දකුණේ බැංකු සුද්ධ කරද්දී කොටුවුණු පෝලන්ත කම්බ හොරු | සිළුමිණ

දකුණේ බැංකු සුද්ධ කරද්දී කොටුවුණු පෝලන්ත කම්බ හොරු

ලංකා­වේදී සොර­කම් කිරීම ඉතා පහසු යැයි ලෝකයා සිතන බව තහ­වුරු වී තිබුණේ අද ඊයේ නොවේ. ඔවුන් ලංකාව දෙස බලන්නේ ඉතා පහ­සු­වෙන් බේරී­මට හැකි­යාව ඇති දුර්වල නිල­ධා­රීන් සිටින රටක් ලෙස ය. ඒ වැරදි චිත්‍රය ඔවුන්ට නිර්මා­ණය වූයේ ද අපේ ම වර­දින් බව අම­තක නොකළ යුතුය. ඒ හේතු­වෙන් නිද­හසේ වැරදි කිරී­මට ඔවුන් තෝරා ගන්නා එක් රටක් වන්නේ ලංකා­වයි. එහෙත් ශ්‍රී ලාංකික ආර­ක්ෂක අංශ කොත­රම් දක්ෂ ද යන්න ඔවුන්ට වැට­හෙන්නේ වැඩේ ගැස්සුණු පසුව ය. මේ රටේ ආර­ක්ෂක අංශ නිද­හසේ හොර­කම් කර­න්නට ලංකා­වට පැමිණි විදේ­ශි­ක­යන් පස්දෙ­න­කුට අම­තක නොවන පාඩ­මක් ඉගැ­න්වූයේ ය. ඒ පාඩම ඉගැ­න්වූයේ කොට­විල පොලි­සියේ පොඩ්ඩන් ඉකුත් 10 වැනි දින සහ 12 වැනි දිනය. මාතර දිස්ත්‍රි­ක්කයේ ස්ථාන කිහි­ප­යක ස්වයං­ක්‍රීය මුදල් හුව­මාරු යන්ත්‍ර­වල දත්ත‍ ­සො­ර­කම් කර පසුව මුදල් ගැනී­මට සැල­සුම් කළ පෝලන්ත ජාති­ක­යන් තිදෙ­නෙක් හා බල්ගේ­රියා ජාති­ක­යන් දෙදෙ­නෙක් කොට­විල පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන මාතර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළේය. පසුව ඔවුන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර තිබිණ.

පසු­ගිය සැප්තැ­ම්බර් මාසයේ මේ පස්දෙනා ලංකා­වට පැමිණ තිබේ. ඔවුන් දිව­යිනේ නොයෙ­කුත් ප්‍රදේ­ශ­වල සැරි සර­මින් ස්වයං­ක්‍රීය මුදල් හුව­මාරු යන්ත්‍ර අසල ගැව­සෙ­මින් මේ සඳහා සැල­සුම් නිර්මා­ණය කර ඇත. මේ සැල­සුම වැලි­ග­ම­දීත් ක්‍රියා­ත්මක වී තිබිණ. ඔවුහු මනා ලෙස තාක්ෂ­ණය හසු­රු­වන පිරි­සක් වූහ. මේ පිරිස වැලි­ගම නගර මධ්‍යයේ ඇති ස්වයං­ක්‍රීය මුදල් හුව­මාරු යන්ත්‍ර­ය­කට කිසි­යම් ඉලෙ­ක්ට්‍රො­නික උප­ක­ර­ණ­යක් සවි­කර දුරස්ථ පාල­ක­යක් මඟින් පාරි­භෝ­ගි­ක­යන්ගේ දත්ත සොරා ගැනීම ඇර­ඹූහ. ස්වකීය ගිණු­ම්ව­ලින් එක්වර ම මුදල් අතු­රු­දන් වන බව ජංගම දුර­ක­ථන වලට එන පිණි­වුඩ මඟින් දැන­ගත් ගිණුම් හිමි­යන් ඒ පිළි­බඳ ව වහාම බැකු­වට පැමි­ණිලි කර තිබිණ. බැංකුව සිද්ධිය සම්බන්ධ ව පොලි­සි­යට පැමි­ණි­ල්ලක් කළේය. බැංකු නිල­ධා­රීන් වැඩි­දු­ර­ටත් පවසා සිටියේ ස්වකීය CCTV දර්ශන නිරී­ක්ෂ­ණය කර­න­විට සැක කට­යුතු විදේ­ශි­ක­යන් පිරි­සක් ගැන තොර­තුරු ලැබුණ බව ය.

