‍කලාවේ සියලු අංශ මට වැදගත් | සිළුමිණ

‍කලාවේ සියලු අංශ මට වැදගත්

අභිනන්දන උලෙළ 26 දා  සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී

ඇය ප්‍රවෘත්ති නිවේදනයට එක් කළ හ‍ඬෙහි අනන්‍යතාව, රංගනයේදී විදහා පෑ අපූර්ව ප්‍රතිභාව නිසා ශ්‍රාවක ප්‍රේක්ෂකයන් තුළ නොමැකෙන මතක සටහන් තබන්නට සමත්විය. එසේම ඇගේ හඬත්, රුවත් වේදිකාවට ආලෝකයක් විය. ඒ ආලෝකය පුංචි තිරයටත්, සිනමාවටත් ආභරණයක් වූවා යැයි පැවසීම වරදක් නොවේ. දශක පහකට ආසන්න කාලයක් චරිතාංග නිළියක ලෙස සම්මානයට පාත්‍ර වෙමින් ඇය දිගු ගමනක් පැමිණ තිබේ. ඇය ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පිනිය නිවේදිකාව... නාට්‍ය නිෂ්පාදකවරිය රම්‍යා වනිගසේකරය.

 පසුබිම් ගායිකාව ලෙස ක්ෂේත්‍රයට පා තබන ඔබ සිය කලා ජීවිතයට පැමිණ මේ වන විට වසර 45ක්. ඒ වෙනුවෙන් විශේෂ කටයුත්තක් සිදු කිරීමට සූදානම් වන බව අපට දැනගන්නට ලැබුණා.

ඔව්, ‘කැලණි පාලම’ වේදිකා නාට්‍යයට වසර 40 ක් පිරීම, මගේ සැමියා වන ආර්.ආර්. සමරකෝන් මහතාගේ කලා ජීවිතයට වසර 50ක් පිරීම හා මගේ කලා ජීවිතයට වසර ‘45’ ක් පිරීම යන තුන් නිමිත්ත හේතුකොටගෙන අපි විශේෂ අභිනන්දන උලෙළක් පැවැත්වීමට සූදානම් වෙනවා. ආර්.ආර්. සමර‍කෝන් පදනම සංවිධානය කරන මේ උලෙළෙදී 1978 සිට ‘කැලණි පාලමට’ සම්බන්ධ වුණු ශිල්පීන්ට සම්මානයෙන් ඇගයීමට ලක් කිරීමට සූදානම් කරලයි තියෙන්නෙ. ඒ වගේම ආර්.ආර්. සමරකෝන් මහතා කලාවට, ලෝකයට දායාද කළ දේවල් මෙන්ම එතුමන්ගේ ජීවිත කතාව කැටිකොට ශාස්ත්‍රීය ග්‍රන්ථයක් එළි දක්වන්නත් සියලු කටයුතු මේ වන විට සූදානම්.

විශේෂයෙන් එදිනට ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් හා සමන් අතාවුදහෙට්ටි ගේ විශේෂ දෙසුමක් පැවැත්වීමට නියමිතයි. සමරකෝන් මහතාගේ කැලණිපාලම/ දූවිලි / අහසින් වැටුණු මිනිස්සු නාට්‍ය ත්‍රිත්වයේ නාට්‍ය කොටස් සජීවී ලෙස ඉදිරිපත් කරන්නටත් අපි කටයුතු සූදානම් කරලා තියෙනවා.

මේ මස 26 සෙනසුරාදා දින සවස 3.30 ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පනීභාරත ශාලාවේදී තමයි මේ සුවිශේෂ කටයුත්ත සිදු වෙන්නේ.

ඔබ කලාවට අවතීර්ණ වූ ආකාරය සිහිපත් කළොත්?

