සිව්වණක් පිරිස වෙනුවෙන් මහාචාර්ය පදවිය අත්හළ භික්ෂුණිය | Page 2 | සිළුමිණ

සිව්වණක් පිරිස වෙනුවෙන් මහාචාර්ය පදවිය අත්හළ භික්ෂුණිය

ථෙරවාදී බුදුදහම පවතින තායිලන්තයේ බෞද්ධ භික්ෂුණීන්ට හිමි විය යුතු නිසි ස්ථානය ලබා දීම සඳහා පුරෝගාමී මෙහෙවරක නිතර වන බෞද්ධ භික්ෂුණියක වාර්ෂිකව තෝරා ගැනෙන බීබීසී සියයක් කාන්තාවන් අතරට ඇතුළත් වී තිබේ.

භික්ෂුණියක වීමේ අරමුණින් ඇය සිය විශ්වවිද්‍යාල රැකියාව අතහැර මේ වන විට වසර 16 ක් ගත වී ඇති අතර, අදටත් ඇය තර්ක කරන්නේ භික්ෂුණී ශාසනයක පැවැත්ම බුදුන් වහන්සේගේ මූලික ඉගැන්වීම්වලට අනුකූල බවය.

කාන්තාවන් පැවිදි කිරීමට දිගින් දිගට ම විරුද්ධ වන තායි සංඝයා වහන්සේ මූලික බෞද්ධ ඉගැන්වීම් වැරදි ලෙස වටහාගෙන ඇති බව ඇය පවසන්නීය.

ථෙරවාදී බුද්ධාගම පිළිබඳව ලියැවුණු තායි පොතපතට අනුව වුව ද, භික්ෂුණීන් යනු බුදුන්ගේ අනුගාමික කණ්ඩායම් හතර හෙවත් සිව්වණක් පිරිසෙන් (භික්ෂු - භික්ෂුණී, උපාසක - උපාසිකා) එක් කොටසකි. තායිලන්ත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රජය විසින් ථෙරවාදී බුදුදහම ප‍්‍රවර්ධනය කරනු ලැබීම අනිවාර්ය කටයුත්තකි.

එහෙත්, අනෙක් අතට තායිලන්ත සංඝ සමාජය සහ රජය භික්ෂුණීන් වීමට අපේක්‍ෂා කරන කාන්තාවන් පැවිදි කිරීම අනුමත නොකරයි.

ඇය හැදී වැඩුණු බෞද්ධ පරිසරය නිසැකව ම ඇගේ අනාගතය පිළිබඳ තීරණවලට බලපෑවේය. එමගින් ඇයට ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක දර්ශනය විෂය හැදෑරීමට අවස්ථාව උදාවූ අතර පසුව පිළිවෙළින් කැනඩාවේදී සහ ඉන්දියාවේදී ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි හිමි කර ගත්තාය.

ආචාර්ය උපාධිය ලැබීමෙන් පසුව, ඇය යළි තායිලන්තයට පැමිණි අතර ඇයට තම්මාසාත් විශ්වවිද්‍යාලයේ දර්ශනය සහ බුද්ධධර්මය ඉගැන්වීමට අවස්ථාව හිමි විය.

එහිදී එකල ආචාර්ය චට්සුමාල් කබිල්සිං නමින් හැඳින්වුණු ඇය, කාන්තා ගැටලු, ආගමික හා සමාජීය වෙනස්කම් පිළිබඳ ජාත්‍යන්තර අධ්‍යයන සංසදයේ කටයුතුවලට යොමු විය.

පුළුල් දැක්මකින් සමන්විත කථිකාචාර්යවරියක වූ ඇය කාන්තාවන් සතුව දැවැන්ත හැකියාවන් ඇති බව වටහා ගත් නමුත් එම අදහස් සංස්කෘතික හා ආගමික සීමාවලින් අවහිර කරනු ලැබීය.

තායිලන්ත භික්ෂුණී ශාසනය පිළිබඳ තොරතුරු

  • තායිලන්තයේ මේ වන විට භික්ෂුණියන් 200 දෙනෙක් පමණ සිටිති. ඔවුන්ගෙන් බහුතරය ශ්‍රී ලංකාවේදී පැවිද්ද ලැබූවන්ය.
  • තායිලන්ත භික්ෂුණියෝ බෞද්ධ භික්ෂූත්වයෙන් පිදුම් නොලබති. එමනිසා, භික්ෂූන් භුක්ති විඳින අයිතිවාසිකම් සහ ප්‍රතිලාභ ඔවුන්ට හිමි නැත.
  • තායිලන්තයේ භික්ෂුණී ආරාම විහාරස්ථාන වශයෙන් නීත්‍යනුකූලව වර්ග නොකෙරේ. එම ආරාම රජයට බදු ගෙවිය යුතුය.
  • තායිලන්ත භික්ෂුණියන් පැවිදි නීති 331ක් අනුගමනය කළ යුතුය.
  • තායිලන්ත මාධ්‍ය වාර්තාවල පළවූ පරිදි 9 වන රාමා රජුගේ සමයේදී රජ මාලිගයේ පැවති ආගමික කටයුත්තකට සහභාගි වීමට පැමිණි භික්ෂුණියන් 72 දෙනෙකුට ඊට පිවිසීම තහනම් කර තිබිණි.

 (බීබීසී සිංහල)

Comments