පාවෙන තරුණ ඡන්ද හොයන ජනා­ධි­පති කවුද? | සිළුමිණ

පාවෙන තරුණ ඡන්ද හොයන ජනා­ධි­පති කවුද?

ට ජනා­ධි­ප­ති­ව­රණ උණු­සුමේ ය. කාට කාටත් දැන් ජනතාව වැද­ගත් ය; ජනතාවගේ, විශේෂයෙන් තරුණ ප්‍රජාවගේ කැමැත්ත වැද­ගත් ය. අපේ අද­හස් විම­ස­න්නට උක­ටලී වූවෝ දැන් ජීවි­තය අප හා බෙදා ගන්නට පොර කති. ඡන්ද­යක් සමීප වන විට රටේ තත්ත්වය කොහො­මත් එහෙම ය. ලංකාවේ හත්වන විධායක ජනා­ධි­ප­ති­ව­රයා තෝරා ගන්නට හදන මේ ඡන්ද­යේදී දේශ­පා­ල­ක­යන් වැඩි­පුර ම උන­න්දු­වක් දක්වන බව පෙනෙන්නේ තරුණ ඡන්ද වලට ය. තරු­ණ­යන් ඉලක්ක කර­ගත් දේශ­පා­ලන වැඩ­ස­ට­හන් ද ක්‍රියා­ත්මක ය. තරු­ණ­යන්ට අවශ්‍ය රටේ නාය­කයා කව­රෙක් විය හැකි­දැයි අහඹු ලෙස හමු­වන තරු­ණ­යන් නියැ­ඳිය­කින් විමසා බල­න්නට අප මහ මඟට බසින්නේ ඒ නිසා ය. මේ සට­හන් කරන්නේ වාර­ණ­ය­කින් තොරව මග­තො­ටදී අපට මුණ­ගැ­සුණු තාරු­ණ­යන් තමන් ප්‍රාර්ථනා කරන ජනා­ධි­ප­ති­ව­රයා කුමන ආකා­රයේ පුද්ග­ල­යෙක් විය යුතු ද යන්න පිළි­බඳ අපට කී කතා­වය.

රවිඳු සෙනාල්ගේ ගම මිනු­ව­න්ගො­ඩය. වයස අවු­රුදු 21 කි.

“මා විශ්වාස කරන හැටි­යට රටට අවශ්‍ය වන්නේ නීති­ග­රුක නාය­ක­යෙක්. වංචා, දූෂ­ණ­යට එරෙ­හිව සෘජු ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කරන්න පුළු­වන් නාය­ක­යෙක්. රටේ ආර්ථි­කය ගොඩ­න­ඟන්න සුවි­ශේෂී අව­ධා­න­යක් ලබා දිය හැකි දැක්මක් සහිත නාය­ක­යෙක්. රටේ අන­න්‍ය­තාව තබා­ගෙන ආර­ක්ෂාව තහ­වුරු කිරීම සඳහා නිවැ­රදි ක්‍රියා­මාර්ග ගැනී­මට ඔහුට හැකි­විය යුතුයි. මා පෞද්ග­ලි­කව ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් බලා­පො­රොත්තු වෙන්නේ මුලින් ම ඔහු නීතිගරුක විය යුතුයි යන්නයි. ඔහු නීතිය නොවිය යුතුයි. ඉල්ලා තිබෙන අපේ­ක්ෂ­ක­යන් අතරේ සුදු­සු­කම් තිබෙන පුද්ග­ල­යෙක් ඉන්නවා. තීර­ණය කරලා නැහැ තාම කාටද ඡන්දේ දෙන්නෙ කියලා. මම තවම කල්පනා කර­නවා.

පූර්ණිමා ගයත්‍රි ජීවත් වන්නේ කොළඹ බ්ලූමැ­න්ඩල් වල ය. ඇයගේ වයස අවු­රුදු 21කි.

