හොඳ නළුවෙක් වෙන්න නම් මුලින්ම ජීවිතය අහුවෙන්න ඕන | සිළුමිණ

හොඳ නළුවෙක් වෙන්න නම් මුලින්ම ජීවිතය අහුවෙන්න ඕන

දසුන් පතිරණ කියන්නේ මේ රටේ ඉන්න තරුණ නළුවන් අතර විරල රංගන පෞරුෂයක් තිබෙන දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු හොඳම නළුවාට හිමි සම්මානයෙන් මේ වන විට කිහිප වතාවක් ම පිදුම් ලැබුවා. ඉතිං ඔහු ගැන අටූවා ටීකා කියන්න අවශ්‍ය නෑ. මේ දවස්වල විකාශනය වන ‘අඩෝ‘ ටෙලිනාට්‍යය හා හුස්ම චිත්‍රපටය එක්ක ප්‍රේක්ෂක අවධානය දිනා සිටින ඔහු සමඟ මොහොතක් දොඩමලු වෙන්න හිතුවා. නළුවෙන් කියන්නේ කාටද?

සරලවම කිව්වොත් තමාව මෙන්ම සෙසු ලෝකය දකින්න පුළුවන්; අන් අයව තේරුම් ගන්න පුළුවන් මනුස්සයෙකුට. බටහිර කලා ඉතිහාසය තුළ අපට නළුවා කියන කෙනා හම්බවෙන්නේ ඈත ග්‍රීක ශිෂ්ටාචාරයෙන්. බොහෝ දෙවිවරු ඇදහූ ග්‍රීකයින්ට එම ඇදහීම ජීවිතයේ සංස්කෘතිකාංගයක් වී තිබුණා. ග්‍රීකයන්ගේ ප්‍රධාන භෝගය මිදි. ඒ අයගේ සුරාවට හා සශ්‍රීකත්වයට අධිපති දෙවියා වුණේ ‘ඩයිනීසියස්’ (දියෝනිසස්). මිදි හට ගන්නා කාලයේ සරු අස්වැන්නක් ලබා දීම ගැන දෙවියන්ට ස්තූති කිරිමට මිදිවලින් හදපු මල් මාලා පැළඳ මිදි වයින් බොමින් මේ අය භක්තියෙන් නැටුවා. ඒ අය අතර සිටි එක් පුද්ගලයෙක් “මමයි දෙවියා” කියමින් දෙවියන්ගේ චරිතය රඟපෑවා.

එම අනුකරණාත්මක රංගනය, ලෝකේ මුල්ම රංගනය වුණා. එදා ඒ චරිතයට පණදුන් කෙනා තමයි ‘තෙස්පීස්’. අදත් මුල්ම නළුවා විදියට සලකන්නේ ඔහුයි. පස්සේ මේ අහසෙ හිටපු නළුවා ස්ටැනිස්ලාව්සකි, බර්ටෝල් බ්‍රෙෂ්ට් වගේ නාට්‍ය වෙනුවෙන් කැපවුණු මිනිස්සු මහපොළවට ගෙනාවා. ඒත් තාමත් සමහරක් හිතන් ඉන්නේ ඒ අය ‘තෙස්පීස්’ල කියල. හොඳ නළුවෙක් වෙන්න නම් ඔහුට මුලින්ම ජීවිතය අහුවෙන්න ඕන කියලයි මා නම් විශ්වාස කරන්නේ.

 

නළුවෙක් වෙන්න හැදෑරීමක් ඕනද?

