්. නුවරඑළියේ ගියාම උදේ පාන්දර නැඟිටින එකම එක්තරා අන්දමක ‘රැග්’ එකක්නෙ. ඒත් ඒ සුන්දර අමාරුව විඳ ගත්තොත් වෙන කොහේවත් තැනකදි නොලැබෙන අපූරු සොබාදම් නිමැවුම් කිහිපයක් ම විඳින්න ඔබට පුළුවන් වෙනවා.

නුවරඑළි යන ඔබ ග්‍රෙගරි වැව, සඳතැන්න, ස්ට්‍රෝබෙරි වගාව, හග්ගල වැනි ජනප්‍රිය ගමනාන්ත මඟහරින්නේ නැති බව අප දන්නවා. ඒත් නුවරඑළිය නගරයේ ම එහෙමත් නැතිනම් ග්‍රෙගරි වැවට එහා පැත්තේ සුන්දර වනයක් තිබෙන බව දන්න අය නම් අඩුයි. ඔබ කියාවි නුවරඑළි යන්නේ ‍විනෝද වෙන්න මිසක් කැලෑ බලන්න නොවෙයි කියලා. ඒත් සොබාදහමේ නෙක විවිධත්ව සොයන ඔබ නුවරඑළිය වගේ දැඩි ශීතලෙන් යුතු ප්‍රදේශයක ඊට ආවේණික වෙනස්කම් සහිත කැලෑවක් නැරඹීමට නොයෑම කනගාටුවට කරුණක්.

මේ ජාතික වන උද්‍යානය හඳුන්වන්නේ “ගැල්වේස් ලෑන්ඩ්” නමින්. හෙක්ටයාර 56.6 කින් යුතු මේ ජාතික උද්‍යානය අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්වන්නේ 1938 මැයි 27 වැනිදා. අපූර්ව ජෛව විවිධත්වයකින් යුතු නිසාම මේ වන පියස සංරක්ෂණය කර ගැනීමේ අවැසි බව මතු වුණා. ඒ නිසා 2006 මැයි 18 වැනිදා මෙය ජාතික වන උද්‍යානයක් බවට පත් කළා. ඒ අනුව ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිටි මේ අභයභූමියෙන් හෙක්ටයාර් 29.32ක් ජාතික වන උද්‍යානයට ඇතුළත් කෙරුණා.

ශීතලෙන් ගල් ගැහෙන තරම්... ඒත් මේ වන පියස බලාගැනීමට ඇති ආශාව නිසාම හිත උණුසුම්. වනය නරඹන්නට යන්නට යන ඔබ එහි පිවිසුමේ ඇති කාර්යාලයෙන් ටිකට්පතක් ලබාගත යුතුයි. ඒ ටිකට්පත සඳහා ඔබට වැයවන්නේ සිතා ගැනීමටත් නොහැකි තරම් සුළු මුදලක්. අනතුරුව ඔබ පිවිසෙන්නේ සදාහරිත වනාන්තරයකට. මා ඔබ වෙනදා කැඳවා ගෙන යන වන රොදවලට වඩා මෙය වෙනස්. එය ඇතුළු වනවිටම දැනෙන්නට පටන් ගන්නවා. අධික ශීතල නිසාම ද මන්දා මේ වනය දැඩි නිහඬ බවෙන් යුතුයි. කුරුල්ලන් පවා තියුණු ලෙස නාද නඟන්නේ නැහැ. තීව්‍ර නාද සහිත සියොතුන් අපට බහුලව හමුවන්නේ පහතරටට වන්නටයි. ඔබ දැඩි අවධානයෙන් හෝ නිරීක්ෂණයෙන් නොගියොත් මේ වනයේ පක්ෂීන් සිටිනවාද නැද්ද කියාවත් සොයා ගන්න බැරි වේවි.

ඔබ කුරුලු ලෝලියකු නම් දුරදක්නය මේ ගමනේදී අත්‍යවශ්‍යයයි. පො‍ෙළාවටවත් නොදැනෙනසේ කිසිදු ශබ්දයක් නොනඟා පිය නඟන බවට තවමත් නිදිමත පහව නොගිය, නිසල ව ඉන්න විවිධ පක්ෂීන් නෙත ගැටේවි. ඔවුන් කොතරම් නිහඬ ද යන්න ඔබට සිතා ගත නොහැකි තරම්. පාන්දර අධික සීතල තවම පහව ගොස් නැහැ. ඒ නිසාම ඔවුන් ක්‍රියාකාරී නෑ.