“ඇත්තට ම ජනා­ධි­ප­ති­ව­ර­ණය ගැන කතා කරන්න මං වැඩි කැමැ­ත්තක් නෑ. මොකද දේශ­පා­ල­නය කියන දේ වර්ත­මා­නය වෙද්දි තියෙන්නෙ ඉතාම පහළ මට්ට­මක. කල­කි­රී­මක් තමයි තියෙන්නේ. ඇත්තට ම අපිට අනා­ග­තයේ දව­සක රටක් ඉතුරු වෙයිද කියන එක ප්‍රශ්න­යක්. මේ රටේ ජානා­ධි­ප­ති­ව­රයා ලෙස පත්වන පුද්ග­ල­යා­ගෙන් මා කාරණා කීප­යක් බලා­පො­රොත්තු වෙනවා. 2020 ජනා­ධි­ප­ති­ව­රයා වෙන පුද්ග­ලයා අවශ්‍ය මොහොතේ තීරණ ගන්න අන් මත­යට ඇහු­ම­කන් දෙන පුද්ග­ල­යෙක් වෙන්න ඕන. ඔහු විදේ­ශීය බල­වේග, අන්ත­වාදි බල­වේ­ග­ව­ලට හිස නොන­මන, රටේ ආර­ක්ෂාව ගැන සහ­ති­ක­යක් දිය හැකි පුද්ග­ල­යෙක් විය යුතුයි. කල්පනා කරන්න දශක හතක් තිස්සේ අපේ රට ලබපු දියු­ණුව මොකක්ද කියලා. සාපේ­ක්ෂව බැලු­වොත් මීට දශක කිහි­ප­ය­කට ඉහ­තදී අපේ රටට වඩා ගොඩක් දුප්පත් රට­වල් අද ලෝකයේ දියුණු ම රට­වල් වෙලා. රටේ නාය­ක­ත්වය රට හරි­යට මෙහෙ­ය­වලා නෑ. ඉතින් අනා­ග­ත­යේ­වත් රටක් කියලා කටින් කියන්න පුළු­වන් තැනක් හදන එක තමයි ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් පෞද්ග­ලි­කව අපේක්ෂා කරන්නේ.

මුනි­ෆර් රහු­මාන්ගේ ගම කුරු­ණෑ­ග­ලය. වයස අවු­රුදු 20 කි.

“මේ වෙලා‍වෙ රටට අවශ්‍ය වෙන්නේ තරුණ නාය­ක­ත්ව­යක්. නවීන ක්‍රම රටා­ව­කට රට පාල­නය කිරීමේ හැකි­යාව ඔහු සතු වෙන්න ඕන. ආර්ථි­කය ශක්ති­මත් කිරීමේ ප්‍රති­පත්ති ඔහු දැන සිටිය යුතුය. නිද­හස තහ­වුරු කිරී­මට අවශ්‍ය සිය­ලුම විධි­වි­ධාන වග­කී­මෙන් ක්‍රියා­ත්මක කිරී­මට ජනා­ධි­ප­ති­ව­රයා සතු වග­කී­මක්. බෙදා වෙන් නොකර හැම ජාති­ය­කට ම එකට ජීවත් විය හැකි පරි­ස­ර­යක් නිර්මා­ණය කරන, පෞද්ග­ලික කැමැත්ත පසෙ­කට දාලා සාමූ­හික අපේක්ෂා ඉටු කරන්න හැකි, උගත් දූර­දර්ශී පාල­ක­යෙක් මා අපේක්ෂා කර­නවා. නිවැ­රදි වෙලාවේ නිවැ­රදි තීරණ ගැනීමේ හැකි­යා­වක් නාය­ක­ය­කුට තිබිය යුතුයි. මා ඡන්දේ පාවිච්චි කරන අපේ­ක්ෂ­කයා තීන්දු කරලා ඉව­රයි.

නදීශා නිලක්ෂිගේ ගම අනු­රා­ධ­පුර ය. වයස අවු­රුදු අවු­රුදු 21 කි.

