සොබාදහම ගුරු කොට ගත් ලාංකේය සංගීතයේ විප්ලවීය සලකුණ | සිළුමිණ

සොබාදහම ගුරු කොට ගත් ලාංකේය සංගීතයේ විප්ලවීය සලකුණ

තාත්තා හරිම  සංකීර්ණ චරිතයක්.  වෙලාවකට පොඩි ළමයෙක් වගේ දුක් වෙනවා.  හිටපු ගමන් තරහා යනවා,  තව වෙලාවකට  හිනා වෙනවා.

අදටත් අපි පන්ති  පවත්වන්නේ  ගෙදර කාමරේක

ඔහුගේ සමුගැනීම  මෙරට සංගීතයට  හිස් තැනක්

ඔහුගේ ගීත,  සංගීත ඛණ්ඩ ඇසෙද්දී කේමදාස සංකේතය  නිසකවම සිහි වෙනවා

හෙමින් සැරේ පියා විදා...

සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්....

පලා ඇවිත් සිතුම්.... සියොතුන්

සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලෙන්..

 

ඔහුගේ නිර්මාණ කාර්යය ශ්‍රී ලාංකේය සංගීතයේ විප්ලවීය වෙනසක් කළේය. සංගීතයේ විවිධ අංශ ඔස්සේ පර්යේෂණ කළ ඔහුගෙන් සිදුවු දැවැන්තම කර්තව්‍යයක් වූයේ සිනමා කෘති සඳහා සිනමානුරූපී වූත් භාවානුරූපී වූත් පසුබිම් සංගීතයක් ගොඩනැංවීමයි.

 

ඔහු ගීත නාටක, ඔපෙරා, සංධ්වනි මෙන් ම කැන්ටාටා ද නිර්මාණය කළේ ය. බැරි සිල්, නවරැල්ල, කැලෑ මල්, සිතිජය ඔහු නිර්මාණය කළ ගීත නාටක වෙයි. මානසවිල, දොරමඬලාව, සොඳුරු වර්ණදාසි හා අග්නි ඔහු ගේ ඔපෙරා ය. මුහුද, මගේ කාලයේ මවුනි, සිංහල අවුරුද්ද, නියඟය හා වැස්ස ඔහු විසින් රචනා කළ සංධ්වනි අතර වෙයි. බුදුන් වහන්සේ ගේ පිරිනිවීමේ අවස්ථාව පාදක කර ගනිමින් ඔහු විසින් නිර්මාණය කළ පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව විශ්ව සංගීතය තුළ හමුවන එකම බෞද්ධ කැන්ටාටාව ලෙස හැඳින්විය හැකිය. ඔහු විස්මයජනක සංගීත කෘති දැයට දායාද කළ ඉන්ද්‍රජාලකයකු ලෙස හැඳින්වීමට කිසිදු විටෙක මා පසු බට නොවන්නේ ඔහුගේ කලා කෘති එතරම් ම අග්‍රගණ්‍ය හෙයිනි. ඔහු දේශමාන, කලාකීර්ති, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ය. නමුත් මෙරට සංගීත ප්‍රිය සුවහසක් රසික රසිකාවන් මෙන්ම ප්‍රබුද්ධ සංගීත රස­ාස්වාදයට හිතැති සමූහය අතර ඔහු කේමදාස මාස්ටර්ය.

සංගීත කුසලතාව මනාව ඔප්නැවීමේ තමාගේ ගුරුවරයා සොබාදහම හා ජනතාව බව නිරන්තරයෙන් විශ්වාස කළ ඔහු නිදහස් සංගීතවේදියකු ලෙස ඒ ඒ ප්‍රකාශනයට අදාළ ව පමණක් සංගීත ශෛලීන් ඇසුරු කළේ ය.

අඳුරු කුටිය තුළ දොරගුළු ලාගෙන

ගයන ගීතිකා යදින යාතිකා

දෙවියන් හට නෑසේ

පාර හදන තැන පොළොව කොටන තැන

ගිනියම් අව්වේ මහ වරුසාවේ

දෙවියෝ වැඩ ඉන්නේ.

70 දශකයේ ගුවන් විදුලියෙන් නිතර ඇසුණු මේ විප්ලවකාරී ගීතයේ සංගීත සංකලනය කරමින් ජනතාවාදී සංගීතඥයා වූ කේමදාසයන් සමාජ පරිවර්තනය පිළිබඳ වචන දස දහසකින්වත් කියා නිමකළ නොහැකි පණිවුඩය විනාඩි දෙක තුනකින් මිනිස් සිත් සතන්වල පැලපදියම් කරන්නට සමත් ගී සමුච්චයකට පණ පෙවීය.

