බිත්තර රකිනවා වගේ විශ්වාසය රකින්න බෑ | සිළුමිණ

බිත්තර රකිනවා වගේ විශ්වාසය රකින්න බෑ

“හැම දෙමවුපියෙක්ම තමුන්ගෙ දරුවව පරිස්සම් කර ගන්නයි හදන්නෙ රමේෂ්. ඒ ඇයි? මේ වගේ රටක ගෑනු දරුවෙකුට අතුරු ආන්තරා එමටයි. කරදරේ වැටුණට පස්සේ ගොඩ ඒමක් ඇත්තෙම නෑ. කරදරයක් ඇති ජීවිතේ ම තීන්දු කරන්න.”

සිරිමාන්න සමාව අයදින බැල්මක් එක්ක පැහැදිලි කළේය.

පශ්චත්තාපයෙන් පීඩා විඳිමින් රමේෂ් සමාව අයැද්දේය.

“සමාවෙන්න අංකල්.. මම කාටවත් වරදක් කරන්න ‍හිතුවෙ නෑ..”

“ඒක මම දන්නවා දරුවෝ... ඒත් ඒ දේ රටේ ලෝකේ ඈයො දන්නෙ නෑ. ඒ හිංදා මේ නංගිත් එක්කගෙන යන්න. එතකොට මට හිතේ කරදරයක් නැතිව ඉස්කෝලෙ ඉන්න පුළුවං. මට හිතන්න තැවෙන්න ඕනම නෑ මගේ කෙල්ල ගැන..”

ඒ යෝජනාවට තමා කිසිසේත් එකඟ නොවන බව පළ කරමින් අමාලි සිය පියා වෙත හැරුණාය. එහෙත් ඇගේ අතක් මිරිකාගත් තරුණයා සන්සුන් වන්නැයි නිහඬව ඉල්ලා සිටියේය. ඒ ස්පර්ශය හිතුවක්කාර කෙල්ලක කෙරෙහි තදබල ලෙස බලපෑ වග කෙමෙන් දියව යන කෝපය කියා පෑවේය.

කිසිවෙකුගේ මුහුණු බලන්නට පමා නොවූ සිරිමාන්න සිය වාහනයට නැඟුණේය.

“මොන විකාරයක් ද...? මොකක්ද ඒ කෙහෙල්මල් කොන්දේසිය?”

අමාලි අපමණ අප්‍රසාදයෙන් ඇසුවාය.

සුනන්දා අසරණව බලා සිටියාය. ඇය සිය සොහොයුරාගේ අණ ඉටු කළ යුතුය. එමෙන්ම පුපුරා හැළෙන දියණියට වග උත්තර බැඳිය යුතුය.

“ඒකට කමක් නෑ අමාලි... ආන්ටිත් අපිත් එක්ක එන එක මොන තරම් හොඳද.. මං නං ආසයි...”

ඇය ඔහු දෙස රවා බැලුවාය.

“ඔයාගෙ මමීවත් දාගමු වාහනේට. එ‍තකොට තවත් ෂෝක්නෙ.”

ඔහු සිනාව මැඬ ගනිමින් සුනන්දා දිරිමත් කරවන සුලු බැල්මක් හෙළුවේය.

“යන්න.. ආන්ටි ලෑස්ති වෙලා එන්න.”

“අනේ මන්දා ළමයෝ... අපේ අයියා යන්න කියනවා.. මේ කෙල්ල එපා කියනවා. මම මොනා කරන්නද...?”

“නෑ නෑ කෙල්ල එපා කියන්නෙ නෑ... ආන්ටි ඉක්මන් කරන්නකෝ..”

ඇය ගෙතුළට වැදුණේ තවමත් බුම්මාගෙන ඉන්නා දියණිය දෙස හැරි හැරී බලමිනි. ඒ දුටු රමේෂ් හඬ නඟා සිනාසුණේය.

“ඔයාට මාර විහිළුවක් මේක. නේද රමේෂ්..?”

අමාලි නොවියැකුණු කෝපයෙන් ප්‍රශ්න කළාය.