පැහැදිලිවම, රගපාන්න කෙනකුට ආශාවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ ආශාව තිබුණටම බෑ; ඒ ආශාව උනන්දුව එක්ක කිසියම් හැදෑරීමකුත් අවශ්‍යවෙනවා. පරිණත නළුවෙක් නිළියක් වෙන්න පුළුවන් එතකොට. ඒකට පොතපතම ඕන නෑ. අපි ජීවත් වෙද්දී ලැබෙන අත්දැකීම් හා මිනිස් සම්බන්ධතා තමයි වැදගත්. මතු පිටින් මිනිස්සුන්ව දැකල නෙමෙයි. ඒ අය එක්ක ඓන්ද්‍රීයව සම්බන්ධවෙලා ඔවුන්ගේ සිතුම් පැතුම් වටහා ගන්න පුළුවන් නම් ඒ කෙනාට ඕනම චරිතයක් තුළ ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙවා. ජෝ අබේවික්‍රම කියන්නේ ඒ විදියේ නළුවෙක්. නමුත් ගාමිණී ෆොන්සේකා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. ඔහු නළුවකු විය යුතු තාක්ෂණය හදාරනවා. ඔහු බටහිර චිත්‍රපට වගේම ඒ සම්බන්ධයෙන් කෙරෙන විචාර රංගන සිද්ධාන්ත හදාරනවා. හැබැයි ඒ ස්වොත් සහයෙන්. මේ ගැන ඔහු තුළ තිබුණු උනන්දුව කැපවීම තමයි ඔහුව ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක් වගේම සිනමාකරුවෙක් කරන්නේ. ඒ කැපෑසිටි එක ගැන අදත් අපිට විස්මයක්. ඔහු තමයි තරමක් දුරට හෝ මේ ඉන්ඩ්‍රස්ට්‍රි එකට වෘත්ත්තීය මය වටිනාකමක් ලබාදෙන්නේ.

ඔබ වෘත්තී මය නළුවෙක්ද?

වෘත්තීමය වශයෙන් ඇහුව්වොත් නළුවෙක් කියල මට කියන්න පුළුවන්. නමුත් ලංකාවේ විදියට නම් ආර්ට් කියන්නේ සල්ලි නම් නෙමෙයි. ආර්ට් එක විතරයි. මොකද අපේ රටේ තමයි ආර්ටිස් කෙනෙකුට අඩුවෙන්ම ගෙවන්නේ. නමුත් වෙන රටවල්වල වැඩියෙන්ම ගෙවන්නේ ආර්ටිස්ලට. ඒ ඔවුන්ගෙන් රටට ලෝකයට වෙන සේවය නිසා. කොටින්ම මම ආර්ට්වලට එනවට අපේ අම්මා කැමති වුණෙත් නැහැ. අම්මා කැමති වුණේ බැංකුවේ රස්සාව කරනවට. මොකද රඟපෑවේ නැති වුණාට මේ ඛේදවාචකය ඒ අය දන්නවා. වෘත්තී මය නළුවෙක් වුණාට අපට ඒකෙන් පවතින්න, නඩත්තු වෙන්න බෑ. ඒකට වෙන මොනව හරි කරන්න ඕන; ඒක තමයි ඇත්ත.

 

මේ තත්ත්වයෙන් ආර්ට් එක ගොඩගන්න ඔබ යෝජනා කරන විසඳුම මොකක්ද?

මේකට විසඳුම් දෙන්න මම දේශපාලකයෙක්වත් ව්‍යාපාරිකයෙක්වත් නෙමෙයි. තවත් විදියකින් කිව්වොත් අපි ගාව බලයත් නෑ; සල්ලිත් නෑ. නමුත් ආර්ටිස් කෙනෙක් විදියට මට හිතෙන්නේ මේ බලයේ ඉන්න අය සහ ඒ අය හසුරවන ව්‍යාපාරිකයෝ වෙනස් වෙන්න ඕන. ඒකට මේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන. උඩ ඉඳල වෙනස් වුණාම යට ටික අවුලක් නෑ; ඒ අය ඉබේම වෙනස් වෙනවා.

 

‘අඩෝ’ ටෙලිනාට්‍යය හා ඒ සම්බන්ධ  අත්දැකීම ඔබට ෆීල් වුණේ කොහොමද?

