දෙව්ලොව සිට මා දයාබර දූපුතුන්ට ලියන වග නම් | Page 2 | සිළුමිණ

දෙව්ලොව සිට මා දයාබර දූපුතුන්ට ලියන වග නම්

මොනවා තිබුණත් වැඩක් නැහැ, විනයානුකූල පැවැත්මක් ඇති සත් පුරුෂයෙක් නොවුණහොත්.

පිරුණු කළයක දිය කිසිදා නොසැලෙන බව මම ළමා කල සිටම පසක් කොටගෙන සිටියෙමි.

දේශීය අක්මුල් නොහඳුනන කළු සුද්දන්ට ලංකාවේ කළ හැකි විප්ලවයක් නැත.

2016නොවැම්බර් 3 වැනිදා මම පින්කෙත හෙළ රන් දෙරණෙන් සදහටම සමුගෙන අසූ අට වසරකට පෙර මා සිටි දෙව්ලොවටමැ පැමිණියෙමි. සකල කලාවටම අධිපතිනිය වූද, 1964 දී සරසවිය පුවත්පත වෙනුවෙන් මා ගැයූ ‘ජගන් මෝහිනී’ ගීතයෙන් අභිවන්දයට පාත්‍ර කළා වූද සරස්වතී දෙවඟන ඇසුරට යළිදු පත්වීමේ භාග්‍යය අත්වින්දෙමි.

පින්කෙත හෙළ රන් දෙරණත් එහි මට අනන්ත අපරිමිත ලෙස ආදරය කළ, සම්භාවනාවට ලක් කළ අපමණ ජනතාවත් සදහටම හැර දමා පැමිණෙද්දී මසිත ශෝකයෙන් භරිත වූ බැව් අමුතුවෙන් කිව යුතු නැත. එපමණක්ද? අඩසියවසකටත් වැඩි කලක් පුරා මගේ සෙවණැල්ල මෙන් මා පසුපස සිටි, කුඩා දරුවකු පරිද්දෙන් මා රැකබලාගෙන නිර්මාණ කාර්ය පයුරුපාසනයට මුළු සිතෙන්ම මුළු කයෙන්ම ඊට දැහැන්ගතවැ ව්‍යාවෘත වීමට දිරිදුන් විමලාවන් හැර දමා පැමිණි ශෝකය තවමත් තුරන් වී නොමැත. මා එකල ඕ වෙනුවෙන් ගෙතූ පෙම් කව සේම විමලාවන් මට මන නදන සවියක්මැ විය. එහෙත් මෙකී ශෝකී මනෝභාවය මා හට තුනී කොට ගත හැකි මිත්‍ර සන්ථවයක් මේ දෙව්ලොවදී මට යළිදු සම්මුඛ විය.

මට ‍නිබඳවමැ සවියක් වූ උත්තම ග‍ණයේ අප්‍රමාණ කලාකරුවන් දෙව්ලොවදී යළිත් හමුවීම කොතරම් නම් ආහ්ලාදයක්ද? පුදුමයෙන් ඔවුන් දෙස මා බලා සිටිනු දුටු සරස්වතිය මෙසේ පැවසුවාය.

“ඉමහත් වූ ඊප්සිතාර්ථයෙන් මනුලොවට යැවූ මේ මහා කලාකරුවන් මා නැවතත් දෙව්ලොවටමැ ගෙන්වා ගත්තේ ඔවුන් මා අපේක්ෂා කළ කාර්යභාරය මනුලොවදී අකුරටම ඉටුකළ නිසා. සාධුගුණෝපේතව බිහි කළ මේ උත්තම කලාව මොනයම් හේතුවක් නිසාවත් ඔවුන් මනු ලොවදී කෙලෙසුවේ නැති නිසා. මගේ වරදායක හස්තයෙන් පින් ඇති සරසවි වරම් දුන් සියල්ලම එහි ගෞරවය දිවි හිමියෙන් රැක ගත යුතුයි. එය යන්තමින් හෝ කෙලෙසූ කිසිවකුට මේ දෙව්ලොවට පය තබන්නට වරම් නැහැ. ඊළඟ භවයේ කලාව උරුම කොට කලාකරුවකුව ඉපදෙන්නටත් එබන්දන්ට බැහැ.