“හැමදේම විහිළුවක් තමා අමාලි.. ජීවිතේ ම විහිළුවක් නෙමේද. අපි එනවා මේ විශාල ලෝකෙට... ටික කාලයක් පිස්සු නටලා ආපහු යන්න යනවා.. අපි එන්නෙ කොහෙන්ද යන්නෙ කොහේද කියලා අපි කිසි කෙනෙක් දන්නෙ නෑ.. ඉතිං ඒකත් විහිළුවක් නෙමේද අමාලි...?”

ඒ කතාව ඇගේ සිත් ගත්තේය. ඇය විමසිලිමත් දෑසින් ඔහු දෙස බලා සිටියාය.

“ඔයත් හිටපු ගමං හොඳ ලස්සන කතා කියනවනේ රමේෂ්..”

“ඒක කොහොමද ලස්සන කතාවක් වෙන්නෙ...?”

“හරි හරි.. අපට හොඳටම පරක්කුයි... අපි දැංවත් යමුද..?”

ඔහු හිස සැළුවේය.

“පොඩ්ඩක් ඉන්නකෝ... අපේ ආර්යාව එනකම්..”

ඇය අවඥාවෙන් මුව ඇද කළාය.

“වේවැලත් අරගෙනම එන්න කියන්න.”

කඩිමුඩියේ වුව සාරියක් පටලවාගත් සුනන්දා දිව ආවාය. වේවැලක් වෙනුවට ඇයගේ අතෙහි වූයේ වතුර හා තේ බෝතල් දෙකක් ද බිස්කට් පැකැට්ටු කීපයක් ද බහාලූ කූඩයකි. කුඩයක් ගන්නටද ඇය අමතක නොකළාය.

“දැක්කා නේද...? ඔයා මෙතන රණ්ඩු කර කර ඉන්න වෙලාවෙ ඔයාගෙ ආන්ටි කොයිතරම් ලස්සනට ගමනට ලෑස්ති වෙලාද..”

රමේෂ් දෙබැම ඉහළ නංවා ඒ කඩිසර ගැහැනිය අගය කළාය.

“අද ආපහු එන්න කල්පනාවක් නෑ වගේ නැන්දට..”

අමාලි සෝපහාස සරින් කීවාය.

“අද එනවද නේනවද කියන එක නෙමේ ප්‍රශ්නෙ. මඟ දිගට නිකං අපරාදෙ සල්ලි නාස්ති කරන්නෙ මොකටද..”

සුනන්දා මෝටර් රථය වෙත යමින් උත්තර බැන්දාය. රමේෂ් ඇය කූඩයේ බරින් නිදහස් කළේ ළගන්නා සිනාවක් ද පාමිනි.

“හැමෝම ඉතිං ගමන් බිමන් යද්දි ඔහොම කෑම බීම උස්සාගෙන ගි‍යොත් අර පාර දිගේ කඩ කෑලි අටවගෙන ඉන්න අහිංසකයන්ට බඩේ පාර වදින්නෙ නැද්ද..?”

රමේෂ් රියැදුරු අසුනේ හරි බරි ගැසුණේ හිනැහෙමිනි. ඔහු සමීපයෙන් හිඳගත් යුවතියගේ මුහුණේ අඳුරක් මිසක සිනා පොදක් නොවිණ.

“බලන්න පුතා.. මෙයා එක්ක කතා කරලා දිනන්න පුළුවන්ද කියලා...?” යි සුනන්දා නෝක්කාඩු කීවේ සෙනෙහෙබර බැල්මක් සමඟිනි.

“යමු යමු.. දැං ඉතිං සේරම හරිනෙ... පාට්නර්... බොඩි ගාඩ්..”

“ඇයි වෙහිකල් එක? මං මේ බලාගෙන ඉන්නෙ වාහනයක් අරගෙන ආවට ඔයා මට බනින කම්..”

“බනින්න නෙමේ ස්තුති කරන්න ඕන රමේෂ්. මටත් පස්සෙ තේරුණා බස් එකේ ගිහිං බෑ කියලා. තැනක් නොතැනක් නොදැන අඳුරෙ යන ගමනක් මේක.”

ඇගේ හැඟීම්බර හඬින් සසලව යමින් ඔහු වාහනය පණ ගන්වා ගත්තේය.

“ඇත්තට ම කොහෙද අපි යන්නෙ? මාත් දඩිබිඩි ගාලා නැඟ ගත්තට මොකද යන තැනක් දන්නෙත් නෑනේ...” සුනන්දා කුහුලින් උතුරා ගියාය.