මම ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ පසුබිම් ගායිකාවක් විදිහට. ඒ චන්දි ගුණතිලකගේ ‘හේවායෝ’ නාට්‍යයේ පසුබිම් ගායනයෙන්. ඉන්පසුව මම විවිධ නාට්‍ය සඳහා පසුබිම් ගායනයෙන් සහභාගී වුණා. ගුණසේන ගලප්පත්තිගේ ‘සඳ කිඳුරු’, ‘මුහුදු පුත්තු’ එවකට ප්‍රධාන පෙළේ නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ නාට්‍යවලට මට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමිවෙනවා. ඔය අතර 1974 දී රංජිත් ධර්මකීර්ති ‘විකාර රූපී’ කියලා නාට්‍යයක් කළා. එහි වයස අවුරුදු 80 ක පමණ අසල්වැසි කාන්තාව‍කගේ පුංචි චරිතයකට පණ පොවමින් තමයි ප්‍රසිද්ධ වේදිකාවේ රංගනයට පා තැබුවේ. චූලා කාරියවසම්ගේ ‘මනරංජන වැඩවර්ජන’ කියන නාට්‍යයේ ‘ගුණවතී’ කියන චරිතයෙන් තමයි වේදිකාවේ ප්‍රධාන භූමිකාවකට අවතීර්ණ වන්නට මට අවස්ථාව හිමි වන්නෙ.

‘කැලණි පාලමේ’ ‘මැටිල්ඩා’ ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් කීවොත් නිවැරදි ද?

1978 වසරේදී මා රඟ පෑ ‘මනරංජන වැඩවර්ජන’හි ගුණවතීගේ චරිතය දැකපු සමරකෝන් මහත්තයා එදා මට වේදිකාවට ඇවිත් සුබ පතලා කීවා මම අලුත් නාට්‍යයක් කරන්න හිතන් ඉන්නෙ ඔබ තුමියට එන්නට පුළුවන්ද කියලා. මුහුරත් දින අසවල් දවසේ තියෙනවා කියලා මට එදිනට එන්නට කියලා ආරාධනා කළා. මම එදා ගියා. ඇත්තටම මට එදා පුදුම සතුටක් හිතුණා අහඹු ලෙස මේ වගේ වේදිකාවේ දැවැන්තයින් මුණ ගැසීම නිසා. එදා ඒ ලැබුණ ප්‍රධාන චරිතය තමයි රංගන ශිල්පිනියක් විදිහට රම්‍යා වනිගසේකර කියන චරිතය ක්ෂේත්‍රයේ වගේම මිනිසුන් තුළ අනන්‍යතාවයක් ගොඩනගා ගත්තේ.

රම්‍යා කැලණි පාලමෙන් එගොඩ වන්නෙ ආර්.ආර්. සමරකෝන් කියන නිර්මාකරුවාගේ බිරිය විදිහට නේද?

ඇත්තටම ඔව්. කැලණි පාලමෙන් එගොඩවෙලා විවාහයෙන් කෙළවර වෙලා දරුවෙකුගේ සුරතල් බලමින් හොඳ විවාහ ජීවිතයක් ගත කරලා තමයි සමරකෝන් මහතා අපෙන් සමුගත්තේ.

ආර්. ආර්. සමර‍කෝන් කියන ඒ දැවැන්ත නිර්මාණකරුවා ඔබ දකින්නේ කොහොමද?

ආර්.ආර්. සමරකෝන් යනු කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් ජයගත් නිර්මාණකරුවෙක්. විටෙක ඔහු ඉතාම දක්ෂ අධ්‍යක්ෂවරයෙක්, දෙබස් රචකයෙක්, ග්‍රන්ථ කතුවරයෙකු වගේම මෙරට වේදිකාව තුළ කිසියම් කඩඉමක් සලකුණු කළ නාට්‍යකරුවෙක්.

වේදිකාව/ සිනමාව/ පුංචිතිරය/ ගුවන්විදුලිය තුළ ඔබේ නම ඉදිරියෙන්ම කියැවෙනවා. මේ තුළින් ඔබ වඩාත් තෘප්තිමත් වන්නේ?

ඇත්තටම මට මේ හැම දෙයකින්ම තෘප්තිමත් මම තෘප්තිමත් නැත්නම් යමක් කරන්නෙ නෑ. තෘප්තියක් ලබන්න පුළුවන්නම් විතරයි මම ඒ දෙය කරන්නෙ. අකමැත්තෙන් කිසිම දෙයක් කරලත් නෑ. කරන්නෙත් නෑ. මගේ දරුවන්ගෙන් කොයි දරුවටද වැඩිපුර ආදරේ කියලා වගේ පැනයක් තමයි ඒක. මම හැම දෙනාටම ආදරෙයි. ඒ වගේම මගේ අතේ ඇඟිලි පහෙන් කෝකද වැදගත් ඇහුවොත් මට ඒ ඇඟිලි පහම වටිනවා. වැදගත්. ඒ වගේම වේදිකාව විතරක් නෙමෙයි කලාවේ සියලුම අංශයන් මට වැදගත්.