ඇයි මට සරසවිය කියන්නේ? සතර සවිය නිසා. මගේ අත් හතරේ මොනවද තියන්නේ. එක අතක වීණාව හෝ සිතාරය. උසස් රසඥතාව ඉන් කියැවෙන්නේ. තව අතක පුස්තකයක්. ඉන් කියවෙන්නේ බුද්ධිය, දැනුම, බහුශ්‍රැත බව. තවත් අතක ගිරවා. මෙයින් අදහස් වන්නේ ගිරවුන් ලෙස වාචාලව දෙඩවීම නම් නොවෙයි. ‘වශ්‍යවචෝභාවය’ ඒ කියන්නේ ස්ථානෝචිත වදන් ඇති බව හා ඕනෑම මනෝභාවයක් නිරවුල්ව නිවැරදිව සන්නිවේදනය කළ හැකි භාෂා කුසලතාව, කථිකත්වය. මේ මොනවා තිබුණත් වැඩක් නැහැ, විනයානුකූල පැවැත්මක් ඇති සත් පුරුෂයෙක් නොවුණහොත්. ඒ නිසයි මගේ තවත් අතක නවගුණ වැලක් තියෙන්නේ. මනුලොව සමහරු සිතා සිටින්නේ කලාව සෙල්ලමක්, පිස්සුවක්, වෙළඳාමක් කියලා. කලාවේ නාමයෙන් අයහපත් දෑ සිදු කරන ජනතාවගේ මනස අවුල් කරන, රසය මොට කරන, ඔවුන්ට මිථ්‍යාව වපුරන කලාවේශධාරීන් මරණින් මතු නිරයට යන වග බුදුන් වහන්සේ තාලපුට ගාමිණී නළුවා අමතා දෙසූ බව මේ දිව්‍ය සභාවේ කවුරුත් දන්නවා.”

සරස්වතී දෙවඟන පැවසූ මේ කතාව සත්‍යයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙහිම කලාකරුවා අසපුවක විරාජමාන වන මුනිවරයකු සදිසිය. මනුලොවදී මට හමු වූ සහෘද ජනතාව වගේම මාද පුහුදුන් මිනිසෙකි. පුහුදුන් මිනිස්සු පරිපූර්ණ නොවෙති. එහෙත් එහි ජීවත් වූ අසූ අට වසරක මා ජීවන සමයේ සරස්වතිය කී ලෙසම කලාවේ ගෞරවය රැක ගනිමින් අසපුවක මුනිවරයකු සේ ජීවත් වීමට උත්සුක වූ බවට මනුලොව සියලු ජනතාවෝ සාක්ෂි දරති. මේ වූ කලි කෘතපුණ්‍ය වාසනා මහිමයකි. දෙව්ලොව සිට මා මේ ලිපිය ලියනුයේ මගෙන් හා දෙව්ලොව සිටින සෙසු මහා කලාකරුවන්ගෙන් හිස් වූ රික්තයන් පුරවා ගැනීමට නව පරපුරේ දූ පුතුන්ට මඟ පෙන්වා දෙනු පිණිසය.

මා පියාණන්ගෙන් සංගීතයට ඇල්මත්, බුදු දහමත් මට උරුම විය. ලාංකික සභ්‍යත්වය, සංස්කෘතිය මුළුමනින්ම ගොඩනැඟූ බෞද්ධ අධ්‍යාත්මය ‍මම මැනවින් වටහා ගතිමි.