එමෙන්ම මෙතෙක් ලද රාජ­කාරි අත්දැ­කීම් මත මේ සොර­කම පසු­පස සිටිය හැකි විදේ­ශි­ක­යන් කණ්ඩා­යම අනු­මාන කළ පොලි­සිය සිය නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් සංචා­ර­ක­යන් වැඩි­පුර ගැව­සෙන ප්‍රදේ­ශ­වල සිවිල් ඇඳු­මින් රාජ­කා­රියේ යෙද­වූහ.

මේ අතර විදේ­ශි­ක­යකු විසින් අදාළ බැංකුවේ ටෙලර් මැෂින් එක අස­ලට යම් ඉලෙ­ක්ට්‍රො­නික උප­ක­ර­ණ­යක් සවි කරන ආකා­රය සහිත ඡායා­රූ­ප­යක් පොලිස් නිල­ධා­රීන් වෙත ලබා දුන්නේ ය. මේ තොර­තුරු, මෙහෙ­යුම වඩාත් පහසු කළේය. වෙස් වළා­ගත් නිල­ධා­රින් ඒ පින්තූ­රය ඔවුන්ගේ ජංගම දුර­ක­ථ­න­යට දමා­ගෙන සංචා­ර­ක­යන් සිටින ස්ථාන­වල ගැව­සෙ­න්නට වූහ. කොට­විල පොලි­සියේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් වෙරළ දිගේ ගමන් කර­මින් සංචා­ර­ක­යන් අසල හා වෙළෙ­න්දන් ගැව­සෙන ස්ථාන­වල නිතර නිතර ගැවසී සිට බැංකු­ව­ලට උප­ක­රණ සවි­ක­රන සොරුන් කවු­රුන්ද කියා නිරී­ක්ෂ­ණය කළහ. ඒ අව­ස්ථාවේ ජංගම දුර­ක­ථ­නයේ සිටින පුද්ග­ල­යාගේ රුවට සමාන පුද්ග­ල­යකු මිරිස්ස උඩු­පිල වෙර­ළේදී පොලිස් ඇසට හසු­විය. ඔහු අඩ­නි­රු­ව­තින් වෙරළේ රැඳී හිඳි­මින් තම අනෙක් සග­යන් සර්ෆ් බෝඩ් ක්‍රීඩාවේ යෙදෙන ආකා­රය බල­මින් සිටි­යේය. ඒ අව­ස්ථාවේ එක් පොලිස් නිල­ධා­රි­යෙක් මේ සැක­ක­රුගේ මුහුණේ පින්තූ­ර­යක් ගෙන මඳක් ඈතට ගොස් පින්තූර දෙකේ වෙනස පරීක්ෂා කළේය. පින්තූර දෙකම කිසිදු වෙන­සක් නොවූ බව පෙනුණි. මේ ස්ථිර ලෙසම බැංකුවේ ටේලර් මැෂිම තුළට රිංගපු අය බව නිල­ධා­රි­යාට තහ­වුරු විය. පසුව පොලිස් නිල­ධා­රින් හිමි­හිට මේ පුද්ග­ලයා වෙත ළං වුණේය; ළංවී කතා­වට වැටුණේ ය. ඒ සංචා­රක මඟ පෙන්ව­න්නකු වෙසිනි.

“ලංකාව හරිම ලස්සන රටක්. මං ආවෙ මගෙ පෙම්ව­ති­යත් එක්ක... මේ මිනිස්සු හරි හොඳයි. ඔහු කතා කර­ගෙන ගියේය. “ඔබේ පෙම්ව­තිය කෝ...” මඟ පෙන්ව­න්නකු වෙසින් සිටි පොලිස් නිල­ධා­රියා විම­සු­වේය. ‘ඇය සර්ෆ් ක්‍රීඩා කර­නවා’ ඔහු සිය පෙම්ව­තිය දක්වා සිටි­යේය.