යම් වකවානුවකදී මෙරට සිදුවූ නිධන් මංකොල්ලය පිළිබඳ දේශපාලනඥයන් පවා විවෘතව කතා නොකළ සමයක එම ප්‍රදේශවල ජනයා දැනුම්වත් කිරීමට තරම් දිරිමත් වූ සංගීතඥයකු වූ කේමදාස ගාන්ධර්වයාණෝ ඇතුළු සිසු කැල ....

නැඹුලු වසවතුන් ආවේ කොහි සිටද

යකුළු පහර වැදුණේ හිමි සිරසටද

හතර මහ නිදහන හිමි සඳ කොහිද යනුවෙන් නිධන් මංකොල්ලකරුවන්ගේ භිෂණයෙන් අසරණව සිටි මිනිසුන් අතරට පැමිණ ‘පිරිනිවන් මංගල්‍යය සහ නිධන් මංකොල්ලය‘ ගායනා කළහ.

සිය විස්මයජනක සංගීතයෙන් සුවහසක් සිත් සතන් සුව පත් කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස නම් වූ ඒ මහා ගාන්ධර්වයා මෙලොවින් නික්ම ගියේ මින් එකොළොස් වසරකට පෙර ඔක්තෝබරයේ දිනකය. එනම්, 2008 ඔක්තෝබර් 24 වැනි දාය. මෙලොවින් සමුගත්තද ඔහු අපට උරුම කොට දුන් සංගීතය මතු මතුත් නින්නාද දෙනු ඇත. ඔක්තෝබර් 24 දා හවස 7.30 අපේ ගම පරීශ්‍රයේදී එතුමාණන්ගේ සංගීතය, ඒ නාද රටා අතර හෝරා කිහිපයක් නතර වන්නට අපට පුළුවන. ඒ ඉඩ කඩ අපට සලසා දෙන්නේ ඔහුගේ ආදරණීය දියණියන් දෙපළය. එම සංගීත සැදෑව හා ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ නිර්මාණකරණය පිළිබඳ කතිකාවකට ඔහුගේ දියණිය ගයත්‍රී කේමදාස පසුගිය දිනෙක අප හා දොඩමලු වූවාය.

 

nමෙවර එතුමන් සිහිපත් කරන්නේ කොහොමද?

 

ඔක්තෝබර් 24 දා හවස 7.30 අපේ ගම පරීශ්‍රෙය්දී පැවැත්වෙන සංගීත සැඳැව තාත්තාගේ ගීත හා සංගීතය රසවිඳන ඕනෑම කෙනකුට විවෘතයි. චිත්‍රපට සහ ටෙලි නාට්‍යවල වැඩියෙන් නෑසුණු තාත්තාගේ ගීත එකතුවක් ඇසුරු කර ගනිමින් මේ සංගීත සැන්දෑව පවත්වන්නයි අපේ සූදානම.

 

nනිර්මාණකරණයේදී, ඉගැන්වීමේදී ඔහු ඉතා සැර පරුෂ පුද්ගලයකු ලෙසයි හඳුන්වන්නේ. ඔබට ඒ කේමදාස මාස්ටර් පෙනෙන්නේ කොහොමද?

 

ඔහු ඉතා වෘත්තීයගරුක, ඒ වගේම වගකීම් සහගත කෙනෙක්. ඒ නිසා කවුරුන් හෝ ඊට පටහැනිව හැසිරෙනවා නම්, පටිගත කිරීමවලට දෙන වෙලාවට එන්නේ නැතිව, වැඩකදි වගකීමක් නැති අයුරින් හැසිරෙනවා නම් ඔහුට හරියට තරහා යනවා. මම හිතන්නේ එය සාධාරණයි. යම් වැඩකට ඔහු කැප කරන කාලයට හා ඒ කර්ත්‍යයටත් එයින් සිදුවන්නේ අසාධාරණයක්. තාත්තා කොහොමත් අසාධාරණයට කෝප වෙන කෙනෙක්. ඔහුට හෝ ඔහු ඉස්සරහට ගේන්න හදපු සංගීත චින්තනයට යම් අසාධාරණයක් වෙනවා නම්, වෙනත් කාටහරි අසාධාරණයක් වෙනවා නම්, ඒ තැන්වලදී බොහොම සාධාරණව තාත්තාට කේන්ති යනවා. ඒ වගේම තාත්තා හරිම සංකිර්ණ චරිතයක්. බොහෝ දේවල්වලදි හරියට පොඩි ළමයෙක් වගේ දුක් වෙනවා. හිටපු ගමන් තරහා යනවා. තව වෙලාවකට හිනා වෙනවා.

