‍නික්ගේ අසනීපය නිසා ප්‍රියංකා මහ රෑත් ඇහැරිලා | සිළුමිණ

‍නික්ගේ අසනීපය නිසා ප්‍රියංකා මහ රෑත් ඇහැරිලා

ප්‍රියංකා චොප්රා - නික් ජෝනස් විවාහ දිවියට මේ වන විට මාස 10කුත් ගතවෙලා. මේ සොඳුරු යුවළ තවමත් පෙම්වතුන් විලස තමයි කාලය ගත කරන්නෙ. දෙදෙනා හරිම සතුටෙන් සිටිනවා. ඒත් ඒ සතුට අතරින් පුංචි ප්‍රශ්නයකුත් මතුවෙලා. ඒ, නික් ජෝනස්ගේ ශරීර සෞඛ්‍යය පිළිබඳ ප්‍රශ්නයක්. ප්‍රියංකා මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඒ ගැන කරුණු හෙළි කළා. ඇය කීවේ තමන් නික්ට වැලඳී ඇති දියවැඩියා රෝගී තත්ත්වය ගැන දැඩි අවධානයකින් පසුවන බවයි.

නික්ට මේ රෝගී තත්ත්වය වැලඳී ඇත්තේ ඔහුට වයස අව‍ුරුදු 13ක්ව තිබියදීලු. අපි දෙන්නා විවාහ වුණු මුල් දවස්වල තමයි මේක දැන ගත්තේ. නික් දන්නවා එයාගෙ සීනි මට්ටම පාලනය කරගන්න. නින්දකට ගියාමත් සමහර වෙලාවට නැගිටිනවා. එයා ඒ ගැන පුදුම විනයකින් තමයි එදිනෙදා කටයුතු කරන්නේ. සමහර වෙලාවට මටත් මහ රෑට ඇහැරෙනවා. නික්ගේ තත්ත්වය ගැන සෙවිල්ලෙන් ඉන්න නිසා තමයි මටත් ඇහැරෙන්නෙ ඉතින් මම ඒ වෙලාවට එයාගෙ සීනි මට්ටම කොහොමද කියල බලනවා. ඒක මගෙ යුතුකමක්. පුංචි කාලෙ ඉදලම මේ තත්ත්වය තිබුණ නිසා එයා ඒකට හොඳට හුරුවෙලයි ඉන්නෙ. එයා දන්නවා, මොන වෙලාවටද, කොහොමද තමන්ගේ රෝගී තත්ත්වයට අවශ්‍ය දේ ගන්නෙ කියලා. ඉස්සර සමහර දවස්වලට නිදා ගත්තාම ‘කෝමා’ තත්ත්වයකට වගේ පත්වෙලා සිහිය නැති ගානට ඉඳලා තියෙනවා. දැන් නම් ඒක මග හැරිලා ප්‍රියංකා නික් ගැන විවෘතව කතා කළා.

නික්ද තම අසනීපය ගැන කතා කර තිබුණා. ඔහු පැවසුවේ කුඩා කාලයේදී තමන්ගේ බර අඩුවීම සහ තවත් අසමාන්‍යතා දුටු සොහොයුරන් වහාම වෛද්‍යවරයෙකු වෙත තමන්ව රැගෙන ගිය බවයි.

“එතනදී කළ පරීක්ෂාවේදී තමයි මම දැනගත්තේ මගෙ රුධිරයේ සීනි මට්ටම ගොඩක් වැඩියි කියල. ඒ කියන්නෙ සාමාන්‍ය ගණනට වඩා නව ගුණයක් වැඩිවෙලා. අධික රුධිර පීඩනයකුත් තිබුණා. බර අඩුවෙලා. මම ‘කෝමා’ තත්ත්වයට ළං වෙලා හිටියා” තවමත් 27 වැනි වියෙහි පසුවන නික් එම ප්‍රකාශය කළේ ඇමරිකානු සඟරාවක් වෙනුවෙන්.

Comments