යාපනයේ පලාලි ගුවන්තොටුපළ යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපළ බවට පරිවර්තනය විණි. මෑත කාලීන ඉතිහාසයේ උතුරු පළාත තුළ ක්‍රියාත්මක වූ දැවැන්තම සහ මුළු ලෝකයටම දැනුණු එකම ව්‍යාපෘතිය යාපනයේ අන්තර්ජාතික ගුවන්තොටුපළයි.
රුපියල් මිලියන දෙදහස් පන්සීයක් තරම් වූ විශාල ධන ස්කන්ධයක් වැය කරමින් සංවර්ධනය වූ පලාලි ගුවන්තොටුපළ මේ වන විට ලෝකයට විවෘත වී හමාරය. මුළු මහත් ලෝකයම දැන් යාපනයේ අන්තර්ජාතික ගුවන්තොටුපළ කෙරෙහි අවධානය යොමු කොට සිටී.
උතුරට අන්තර්ජාතික මට්ටමේ ගුවන් තොටුපළක් ලැබීම පිළිබඳ දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයන් සතුටු වූවද ඔවුන්ගේ සිත තුළ මේ සංවර්ධන කටයුත්ත කෙරෙහි සියුම් බියක් හා සැකයක් මෙන්ම චකිතයක්ද ඇති බව පෙනෙන්නට තිබේ.
ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඔවුන් ලෝකයාට මේ දක්වා ඉදිරිපත් කොට ඇති බොරු බේගල්වල නියම අර්ථය ජගත් ප්‍රජාව දැන ගැනීම නිසා විය හැකිය.
ශ්‍රී ලංකාව තුළදී රටේ පාලකයන්ට එකක් පවසා දෙමළ ජනතාවට ඔවුන් පවසන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ කතාවකි. දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයන් විදේශ ගත වී ඒ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට පවසන්නේ ඊටත් වඩා වෙනස් කතාවකි.
රජය උතුරු පළාතේ සිදු කරන විවිධ සංවර්ධන ව්‍යාපෘති දෙස බලන විට දෙමළ ජාතික සන්ධානයට විදෙස් රටවලට ගොස් උතුරට මේ රජය සලකන්නේ නැතැයි කීමට නොහැකිය. පලාලි ගුවන්තොටුපළට අමතරව කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය වෙමින් පවතී. රටක ගුවන් තොටුපළ සහ වරාය සංවර්ධනය වන විට මුළු ලෝකයාම විවෘතව ඒ රට සමඟ විවිධ මාදිලියේ ගනුදෙනු කිරීමට පටන් ගනී. උතුරේ සෑම දොරටුවක්ම ලෝකය සමග ගෝලීයකරණයත් සමඟම විවෘත වන විට දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයන්ට උතුරේ සැබෑ තත්ත්වය තව දුරටත් ලෝකයාට වසන් කිරීමට නොහැකි වනු ඇත.
එමෙන්ම ඔවුන් මේ දක්වා කී මුසා බස් ද ඉතා නිවැරදිව එළියට පැමිණෙයි. මේ තත්ත්වය දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ට මහත් ලැජ්ජාවට කාරණාවක් වන නිසාම ඔවුහු උතුරේ යෝධ සංවර්ධන කටයුතු මඟින් උතුර ලෝකයාට විවෘත වනවාට බියක් දක්වති.
යාපනයේ මයිලිට්ටි ධීවර වරායද මේ දිනවල සංවර්ධනයට ලක් වෙමින් පවතී.
ඉරණමඩු ජලාශයේ සිට යාපනයට පානීය ජලය රැගෙන යෑමට මීට පෙර පැවැති රජයන් කීපයක්ම උත්සහ කළ අවස්ථාවේදී ඊට එරෙහි වූයේද මේ දෙමළ ජාතික සන්ධානයේ උතුරේ මන්ත්‍රීවරුන් පිරිසයි. එහිදී ඔවුන් කියා සිටියේ ඉරණමඩු ජලාශයේ ජලය යාපනයට ලබා දීමෙන් ඉරණමඩුවේ ජනතාවට ජලය ප්‍රමාණවත් නොවනවා පමණක් නොව මේ ජලය සමඟ ආණ්ඩු උතුරේ වැසියන්ට අනවශ්‍ය හා ඔවුන් අකැමති වෙනත් වෙනත් දේ ලබාදීමටද උත්සහ කරන බවයි.
මේ ජල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය බොරු හුඹස් බියක් ඇති කරගත්තේ එම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් රජයට ලකුණු ලැබී ඔවුන් යුරෝපා සංගමයට ඇදබා තිබූ බොරුබේගල් හෙළි වන නිසාය.