 

nතාත්තාගේ සංගීතය ඔබට දැනෙන විදිහ?

 

ඔහුගේ ගීත, සංගීත කණ්ඩ ඇසෙද්දීම කේමදාස සංකේතය, ඒ අනන්‍යතාව නිසඟවම සිහිපත් වෙනවා. එයයි කේමදාස සංගීතවේදියාගේ විශේෂත්වය. ඔහු හැම සංගීත කණ්ඩයකටම, වාදනයටම, නාද මාලාවකටම, කටහඬකටම හා චරිතයකටම ගැඹුරු අර්ථකථනයක් දුන්නා. කේමදාස සංකේතය බිහිවෙන්නේ එතැනින්.

 

nසමස්ථයක් වශයෙන් කේමදාසයන් ගේ සංගීත මෙහෙවරට සාධාරණයක් ඉටු වූණා  යැයි සිතනවාද?

තාත්තා ලංකාවේ පෙරැළියක් ඇති කළා. නව සංගීත චින්තනයක් ඇති කළා. නව සංගීත ශෛලින් හඳුන්වා දුන්නා. නමුත් ඒ හැම දේම කළේ BMICH එකේ. පසුව අපේ ගමේ තැනක කළා. ලාංකේය සංගීතයට මෙතරම් පෙරැළියක්, මෙහෙවරක් කරපු තාත්තට කවදාවත් තැනක් ලැබුණේ නැහැ. අදටත් අපි පන්ති ගෙනියන්නේ ගෙදර කාමරේක. එය ඇත්තටම වේදනාවක්. මෙවැනි කලාකරුවකුට ලංකාවේ හරි තැනක් දීලා පහසුකම් දුන්නා නම් ඔහුගෙන් තව මොන තරම් උසස් නිර්මාණ බිහි වෙන්න ඉඩ කඩ තිබුණාද..නමුත් හැමවෙලේම තාත්තා එක්ක, තාත්තාගේ සංගීතයත් එක්ක බොහොම සාමාන්‍යය මිනිස්සු හිටියා. එහෙම පිරිසක් හිටියේ නැත්තම් කේමදාස කෙනෙක් නැහැ කියලා තාත්තාම කියල තියෙනවා.

අදටත් ලංකාව පුරා ඔහුගේ සංගීතය ඇහෙනවා නම් ඒ ඔහුට ආදරය කරන අය ඉන්න නිසා. ඔවුන්ට මම බෙ‍ෙහවින් ස්තුතිවන්ත වෙනවා. තාත්තා නැති වුණාට පස්සේ හිතාගන්න බැරි පිරිසකගෙන් ඔහුට පුදුම විදිහේ ආදරයක් ලැබුණාදෝ කියලා සමහර වෙලාවට මට හිතෙනවා. මේ තියෙන ආදරය මීට වසර 11කට කලින් තිබුණා නම් තාත්තා කොච්චර වාසනාවන්තද..

 

nමෙරට සංගීතය හා අනාගත පරපුරු ගැන  එතුමාට තිබුණු දැක්ම?

 

තාත්තාට අනාගත පරපුර ගැන තිබුණේ කලකිරීමක් වගෙයි මට දැනෙන්නේ. ඔහු වැඩසටහනකදීත් කියලා තිබුණා තාත්තාගේ ඉස්සරහින් ආපු කෙනෙකුත් නැහැ. පිටිපස්සෙන් එන කෙනකුත් නැහැ කියලා. ඒ කියපු දෙයින්ම තේරෙනවා තාත්තාට තිබුණු දැක්ම.

 

nමාස්ටර් ගේ ආභාසයෙන් සංගීතයේ  සාර්ථක ගමනක නියැළෙන පිරිසක්  ඉන්නවාද?

 

තාත්තාගේ ආභාසය ලබා ගෙන ඉදිරියට යෑමයි, තාත්තා වගේ සංගීතය කිරීමෙයි ලොකු වෙනසක් තියෙනවා. තාත්තාගේ සංගීතය අනුකරණය කරනවා නම් හරියට ඇහෙනවා. ඒ අස්සේ “අනේ කේමදාස මාස්ටර් වගේ“ කියනවාත් ඇහෙනවා. එහෙම කේමදාස මාස්ටර් වගේ වෙනවා නම් ඒක වැරැද්දක්. තාත්තාගේ මියුසික් ඇහෙන කොට වෙන සංගීතඥයෙක් වගේ නොකියා කේමදාසගේ සංගීතයක් කියන්නේ එහි ඔහුගේ අනන්‍යතාව හා චින්තනය තියෙන නිසා. ආභාසයයි අනුකරණයයි හාත්පසින්ම දෙකක්. ගොඩක් වෙලාවට ඇහෙන්නේ අනුකරණය කිරීම්.

