ආත්ම­යේ සදා­ත­නික පැවැත්ම පිළි­බඳ විශ්වා­සය හෙවත් ශාස්ව­ත­වා­දය පිළි­බඳ බෞද්ධ විග්‍ර­හය | සිළුමිණ

ආත්ම­යේ සදා­ත­නික පැවැත්ම පිළි­බඳ විශ්වා­සය හෙවත් ශාස්ව­ත­වා­දය පිළි­බඳ බෞද්ධ විග්‍ර­හය

ආචාර්ය  දිල්ශාන් මනෝජ් රාජ­පක්ෂ  කථි­කා­චාර්ය (B.A, (Colombo) M.A, M.Phil, Ph.D reading (Kelaniya)) බෞද්ධ දර්ශ­නය අධ්‍ය­යන අංශය  ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව­වි­ද්‍යා­ලය

 

බ්‍රහ්ම­ජාල සූත්‍ර විග්‍ර­හ­යට අනුව ආත්ම­යත් ලෝක­යත් සම්බ­න්ධ­යෙන් පුද්ග­ලයා තුළ පහළ විය හැකි දෘෂ්ටි කොටස් දෙක­කට බෙදිය හැකි ය. එනම්,

 

1. අතී­තය පිළි­බඳ දෘෂ්ටි (පුබ්බ­න්ත­ක­ප්පිකා දිට්ඨි)

2. අනා­ග­තය පිළි­බඳ දෘෂ්ටි (අප­ර­න්ත­ක­ප්පිකා දිට්ඨි) යනු යි.

 

බ්‍රහ්ම­ජාල සූත්‍ර­යෙහි සඳ­හ­න්වන ආකා­ර­යට අනුව මෙහි අතීත කාලික දෘෂ්ටි දහ අටකි (18). ඒවා නම්,

1. ශුද්ධ ශාස්ව­ත­වාද 04 - (සස්ස­ත­වාද)

2. අර්ධ ශාස්ව­ත­වාද 04 -

(ඒක­ච්ච­ස­ස්ස­ත­වාද)

3. අන්ත අන­න්ත­වාද 04 -

(අන්තා­න­න්ති­ක­වාද)

4. සංශ­ය­වාද නොහොත් අම­රා­වි­ක්ඛේ­ප­වාද 04 - (අම­රා­වි­ක්ඛේ­පි­ක­වාද)

5. ආත්මය හා ලෝකය හේතු ප්‍රත්‍ය අනුව හට නොගත් බව හෙවත් ආක­ස්මික බව ප්‍රකාශ කරන වාද 02 -

(අධි­ච්ච­ස­මු­ප්ප­න්න­වාද)

 

අනා­ගත කාලික දෘෂ්ටි හත­ළිස් හත­රකි (44). ඒවා නම්,

1. ආත්මය පූර්ණ සඤ්ඤීව පවතී. 16 (සඤ්ඤී­වාද)

2. ආත්මය සඤ්ඤා­වෙන් තොරව මර­ණින් මතු පවතී. 08 (අස­ඤ්ඤී­වාද)

3. ආත්මය සඤ්ඤීව හෝ අස­ඤ්ඤීව මර­ණින් මතු පවතී. 08 (නේව­ස­ඤ්ඤී­නා­ස­ඤ්ඤී­වාද)

4. ආත්මය මර­ණින් මතු නොවේ. 07 (උච්ඡේ­ද­වාද නොහොත් නාස්ති­ක­වාද)

5. පරම දිට්ඨ­ධ­ම්ම­නි­බ්බා­න­වාද 05 (ඒකාන්ත සුඛ­වාද)

 

බ්‍රහ්ම­ජාල සූත්‍ර­යෙහි සඳ­හන් මෙම දෘෂ්ටි පිළි­බඳ විග්‍ර­හය අභි­ධර්ම පිට­කයේ ද චූළ­මා­ලුංක්‍ය සූත්‍රයේ ද සංක්ෂිප්ත වශ­යෙන් සඳ­හන් වේ. මෙම දෘෂ්ටි ජාල­වල පරි­ධි­ගත කේන්ද්‍රය වනුයේ ආත්ම­වා­දය යි. ආත්ම­වාදී පද­න­මෙහි හිඳ මේවා විහිදී යන අයුරු පහත පරිදි දැක්විය හැකි ය. ( රූප­ස­ට­හන 01 )

පූර්වාන්ත හා අප­රාන්ත දෘෂ්ටි­වල ප්‍රභේද කොතෙ­කුත් බිහි­විය හැකි වුව ද සරල වශ­යෙන් ගත්විට ඉහත සට­හ­නින් ගත් නිග­ම­න­ව­ලට ඒ සියල්ල සංග්‍රහ වේ. මෙය තව­දු­ර­ටත් පැහැ­දිලි වීම පිණිස චතු­ෂ්කෝ­ටික ලෙස නිග­මන හත­රක් දැක්විය හැකි ය. එනම්,

1. ආත්මයේ ආර­ම්භ­යක් නැත.

අව­සා­න­යක් නැත.

2. ආත්මයේ ආර­ම්භ­යක් නැත.

අව­සා­න­යක් ඇත.

3. ආත්මයේ ආර­ම්භ­යක් ඇත.

