අලි - මිනිස් ගැටු­මට තල් වැටක් බඳින අපේ සගයා | සිළුමිණ

අලි - මිනිස් ගැටු­මට තල් වැටක් බඳින අපේ සගයා

පේ රටේ අලි - මිනිස් ගැටුම නිසා මැරෙන අලි සංඛ්‍යාව එන්න එන්නම වැඩි­වෙ­මින් පවතී. අලුත්ම දත්ත අනුව මේ වසරේ අලි 240ක්ද 2018 වසරේ අලි 319ක් අලි මිනිස් ගැටුම නිසා මිය­ගොස් ඇත. වසර දෙකේම මිය ගොස් ඇති මිනි­සුන් ගණන 165කට ආසන්න වේ.

මේ අනුව 1992 දි පමණ අලි මිනිස් ගැටු­මට විදුලි වැට නියම විස­ඳු­මක් ලෙස ඉදි­රි­පත් කළත් එය දැන් වන ­විට අසා­ර්ථක බව පෙනේ.

අලි ඇතුන් විදුලි වැට තර­ණය කිරී­මට වියළි කොට ආදි අනු­ව­ර්තික ක්‍රියා­මාර්ග යොදා ගැනී­මත් අලුත් ගම්මාන ආදිය නිසා අලි පර­පු­රට කෑම බීම හිඟ­වී­මත් නිසා අලින් ගම් වැදීම වැඩිවී තිබේ. අලි - මිනිස් ගැටුම ඉන් තවත් තීව්‍ර වී ඇත.

විශේ­ෂ­යෙන් කැලෑ විනා­ශය අලුත් ජන­පද බිහි­වීම, මාර්ග අයිනේ ඇති බිම් පෙදෙස් අන­ව­ස­රව අල්ලා­ගෙන ගොඩ­නැ­ඟිලි ඉදි­කි­රීම නිසා අලි - මිනිස් ගැටුම උග්‍ර වී තිබේ.

අජිත් ඇප­ල­දෙ­ණිය

මෙයට පිළි­යම් ලෙස ආදි කාලීන ගොවියා තම ගෙවත්ත වටේ පතොක් හා හණ වැව්වේය. ඒ ශාක­වල කටු ඇනෙන විට අලි ගෙව­ත්තට ඒම වැළැ­ක්විණි. නමුත් අලුත් ජන­ප­ද­ක­ර­ණය සමඟ ඒ පතොක් හා හණ ජීව වැට කපා තාප්ප ඉදි­කි­රීම ඇර­ඹුණි. නමුත් තාප්ප පෙර­ළා­ගෙන පවා අලි තම අවශ්‍ය ගම­නා­න්තය කරා යති.

විවිධ කාල­ගුණ ඍතු අනුව රටේ විවිධ ප්‍රදේ­ශ­වල සිටින අලි කිලෝ­මී­ටර 100 - 150 දක්වා පවා රට පුරා සංච­ර­ණය කරති. අලි - මිනිස් ගැටුම වැඩි­පුර ඇති වන්නේ අලින්ගේ මේ සුපු­රුදු සංච­රණ රටා­වට මිනි­සුන් විසින් යම් යම් බාධා පැමි­ණ­වීම නිසාය.

මේ අලි ගම් වැදීම දිගු­කා­ලී­නව වැළැ­ක්විය හැකි කදිම විස­ඳු­මක් ලෙස ජීව වැටි ක්‍රම­යක් ලේක්හ­වුස් ආය­ත­නයේ රියැ­දුරු මහතකු වන අජිත් ඇප­ල­දෙ­ණිය පෙන්වා දෙයි.

මම වසර 16 ක් අනු­රා­ධ­පු­රයේ රැකි­යාව කළා. එහේ ඉන්න කොට අලි ඇවිල්ලා ගෙවල් කඩන එක වගා විනාශ කරන එක නිතරම දකි­න්නට ලැබුණා. හැබැයි ඒ ගෙවල් හදලා තිබුණෙ අන­ව­සර ඉඩ­ම්වල. අලි යන මාර්ගයේ 1982 සිට 1996 කාලයේ මම දුටු ඒ අලි මිනිස් ගැටුම් නිසා ඒ පළාතේ අලි­න්ටත් මිනි­සු­න්ටත් තුවාල වුණා.

අලින්ට ඇසිඩ් ගහපු අව­ස්ථාත් තිබුණා. ඒ අලි පාරේ ඉස්කෝ­ලෙට යන පුංචි ළම­ය­කුත් මරා දැම්මා. ඒ පිළි­බ­ඳව මට ඇතිවූ දුක අනුව මේකට විස­ඳු­මක් කල්පනා කළා.