 

nමෙරට සංගීතයට කේමදාසයන්ගේ  අඩුව දැනෙන්නේ කොහොමද?

 

අද ඔපෙරාවක්, කැන්ටාටාවක් ඇහෙනවාද..? සිනමාව තුළ පවා සංගීතයේ හිස් තැනක් තමයි දැනෙන්නේ. ‘ගොළු හදවත‘, ‘නිධානය‘, හංස විලක් සංගීතයෙන් කියැවුණු කතාව, සංවාදය දැන් චිත්‍රපටවලින් දකින්න ලැබෙන්නේ නැහැ. ඔහුගේ සමුගැනීම මෙරට සංගීතයේ හිස් තැනක් සහ නිහඩතාවක්.

 

nඒ මහා සංගීතවේදියා තුළ තිබූ  පිය සෙනහස ගැන ඔබ වචනවලට  පෙරළුවොත්?

 

ඔහු මහ පුදුම විදිහට මටයි අක්කටයි ආදරේ කළ තාත්තා කෙනෙක්. මගේ මුළු පාසල් අවදියේම තාත්තා තමයි මාව පාසල් අරන් යන්නේ ගෙදර එක්ක එන්නේ. ඔහුට මොනතරම් රාජකාරී තිබුණත් ඒ හැම දේම ඔහු හදා ගන්නේ අපේ පාසල් සහ පන්ති වේලාවලට බාධාවක් නොවන විදිහේ කාලසටහනකට. පිටරට හිටියත් ෆලයිට් එක බුක් කරලා අපිව පාසලෙන් අරන් යන්න ආපු අවස්ථා තිබුණා. අපේ අධ්‍යාපනය ගැන තාත්තා හරියට සැලකිලිමත් වුණා.

අපේ ගෙදර නිතරම සංගීතය ගැන සාකච්ඡා යෙදුණා. ඒ වෙලාවට වෙන දරුවන්ට වගේ අපිට තහනම් නීති පැනවුණේ නැහැ. බොහෝ විට සකච්ඡා වෙලාවට මටයි අක්කටයි තාත්තා කියන්නේ “ඇවිල්ලා අහගෙන ඉන්න මේවා ඔයාලට බොහොම වැදගත් “ කියලයි.

 

nඔහු පිළිබඳ ඔබට තිබෙන  සංවේදීම මතකය?

 

එහෙම සංවේදි තැන් ගණනාවක් තියෙනවා. තාත්තා මා එක්ක දවසක් ඔහුගේ පියාගේ මරණය ගැන කතා කළා. තාත්තා ගේ තාත්තා නැති වෙලා තියෙන්නේ ඔහුට අවුරුදු 9යේදී.

සීයා හැමදාම වැඩ ඇරිලා එද්දි තාත්තාට ටොෆි අරන් එනවාලූ. ඒ එනකල් තාත්තාත් මගබලන් ඉන්නවාලූ. නමුත් සියා නැති වුණු දවසේ තාත්තා ඒ බව නොදැන සුපුරුදු විදිහට මගබලන් ඉඳලා. එහෙම බලන් ඉන්නකොට කවුදෝ කෙනෙක් ඈත දුවගෙන එද්දි තාත්තට තේරුණාලු මොකක් හරි නරකක් වෙලා කියලා.

ඒ වෙලාවේ තාත්තාට දරා ගන්න බැරි දුකක් ඇති වුණාලූ. අවුරුදු නවයක පොඩි ළමයෙක් තාත්තා එනකල් මඟ බලන් ඉඳිද්දි පණිවුඩේ එන්නේ මරණයක් ගැන. තාත්තාට එදා ඇති වුණු ඒ කම්පනය ගැන මා එක්ක බෙදා ගත් මොහොත මම තාත්තා ගැන හරිම සංවේදී වුණා.

තාත්තා මේ ගමන ආවේ පහසුකම් තිබුණු පරිසරයකින් නෙමෙයි. එහෙම ඇවිත් ගල් බොරලු මැදින් ඔහු නිර්මාණය කළ සංගීතයට නොයෙකුත් සම්මාන උලෙළවලදී අසාධාරණකම් වෙද්දී, ඒ කිසිම වෙලාවක රණ්ඩුසරුවල් නොවී සියල්ල දරාගෙන බොහොම නිහතමානිව තාත්තා එළියට එනවා.

එළියට ඇවිත් පසුබට නොවි වැඩි කල් යන්නේ නැතිව ඊටත් වඩා හොඳ සංගීත චින්තනයකින් යුතු නිර්මාණයක් එළියට දානවා.

ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ

Comments