එදා මැදිරිය තුළ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේදී ඔබට තාමත් අමතක නොවන සිදුවීම් ඇති ? ඒ ගැනත් මතකය යළි අවදි කළොත්?

ප්‍රවෘත්ති නිවේදිකාවක්, නිවේදකයෙකු මැදිරිය තුළදී කිසියම් කීරි ගැහෙන සිදුවීමක් වුවත් හද කම්පනය කරගන්නට බැහැ. එය විශේෂ වූ කාරණයක්. නමුත් එක්තරා දවසක මට ප්‍රතිපත්තිය ඉදිරියේ මම පරාජය වුණා. ඒ තමයි මගේ සහෝදර ශිල්පියෙකු වූ තිස්ස ජයවර්ධනයන් නැතිවුණා කියන ප්‍රවෘත්තිය. කලින් නොදැනුවත්ව මම ප්‍රවෘත්ති කියවමින් සිටින අතර තුර ඔහු වියෝවුණ පුවත ඇතුළත් පිටපත මට ගෙනත් දුන්නා. එදා මට මතකයි. මට ඒ ප්‍රවෘත්තිය කියවාගන්නට බැරිවුණා. උගුරේ දෙහිගෙඩියක් හිරවුණා වගේ දැනුණා. ඇස් දෙකට කඳුළු ආවා, එය මගේ වෘත්තීය ජීවිතයේ ලැබූ පරාජය වගේම අමතක නොවන සිදුවීමක්.

නූතන නිවේදන පරපුර ගැන ඔබට මොකද හිතෙන්නේ?

මම ඒ ගැන නම් වැඩිය කතාබහ කරන්නට කැමැති නෑ. මොකද එය මගේ වෘත්තීය. අද වන විට එදා වගේ නෙමෙයි; නාළිකා ගොඩක් ආරම්භ කරලා තියෙනවා. අපි ප්‍රවෘත්ති විශ්වවිද්‍යාලයක් වගේ යම් කිසි විනයකට යටත්ව අපේ පිටපත් ලීවේ භාෂාව/ ව්‍යාකරණ යෙදීම්වල වටිනාකම අවබෝධ කරගෙනයි. දැන් එය කටවහරට ගෙනල්ලා හෑල්ලුවට ලක්වෙලා තියෙනවා කියන එක අසන්නන්ටත් ප්‍රශ්නයක් නෙමෙයි නම් අපි ඒක විවේචනය කරලා වැඩක් නෑ.

එදා තිබූ කලාව හා ගත් කල අද අපේ රටේ කලාව කියන දේ තිබෙන්නේ කොතැනද?

ඇත්තටම එදා අපි වේදිකා නාට්‍යයක් කරන්නට ගියත් අපට හොඳ පිටපත් තිබුණා. ඒත් දැන් ලියන මිනිස්සු සහ හිතන මිනිස්සු හුඟක් අඩුවෙලා. ලියන මිනිස්සු අඩු වෙන්නට හේතුව කියවීම අඩුකම කියලයි මා හිතන්නේ. ඇසූ පිරූ තැන් නැතිවීම, දේශපාලන ඇඟිලි ගැසීම් සහ දේශපාලන වුවමනා එපාකම්වලට ලිවීම් වැනි හේතුකාරණා නිසා ලියන පැත්ත දුර්වල වෙලා කියලා මට හිතෙනවා. අද හැම දෙයක්ම වටිනාකමක් නැති තැනකට පත්වෙලා. මානසික ඒකාග්‍රතාවය නෑ. යමක් කරන්නට පුළුවන් අයටද යම් දෙයක් කරන ඒක තේරුමක් නැති තත්ත්වයට පත්වෙලා තියෙනවා. එම නිසා අද ‘ගොමරිටි’ උඩට ඇවිල්ලා තියෙනවා.

ඡායාරූපය - ටෙනිසන් එදිරිසිංහ

Comments