අව­සා­න­යක් නැත.

4 ආත්මයේ ආර­ම්භ­යක් ඇත.

අව­සා­න­යක් ඇත. යනු යි.

 

මෙහි පළමු ප්‍රස්තු­ත­යට අනුව ආත්මයේ අව­සා­න­යක් නැතැයි කීම පුර්වා­න්ත­යෙන් ශාස්ව­ත­වා­ද­යට වැටී­මකි. ඒ අනාදි ආත්මය අන­න්තව අනා­ග­තයේ පවතී යැයි පිළි­ගැ­නීම අප­රා­න්ත­යෙන් ශාස්ව­ත­වා­ද­යට වැටී­මකි. මෙහි දෙවනි ප්‍රස්තු­යෙන් කිය­වෙ­නුයේ අනාදි ආත්මය නිමා­වට පත් වන බව යි. මෙය උච්ඡේ­ද­වා­ද­යට වැටී­මකි. අතී­තයේ අන­න්තව පැව­තුණ යම­කට අව­සා­න­යක් පැන­වීම න්‍යාය විරෝධී ය. තෙවැන්නේ කියැ­වෙන්නේ, ආර­ම්භ­යක් ඇතැයි සැල­කෙන ආත්මයේ අනා­ග­තය සදා­කා­ලික බව ය. ආත්මයේ ආර­ම්භ­යක් ඇතැයි කීම අධි­ච්ච­ස­මු­ප්ප­න්න­වා­දය ප්‍රකාශ කර­න්නෙකි. “මම පෙර නොවීමි. ඒ පෙර නොවූ මම මෙප­ම­ණ­කින් ඇති බව පැමි­ණි­යෙමි” යනු ආත්මයේ ආර­ම්භය අධි­ච්ච­ස­මු­ප්පන්න ලෙස පැන­වී­මකි. මෙය අහේ­තු­ක­වාදී සංක­ල්ප­යකි. නිර­පේ­ක්ෂක ආර­ම්භ­යක් (An absolute Beginning) ලොව නැත. සිව්වන ප්‍රස්තු­ත­යෙන් කියැ­වෙ­නුයේ අහේ­තුක ව ආත්මය ඇරඹී උච්ඡේ­ද­වා­ද­යට පත් වන බව යි. සත් වශ­යෙන් ඇති ආත්ම­යක නිර­පේ­ක්ෂක නිමා­වක් (An absolute Ending) මෙයින් කියැවේ. මෙය තත්ත්වා­නු­කූල නොවන කල්පි­ත­යකි.

 

 

ශාස්ව­ත­වා­දය

අතීත කාලික දෘෂ්ටි අට­ළොස (18) අත­රින් ආත්මය සහ ලෝකය අනා­දි­මත් ය, අතී­තයේ සිට නැවත එතැයි දරන (ශුද්ධ) අද­හස ශාස්ව­ත­වාද නම් වේ. ශාස්වත යන්න හැම කල්හි පවත්නා යන අද­හස් මතු කරයි. ශාස්වත දෘෂ්ටි ඇති වීම ශාස්ව­ත­වා­දය යි. (සස්ස­ත­වාදෝ ඒතේ සන්ති = සස්ව­ත­වාදා) එසේ ම නිත්‍ය පැවැ­ත්මක් පිළි­බඳ සාකච්ඡා කරන නිසා ශාස්ව­ත­වාද නම් වේ. (සස්සතං වද­න්තීති සස්ව­ත­වාදො) විනාශ නොවී සදා­ත­නි­කව ගමන් කරන හෙයින් සස්සත වේ. (අමරං නිච්චං දුවන්ති සස්සත වේව ච නාති) ඒ අනුව මේ සම්බ­න්ධ­යෙන් වන වාදය ශාස්ව­ත­වා­දය (සස්ස­ත­වා­දය) යි. මේ තුළින් පැනෙන මූලික අද­හ­සක් නම්, “ජීව වස්තූන්ගේ මර­ණය අජීව වස්තූන්ගේ විනා­ශය වැනි සිදු­වීම් බාහිර වශ­යෙන් අප දක්නට ලැබුණ ද අභ්‍ය­න්තර වශ­යෙන් සැමදා වෙනස් නොවී පවත්නා සත්තා­වක් තිබේ ය” යන්න යි.

ශරී­ර­යෙහි ආත්ම­යක් ඇතැයි යන විශ්වා­සය ඉතා පුරා­ණයේ සිට පැව­තෙ­න්නෙකි. ආත්ම (පාලි = අත්ත) ශබ්ද­යෙන් දැක්වෙ­නුයේ නැති නොවන සුළු වෙනස් නොවන සුළු දෙයක් මිනිසා තුළ ඇති බව ය. වෙනස් වන සුළු ලෝකයේ වෙනස් නොවන සුළු දෙය නම් ආත්මය යැයි සැල­කෙයි.