කතාව දිග­ටම ඇදිනි. දෙදෙනා ගජ මිතුරෝ බවට පත්වූහ. ටික වේලා­වක් ගත වන විට මේ පුද්ග­ලයා ඉහළ තාක්ෂ­ණික දැනු­මක් ඇති අයෙක් බව පොලිස් නිල­ධා­රි­යාට වැට­හිණි. නිසැ­ක­වම මේ පුද්ග­ලයා ATM යන්ත්‍ර පරි­ශ්‍ර­යට ගිය පුද්ග­ලයා බව ඔහුට අව‍බෝධ විය. පොලිස් නිල­ධා­රියා වහාම කොට­විල පොලිස් ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ජානක තුෂාර මහතා දැනු­ම්වත් කළේ ය. අන­තු­රුව කණ්ඩා­යමේ සෙසු නිල­ධා­රීන් සමඟ මේ සැක­කරු අත්අ­ඩං­ගු­වට ගත්තේ ය. ඔහු­ගෙන් ප්‍රශ්න කිරී­මේදි කොල්ල­යට සම්බන්ධ තවත් සැක­ක­රු­වන් හතර දෙනෙ­කුගේ තොර­තුරු අනා­ව­ර­ණය විය. ඒ අනුව මිරිස්ස උඩු­පිල ප්‍රදේ­ශයේ හෝට­ල­යක කාම­ර­යක සිටි­යදී සැක­ක­රු­වන් තිදෙ­නෙක් හා අත්අ­ඩං­ගු­වට පත් අයගේ පෙම්ව­තිය වූ තැනැ­ත්තිය පොලිස් භාර­යට ගැනුණි.

සැක­කාර තරු­ණිය මේ ප්‍රධාන සැක­කරු සමඟ විවාහ වීමට අපේ­ක්ෂා­වෙන් සිට ඇත. ඇය පව­සන්නේ මේ චාරි­කා­වට ඇය ලංකා­වට පැමිණ ඇත්තේ ප්‍රධාන සැක­ක­රුගේ පෙම්ව­තිය ලෙස බව ය. එහෙත් ඇයගේ ඇඳුම් බෑගයේ කිසි­යම් ඉලෙ­ක්ට්‍රො­නික උප­ක­රණ කිහි­ප­යක් තිබී සොයා ගන්නට පොලි­සි­යට හැකි විය. සැක­ක­රු­වන් වැඩි­දුර පරීක්ෂා කිරී­මේදී ඉලෙ­ක්ට්‍රො­නික උප­ක­රණ, රහස් කැමරා, පාස්පෝට් 5ක්, වයර්, ඩිජි­ටල් මීට­ර­යක්, කුඩා ටෙබි කැමරා, විශාල ප්‍රමා­ණයේ කැමරා, ජංගම දුර­ක­ථන හතක්, පරි­ග­ණක යන්ත්‍ර 3ක්, බැටරි කෑලි හා හඳුනා නොගත් ඉලෙ­ක්ට්‍රො­නික පරි­පථ කිහි­ප­යක් සොයා ගත හැකි විය. මෙමරි කාඩ් සහ ඇසට නොපෙ­නෙන ප්‍රමා­ණයේ කුඩා කැමරා කිහි­ප­යක් ඒ අතර විය. මේ සැක­කාර ‍පෝලන්ත ජාති­ක­යන් දෙදෙනා 49, 35 සහ තරු­ණිය 29 වියේ පසු විය. සෙසු සැක­ක­රු­වන් දෙදෙනා වයස 27 හා 24 වියේ පසු විය. මොවුන් ලෝකයේ රට­වල් තුළ සැරි සර­මින් බැංකු­වල මුදල් කොල්ල­කෑමේ ජාවා­ර­මක නිරත වෙන ‍බව පොලි­සිය සැක කරයි. මෙහි ප්‍රධාන සැක­කරු ATM යන්ත්‍ර පිළි­බඳ විශේ­ෂඥ දැනු­මක් ඇති පුද්ග­ල­යෙකි. ඉතා අඩු කාල­ය­කදී ATM යන්ත්‍ර­යක පිටු­පස දොර ලා ඇති අගුලේ රහස් අංකය වෙනස් කර යන්ත්‍ර­යට ඇතුළු වන්නට ඔහු සමත් ය. ආර­ක්ෂිත කැම­රා­වක ඔහු පිළි­බඳ හොඳින් සට­හන් වී ඇත්තේ එසේ දොර විවර කර­ද්දීය. ATM යන්ත්‍රයේ පිටු­පස දොර ගලවා ඇතුළු වූ මේ කොල්ල­කරු ජංගම දුර­ක­ථ­න­යෙන් ටෝච් එකේ ආධා­ර­යෙන් කිසි­යම් උප­ක­ර­ණ­යක් සවි­ක­රන ආකා­රය එ් දර්ශ­න­වල හොඳින් සට­හන් වී තිබේ. මේ සැක­කරු රාත්‍රි කාලයේ කරු­වලේ දුර­ක­ථන කුටි­යට රිංගු­වද NIGHT VISION තාක්ෂ­ණ­යෙන් යුතු ආර­ක්ෂිත කැම­රාවේ ඔහුගේ රුව හොඳින් සට­හන් වී ඇත. ඔහු සිතු­වාට වඩා ඉහළ තාක්ෂ­ණ­යක් බැංකු පද්ධ­තියේ භාවිත වී තිබිණ.