මේ වනයේ පක්ෂීන් විශේෂ 35ක් වාර්තා වෙනවා. ඉන් 7ක් ම ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන්. පොල්කිච්චා, නිල් බිඟුහරයා, කහකුරුල්ලා, නීලකොබෙයියා, ලංකා වලිකුකුළා, හැලපෙන්දා, බොර සබරින්නා, අඳුරු නිල්මැසිමාරා, ලංකා සිතාසියා ඒ අතරින් ප්‍රධානයි. ටිකෙන් ටික හිරු එළිය තුරු අගිසි සිපගනිද්දී හීන් කුරුලු කූජන ඇහෙන්නට පටන්ගත්තා. ඒත් ඒවා තාමත් සිහින් ස්වරයෙන් වැයෙන නාද. තුරුපත් අත වැටි පිණිබිඳු ක්‍රමයෙන් දියැවී ගන්නට පටන් ගත්තා. මුලින් ම ඇහෙන්න පටන්ගත්තේ සෙවන් සිස්ටර්ස් හෙවත් දෙමලිච්චන්ගේ සද්දය. ටිකෙන් ටික විවිධ නාද පරිසරයට මුහු වුණා. ඒ නාද අතරේ අපි නාද භාණ්ඩවලින් අහන ගොඩක් නාදවල සජීවි හා සැබෑ නාදය අන්තර්ගත ව තිබුණා. අප අවට ලෝකයම නාද­ාවලියක් වෙන්න වැඩි ‍කාලයක් ගතවු‍ණේ නැහැ.

සීතලත් ටිකෙන් ටික අඩුවෙමින් තිබුණා. වනයේ ලෙහෙනුන්, දඬු ලෙහෙනුන් බහුල වශයෙන් ඉන්නවා. ඒත් ඔබ මම නිරන්තරයෙන් දකින ලේනුන්ට, දඬුලේනුන්ට වඩා මේ අය දුඹුරු පැහැයෙන් යුතුයි.

මේ කුඩා වන උද්‍යානයේ කඳුකර සදාහරිත තෙත් වනාන්තරවලට විශේෂිත ගස් වර්ග බහුලව තිබෙනවා. කීන, දඹ ඒ අතරින් විශේෂයි. යුකැලිප්ටස් හා ෆයින් ගස් වගාවකුත් දකින්න ලැබීම මගේ සිතේ නම් ඇති කළේ නොපහන් බවක්. යුරෝපීය රටවල වගුරු ගොඩකිරීම සඳහා වගා කරන ගස් ලංකාව වැනි සරු පසක වගා කළ විට එහි ජලය අධික ලෙස ඇදගෙන අප පස වියළි බවට පෙරළනවා. එය දිගුකාලීන හානිකර තත්ත්වයක්.

ගැල්වේස් වනයට යන ඔබ උරග විශේෂවලිනුත් පරිස්සම් විය යුතුමයි. වල් ඌරන්, වැලි මුවන්, හඳුන්දිවියන්, හාවුන්, ලේනුන්, දඬුලේනුන් මෙහි බහුලයි. කටුසු වර්ග කිහිපයක් වගේම සමනල් වර්ග ගණනාවක් මේ වනයේදී ඔබ නෙත ගැටේවි. අං කටුස්සා, කුරු බෝදිලිමා, කළු කොපුල් කටුස්සා ඔබව එකවර තිගස්සවාවි. ගැල්වේස් වනය ගැන විවිධ කතා තිබෙනවා. දෙවැනි ලෝක යුද සමයේ සොල්දාදුවන් මෙහි යුද අභ්‍යාසවල නිරත වීලු. ඒ නිසාම මේ වනයට මිල්ටරි වනය කියලත් හඳුන්වන බවයි වනජීවී නිලධාරීන් කීවේ. ඒ වගේම ගැල්වේස් නමින් හැඳින්වූ ඉංග්‍රීසි ජාතිකයකුට අයත් ව තිබූ මේ භූමිය පාරිසරික වටිනාකම නිසාම ඔහු ලංකාව හැර යන විට රජයට බාර දුන්නාලු.

මේ වනය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත වනාන්තර 20න් එකක්. නිරිත දිග මෝසම් හා සංවහන වැසි ප්‍රධාන වශයෙන් ගැල්වේස් වනයට ලැබෙනවා. වාර්ෂික වර්ෂාපතනය 2400 mm විතර. ඒවගේම ඔබ පුදුමවේවි; උෂ්ණත්වය සෙල්සියස් අංශක 16යි.

ඉතින් නුවරඑළි ගියොත් මේ අපූරු වනය නරඹන්නට යන්නට අමතක කරන්න එපා. ඒත් ඔබ ආ බව ඔවුන්ට නොදැනෙන සේ එන්නට නම් ඔබ වගබලා ගත යුතුමයි.

Comments