සිති­විලි සිත­න්නේත්, වේදනා විඳි­න්නේත් සියලු කුසල අකු­සල කර්ම­වල විපාක වශ­යෙන් වර හෝ දණ්ඩන ලබ­න්නේත් මිනිසා තුළ වෙසෙන මෙම ආත්මය යි. ඒ අනුව ශාස්ව­ත­වා­දීන්ගේ මූලික තර්කය වනුයේ, “ආත්මය හා ලෝකය ශාස්වත ය. විලෝ­ත්පාද රහිත හෙයින් වඳ ය. ගිරි­කු­ලක් මෙන්, ඉන්ද්‍ර­ඛී­ල­යක් මෙන් නිස­සල ය. (ස්ථීර ය) ඒ සත්ත්වයෝ මෙයින් අන් තැනක යති. භව­යෙන් බව­යට හැසි­රෙති. මැරෙති. මැරි මැරී උප­දිති. නොනැසී පවත්නා ආත්ම­යත්, ලෝක­යත් සැම කල්හි ම විද්‍ය­මාන වේ” යන්න යි.

 

මෙහිදී පිළි­බිඹු වන ප්‍රස්තුත දෙකකි. එනම්,

1. ආත්මය හා ලෝකයේ සදා­ත­නික පැවැත්ම

2. සසර සැරි­ස­රන සත්ව­යාගේ සදා­ත­නික පැවැත්ම යනු යි.

 

මෙහි පළමු ප්‍රස්තු­තයේ ව්‍යාක­රණ ශෛලිය පිළි­බඳ ව අව­ධා­නය යොමු කරන විට අව­බෝධ වන්නේ, ආත්මය හා ලෝකය පදාර්ථ දෙකක් ලෙස පෙනී­ගි­යත් ක්‍රියා­ප­දය ඒක වච­න­යෙන් තබා ඇති බැවින් ඒ පද දෙකෙන් ම එක ම පදා­ර්ථ­යක් හැඟවී ඇති බව යි. එමෙන් ම මෙම දෙවන ප්‍රස්තු­තය ක්‍රි.ව. 6 වන භාර­තීය ජන සමා­ජයේ දාර්ශ­නික මට්ට­මින් ලෝක විග්‍ර­හය සඳහා උප­යෝගී කර තිබූ අතර ඉන් සස­ර­ගාමී සත්ත්ව­යාගේ ජීවන ගමන (තෙ ඒව­සන්තා = එම සත්වයෝ) අව­ධා­ර­ණය කෙරේ.

මෙම ප්‍රස්තුත දෙකෙන් ඉන්දීය දර්ශ­නයේ ආත්ම­වාදී පද­නමේ විකා­ශ­නය මනාව ප්‍රකට වේ. මේ අනුව ඉහ­තින් කී පළමු ප්‍රස්තු­ත­යෙන් ආත්මය හා ලෝකය නොවෙ­නස් ව ගමන් කරන අයු­රුත්, දෙවන ප්‍රස්තු­ත­යෙන් ලෝකය හා සත්ත්වයා යන සංකල්ප එකක් වන බවත් පිළි­බිඹු වේ.

1. භාර­තීය චින්ත­නය තුළ ආත්මන් ශබ්දයේ ආර­ම්භය ඉන්දු ආර්ය ශිෂ්ටා­චා­රය දක්වා දිව යන බව පෙනේ. ආත්මන් යන්න “අන්” ධාතු­වෙන් බිඳුණ පද­යක් බව ඇතැම් විචා­ර­ක­යන්ගේ මතය යි. නමුත් ඍග්වේ­දය, අථ­ර්වන් වේදය හා යජු­ර්වේ­දය ඇසු­රෙන් ගැඹුරු අධ්‍ය­ය­න­යක් සිදු කරන තවත් විචා­ර­ක­යන් පිරි­සක් පෙන්වා දෙන්නේ, ප්‍රාණය (ප්‍ර අන්) යන පද­යෙන් බිඳී තැනු­වක් බව යි. මුල් කාල­යේදී ආත්මය යන පදය ප්‍රාණය යන පදය හා සමාන ලෙසින් යෙදුන බැවින් ආත්මන් පදය ‘අන්’ ධාතු­වෙන් බිඳී ආ එකක් බව පිළි­ගැ­නීම සුදුසු ය. එසේ ම “ආත්මා දේවා­නම් භුව­ත­ස්‍ය­ගාර්භො” යන ඍග්වේ­දීය පාඨ­යෙන් මූලික වශ­යෙන් ම ආත්මය නොහොත් බ්‍රහ්ම පදා­ර්ථය දැක්වී­මට ද ආත්ම ශබ්දය යොදා තිබේ.

ආත්මය යන්නෙන් මුල් කාලීන වෛදික චින්ත­ක­යන් සැලකූ උසස් පරි­ණා­ම­යක් වෙත බඳුන් කළ උප­නි­ෂද් චින්ත­ක­යන් ස්වකීය සත්‍ය ගවේ­ෂණ ක්‍රියා­දා­මය තුළ ආත්මන් යනු කුමක්ද? යනු­වෙන් නැගූ ප්‍රශ්න­යෙන් ඔවුහු ඊට විවිධ අර්ථ නිරූ­පණ ආරෝ­ප­ණය කිරී­මට සමත් වූහ. ඒ අනුව උප­නි­ෂද් චින්ත­නය තුළදී ආත්ම ශබ්දය තුළින් ප්‍රකා­ශිත අද­හස් කිහි­ප­යකි. එනම්

1. දාර්ශ­නික නැගී­මක් හෙළි පෙහෙළි කිරීම.

