එතුමා විසින් අගයනු ලැබීම මා ලද සම්මානයක් | Page 2 | සිළුමිණ

එතුමා විසින් අගයනු ලැබීම මා ලද සම්මානයක්

සම්ප්‍රදාය නූතනය සමඟ ඝට්ටනයට නොගොස් බන්ධනයක් ඇති කරගත් විට ඒ තුළින් බිහිවන්නේ කිසිදිනෙක විවේචනයට බඳුන් නොවන සැම කල්හි පැසසුමට භාජනය වන ප්‍රබල සම්බන්ධතාය. හෙළයේ මහා ගාන්ධර්ව ඩබ්ලිව්. ඩී අමරදේවයන්, නූතන සංගීතයෙහි පෙරළිකාරයකු වන රූකාන්ත ගුණතිලකයන් සමඟ ඇතිකරගත් සොඳුරු සංගීතමය බන්ධනයද එයට උදාහරණයකි. කාගේත් ගරු බුහුමනට ලක් වූ මහා සංගීතඥයා වෙතින් ලද ආශිර්වාද සහ ප්‍රශංසා තාරුණ්‍යයේ පෙරළිකාරයකු වූ රූකාන්ත ගුණතිලකට මහා වටිනාකමක් එක්කළ බව ඔහු පවසයි.

"මම සංගීත ක්ෂේත්‍රයට යොමු වුණේ ඉතාම ළාබාල වයසේ දී. පාසල් අධ්‍යාපනය ලබන අවදියේ ම සංගීතයට ආදරය කළ නිසා සංගීතයේ විවිධ අහුමුලු සොයා යන්න මම පුරුදු වී සිටියා. ඒ පුරුද්ද අතරෙ මට අහන්න ලැබුණු ඉතාම අපූරු සංගීත ඛණ්ඩ මම ආයාසයකින් තොරව රසවින්දා. මුල්කාලීනව ඒ සංගීත ඛණ්ඩ කාගේද කියා මම දැන සිටියේ නැහැ. මම ආශාවෙන් රස විඳපු ඒ සංගීතය මහා ගාන්ධර්ව අමරදේවයන් විසින් නිර්මාණය කළ ඒවා බව පසුකාලීනව මට සොයා ගන්නට හැකි වුණා."

තමා ප්‍රිය කරන, ගරු කරන චරිතයක් සැබෑ ලොකයේ දී මුණගැසීම ඉමහත් සතුටුදායක මොහොතකි. අමරදේවයන් සහ තමන්ගේ මුණගැසීම තමාට ආශිර්වාදයක් වූ බව රූකාන්තගේ ඒ වචන තුළ පසක් විය.

"අමරදේවයන් මට මුලින්ම මුණගැසෙන්නේ කිරුළපන people avenue හි පිහිටි ශබ්දාගාරයක් තුළ. ඒ මුල්ම හමුවීමට පෙර එතුමා මා පිළිබඳ අවධානයෙන් සිටින බව මා දැන සිටියා. මා විසින් සංගීත නිර්මාණය කරන ලද ගීත අතුරෙන් විශේෂයෙන්ම ‘යාළුවේ සිතින් හඬන්නෙපා‘ සහ ‘දරුවෝ ඇති අම්මාලා‘ ගීත දෙක නීලා වික්‍රමසිංහ මහත්මිය ගායනා කරන විට එයට සවන් දුන් එතුමා ඇගෙන් මා පිළිබඳ විමසා තිබුණා. එතුමාගේ පළමු මුණගැසීම බොහොම සුන්දරයි. ඔහු බොහොම ආදරණීය මිනිසෙක්. එම හමුවීමේදී ඔහු මා සමඟ කතාබහ කළේ ඉතාම කුලුපගව, බොහොම සතුටින්. එතුමා සංගීත ක්ෂේත්‍රයේ බොහෝ තැන් ස්පර්ශ කළ මහා පුරුෂයකු ලෙස දැනෙනවාට වඩා අපූරු මිත්‍රශීලී හැඟීමක් මට එතුමන් කෙරෙහි ඇති වුණා."

වෙනස් මානයන් කරා ගමන් කරමින්, වෙනස් දේවල් අත්හදා බලමින් පෙරළිකාර ගමනක ඉදිරියට පැමිණෙමින් සිටි රූකාන්ත ගුණතිලකට අමරදේවයන්ගේ ඇසු‍ෙරන් බොහෝ දේවල් ලබා ගන්නට හැකි විය.

"එතුමා ඇවිදින දැනුම් ගබඩාවක්. මම එතුමන්ගෙන් විශේෂයෙන්ම ඉගෙනගත්තේ ඉවසීම සහ අගය කිරීමේ ගුණය. එසේම එතුමන් අදහස් ප්‍රකාශ කිරීමේදී හොඳ විවෘත බවක් ඉසිලුවා. එතුමන් මට පැවසූ දෙයක් තමයි 'මිනිසුන් කිසිවිටෙකත් නිර්ලෝභී නැහැ. අගය කිරීම සහ තව කෙනකුට යමක් ලබා දීම තුළ බොහෝ ලෝබකම් කරනවා.' නමුත් අමරදේවයන් අතිශයින්ම නිර්ලෝභී පුද්ගලයෙක්. දක්ෂයා අගය කරන්නට ඔහු කිසිවිටකත් ලෝභ වුණේ නැහැ."