ඒ අතර මම ලේක්හ­වුස් එකේ වැඩ කරන කාලේ 2008 සැප්තැ­ම්බර් 27 වැනි දින ගිරි­උල්ලේ අපේ ගෙද­රට අලි ඇවිල්ලා වී ගෝණි 20ක් බීලා ගිහිල්ලා තිබුණා. අම්මයි තාත්තයි පම­ණයි ගෙදර හිටියේ. මට හරි­යට බයක් ඇති­වුණා. දුක­කුත් හිතුණා. අම්මලා විඳින දුක ගැන ඒ බිය මගේ අම්මට තාත්තාට නෙමෙයි අලි වැඩි­පුර ගම් වදින හැම ප්‍රදේ­ශ­ව­ලම සියලු ජන­තාව මුහුණ පාන ගැට­ලු­වක් බව මට වැට­හුණා. මේ ගැන වන ජීවී නිල­ධා­රීන්ට කිව්ව. පිළි­ය­මක් කළේ නැහැ. ග්‍රාම නිල­ධා­රිට, ප්‍රාදේ­ශීය ලේකම්ට කිව්වට ගණන් ගත්තේ නැහැ. දුක අපි­ට­මයි උරුම වුණේ.

ඒ අලි ටික කාල­යක් බස්නා­හිර පළාතේ මීරි­ගම පොල්ක­ටු­කැ­ලේට වැදිලා සිටිය. පසුව මොනවා වුණා ද දන්නෙ නැහැ.

මේකට විස­ඳු­මක් අප­ටම සොයන්න බැරිද කියල මම කල්පනා කළා‍. ඒ අනුව පතොක්, දූරි­යන්, බෝග­න්විලා, හණ හා දෙහි යන ගස් වවලා අලි ගම් බිම්ව­ලට ගොවි බිම්ව­ලට ඒම වළ­ක්වන්න පුළු­වන් ද කියලා බැලුවා. නමුත් ඒවා සාර්ථක වුණේ නැහැ. ඒ සම­හ­ර ගස් අලි විනාශ කළා.

පසුව මම තල් ගහ කෙරෙහි අව­ධා­නය යොමු කළා. තල් පැළ­යක් අලි­ය­කුට කන්න දැම්මම කන්නේ නැහැ. තල් ගෙඩිය නම් කනවා. ඒත් තල් ගහට කිසිම හානි­යක් අලින්ට කරන්න බැහැ. ඒකේ පැරැණි අතු කෑලි ගසේම තිබෙ­නවා. ඒ නිසා අලි ඒ ගස් තල්ලු කරන්න කැමැති නැහැ. ඒ තල් අතු­ව­ලත් කටු තිබෙ­නවා. ඒ අනුව තල් ගස් යම් රටා­ව­කට වැව්වොත් අලින්ට ඒ තුළින් රිංගා යෑම අප­හසු වන බව මට පෙනී ගියා. ඒ අනුව තමයි මම අපේ ර‍ෙට් අලි මිනිස් ගැටුම වළ­ක්වන්න අලි ගම් වැදීම වළ­ක්වන්න මේ තල් ගස් වැට යෝජනා කරන්නේ” ඇප­ල­දෙ­ණිය තම අර­මුණ විස්තර කරයි.

ඇප­ල­දෙ­ණිය මහතා පව­සන පරිදි නුව­ර­එ­ළිය හැරුණු විට අන් සියලු දිස්ත්‍රි­ක්ක­වල ඉතා හොඳින් වැඩෙන තල් ගස් සුවි­ශේෂ අයු­රින් අලි වැටක් ලෙස එක ළඟ සිටු­වූ­වොත් අලින්ට ගම්වැ­දී­මට නොහැ­කිය. තල්පැළ පේළි 2 - 3 ක් අඩි 8න් 8ට පේළි 3ක් සිග් සැග් ක්‍රම­යට සිටුවා ඒවා වැඩුණු පසු අලින්ට ඒ අත­රින් රිංගා යෑමට අප­හසු කිරීම මඟින් අලි මිනිස් ගැටුම අවම කළ හැකි බව ඇප­ල­දෙ­ණිය මහතා කියයි.

මේ අනුව ගම්බිම් හා ගෙවතු මායි­ම්වල මේ තල්වැට ඉදි­කි­රීම සුදු­සුය. අඩි 6 - 6 හෝ අඩි 8 - 8 පර­ත­ර­යට සිග් සැග් ක්‍රම­යට සිටුවා ඒවා වැඩෙන තුරු රැක බලා ගැනීම කළ යුතුය. මේ තල් අලි වැටක් වසර 150ක් පව­තින බවද ඔහු සාක්ෂි සහි­තව පෙන්වා දෙයි.