2. අධ්‍යා­ත්මික අද­හ­සක් දැක්වීම.

3. සත්ත්ව­යාගේ ජීවය දැක්වීම.

4. භූත ලෝකය හෝ භෞතික වස්තූන් ප්‍රකාශ කිරීම යනු ය.

ඒ අනුව උප­නි­ෂද් චින්ත­කයෝ ආත්ම ශබ්ද­යෙහි ලා අව­ධා­ර­ණය කළ මූලික අද­හස් අතු­රින් ප්‍රධාන ලක්ෂණ දෙකක් ද විද­හා­පාති. එනම්

I. නිත්‍ය බව හෝ වෙනස් නොවන

ස්වභා­වය

II. ශුද්ධ බව හෝ පවින් දූෂිත නොවීම යනු යි.

I ආත්මයේ යථා ස්වභා­වය පැහැ­දිලි කිරී­මට උප­නි­ෂද් චින්ත­ක­යන් විසින් අනු­ග­ම­නය කරන ලද විවිධ උපාය මාර්ග උප­නි­ෂ­ද­යෙහි බහුල වීමට හේතුව වනුයේ ආත්මය ස්ථාවර වූ පද­න­මක නොපි­හි­ටුවා ආත්මය පද­නම් වූ උප­නි­ෂද් දර්ශ­නය ගොඩ­නැං­වී­මට අප­හසු වීම යි.

ආත්මය වනාහී නිත්‍ය වූ ද ක්ලේශ­ය­න්ගෙන් දූෂිත නොවූ ද ධර්ම­යක් ලෙස සල­කන ලද්දේ එබැ­විනි. සත් යනු­වෙන් ද එය හැඳි­න්වූයේ එම නිසා ය. ආත්මය පිළි­බ­ඳව නව අර්ථ­ක­ථන ගෙන හැර දැක්වී­මට ගත් ආදි­තම අව­ස්ථාවේ සිට මිනි­සාගේ භෞතික කයට ද ස්වප්න­යට ද විඥා­න­යට ද ආත්ම ශබ්දය යෙදූ නමුත්, අව­සා­නයේ ඒ එකදු අද­හ­ස­කි­න්වත් නොසැ­හුණු උප­නි­ෂද් චින්ත­ක­යින් එය අනි­ර්ව­ච­නීය, අචින්ත්‍ය, අවාච්‍ය, අඥේය තත්ත­ව­ය­කින් යුතු බව නිග­ම­නය කරන ලද්දේ ය.

“අග්‍රාහ්‍ය (කිසි­වෙකු විසින් අල්වා ගත නොහැකි), අශිර්ය්‍ය (කිසි­වෙකු විසින් විනාශ කළ නොහැකි), අසංග (කිසි­වෙක නොඇ­ලෙන), අසී­මිත, අක­ම්පිත, අනු­ප­ද්‍රත, ආත්මය”

II. සංකේ­ත­ව­ලි­න්වත් ඒ පිළි­බඳ කිසි­වක් පැව­සිය නොහැකි නිසා “මෙය නොවේ මෙය නොවේ” (නේති නේති) යනු­වෙන් ප්‍රති­ශේ­ධාර්ථ මගින් විග්‍රහ කිරී­මට ද යොමු වීමෙන් මේ බව තව­දු­ර­ටත් ස්ඵුට වේ. ආත්ම සංක­ල්පය පිළි­බඳ භාර­තීය චින්ත­නය තව­දු­ර­ටත් පුළුල් වෙත් ම එහි ස්වභා­වය පිළි­බ­ඳව ද අද­හස් ඉදි­රි­පත් වුණි.

“න ජායතෙ, මියතෙ වා විප­ශ්චි­න්නයා කුත­ශ්චින්න බභූව කශ්චිත් අජො නිතය්‍යඃ ශාස්ව­තොයං පුරාණො න භන්‍ය නෙ භන්‍ය මානෙ ශරීරෙ”

“මෙම ආත්මය නූපදී, නොමැ­රෙයි කිසි­වෙ­කින් කිසි­වක් එයට ඇතුළු නොවේ. එයින් බැහැ­රට ද නොයේ. හට ගන්නේ ද නොවේ. නිත්‍ය ය, ශාස්වත ය, පුරාණ ය, ශරී­රය නැසෙන කල්හි ද එය නොනැසේ”.

එසේ ම කුඩා ම දෙය­ටත් වඩා කුඩා ය, විශාල ම දෙය­ටත් වඩා විශාල ය. සිය­ල්ලන්ගේ ම හෘද­යෙහි වාසය කරන එය ශෝක­යෙන් පහ වූ කළ මහා බ්‍රහ්ම­යාගේ ප්‍රසා­ද­යෙන් දකී. විශාල වූ ද, දිව්‍ය­මය වූ ද, අචි­න්ත්‍යය වූ ද ආත්මය සියුම් දේට වඩා සියුම් ය. දුරු වූ විට ඉතා දුර පිහි­ටන එය සිය සිතින් දැකිය හැකි වන්නේ ය. එසේ ම “යම් සේ මිනිසා පැරණි වස්ත්‍ර ඉව­තලා අලුත් වස්ත්‍ර ගනී ද, එසේ ම ජීවා­ත්මය පැරණි සිරුර අත­හැර අමුතු වූ අලුත් සිරුරු ලබයි.” එම අද­හස වෙනත් අකා­ර­ය­කින් දක්වන්නේ නම්, පූඩාවා තණ ගසේ අගට ගොස් තවත් තණ පත­කට යන්නාක් මෙන් ආත්මය ද මෙම ශරී­රය හැර එය ඉක්මවා වෙන ශරී­ර­ය­කට යයි.