‘අඩෝ’ කිව්වාම ගොඩක් අය මේක අල්ල ගන්නේ කටවහරෙන්. ඒක තමයි ගොඩක් අයට ෆීල් වෙන්නේ. නමුත් ‘අඩෝ’ කියන්නේ අරවින්ද සහ ඩෝරාගේ ආදර කතාව. සුපුන් ගොඩක් කාලෙක ඉඳන් තමයි මේ වැඩේ ගැන අපිත් එක්ක කතා කළේ. ඒ නිසා මේක වටේ ගිය එකක් නෙමෙයි. මං මේ චරිතය හරහා අද තරුණයින් ගේ රියල් ලයිෆ් එක එළියට අරන් එනවා. මේ සමාජයේ එක තරුණයකුගේ භූමිකාවක් විතරයි මේ. එකිනෙකට වෙනස් අත්දෑකීම් ඇතුළේ තාරුණ්‍යය විවිධ ඛේදවාචකයන්ට මුහුණ දී සිටිනවා. මා මෙහි නියෝජනය කරන්නේ ඉන් එක භූමිකාවක් පමණයි. නමුත් සමස්ත තාරුණ්‍යයේ මේ මොහාත ඒ තුළ නිරූපණය වෙනවා.

මේ නිර්මාණය තුළ බෝට්ටුවකට එක එක සමාජ මට්ටම් නියෝජනය කරන චරිත ගෙනත් ඔවුන් හරහා මේ සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රමය තුළ ඔවුන්ගේ සිතුම් පැතුම් සිහින ප්‍රේක්ෂකයා ඉදිරියට ගේනවා. ඒක බැලුව නම් තේරෙනවා මේ ඉන්නේ අපිම නේද කියල.

 

හැමෝම තමන්ගේ බලාපොරොත්තු හීන ඔක්කොම කුඩුපට්ටම් කරගෙන දූපතක සිරවෙනවා. එතන ඉඳල වෙනම පැවැත්මකට යන්න මේ අයට බලකෙරෙනවා. මින් කිසියම් විදියකට නැවැත ලෝකය පරිකල්පනය කරන්න යෝජනා කෙරෙනවා?

මේ හැමෝම අවුරුදු ගාණක් කිසිම වෙනත් බාහිර සම්බන්ධතා නැතිව දූපතක හිර වුණාට පස්සේ අලුත් සිස්ටම් එකක් හදන්න අපට සිද්ධවෙනවා. ඒක කම්පෙයාර් කරන්න වෙන්නේ අප මෙතෙක් හිටපු සිස්ටම් එකත් එක්කම තමයි. එතනදි තමයි අපි මෙච්චරකල් ගොඩනගාගෙන හිටපු සිස්ටම් එක කොච්චර අවුල්ද කියල අපට තේරෙන්නේ. ඒ අවුලෙන් එළියට එන්න අපිට අලුත් සිස්ටම් එකක් හදා ගන්න වෙනවා. ‘අඩෝ’ එක ඇතුළේ අපි එහෙම සිස්ටම් එකක් හදනවා.

 

‘හුස්ෙම‘ කුමාර ගැන මිනිස්සු මොකද කියන්නේ?

මිනිස්සු කුමාරව දැනන් හිටියේ නැහැ. ෆිල්ම් එක ගැන දැනන් හිටියෙත් නැහැ. චිත්‍රපටයේ තිබුණු ලිංගික දර්ශනය නිසා මිනිස්සු කුමාරව දැන ගත්තා. නමුත් මිනිස්සු චිත්‍රපටය නැරැඹුවොත් කුමාරව හරි විදිහට අහු වෙයි. එතකොට අපිට හම්බෙන්නේ වෙනම කුමාර කෙනෙක්. එහෙම ප්‍රේක්ෂකයින්ගෙන් කුමාරට හොඳ ප්‍රතිචාර ලැබෙනවා කිව්වොත් නිවැරදි. මම කියන්නේ ඔහු සාමාන්‍ය මනුස්සයෙක්. සාමාන්‍ය මිනිහෙකුට තිබුණු ඒ ආශාවල් පසු පස හඹා යෑම නිසා සිදු වූ සිදු වීම් පෙළක් තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නේ.

 

ඡායාරූප - තිලක් පෙරේරා/ ෂෙහාන් කාවින්ද

Comments