“මට හිතෙන හැටි­යට රටට අවශ්‍ය තරුණ නාය­ක­යෙක්. හොඳ අධ්‍යා­ප­න­යක් සහිත ඒ නාය­කයා ගතා­නු­ග­තික පාර­ම්ප­රික දේශ­පා­ලන ප්‍රති­පත්ති නියෝ­ජ­නය නොක­රන අලුත් දැක්මක් සහිත ස්වාධීන නාය­ක­යෙක් වෙන්න ඕන. පව­තින දේශ­පා­ලන ක්‍රමය වෙනස් කිරී­මයි මම පෞද්ග­ලි­කව ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් අපේක්ෂා කරන්නේ. ඒ වගේම පරි­ස­ර­යට ආද­රය කරන නාය­ක­යෙක් වීම වැද­ගත්. අපි පරි­සර හානි­යෙන් බැට කන මිනිස්සු. මගෙ දෙම­ව්පි­යන් ඒ පීඩ­නය විඳි­නවා. රැල්ලට පරි­ස­රය රකින්න හදන නාය­කයො නෙමෙයි, තමන්ගෙ ප්‍රති­පත්ති ප්‍රකා­ශයේ විහිලු ඇතු­ළත් නොකර එහි ඇති දේ ක්‍රියා­ත්මක කිරී­මට ඔහුට හැකි විය යුතුයි. ජන­තාව හඳු­නා­ගන්නා අප­ක්ෂ­පා­ති­ත්වය ගරු කරන නාය­ක­යෙක් වීම තමයි 2020 ජනා­ධි­ප­ති­ව­ර­යා­ගෙන් බලා­පො­රොත්තු වෙන්නේ. සුදු­සු­කම් සහිත පුද්ග­ලයෝ පෙනී හිටි­යත් සම්පූර්ණ සුදු­සු­කම් තිබෙ­න­වද කියන දේ ප්‍රශ්න­යක්. මම තවම මගේ ඡන්දය ගැන කල්පනා කර­නවා.

සුමුදු විශ්වනුව­ර­එළියේය. වයස අවු­රුදු 21.

“2020 ජනා­ධි­පති වරයා අනි­වා­ර්ය­යෙන්ම රටේ ජන­තා­වගේ ජීවි­තය හඳුනා ගැනීම වැද­ගත්. පොදු මත­යට ගරු කරන කෙනෙක් වගේම රටේ මිනි­ස්සුන්ගේ දුක තේරෙන කෙනෙක් වෙන්න ඕන. ජාති­වා­දය වෙනු­වට ජාති­ක­ත්ව­යට ගරු කරන සෘජු තීරණ ගැනීමේ හැකි­යාව අනි­වා­ර්යෙන් ම තියෙන්න ඕන. රට මුල් තැන තබා­ගෙන ඉන්න, කිසිදු බල­වේ­ග­ය­කට යටත් නොවන ස්වරූ­ප­යක් ඔහු සතු විය යුතුයි. දැනට ඡන්දය ලබා දෙන අපේ­ක්ෂ­කයා තීර­ණය කරල තියෙන්නෙ.

පද්ම­ඥා­න­ප්‍රිය ජීවත් වන්නේ ගාල්ලේය. අවු­රුදු 22 කි.

“ඔහු හමු­වන්නේ අහ­ම්බෙන් කොළඹ පැමිණි මොහො­තක ය. අනි­වා­ර්යෙන් ම ඔහු දැඩි පාල­න­යක් ක්‍රියා­ත්මක කරන්න ඕන. අවශ්‍ය සෘජු තීරණ ගන්න ඕනි. ආර­ක්ෂා­වට මුල්තැන දෙන්න ඕන. අනි­වා­ර්ය­යෙන් ම රාජ්‍ය සේව­ක­යන් වසර කිහි­ප­ය­කට වරක් තාක්ෂ­ණික වශ­යෙන් යාව­ත්කා­ලීන කරන්න ඕන. සෞඛ්‍ය හා කසළ කළ­ම­නා­ක­ර­ණය කිරීම පිළි­බඳ ව මනා වැඩ­පි­ළි­වෙ­ළක් තිබිය යුතුයි. ණය ගැනීම නොව තිබෙන ණය ගෙවී­මට විධි­මත් ක්‍රම සැල­සුම් කරන නාය­ක­යෙක් ඕන. අප­න­ය­නය ආර්ථි­කය ගොඩ­නැං­වී­මට, දූෂ­ණය ඉවත් කර­න්නට ජනා­ධි­ප­ති­ව­රයා කැප විය යුතුයි. ප්‍රධාන පුර­වැ­සියා ලෙස ඔහු මූලි­ක­වම රටේ නීති­යට ගරු කළ යුතුයි. මම ඡන්දය පාවිච්චි කර­නවා. ඒ පුර­වැ­සි­යෙක් විදි­හට මගේ අයි­ති­යක් නිසා. නමුත් මම අපේක්ෂා කරන මට්ටමේ කෙනෙක් මේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වෙලා නෑ.