2. පුද්ගල ආත්මය (ආත්මන්) හා ජග­දා­ත්මය (බ්‍රහ්මන්) යනු­වෙන් ද්විත්ව සංක­ල්පී­ය­ක­ර­ණ­ය­කින් (ද්වෛත­වා­දය) විග්‍රහ කළ ආත්ම­වාදි චින්තයේ පර­මා­ර්ථය හෙවත් බ්‍රහ්ම සහ­ව්‍ය­තාව වූයේ උක්ත සංකල්ප එක තත්ත්ව­යක් බවට පත් කිරී­මෙනි. (සර්වං ඛලු ඉධං බ්‍රහ්ම) මෙහි අව­සාන ප්‍රති­ඵ­ලය වූයේ ආත්මන් හා බ්‍රහ්මන් යන සංකල්ප එක් වීම යි. (අද්වෛ­ත­වාද) එය “බ්‍රහ්මන්” තමා කෙරෙහි විය. (අහං බ්‍රහ්ම අස්මි) එය අනුන් කෙරෙහි පවතී. (තත්ත්වම් අසි) යනු­වෙන් ප්‍රකා­ශය පත් විය.

උප­නි­ෂද් චින්ත­න­යෙහි නොපැ­ව­තුණ භාර­තීය ආත්ම­වාදී චින්ත­නයේ ආභා­සය තවත් සම්ප්‍රදා ප්‍රව­ර්ත­නය කළ බව පෙනේ. එහි ඇතැම් බල­පෑම් බෞද්ධ චින්ත­න­යට ද එල්ල වූ බව සාති භික්ෂු­වගේ විඤ්ඤා­ණ­යෙහි ආත්ම­වාදී පද­නම අද­හස් කෙරෙන මත­වා­දය නිද­සුන් ය.

බ්‍රහ්ම­ජාල සූත්‍ර විග්‍ර­හ­යට අනුව ශාස්ව­ත­වා­දය ඉදි­රි­පත් කර­න­නන් පද­නම් කර­ගන්නා කරුණු හත­රක් ද එම කරුණු පද­නම් කර­ගන්නා නිසා ශාස්වත නමින් වාද සත­රක් ද ඉදි­රි­පත් වී ඇති බව පෙනේ.

 

 

පළමු ශාස්ව­ත­වා­දය

ධ්‍යාන වඩා පුබ්බේ­නි­වා­සා­නු­ස්සති ඤාණය ලැබූ ඇතැම් මහණ බමු­ණන් එක් කල්ප­යක් තුළ තමන් උපන් භව­යන් දකි­න්නට සමත්ව (මොහො­තක් පාසා සිදු වන විනාශ නොදැක) මාගේ ආත්මය මෙප­මණ කලක් නොනැසී පව­තනේ ය, යැයි සිතා ලෝකය හා සත්ත්වයා නිත්‍ය වෙති’යි යන වාදය ඉදි­රි­පත් කිරීම.

 

 

දෙවන ශාස්ව­ත­වා­දය

පුබ්බේ­නි­වා­සා­නු­ස්සති ඤාණය ලැබූ ඇතැම් මහණ බමු­ණන් කල්ප දහ­යක් මුළුල්ලේ පෙර විසූ කඳ පිළි­වෙළ දැක ලෝකය හා සත්ත්වයා නිත්‍ය යැයි ඉදි­රි­පත් කරන වාදය

 

 

තෙවන ශාස්ව­ත­වා­දය

කල්ප සත­ළි­හක් සිය පුබ්බේ­නි­වා­සා­නු­ස්සති ඤාණ­යෙන් පෙර විසූ කඳ පිළි­වෙළ දුටු ඇතැම් ශ්‍රමණ පිරිස් ලෝකය හා සත්ත්වයා නිත්‍ය යැයි සඳ­හන් කරන වාදය

 

සිව්වන ශාස්ව­ත­වා­දය

තර්කය හා වීමං­ස­න­යෙන් ලෝකය හා සත්ත්වයා පිළි­බඳ කරුණු විමසූ ඇතැම් ශ්‍රමණ පිරිස් තර්කය හා විම­සුම පාදක කර­ගෙන ලෝකය හා සත්ත්වයා නිත්‍ය බව ඉදි­රි­පත් කරන වාදය

 

 

ඒක­ත්‍ය­ශා­ස්ව­ත­වා­දය

කොට­සක් ශාස්වත යැයි කීම ඒක­ත්‍ය­ශා­ස්ව­ත­වා­දය යි. (ඒකච්චං සස්සතං වද­තීති ඒකච්ච සස්ස­ත­වාදො) එසේ ම ඒක­ච්ච­ස­ස්ස­ත­වාද යනු­වෙන් පැවති වාදය ඒක­ච්ච­ස­ස්ස­ත­වා­දය නම් වේ. (ඒක­ච්ච­ස­ස්ස­ත­න්ති­වාදො = ඒක­ච්ච­ස­ස්ස­ත­වාදො) රූපාදි පංච­ස්ක­න්ධ­ව­ලින් එක් කොට­සක් අනිත්‍ය වශ­යෙන් (ඒකච්චං අස්සතං) ද ගෙන ඉදි­රි­පත් කරන වාදය මෙන­මින් හැඳින්වේ.