“අපි යන්නෙ අම්මව හොයන්න.”

විස්මයෙන් විසල් කර ගත් දෑසින් මොහොතක් නිහඬව හුන් සුනන්දා

“නවත්තන්න... කාර් එක නවත්තන්න” යි කෑගැසුවාය.

සුනන්දාගේ උච්ච ස්වරයෙන් අමාලි නොකැලඹුණ ද රමේෂ් වාහ‍නයේ තිරිංග තද කළේය.

“ඇයි ආන්ටි?” යි ඔහු මහත් වුවමනාවෙන් ප්‍රශ්න කළේය. අමාලිගේ නිශ්ශබ්දතාව ඔහුට විමතිය දනවන සුලුය.

“ඔයගොල්ලො යන්නෙ චම්පා අක්කාව හොයන්න කියලා දන්නව නම් මම මේ ගමනට එකතු වෙන්නෙ නෑ...”

තරුණයා තවත් විපිළිසර විය. සිය නෑනණ්ඩිය සොයා යෑම පිළිබඳව මේ සා බලවත් විරෝධයක් පළ කරන තරමට මේ ගැහැනිය රළු පරළු දැයි ඔහු පුදුමයෙන් කල්පනා කළේය.

“ඒ ඇයි කියලා ඇහුවට කමක් නැද්ද ආන්ටි?”

‍කැලඹීම කොතෙක් වුවද ඔහු ආචාරශීලී විය.

“කිසිම තේරුමක් නැති බොරු ගමනක් මේ...”

තවදුරටත් නිහඬව ඉන්නට නොරිසි අමාලි සන්සුන් සරින් කතා කළාය.

“තේරුමක් නෑ වගේ පේන දේවලත් තේරුමක් තියෙන්න පුළුවන් පොඩි නැන්දේ..”

ඒ උපේක්ෂා සහගත බවට සුනන්දාගේ නොසන්සුන් බව තුනී කරයි.

“තේරුමක් නැති හින්දා තමා අයියා හෙවිල්ල නවත්තලා පාඩුවේ ඉන්නේ...”

“ඔයාගෙ අයියාට පාඩුවේ ඉන්න පුළුවන් වුණාට මට එහෙම ඉන්න බෑ නැන්දේ. මාත් එහෙම ඉන්න ඕන කියලා මම හිතන්නෙත් නෑ. මගේ හිත කියන්නෙ ම මගේ අම්මා කොහේ හරි ඉන්නවා කියලා..”

සුනන්දා සුසුමක් හෙළුවේ මවු සෙනෙහස අහිමි වූ දියණියක වෙනුවෙනි.

“හිතට වහල් වෙන එක මෝඩකමක් අමා..”

රමේෂ් ඔවුන්ගේ සංවාදයට බාධා කළේ කැමැත්තෙන් නොවේ. එය අවිනීතකමක් බව දැන දැනත් ඔහු “කරුණාකරලා මට දැනගන්න පුළුවන්ද මම යන්න ඕන ඉස්සරහටද ආපස්සටද කියලා..” යි ඇසුවේය.

යුවතියද ගැහැනියද වෙළා ගත් ශෝකාන්ධකාරය තුනී විය.

“ඔයා නැන්දත් එක්ක ආපහු යන්න රමේෂ්..”

ඊට විරෝධය දක්වන්නට සුනන්දා දෙවරක් නොහිතුවාය.

“නෑ නෑ ඔයාට තනියම යන්න දෙන්න බෑ...”

“සිරිමාන්න අංකල් මට ලේඩිස්ලා දෙන්නෙක් ම බාර දුන්නෙ මා ගැන ලොකු විශ්වාසයක් තියලා. මම ඒ විශ්වාසය රකින්න ඕන...” කියමින් රමේෂ් වාහනය ඉදිරියට ධාවනය කරන්න පටන් ගත්තේය.

“බිත්තර රකිනවා වගේ විශ්වාසය රකින්න බෑ රමේෂ්. මිනිස්සු අතින් විශ්වාසය බි‍ඳෙන්න පුළුවන්. මොකද අපි මිනිස්සු මිසක දෙවිවරු නොවෙන නිසා...”

ඔහු දෙබැම ඉහළ නංවා ඒ කතාව අගය කළේය.

ලබන සතියට‍...

Comments