Borassus යන උද්භිද නාම­යෙන් හඳු­න්වන හීයක් මෙන් හිරු මුදුන් වන දිශා­වට නැගෙන තල්ගස වසර 140 - 150 පමණ ආයු කාල­යක් පව­තින, ශ්‍රී ලංකාවේ නුව­ර­එ­ළිය වැනි අධික ශීත ප්‍රදේ­ශ­වල හැර වෙනත් ඕනෑම කාල­ගු­ණ­ය­කට ඔරොත්තු දෙන ඝර්ම කලා­පීය රටවල වැඩෙන, තාල වර්ග­යට අයත් ශක්ති­මත් ශාක­යකි. අපට මනා සම්ප­තක් වන අප්‍රි­කා­වට ආවේ­ණික ශාක­යක් විදි­යට පිළි­ගත හැකි තල්ගස, ලංකා­වට විජය රජුන් පැමි­ණෙන විට ඉන්දි­යාවේ සිට තල් ඇට ගෙනැ­විත් මෙහි රෝප­ණය කරන්න ඇතැයි විශ්වා­සය තැබිය හැකිය.

මන්නා­රම, තම්බ­පණ්ණි, යාප­නයේ, උතුරු කරේ වැඩි ‍වශයෙන් දක්නට ලැබෙන්නේ විජය රජු පැමි­ණී­මත් සමඟ රෝප­ණ­ය වූ තල් ගස්වල ගෙඩි සැදී පසුව ඒවා මන්නා­රම, යාප­නය දිස්ත්‍රික්ක පුරා ව්‍යාප්ත වූ තල්ගස්ය.

විශාල අතී­ත­යක් ඇති මෙම තල්ගස උතුරේ දමිළ ජන­තාව කප්රුක යනු­වෙන් හඳු­න්වන අතර, ඔවුහු මේ ගසින් විවිධ අව­ශ්‍යතා රැසක් ඉටු කර ගනිති.

උතුරේ දමිළ ජන­තා­වගේ මේ කප්රුක අද ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේ­ශ­වල සුළු වශ­යෙන් ව්‍යාප්ත වී තිබු­ණත්, අනු­රා­ධ­පුර, පොලො­න්න­රුව හා හම්බ­න්තොට වැනි දිස්ත්‍රි­ක්ක­වල වැඩි වශ­යෙන් දක්නට ලැබෙයි. කෙසේ වුවද තල්ගසේ වටි­නා­කම ලාංකික ජන­තාව තේරුම් ගෙන නොමැති බව නම් පෙනෙයි. මෙම තල් ගසට කිසිම තැනක රසා­ය­නික පොහොර නොද­මති. ඒ අනුව තල් ගස අද ලංකාවේ (ඕග­නික්) ශාක­යක් විදි­යට සැල­කිය හැකිය.

තල්ග­සින් අව­ශ්‍යතා රැසක් ලබා­ගත හැකිය. තල් ගසේ ගෙඩි හට­ගෙන මේරී­මට පෙර තල් කුරුම්බා ලෙස පානය කිරීම ගුණා­ත්මක පාන­යකි. තල් ඇට­ව­ලින් තල් පැළ සාදා ගැනී­මද පහ­සු­වෙන් කර ගත හැක.

තල්ගෙඩි ඉදිණු පසු ළිපේ තබා පොත්ත ඇර සූරා කෑම­ටත්, එය වතු­රට දිය­කර කැඳ බීම­ටත් තවද එයට හාල්පිටි මිශ්‍ර කර තල් කැටි වශ­යෙන් මස්කට් විදි­යට කෑම­ටත්, තල් කැවුම් හැදී­ම­ටත් හැකිය.

තල් ඇට දිය ­කර පැදු­රක් එළා එය පැදු­රට දමා අව්වේ වේළා විවිධ ආහාර සාදා ගත හැකිය. තවද තල් දිය­ කර උළුඳු පිටි දමා තෝසේ හැදී­මත් සිදු කෙරේ.

තවද තල් ඇට පැළ­ කර (කොට්ටකිලම්ගු) ගලවා තම්බා කෑම ගුණා­ත්මක හා රස­වත් ආහා­ර­යකි. කොට්ට කිලම්බු වේලා ඒවා පිටි කර එයට මුං, කව්පි, කර­පිංචා, ගම්මි­රිස් සියල්ල දමා රස­වත් බීමක් විදි­යට ගත හැක.