ලෝකය හා සත්ත්ව­යාගේ එක් කොට­සක් ශාස්වත ය, එක් කොට­සක් අශා­ස්වත ය (එක­ච්චං­ස­ස්සතං එකච්චං අස­ස්සතං අත්තා­නඤ් ච ලොකඤ් ච) යනු­වෙන් පැන­වීම එක­ත්‍ය­ශා­ස්ව­ත­වා­දය යි. මෙබඳු ශාස්ව­ත­වාදි ලබ්ධි­ක­යන් සිය වාදය ඉදි­රි­පත් කර­නුයේ ප්‍රධාන කරුණු සත­රක් මත පිහිටා බවත්, එම කරුණු සත­රෙන් එපිට වෙනත් කරු­ණක් මේ සඳහා ඉදි­රි­පත් කළ නොහැකි බවත් බුදු­ර­දහු බ්‍රහ්ම­ජාල සූත්‍රය දේශනා කර­මින් දක්වති.

 

පළමු ඒක­ත්‍ය­ශා­ස්ව­ත­වා­දය

ආදි කල්ප­යෙහි පොළො­වෙහි සත්ත්ව­යන් නැති කළ ආභ­ස්සර බඹ­ලො­වින් ද ච්‍යුතව හිස් විමා­න­යක ඉපිද බොහෝ කාල­යක් තනිව විසූ සත්ත්වයා අන්‍ය සත්ත්ව­යන් ද, මෙහි ඇත්නම් යයි කියා සිතයි. කල් යාමෙන් අන්‍ය සත්ත්වයෝ ද ආභ­ස්සර බඹ­ලො­වින් ච්‍යුතව මෙහි උප­දිති.

එවිට මුලින් ඉපිද සිටි සත්ත්වයා “මොවුන් පහළ කර­වන ලද්දේ මා විසින් ය” යැයි සිතයි. පළ­මුව පහළ වූ සත්ත්වයා ආයු­ෂ­යෙන් හා වර්ණ­යෙන් අන්‍ය­යන් ඉක්මවා සිටී. එම බඹ­ලො­වින් ච්‍යුතව මිනිස් ලොව උපත ලද්දෙක් ධ්‍යාන වඩා පුබ්බේ­නි­වා­සා­නු­ස්සති ඤාණ­යෙන් පෙර භවය පිළි­බඳ සොයන විට එහි විසූ ප්‍රථම සත්ත්වයා එහි ම තවත් ජීවත් වන බැවින් හා අන්‍ය­යන් ච්‍යුත වන බැවින් “මොහු බ්‍රහ්මයා ය, මහා බ්‍රහ්මයා ය. සියල්ල දකින්නේ ය. දන්නේ ය. ලොව තමා විෂ­යෙහි පවත්නේ ය. ඊශ්ව­රයා ය. කර්තෘ ය. නිර්මා­තෘ­ව­රයා ය. උත්ත­මයා ය. ලොව සක­සන්නා ය. උපන්, උප­දිනා සියලු දෙනා පිතෘ ය. අපට පළ­මුව ඉප­දුණු මෙම මහා බ්‍රහ්ම­යාණෝ අපව නිර්මා­ණය කළාහු ය” යනු­වෙන් සිතයි.

මේ අනුව “මහා බ්‍රහ්මයා වනාහි නොමැ­රෙන්නේ ය. සැමදා පවත්නා දෑ මෙන් ම පවතී. එහෙත් අප අනිත්‍ය ය. අල්පා­යුක්ෂ ය. මිය යන්නේ ය” යනු­වෙන් ලෝක­යත් සත්ත්ව­යාත් අත­රින් එක් කොට­සක් ශාස්වත ලෙසත් තවත් කොට­සක් අශා­ස්වත ලෙසත් ගැනීම ඒක­ත්‍ය­ශා­ස්ව­ත­වා­දය යි.

 

දෙවැනි ඒක­ත්‍ය­ශා­ස්ව­ත­වා­දය

ඛිඩ්ඩා­ප­දො­සික නම් දෙව්ලොව වසන ක්‍රීඩා­වෙහි නිරත ආහාර නොතකා හැරීම නිසා ඇතැම් දෙවි­වරු එයින් ච්‍යුත වෙති. ඉන් මිනිස් ලොව උපත ලද ඔවු­න්ගෙන් ඇතැ­මෙක් පෙර භවය සිහි කොට “එම දෙව්ලොව ද, දෙවියෝ නිත්‍ය ය. සදා­කා­ලික ය, නොවෙ­නස් ය. ක්‍රීඩා­වට ම ඇළුණු අප ආහාර නොගැ­නීම හේතු කොට ගෙන අනිත්‍ය විය. අල්පා­යුක්ෂ විය. මියෙන සුලු විය” යනු­වෙන් ගැනීම මෙහි දෙවන ඒක­ත්‍ය­ශා­ස්ව­ත­වා­දය යි.

