නව රජයක් පිහිටුවීමට නොහැකි ඊශ්‍රායාලය | සිළුමිණ

නව රජයක් පිහිටුවීමට නොහැකි ඊශ්‍රායාලය

සිය ප්‍රතිවාදී බෙනී ගාන්ට්ස් සමග සන්ධාන රජයක් පිහිටුවීමට ගත් ප්‍රයත්නය අසාර්ථක වීම හේතුවෙන් ඊශ්‍රායාල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නව රජයක් පිහිටුවීමට නොහැකි බව නිවේදනය කළේ ය.

මේ අනුව ඊශ්‍රායාලයේ දීර්ඝතම කාලයක් සේවය කළ අග්‍රාමාත්‍යවරයා ලෙස සැලකෙන බෙන්ජමින් නෙතන්යාහු දරන අග්‍රාමාත්‍ය ධූරය හිමිකරගැනීමේ අවස්ථාව ඔහුගේ දේශපාලන ප්‍රතිවාදී බෙනී ගාන්ට්ස්ට හිමිවනු ඇති.

ඊශ්‍රායාලයේ ලිකුද් පක්ෂය මෙහෙයවන බෙන්ජමින් නෙතන්යාහු, ඉකුත් සැප්තැම්බර් මස පැවති මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට අපොහොසත් විය.

සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට බෙන්ජමින් නෙතන්යාහුට ලබාදුන් කාලය අවසන් වීමට දින දෙකකට පෙර ඔහු නව රජයක් පිහිටුවීමට නොහැකි බව ප්‍රකාශ කලේය.

ඊශ්‍රායාල ජනාධිපති රුවේන් රිව්ලින් සඳහන් කලේ විවිධ දේශපාලන පක්ෂ සමඟ සාකච්ජා කර , නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමේ කාර්යය බෙනී ගාන්ට්ස් ට පවරන බවයි .

ඊශ්‍රායාල හමුදාවේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියකු වන බෙනී ගාන්ට්ස්ට මේ අනුව සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට ඇත්තේ දින 28 ක් පමණි.

ඔහුට ද සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවහොත් ඊශ්‍රායාලයට යළි මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇති බව ද සදහන්.

එසේ වුවහොත් වසරක් තුළ ඊශ්‍රායාලය මහ මැතිවරණයක් පැවැත්වූ තුන්වන අවස්ථාව එය වනු ඇති.

 

Comments