සංවේදි පුවත් කියවද්දී මගේ ඇස් කඳුළින් බර වෙනවා | සිළුමිණ

සංවේදි පුවත් කියවද්දී මගේ ඇස් කඳුළින් බර වෙනවා

“ලංකාවේ වැඩිම පිරිසක් නරඹන සමබර පුවත් ප්‍රකාශය සමඟින් අදත් මම සජිත් රණසිංහ”

ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති විකාශය නරඹන ඔබට ඒ හඬ ඇසෙන විට ඔහුගේ මුහුණ මතකයට නැගෙනු ඇත. පුරා වසර 14ක් තිස්සේ ස්වර්ණවාහිනී නාළිකාවේ අඛණ්ඩව ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස සම්මානනීයත්වයට පත්වූ ඔහු සජිත් රණසිංහයි‍. මේ ඔහුගේ කැදැල්ලේ තොරතුරුයි.

සජිත් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ බොරැල්ල එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක විදුහලෙනි. ඔහු උසස් පෙළ අවසන් කෙරුවේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලයෙනි. විද්‍යා විෂයන් ගෙන් අධ්‍යාපනය පටන් ගෙන කලාවට ඇති ඇල්ම නිසා ඔහු තම උසස් පෙළ විභාගය අවසන් කර ඇත්තේ කලා විෂයයන් හරහා ය. පාසලේ ඉගෙන ගන්නා කාලයේ මේ කොලු ගැටයා පාසලේ පැවැත්වෙන විවිධ බාහිර ක්‍රියාකාරකම්වල උත්සව අවස්ථාවන්හි නිවේදන කටයුතු වලට දායක වූවේ ඔහු හා සමකරන්නට විදුහලේ කිසිවෙකුත් නොසිටි නිසාමය. පාසලේ 9 වසරේ ඉගෙනුම ලබන අවදියේ බොරැල්ලේ BJF දහම් පාසලේ දීප්තිමත් සිසුවකු ලෙස ගුරු භවතුන්ගේ ආදරයට පාත්‍ර ව‍ූ සජිත් ඒ හරහා ගුවන් විදුලියේ ‘සාදු සමාජය’ වැඩසටහන ඉදිරිපත් කරන්නට වාසනාව ලැබීය. ඒ සඳහා ඔහුට රුපියල් 75ක මුදලක් ද ගෙවන ලදී. ජීවිතයේ ඔහු ලද ඒ ඔහුගේ මුල්ම වැටුපයි. කෝට්ටේ පාසලේ විදුහල්පති තුමාගේ ආරාධන‍ාවෙන් කෝට්ටේ පාසල් අතර යෞවන සමාජවලින් ‘තුරුණු ශක්ති’ වැඩසටහනට සහභාගි වී එහි පළමු ස්ථානය දිනා ගැනීමට සජිත්ට හැකි වූවා. මෙම ජයග්‍රහණයත් එක්ක තරුණසේවා සභාවේ කොළඹ දිස්ත්‍රික්කයේ නිවේදකයකු ලෙසින් තරග වැද එහි දෙවැනි ස්ථානයට පත්වන්නට ඔහුට හැකියාව ලැබෙනවා. මේ කාලයේ ස්වාධීන රූපවාහිනිය සහ ජාතික තරුණ සේවා සභාව හා එක්ව පැවැත්වූ ‘තුරුණු ගී සර’ වැඩ සටහනට සහභාගි වන්නට ඔහුට සුදුසුකම් ලැබෙන අතර එහිදී ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ පළමු තැනට පත්වෙනවා.

පාසල් අධ්‍යාපනයෙන් පසු සජිත්ගේ මුල් ම රැකියාව සඳහා පුද්ගලික අංශයේ ආයතනයකට සම්බන්ධ වූවත් නිවේදකයකු වීමේ සිහිනය ඔහු අත් හරින්නේ නැත. ලංකාවේ තිබෙන සෑම ගුවන් විදුලි නාළිකා සහ රූපවාහිනි ආයතන සෑම එකකටම නිවේදකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පෝලිම්වල ඔහු පැය ගණනක් කාලය ගෙවා ඇත.

මේ අත් නොහළ ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙසින් ඔහුට ජාතික රූපවාහිනියේ සහ සිරස ආයතනයේ සහන නිවේදකයකු ලෙසින් කටයුතු කිරීමට අවස්ථාව සැලසී ඇත. මේ කාලයේ ඔහුට TNL ඉසිර ගුවන් විදුලියේ නිවේදකයකු ලෙසින් ස්ථිර පත්වීමක් ලැබෙන අතර ටික කාලයකින් ඔහුට TNL රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදකයකු ලෙසින් කටයුතු කරන්නට වාසනාව ලැබෙනවා. එදවස ඔහුට ඔහුගේ ජීවිතයේ අමතක නොවන දිනයක් බව පවසන සජිත්, ප්‍රවෘත්ති කියන්න සූදානම් වන දිනය සහ වේලාව ඔහුගේ සියලු ම ඥාතීන්ට සහ මිතුරන්ට දන්වා ඔහුගේ සතුට බුක්ති විදපු අයුරු මතක් කළේ ය.