 

තෙවැනි ඒක­ත්‍ය­ශා­ස්ව­ත­වා­දය

චාතු­ර්ම­හා­රා­ජි­ක­යෙහි මනෝ­ප­දෝ­සික නම් දේව සමූ­හ­යක් ඇත. ඔවු­න්ගෙන් ඇතැම්හු කිපුණු සිතින් උනුන් දෙස බලා, එකි­නෙ­කාගේ සම්පත් දැක ඉවසා ගත නොහැකි කෝප­යෙන් දැවී එම දේව ආත්ම­යෙන් ච්‍යුත වෙති. ඉන් අන­තු­රුව මිනිස් ලොව ඉප­දුණ ඇතැ­මෙක් ධ්‍යාන වඩා පෙර භවය පම­ණක් සිහි කිරීමේ ශක්තිය ඇතිව දූෂිත සිතින් අන්‍ය­යන් කෙරෙහි නොබ­ලත්.

 

ඒ තාක් එම දිව්‍ය භවය නිත්‍ය ය, සදා­ත­නික ය. එමෙන් ම, එම දේවා­ත්මය ලැබූ­වන් ඔවු­නො­වුන් කෙරෙහි දූෂිත සිතින් බැලූ නිසා “එම දේව නිකා­යෙන් ච්‍යුත වන බවත් එසේ ච්‍යුත වන හෙයින් අනිත්‍ය ය, අශා­ස්වත ය. අල්පා­යුෂ්ක ය, මැරෙන සුළු ය” යනු­වෙන් ගනු ලබන වාදය තෙවැනි ඒක­ත්‍ය­ශා­ස්ව­ත­වා­දය යි.

 

සිව­වන ඒක­ත්‍ය­ශා­ස්ව­ත­වා­දය

තර්ක ඥානය මත පිහි­ටන යමෙක් “ඇස, කණ, නාසය, දිව, ශරී­රය යනා­දිය අනිත්‍ය ය. සිත ය, මනස ය, විඤ්ඤාණ ය යනු­වෙන් යමක් වේ නම් එය නිත්‍ය ය, ආත්මය ශාස්වත ය” යනු­වෙන් ඉදි­රි­පත් කරනු ලබන වාදය සිව් වන ඒක­ත්‍ය­ශා­ස්ව­ත­වා­දය යි.

ශාස්ව­ත­වා­දය පිළි­බඳ බුදු­ස­මයේ විචා­රය

මධ්‍යම ප්‍රති­ප­දාව අනුව ඉගැ­න්වීම් ඉදි­රි­පත් කරන බුදු­ස­මය ලෝක යථා­ර්ථය මැන­වින් හෙළි­කි­රීම සඳහා ගෙන­හැර දැක්වී­මට භාවිත කළේ මුල් බුදු­ද­හමේ එන මූලික ම ඉගැ­න්වී­මක් වන පංච­ස්කන්ධ විග්‍ර­හය යි.

ථෙර­වාද බුදු­ද­හම තුළ පංච­ස්කන්ධ විභා­ගය ඉදි­රි­පත් වන්නේ විශ්ලේ­ෂ­ණා­ත්මක න්‍යායක් ලෙස යි. මෙම විශ්ලේ­ෂණ න්‍යායෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලෝක යථා­ර්ථ­යත් චතු­රාර්ය සත්‍ය­යත් පිළි­බඳ අව­බෝ­ධය පුද්ග­ල­යාට ලබා දීම අපේක්ෂා කර ඇත. (රූප­ස­ට­හන 2)

 

අරි අටඟි මග

රූප, වේදනා, සඤ්ඤා, සංඛාරා, විඤ්ඤාණ යන කොටස් පඤ්ච­කය පංච­ස්ක­න්ධය නම් වේ. පංච­ස්කන්ධ විභා­ගය මෙන් ම එය පද­නම් කර ගත් ආය­තන හා ධාතු විග්‍ර­හය ද මුල් බුදු­ස­මය තුළ ඉදි­රි­පත් වනුයේ පුද්ග­ලයා තුළ ඇති වන ආත්ම සංක­ල්පය බැහැර කිරී­මට ය. පංච­ස්කන්ධ විග්‍ර­හ­යේදී වැඩි අව­ධා­නය යොමු වන්නේ මාන­සික අංශය විව­ර­ණය කිරී­මට ය.