අගය කීරීමට තමා තුළ වූ නිර්ලෝභී බව විදහා දක්වමින් අමරදේවයන් විසින් රූකාන්ත ගේ දස්කම් අගයමින් පුවත්පත් සාකච්ඡාවකට ප්‍රකාශයක්ද ලබාදී තිබිණි. එම ප්‍රකාශය ඇතැමුන්ගේ විවේචනයට ලක් වුවත් අමරදේවයන් එසේ ප්‍රකාශ කර තිබුණේ රූකාන්ත තුළ තිබූ සංගීත ක්ෂේත්‍රයේ පෙරළිකාර දක්ෂතාව ඔහු දුටු ආකාරය බව රූකාන්ත පවසන්නේ නිහතමානී ආඩම්බරයකිනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ “වළේ” පැවැත්වුණු සිහශක්ති සංගීත කණ්ඩායම සංගීතයෙන් දායක වූ අමරදේව – රූකාන්ත සංගීත සන්දර්ශනයේදී අමරදේවයන් කිසිම ලෝබකමක් ඉරිසියාවක් නොමැතිව රූකාන්තගේ සංගීත හැකියාවන් ඉතා ඉහළින් වර්ණනා කිරීම මේ අගනා කලා කරුවාගේ තිබූ නිහතමානීත්වය මොනවට පෙන්වූ අවස්ථාවකි.

"සංගීත ජීවිතය තුළ මා ලද විශාල භාග්‍යයක් ලෙස අමරදේවයන් සහ එක්ව ප්‍රසංග වේදිකාවේ ගයන්නට ලද අවස්ථාව මගේ මතකයේ තවමත් ස්වර්ණමය ලෙස සටහන් වී තිබෙනවා. සංගීත කණ්ඩායමේ මෙන්ම අපගේ දැඩි කාර්යබහුල බව හේතුවෙන් එම ප්‍රසංගයේ පෙර පුහුණුවක් සඳහා කිසිම අවස්ථාවක් ලැබුණේ නැහැ. අමරදේවයන් සමඟ යුග ගීතයක් ගායනා කරන්න වෙන වග මා දැන සිටියෙත් නැහැ. නමුත් එම අවස්ථාව ලැබුණු විට මා එයට සාර්ථකව මුහුණ දුන්නා. ඒ මොහොතේ එතුමා කළ අගය කිරීම මා ලද සම්මානයක්.

අමරදේවයන් සතුව තිබුණේ එක් පරාසයකට සීමා වන සංගීතමය දස්කම් නොවේ. ඔහු විසින් සංගීත නිර්මාණ කළ ළයාන්විත සුභාවිත ගීත අතර ‘දෙලොවක් අතර‘ චිත්‍රපටය සඳහා නිර්මාණය කළ ‘ගයන ගැයුම්‘ වැනි වේග රිද්ම ගීත ද තිබුණා."

අතීතයේ ඕනෑම ක්ෂේත්‍රයක් වෙත පිවිසුණ පිරිස් මනා පරිචයකින් සහ දිගුකාලීන පුහුණුවකින් යුතුවූ නමුත් මේ වන විට සෑම ක්ෂේත්‍රයක් වෙතම දිනපතා විවිධ මට්ටමේ දස්කම් සපිරි පිරිසක් එක්රැස් වන ආකාරයක් දක්නට ලැබේ. සංගීත ක්ෂේත්‍රය වෙත එක්වන පිරිස් වෙත අමරදේව චරිතයෙන් ගත හැකි ආදර්ශ බොහෝ වන බව රූකාන්ත ගුණතිලක පැවසීය.

"නූතන පරපුරට අමරදේව චරිතයෙන් ගත හැකි දේවල් ලෙස එතුමාගේ නිහතමානි බව සහ නිර්ව්‍යාජ බව ඉහළින්ම තිබෙනවා. එතුමා කිසිම අවස්ථාවක කිසි දෙයක් පිළිබඳ වැඩිපුර කතා කළ කෙනෙක් නෙවෙයි. ඔහු බොහොම නිශ්ශබ්ද චරිතයක්. එවන් චරිතයක් අහිමි වීම රටට විශාල පාඩුවක්. නමුත් ඔහු විසින් ඉතිරි කර ගිය ගීත තව කාලාන්තරයක් සංගීත ක්ෂේත්‍රය පෝෂණය කරන්නට රැකගත යුතු අද්විතීය නිර්මාණ."

රූකාන්ත ගුණතිලකයන්ගේ සිතෙහි අමරදේවයන් වෙනුවෙන් වන ආදරය ඔහු ප්‍රකාශ කළේ මෙසේය.

"අමරදේවයන් එතුමන්ට හැකි සෑම මොහොතකම මාව අගය කළා. එතුමන් වෙනුවෙන් මට දිය හැකි ඉහළම තැන ලෙස රජකුට පිරිනමන සෑම ප්‍රණාමයක් ම මම එතුමන්ට පුදකරනවා. මම එතුමන්ව රජතුමණි යන ආමන්ත්‍රණයෙන් අමතන හැඟීම තුළ කිසි විටෙක ව්‍යාජ හිස් සහ බොල් බවක් නැහැ. එය අතිශයින්ම හෘදයංගමයි.

ඡායාරූප- ටෙනිසන් එදිරිසිංහ

ගයාන් කරුණාරත්න

Comments