මා දයාබර දූ පුතුනි, ඔබ ශ්‍රේෂ්ඨ කලාකරුවකු, කලාකාරියක වීමට සිතන්නේ නම් පළමුව තම මවුබස වන සිංහලය හොඳින් උගත යුතුය. කුමරතුඟු මුනිදසුන් ඇසුරෙන් මේ යථාර්ථය මම පසක් කොට ගතිමි. අප පළමුව සිතන්නේ මවුබසින් බැවින් එහි ධාරිතාව වර්ධනය වෙත්ම අපගේ නිර්මාණ කෞශල්‍යය, චින්තනය පෘථුල වේ. මෙකී භාෂා සංවේදීතාව නොමැති කිසිවකු හට උසස් ලාංකේය කලාකරුවකු විය නොහැකිය. ඉක්බිති පාලි, සංස්කෘත භාෂා භාෂාන්තර ඥානයද පෙරදිග සාහිත්‍යයේ උත්තමාංග වටහා ගැනීමට මා හට ඉමහත් රුකුලක් විය. ඊට සමගාමීව මා ඉංග්‍රීසි බසද මැනවින් උගත්තේ හීනමානයෙන් ආවේශිතව වෙනම පන්තියක බමුණෙකු ලෙස වැජඹීඹට නොවේ. ඉන් උකහා ගන්නා අන්තර්ජාතික ඥාන උල්පත්වලින් මගේ මවු දෙස, බස, රැස සුපෝෂණය කරනු පිණිසය. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, චිත්‍රසේන වැනි විශිෂ්ට කලාකරුවන්ද මටත් ඉහත පෙන්වා දුන්නේ ඒ දහම නොවේද? පිරුණු කළයක දිය කිසිදා නොසැලෙන බව මම ළමා කල සිටම පසක් කොටගෙන සිටියෙමි.

මොහොමඩ් ගවුස් මාස්ටර් වචනයේ පරිසමාප්ත අරුතෙහිම ගුරු දෙවියෙකි. මා කෙදිනක හෝ එතුමාව අතික්‍රමණය කරන ශිෂ්‍යකු වන බව ගුරු ගවුස් මාස්ටර් වටහාගෙන සිටියේය. එහෙත් එතුමා හැකි සෑමවිටම මට මඟ පෙන්වා දිරි ගැන්වූවා මිස මා කපා දමන්නට මඟ අවුරන්නට උත්සුක නොවූයේය. එබඳු ගුරු දෙවිවරුන් මගේ දේශයට වාසනාවන්. සංසාරය නමැති විෂ රුකෙහි අමෘත ඵල ද්වයක් වූ උසස් කලා රස විඳුම හා සත්පුරුෂ ජනයා ඇසුරු කිරීමේ භාග්‍යය මම ලැබුවෙමි. මහාචාර්ය සරච්චන්ද්‍ර, ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, චිත්‍රසේන, ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවෝ එකිනෙකාට ආවේණික වූ ස්වාධීන, මහා පෞරුෂයකින් හා බහුශ්‍රැතබවකින් විරාජමාන වූහ.

ඔවුහු එකිනෙකාට බිය නොවූහ; එකිනෙකා අබිබවා වැජඹීමට උත්සුක නොවූහ. අනෙකාට බිය වී කිසිවකු කපා කොටා දැමීමට උත්සුක වන්නෝ අල්පශ්‍රැතයෝය.

දේශීය අක්මුල් නොහඳුනන කළු සුද්දන්ට ලංකාවේ කළ හැකි විප්ලවයක් නැත. මා දිවි හිමියෙන් සුරැකි මේ දහම මගේ දයාබර දූ පුතුන් වටහාගෙන තිබේද? නොතිබේ නම් අද සිට හෝ වටහා ගත යුතුය. උපන් පොළොවේ ශක්තිමත් ලෙස සවි වූ දෙපාවලින් යුතුව මම විශ්වය දෙස හිස ඔසවා බැලීමි. කුඩා සිරුරකින් හෙබි මා පතාක යෝධයකු ලෙස ලාංකේය ජනතාවට පෙනෙන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය.

තමා උපන් පොළොවේ සම්ප්‍රදාය, සභ්‍යත්වය සාකල්‍යයෙන් වටහා නොගෙන කිසිදා යෞවනයකුට සැබෑ නූතනවාදියෙකු විය නොහැකිය. සම්ප්‍රදායට, සභ්‍යත්වයට හානි සිදු නොකර එය කාලානුරූපව වෙනස් කොට ගත හැකි වන්නේ සම්ප්‍රදාය මහත් පරිශ්‍රමයකින් හදාළ නූතනවාදියකුට පමණි. ගීතය ගේය කාව්‍ය රචනය, ස්වර සංරචනය හා යුගායනය ඈ අංගත්‍රයෙන් සුසැදුණු වෙසෙස් කලා මාධ්‍යයකි. එනම් ගීතය සාහිත්‍යයේත්, සංගීතයේත් මනා සංසර්ගයෙන් උපන් සුජාත පුත්‍රයෙකි. ගේය කාව්‍ය රචනයෙන් ගීතයේ භාෂාත්මක අනන්‍යතාව සුරැකේ. සිංහල භාෂාවෙන් පබැඳුණේ නම් එය සිංහල ගීතයකි. මේ බස සංකර කිරීමෙන් ගීතයෙහි අනන්‍යතාව පලුදු වන බැව් මා අමුතුවෙන් කිව යුතුද? අනන්‍යතාවක් නැති ගීතය විකෘතියකි.