ආය­තන විග්‍ර­හ­යේදී වැඩි අව­ධා­නය රූපය පිළි­බඳ විව­ර­ණ­යට යොමු වී ඇත. ධාතු පිළි­බඳ විග්‍ර­හ­යේදී විඤ්ඤා­ණය පිළි­බඳ විව­ර­ණ­ය­කට වැඩි අව­ධා­නය යොමු වී ඇත. සම­ස්ත­යක් ලෙස මෙම විශ්ලේ­ෂ­ණ­යෙන් පුද්ග­ලයා හා ඔහුට සාපේ­ක්ෂක ලෝක­යත්, එහි සාර­යක් ලෙස ගත­යුතු දෙයක් නැති ආකා­ර­යත් ප්‍රකට වේ. ත්‍රිල­ක්ෂ­ණය ප්‍රායෝ­ගික ව පුද්ග­ල­යාට ප්‍රත්‍යක්ෂ කර­වී­ම­ටත්, පිළි­බිඹු ස්කන්ධ පංච­ක­ය­කට අම­තර අප්‍ර­කට ආත්ම­යක් නැති බවත් විශ්ලේ­ෂණ න්‍යායෙන් පෙන්වා දෙන ආකා­රය මැන­වින් ඉදි­රි­පත් වන්නේ, සංයු­ත්ත­නි­කායේ එන වජිරා සූත්‍ර­යෙනි. ඒ අනුව යම් සේ අංග එකතු වූ කල්හි රථය යන ශබ්දය ඇති වන්නේ ද, ස්කන්ධය එකතු වූ කල්හි සත්ත්වයා යන සම්මු­තිය ඇති වේ. ඒ අනුව යම් ශ්‍රම­ණ­යෙක් හෝ බ්‍රාහ්ම­ණ­යෙක් යම් ආකා­ර­ය­කින් ආත්ම­යක පැවැ­ත්මක් දක්වන්නේ නම් එය ඇති වනුයේ පංච­ස්ක­න්ධය හෝ ඉන් එක් ස්කන්ධ­යක් හෝ උපා­දා­නය කර ගැනීම නිසා ය. රූපය පෙණ පිඬක් මෙන් ද, වේද­නාව දිය බුබු­ළක් මෙන් ද, සඤ්ඤාව මිරි­ඟු­වක් මෙන් ද, සංස්කාර කෙසෙල් කඳක් මෙන් ද විඤ්ඤා­ණය මායා­වක් මෙන් ද හුවා දක්ව­මින් ඒවායේ ආත්ම­වාදී පද­න­මක් නැති බව බුදු­ස­මය පෙන්වා දෙනුයේ එබැ­විනි.

“පර­මාර්ථ ධර්ම විශ්ලේ­ෂ­ණය කිරී­මෙන් තොරව කෙලෙස් සංසි­ඳීම උදෙසා වෙනත් ක්‍රම­යක් නැත” යන්න බුදු­ස­මයේ අද­හස යි. කෙලෙ­සුන් නිසා ලෝ වැස්සා සසර සයු­රෙහි ඉප­දෙ­මින් මැරෙ­මින් දුක් විඳි­මින් භ්‍රම­ණය වේ. බුදු­ස­මයේ එන වැද­ගත් ම ඉගැ­න්වීම වන පංච­ස්කන්ධ විව­ර­ණය පාදක කර­ගෙන නිර්මා­ණය වූ එහි සංව­ර්ධ­නීය අව­ස්ථාව වනුයේ අභි­ධ­ර්මය යි. ඒ අනුව විශ්ලේ­ෂණ න්‍යාය පද­නම් කර ගත් අභි­ධ­ර්ම­යෙහි මූලික අභි­ප්‍රා­යක් වනුයේ ද පුද්ග­ලයා තුළ ඇති වන ආත්ම සංක­ල්පය බැහැර කර­වීම යි.

සම­ස්ත­යක් ලෙස බලන විට බුදු­ස­මය භාර­තීය චින්ත­නයේ චිරා­ත්කා­ලීන සම්ප්‍ර­දා­ය­වාදී පිළි­ගැ­නී­මක් වන ආත්ම­වා­දය බැහැර කොට අනාත්ම සංක­ල්පය ඉදි­රි­පත් කළ බව පෙනේ. බුදු­ර­දුන් ධර්මය දේශනා කරන බොහෝ අව­ස්ථා­ව­ලදී අනිත්‍ය සංක­ල්පය අව­බෝධ කර­දී­මට උත්සාහ ගෙන ඇත්තේ එබැ­විනි.

එසේ ම මෙහි ඉහත කී සිව් වැදෑ­රුම් ඒක­ත්‍ය­ශා­ස්ව­ත­වාද අත­රින් පළමු හා දෙවන ඒක­ත්‍ය­ශා­ස්ව­ත­වාද ඊශ්වර නිර්මා­ණ­වා­දය පිළි­බඳ දෘෂ්ටි­ය­කට අයත් වන බව පෙනේ.

“පර­මා­ණුවෝ, නිච්චා, ධූවා, අණු­කා­දයෝ අනි­ච්චාති” වශ­යෙන් ඉදි­රි­පත් වූ පර­මා­ණු­වා­දය ද ඒක­ත්ව­ශා­ස්ව­ත­වා­ද­යට ඇතු­ළත් වන බව පෙනේ. මෙයින් කණාද මතය හෙවත් වෛශේ­ෂික දර්ශ­නය ඒක­ත්ව­ශා­ස්ව­ත­වා­ද­ය­කට අයත් වන බව ද මේ අනුව පැහැ­දිලි වෙයි.තෙවැනි ව දැක්වූ වාදය පද­නම් විර­හිත කරුණු අනුව ඇති කර­ගත් ශාස්ව­ත­වා­දයේ එක්තරා මුලා වූ අව­ස්ථා­වක් වන අතර සිව්වැන්නේ, වැරදි තර්ක­යෙන් ලද වැරදි සාධ්‍ය­යක් බව ද පෙනේ.

Comments