තල් ඇට සිටුවා මාස 3 ලැබෙන තල් පැළේ පළ­මු කොළ දෙක පො‍ළොව මට්ට­මට පැමිණි පසුව වසර දෙකක් පමණ යන විට අතු හට ගන්නා තල් පැළය වසර 4 - 5 අතර කාල­යක් වන විට අඩි 6 පමණ උසට කොළ පිති හට ගෙන කඳ බේරෙන අව­දි­යට පැමිණේ. වසර 10 අතර කාල­ය­කින් පීදෙන තල් ගස පහළ අතු කිසි­වක් කිසි­ව­කු­ටත් ගැල­වී­මට නොහැකි විදි­යට තුන් ආකා­ර­ය­කට විහිදී තිබෙයි. තල්පිති වල කටු ගසේ ආර­ක්ෂා­වට ලැබුණු දායා­ද­යක් ලෙසය. සතු­න්ගෙන් වල් ඌරා, ඉත්තෑවා, වන අලියා වැනි සතුන් මේ හේතු­වෙන් තල්යා­යක කිට්ටු­වට යන්නේ නැත. තල් ගස අඩි 100 - 120ක් පමණ උසට වැඩෙන අතර ගසේ ආයු කාලය වසර 140ක් පමණ බව සනාථ කර ගත හැකිය. තවද තල් ගසේ ක‍ඳේ අඩි 15ක් පමණ දුරක් යන තල් අතු නොවැ­ටු­ණත් ඒවා ගස මිය යන තෙක් ගසට ආර­ක්ෂාව සැප­යීම විශේ­ෂ­යකි.

තල් ගසේ වර්ග දෙකක් ඇත. ගැහැනු හා පිරිමි ගස් වශ­යෙන් හට ගන්නා තල් ප්‍ර භේදවල ගැහැනු ගසින් ගෙඩි හට­ගෙන සිය­ලු ප්‍රයෝ­ජන ලබා ගත්තත් පිරිමි ගසින් ප්‍රයෝ­ජන ගත හැක්කේ ඉතා සුළු ප්‍රමා­ණ­යකි. තල්ග­සින් වස­ර­කට රු. 10,000, රු. 15,000ක් වැනි මුදල් ප්‍රමා­ණ­යක් උපයා ගත හැකි බව උතුරේ දමිළ ජන­තා­වගේ අද­හ­සයි. මෙයින් ඔවුන් මුදල් උප­යන්නේ තල්ග­ස්වල හැදෙන මල් කපා එයින් තෙලිජ්ජ ගෙන උණු­කර පැණි බවට පත්කිරීමෙනි. එයින් ඉහළ ආයු­ර්වේද වටි­නා­ක­මක් ඇති තල් සූකිරි සිංහල වෙද­ක­මට ඉතා අවශ්‍ය දෙයක් වෙයි. තවද විදෙස් වෙළෙ­ඳ­පොළේ ඉහළ ඉල්ලු­මක් ඇති තල් සූකිරි අප රටේ නිෂ්පා­ද­නය සිය ගුණ­ය­කින් වැඩි කළද ඒ ඉල්ලුම සපු­රා­ලිය නොහැකි තරම්ය. අපට විදේශ විනි­මය ලබා­ගත හැකි, තල් සූකිරි සෑදීම, තල් හකුරු සෑදීම, පැණි සෑදීම ඒවා­යින් විවිධ රස කැවිලි සෑදී­මට යොදා ගනී.

තල් කොළ­යෙන් පොඩි පෙට්ටි සාදා එයට තල් පැණි පිර­වී­මෙන් වෙළෙඳ­පො­ළට තල් හකුරු ලැබෙයි. තවද තල්පැණි ද ඔවුන් බහු­ලව ප්‍රයෝ­ජ­න­යට ගන්නා දෙයකි.

තවද තල් කොළ වට්ටි පෙට්ටි, හකුරු පෙට්ටි, ඔප දැමූ අත් බෑග්, පැදුරු හා තල් අතු වැට­වල ආව­ර­ණ­යට යොදා ගනී.

තල් පිති වලින් ආව­ර­ණය කරන වැටත් වසර ගණ­නක් පමණ සුනඛයන්ට­වත් පැනී­මට නොහැකි ආකා­රයේ වැටකි.

තල් ගසේ වටි­නා­කම ඇගැ­යී­ම­ටත් තල් ගසින් විවිධ ප්‍රයෝ­ජන ගැනී­ම­ටත් අලි මිනිස් ගැටුම් වැළැක්වීමට වවන මෙම තල් වැට ප්‍රයෝ­ජ­න­වත් වනු ඇත.

 

Comments