ඔවුන් යුරෝපා සංගමයට යෝජනා කොට තිබුණේ ඉරණමඩු ජලාශයේ ජලය කිසි දිනක යාපනයට රැගෙන යෑමට නොහැකි බවයි.මේ නිසා යාපනයේ වැසියන්ට පානීය ජලය සපයා දීමට යාපනයේ ජලාශයක් පිහිටුවිය යුතු බවට යෝජනා කළ අතර ඒ සඳහා මුදල් ප්‍රතිපාදන කෙළින්ම උතුරු පළාත් සභාවට ලබාදෙන ලෙසද ඉල්ලීමක් කොට තිබිණි.
ඉරණමඩු ජලාශයේ ජලය යාපනයට රැගෙන යෑමේ ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුව බාරගත් අවස්ථාවේදී උතුරු පළාත් සභාවත් දෙමළ ජාතික සන්ධානයත් ආසියානු සංවර්ධන බැංකුවේ ඉහළම තැනට පෙත්සම් ගැසුවේය. අවසානයේදී ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ආසියානු සංවර්ධන බැංකුවට නොහැකි විය.
මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබා දෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මොරගහකන්දේ සිට ප්‍රකාශ කළ අවස්ථාවේදී විග්නේස්වරන් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ මේ ජලය සමඟ දකුණේ සිංහලයන්ද කොලණිකරුවන් හැටියට උතුරට පැමිණෙන බවයි. ඒ නිසා රජය උතුරට ජලය පමණක් ලබා දීමට කටයුතු කළ යුතු බවට සරදමක්ද කළේය. උතුරේ දෙමළ දේශපාලනඥයෝ රාජ්‍ය ආයතන කීපයක්ම තම හතුරන් ලෙස හුවා දක්වමින් කටයුතු කරති. මහවැලිය ඉන් එකකි. අනෙක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි.පොල් සංවර්ධන මණ්ඩලයටද කජු සංස්ථාවටද ඔවුන් විරෝධය පළ කරන අතර ධීවර දෙපාර්තමේන්තුවද ඔවුහු ප්‍රතික්ෂේප කොට සිටිති.
මහවැලියෙන් කිසිම සංවර්ධනයක් නොවන බව ප්‍රකාශ කරන දෙමළ ජාතික සන්ධානය ඔවුන් කරන්නේ උතුරේ දෙමළ වැසියන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිංහල ජනාවාස ඇති කරන බවයි.
පුරාවිද්‍යාව විසින් උතුරේ දෙමළ ජනතාවට අයත් ඉඩම්වල විහාරස්ථාන ඉදි කරනු ලැබුවත් ඒ පළාත්වල කිසිම බෞද්ධයෙකු නැති බවද කියා සිටිති. ඒ නිසා දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට විරෝධය පළ කරයි.
පොල් සංවර්ධන මණ්ඩලයත් කජු සංස්ථාවත් උතුරේ වගා බිම් ඇති කරව බව කියමින් සිදු කරන්නේ සිංහල ජනාවාස ඇති කිරීමට කටයුතු කිරීම බවද ඔවුහු කියා සිටිති. ඒ නිසා ඉහත කී ආයතන උතුරු පළාත තුළ ක්‍රියාත්මක නොකරන ලෙසද දෙමළ ජාතික සන්ධානය අවස්ථා කීපයකදීම රජයෙන් ඉල්ලා තිබේ.
දෙමළ ජාතික සන්ධානය ඔවුන් තුළ ඇති කරගන්නා මේ අනිසි බිය ජනතාව තුළටද කා වැද්දීම මේ ක්‍රියාවේ ඇති බරපතළම තත්ත්වයයි. ලෝකය හමුවේ තමන්ට ඇති විය හැකි අපවාදයෙන් බේරීමට එසේ කළද ජනතාව එය වරදවා වටහාගෙන ක්‍රියා කරන්නේ දැඩි ජාතිවාදයකිනි.
මුලතිව් ගුරුකන්ද ප්‍රශ්නයට අද සිදුව ඇත්තේද එවැනි තත්ත්වයකි.
උතුරේ සිදු වන සෑම සංවර්ධන කටයුත්තකම කුමන හෝ අඩුවක් දැකීමට දෙමළ ජාතික සන්ධානය උත්සහ කරයි. ඒ සෑම අවස්ථාවකදීම ජාතිවාදය එළියට දැමීම ඔවුන්ගේ සිරිත වී තිබේ.
යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපළේ නාම පුවරුවට පවා දෙමළ ජාතික සන්ධානය දැඩි අකැමැත්තක් දක්වා ඇත. රටේ පවත්නා නීතිය හා සම්ප්රදාය අනුව ස්ථාන නාම ග්‍රාම නාම හා නගර නාම නම් කළ යුතු පිළිවෙළ වන්නේ සිංහල දෙමළ හා ඉංග්‍රීසි වශයෙනි.
මුලදී ඒ අනුව ක්‍රියාත්මක වූවත් දෙමළ ජාතික සන්ධානය ඊට ඉතා තදින්ම හරස් විය. අවසානයේදී ශ්‍රී ලංකාවේ තුන් වන අන්තර්ජාතික ගුවන්තොටුපළේ නාම පුවරුවේ මුලින්ම දෙමළෙන්ද පසුව සිංහලෙන් හා ඉංග්‍රීසියෙන්ද නම් කිරීමට බලධාරීන්ට සිදු විණි. ගුවන්තොටුපළේ ප්‍රධාන නාම පුවරුවේ පමණක් නොව ඇතුළත ඇති සෑම අංශයක්ම නම් කිරීමද සිදුව ඇත්තේ ඒ ආකාරයටය.
උතුරු පළාතේ නිසි ක්‍රමවේදය අනුගමනය කිරීමට මුලින්ම විරෝධය පළ කළේ උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතාය. ඔහු කියා සිටියේ උතුරේ බහුතරයක් වෙසෙන්නේ දෙමළ ජනතාව බැවින් ස්ථාන නාම ග්‍රාම නාම සඳහන් කළ යුත්තේ මුලින්ම දෙමළ භාෂාවෙන් බවයි. අනතුරුව එවා සංචාරක පළාත් බැවින් ඉංග්‍රීසියෙන්ද සිංහල ජනයා පැමිණෙන නිසා අවසානයට සිංහලෙන්ද යෙදිය යුතු බව ඔහුගේ මතය විය. එපමණක් නොව නාගදීපය යනුවෙන් ප්‍රදේශයක් නැති නිසාත් ඇත්තේ නයිනතීව් යන දෙමළ ගම්මානයක් නිසාත් මින් ඉදිරියට නාගදීපය යන්න ඉවත් කොට නයිනතීව් යනුවෙන් සෑම භාෂාවකින්ම ලිවිය යුතු බව පවසා ඒ සම්බන්ධයෙන් වූ යෝජනාවක්ද උතුරු පළාත් සභාවේදී සම්මත කරගනු ලැබීය.
වාසනාවකට මෙන් මාර්ග සංවර්ධන අධිකාරියට පළාත් පාලන ආයතනයට ඒ සදහා වැය කිරීමට මුදල් ප්‍රතිපාදන නොතිබූ බැවින් විග්නේස්වරන් මහතාගේ යෝජනාව යටපත් විය. යාපනයේ අන්තර්ජාතික ගුවන්තොටුපළ සඳහා සේවක සේවිකාවන් බඳවාගැනීම සම්බන්ධයෙන්ද උතුරේ දෙමළ දේශපාලනඥයන්ගෙන් රජයට විශාල චෝදනාවක් එල්ල වී තිබේ. ඔවුන් පවසන්නේ ගුවන් තොටුපළේ සේවයට බඳවාගන්නා පිරිසෙන් ඉතාම අත්‍යවශ්‍ය සේවාවන්ට හැරුණු විට අනෙක් සේවා සඳහා බඳවාගැනීමේදී උතුරේ දෙමළ තරුණ තරුණියන්ට වඩා ප්‍රමුඛතාවයක් ලබාදිය යුතු බවය.
ගුවන්තොටුපළේ සේවය සඳහා සිංහල සේවක සේවිකාවන් 96 දෙනෙකු බඳවාගෙන සිටීම පිළිබඳ දෙමළ දේශපාලනඥයන් ඔවුන්ගේ විරෝධතාවව පළ කොට තිබේ. ඒ පිළිබඳ රජයට පෙත්සම් ගැසීමට පවා උතුරේ දෙමළ දේශපාලනඥයෝ ජාතිවාදී වී සිිිටිති.
ඔවුන් මේ සෑම දෙයක්ම කරන්නේ උතුර සංවර්ධනය කිරීමෙන් රජය විදේශීය වශයෙන් අත් කරගන්නා කීර්තිය රජය වෙත යෑමට ඉඩ නොදී ඔවුන් වෙත හරවාගැනීමටය.
විදෙස් රටවල හොඳ හිත දිනාගැනීමට ඔවුන් කරගෙන යන මේ උත්සාහය උතුරේදී ජනතාව පිට පටවන්නේ ඔවුන්ට දේශපාලන වාසි ලබාගැනීමටය.