සංගීතය විශ්ව භාෂාවක් බව සැබවි. එනම් භාෂා භේදයකින් තොරව මනෝභාවයන් ජනිත කරවන ඉසියුම් කලාවකි. එහෙත් මේ උසස් සංගීත භාවිතාවෙහි දිස් වන අනන්‍යතාවද ස්වරූප ද්වයකින් සමලංකෘත වේ. සංගීතවේදියා උපන් දේශයෙහි අනන්‍යතාව ඉන් එකක්. දෙවැන්න ලොව මිනිසුන් යා කෙරෙන අනන්‍යතාව වේ.

මා සියලු ගීත නිර්මාණය කළේ මෙකී ද්විවිධ අනන්‍යතාවන් සුගෝපිත කිරීමෙන් බව දයාබර දූ පුතුන්ට නොපෙනේද?

‘රත්නදීප ජන්ම භූමි’ ගෞඩ සාරංග රාගයෙනි. ගීත නිර්මාණයේදී මා නිබඳවමැ උත්තර හෝ දක්ෂිණ භාරතීය රාග ඇසුරු කළාට මේවා ඉන්දියානු ගීත යැයි ඔබට කිව හැකිද? මේ ගීතාවලියෙන් උද්වහනය වූයේ සිංහල සභ්‍යත්වයෙහි ගුණ සුවඳ නොවේද? චිත්‍රසේනයන්ගේ නල දමයන්ති මුද්‍රා නාට්‍යයට මා නිර්මාණය කළ ඈත කඳුකර හිමව් අරණේ ගීතය සඳහා මා අනුප්‍රාණය ලැබුවේ අපරදිග සංධ්වනියෙහි (SYMPHONY). දෙලොවෙක් අතර චිත්‍රපටයෙහි නෙවිල් ප්‍රනාන්දු ගැයූ ‘ගයන ගැයුම්’ ගීතය සඳහා ස්පාඤ්ඤ හා රොක් ඇන්ඩ් රෝල් සංගීතය මම සේවනය කළෙමි. එහෙත් ඒවා ඔබට ඇසුණේ බටහිර ගීත ලෙසින්ද? කොහෙත්ම නැත. මේවා සිංහල ගීත වේ.

අප විවිධ සංගීත ප්‍රවණතා ඇසුරු කිරීමේදී ඒවාට යටපත් නොවිය යුතුය. විවිධ සංගීත රැලිවලින් යටපත් වන්නේ තමාට අනන්‍යතාවක්, උපන් දේශයෙහි සභ්‍යත්වය හා සම්ප්‍රදාය අරභයා නිවැරදි අවබෝධයක්, විඥානයක් නොමැති කල්හිය. මා දයාබර දූ පුතුන් සංගීත ලෝකයේ නව්‍ය අත්හදා බැලීම් සිදු කරන විට පරිස්සම් විය යුත්තේ මෙතැනදීය.

මා රන්මුතු දූව චිත්‍රපටය සඳහා ‘පිපී පිපී රේණු නටන’ ගීතය නිර්මාණය කළේ බයිලා, බජව් ගීත ශෛලියෙනි. පෙරදිග සංගීතයට අනුව ඛෙම්ටෝ තාලයෙනි. අපරදිග සංගීතයෙහි මෙය හැඳින්වෙන්නේ සික්ස් එයිට් රිද්මය ලෙසිනි. රන්වන් කරල් විත්ති කථා චිත්‍රපටය මා තැනූ ‘ආලේ බැන්ද මාගේ පණේ’ මුළුමනින්ම රසනුසුන් බජව් ශෛලියේ ගීතයකි. එහෙත් මෙහි උත්තර භාරතීය පීලු රාගයෙහි ඡායාව තිබෙන බව ඔබ දන්නෙහිද? මේවා තරුණ දූ පුතුන්ට අවිචාරයෙන් නැටීමට හැදූ ‘චොකා බයිලා’ නොවුණේ එබැවිනි.
 