ස්වර්ණවාහිනී ආයතනයේ [email protected] ප්‍රවෘත්ති විකාශයේ ඇතිවූ පුරප්පාඩුවක් හේතුවෙන් සජිත්ට 2005 වසරේදී ස්වර්ණවාහිනි ප්‍රවෘත්ති නි‍ෙව්දකයකු ලෙසින් මේ දක්වා තම හඬ හසුරුවන්නට හැකියාව ලැබී තිබෙනවා.

රියැලිටි වැඩසටහනක නිවේදකයකු ලෙසින් තම සහභාගිත්වය දකින්නට නොලැබෙන්නේ ඇයි දැයි මට ඇසූ ප්‍රශ්නයකට ඔහුගේ උත්තරය වූයේ

“‘රියැලිටි show’ එකක් ඉදිරිපත් කරන කෙනෙකුට News කියන්න ටිකක් අමාරුයි. මොකද News ඉදිරිපත් කරන්නෙකුට මනා සංයමයක් තිබිය යුතුයි. කටට බ්‍රේක් අවශ්‍යයි. එදිනෙදා සමාජයේ සිදුවන දේවල් ගැන හොඳ මතකයක් තිබිය යුතුයි. පතපොත ගැන ලෝකය ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. ‍මම මේ සියලු කාරණා කෙරෙහි හැමදාම පුවත්පත්, පොත් සහ අන්තර්ජාලයේ සැරිසරලා Up date වෙනවා...”

සජිත් ප්‍රවෘත්ති නිවේදකයකු වශයෙන් තම රැකියාව කරන මේ කාල වකවානුවේ ඔහුගේ රැකියාවේ අමතක නොවන සිදුවීමක් ගැන මතක් කරන්නටත් ඔහු අමතක නොකළේ ය.

“හමුදා ප්‍රහාරයකින් ප්‍රභාකරන් නැතිවූ බව මුලින් ම රූපවාහිනි තිරයකින් ලෝකයට කියන්නට ලැබුණේ මට. මම ඒ ගැන නිහතමානීව ආඩම්බර වෙනවා. මම ගොඩාක් සංවේදී කෙනෙක්. පොඩි දරුවකු වාහනයක ගැටී මියගොස් ඇති ප්‍රවෘත්තියක් කියන්න දවසක් මට ලැබුණා. මගේ ඇස්වලට කඳුළු එන නිසා මම එම පුවත සංස්කාරකතුමාගෙන් අවසර ලබාගෙන මට එහා පැත්තේ ප්‍රවෘත්ති කියන නිවේදිකාවට කියන්න බාර දුන්නා.”

නිවේදකයකු ලෙසින් රැකියාවක් ලබන්න පොඩි වාසනා ගුණයක් තිබිය යුතු බව සජිත්ගේ අදහසයි. ඔහු සම්මාන ගණනාවකින් පිදුම් ලද නි‍ෙව්දකයෙක්.

හොඳම රූපවාහිනි අධ්‍යාපන හා සංස්කෘතික වැඩසටහන (ඇක්සිඩන් වෝඩ්) ඔහුට ජනාධිපති සම්මාන හිමි විය. හොඳම රූපවාහිනි හා ප්‍රවෘත්ති වාර්තාකරණයට ඔහු සුමති ටෙලි සම්මානයෙන් පිදුම් ලැබීය. හොඳම ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය සඳහා සම්මානය සහ නිර්දේශයන් කිහිප වතාවක්ම ඔහුට ලැබී තිබෙනවා.

හර්ෂණී, සජිත්ගේ ආදරණීය බිරියයි. ඔවුන්ගේ කැදැල්ලේ පුංචි පැටික්කි සනුලි සගීත්මා සජිත්ගේ වචනයෙන් කිවහොත් පවුලේ දඟමල්ලයි. සජිත්ගේ ප්‍රවෘත්ති නිවේදන කටයුත්තේ ගොඩක් ම අවදියෙන් ඉන්නේ හර්ෂණී ඇරුණුකොට ඔහුගේ අම්මා සහ තාත්තා බව සජිත් පවසන්නේ ආඩම්බරයෙනි. රාජගිරියේ තම කැදැල්ලේ සතුටින් කාලය ගෙවන සජිත්ගේ ඉදිරි ගමනට ‘රසඳුන’ සුබ පැතුම් එක් කරනවා!

 

Comments