මාතර කොට්ඨාස භාර පොලිස් අධි­කාරි අනිල් ප්‍රියන්ත මහ­තාගේ උප­දෙස් මත කොට­විල පොලිස් ස්ථානා­ධි­පති ජානක තුෂාර මහ­තාගේ මූලි­ක­ත්ව­යෙන් කොට­විල පොලිස් නිල­ධා­රීන් මේ සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය. පසු­දින දක්වා ප්‍රශ්න කිරී­මෙන් පසු ඔවුන් මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට පොලි­සිය කට­යුතු කළේය. එහිදී අනා­ව­ර­ණය වූයේ මේ සැක­ක­රු­වන් විදේ­ශීය වශ­යෙන් විවිධ රට­වල් වල පොලිසි මඟින් සොයන පුද්ග­ල­යන් බව ය. ප්‍රධාන සැක­කරු මිරිස්සේ ATM යන්ත්‍රයේ සේප්පු ඇති ආර­ක්ෂිත ස්ථාන­යට ඇතුළු වන ආකා­ර­යත්, වැලි­ගම නග­රයේ එවැ­නිම ATM යන්ත්‍ර­යට ඇතුළු වී ඉලෙ­ක්ට්‍රො­නික උප­ක­ර­ණ­යක් සවි­ක­රන ආකා­ර­යත් ආර­ක්ෂිත කැම­රා­වල සට­හන්ව තිබිණි. ATM යන්ත්‍ර තුළට තාක්ෂ­ණය යොදා ඇතුළු වූ කොල්ල­ක­රු­වන් ගැන මින් පෙර මේ රටින් වාර්තා වන්නේ නැත.

කොට­විල පොලි­සිය අප­රාධ අංශයේ හෙට්ටි­ආ­රච්චි පොලිස් සැර­යන් 18641 සුදු­සිංහ පොලිස් සැර­යන් 35209 රෝහිත පොලිස් කොස්තා­පල් 86369 සම්පත් පොලිස් කොස්තා­පල් 90510 සඳ­රු­වන්, පොලිස් සැර­යන් 28922 සම­ර­තුංග යන නිල­ධා­රීන් මේ විදෙස් සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. මෙලෙස ලංකාවේ බැංකු කීයක මුදල් හා දත්ත සොරා ගත්තේ දැයි සොයා ගැනී­මට පොලි­සිය විම­ර්ශන කට­යුතු ආරම්භ කර ඇත.

Comments