මවිදු මදු­ෂාන්ට වයසඅවු­රුදු 21 කි. ඔහු ජීවත් වන්නේපාන­දුරේය.

“නීතිය නීතිය ලෙස ක්‍රියා­ත්මක කරන ජන­ප­ති­ව­ර­යෙක් තමයි මේ වෙලාවේ රටට අවශ්‍ය වෙන්නේ. රටේ ආර­ක්ෂාව ගැන වඩා හොඳ අව­ධා­න­යක් දෙන්න ඕනේ. අධ්‍යා­ප­නය මුළු­ම­නින් ම වෙනස් කරන්න ඕනේ. තරු­ණ­යන්ගේ ශ්‍රමය කාලය අපතේ නොයවා ප්‍රයෝ­ජන ගන්න ඕනේ. මේ සිය­ල්ලට ම විධි­මත් ක්‍රම­වේ­ද­යක් හදන එක තමයි ජනා­ධි­ප­ති­ව­ර­යෙ­ක්ගෙන් පෞද්ග­ලි­කව බලා­පො­රොත්තු වෙන්නේ. අපට තෝර ගන්න වෙන්නෙ ඉදි­රි­පත් කරලා තියන අපේ­ක්ෂ­ක­යන් අත­රින් කෙනෙක් නෙ. ඔවුන් අත­රින් කෙන­කුට දැන­ට­මත් මම ඡන්දය දෙන්න තීන්දු කරලා ඉව­රයි.

මහේ­ෂිකා ප්‍රබෝ­ධිනි බණ්ඩාර කඩ­වත ය. වයස අවු­රුදු 21 කි.

“ඔහු රාජ්‍ය පාල­නය ගැන අව­බෝ­ධ­යක් තියන කෙනෙක් වෙන්න ඕනේ. සංව­ර්ධ­නය විධි­මත් කරන්න අවශ්‍ය ක්‍රියා­මාර්ග ගන්න කෙනෙක් වෙන්න ඕන. ඍජු තීරණ සහිත පුද්ග­ල­යෙක් වීම ගොඩක් වැද­ගත්. පුද්ග­ලික ව පෞද්ග­ලික ව මා අපේක්ෂා කරන්නේ රට තුළ තිබිය යුතු සාධා­ර­ණ­ත්වය සහ ආර­ක්ෂාව. අපේ­ක්ෂ­යන් අත­රින් මගේ මනා­පය පළ කරන පුද්ග­ල­යාත් අනික් අය වගේම මනු­ස්ස­යෙක්. මිනිස්සු හැම­කෙ­නාම සම්පු­ර්ණ­යෙන් යහ­පත් අය නෙවෙයි. අපට තෝරා ගන්න තිබෙන්නෙ ඉදි­රි­පත් වෙලා ඉන්න අය අත­රින් සාපේ­ක්ෂව හොඳ කෙනා. රාජ්‍ය පාල­නය ගැන අත්දැ­කී­මක් තියෙන රට නිවැ­ර­දිව ගෙනි­යන්න පුළු­වන් කියලා විශ්වාස කළ හැකි නාය­ක­යෙක් ගැන මට බලා­පො­රො­ත්තු­වක් තිබෙ­නවා.

ටිෂානි ශෂී කුමාරි - සාවිත්‍රි විජේ­ව­ර්ධන

Comments