පෙර සසරේ පටන්ම රැගෙන ආ ප්‍රතිභාවන් සරු නිසරු තැන් වෙන්කොට ගත හැකි ව්‍යුත්පත්තියත් සතතාභ්‍යාසයත් ‍ඔස්සේ මෙබඳු කලා ප්‍රාතිහාර්යයක් පෑමට ඉවහල් ව‍ූයේ මා තුළ පැවැති නිරවද්‍ය චින්තනය හා දර්ශනය යැයි මට සිතේ. මා සංගීත ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූදා සිට සමුගන්නා තෙක්ම එක ලෙස නොවෙනස්ව කිසිදු ව්‍යාජ සංගීත ප්‍රවාහයන්ට හසු නොවී සිටින්නට මා මෙහෙයවන ලද්දේ ලාංකේය අනන්‍යතාව මුල් කොටගත් සංගීත චින්තනය විසිනි.
 

අපරදිග සංගීතයෙන් යා හැකි උපරිමයට ගොස් මා එතැනින් නතර වූයේ අපරදිග සංගීතය ගැන මට අවබෝධයක් නැති නිසා යැයි අල්පශ්‍රැතයන්ට සිතෙනු ඇත. මා එසේ කළේ මන්ද?

මේ සීමාව පැන ගියහොත් එය සිංහල නො‍එසේ නම් ලාංකේය ගීතයක් නොවන නිසාය. නාදය (MELODY) ආත්ම කොට ගත් සංගීතය මනස දියුණු මිනිසුන් උදෙසාය. රිද්මය (RHYTHM (ආත්මය කොට ගත් මනසට පීඩා දෙන ඝෝෂා දියුණු නැති ප්‍රාථමික ජනකොටස් උදෙසා බව දත යුතුය. මධ්‍ය ලයෙන් මා බහුලව ගීත නිර්මාණය කළේ එය සාමාන්‍ය මිනිසකු‍ගේ හෘදය ස්පන්දනයට (විනාඩියට වාර 72 යි) සාම්‍යය නිසාවෙනි. මගේ ගීතවලින් මනස සුවපත් වීමේ රහස එය වේ.

ලාංකේය අප ප්‍රාචීන හෙවත් පෙරදිග ජාතියකි. අපරදිගමහා සංගීත සම්ප්‍රදායට වඩා පෙරදිග මහා සංගීත සම්ප්‍රදාය මෙහිදී මා තෝරා ගත්තේ එබැවිනි. බුදු දහම ඇතුළු අප සභ්‍යත්වයේ සෑම අංගයක්ම වැඩ‍ුණේ භාරතයේ ආභාසයෙනි. දේශීය ජන සංගීතයෙහි යා හැකි උපරිම දුර දක්වා මම ගමන් කළෙමි. එය චූල සම්ප්‍රදායකි. මේ චූල සම්ප්‍රදායේ ස්වර පරාසයේ සීමා ජය ගනු වස් මම පෙරදිග උත්තර භාරතීය සංගීතය නමැති මහා සම්ප්‍රදායේ පිහිට ලැබුවෙමි. අපරදිග මියුස් දෙවියන්ට වඩා පෙරදිග සරස්වති දෙවඟන අපට සමීපය. පෙරදිග අප ආධ්‍යාත්මික සංවර්ධනයට මුල් තැන දෙමින් උපන් ජාතීන්ය. අපරදිග ජනයා මුල්තැන දුන්නේ භෞතික සංවර්ධනයටය. පෙර අපර දෙදිග අතර මිත්‍රසන්ථව තිබුණත් මේ දෙමඟට කිසිදා එක් විය නොහැකි විය. “WEST WILL NEVER MEET EAST” යන කියුම බටහිර විචාරකයන්ද පිළිගෙන ඇත.

මාගේ වියෝව පිළිබඳ ශෝක නොවන්න. මා පසක් කළේ ලොව නොවෙනස් ධර්මතාවයි. මගේ කාර්යඊභාරය මම ඉටුකොට අවසන් කළෙමි. දැන් පැමිණ ඇත්තේ දයාබර දූපුතුන්ගේ කාර්යභාරය ඉටු කිරීමේ කාලය බැව් සිතමි. මට සිදු කරන විශාලම ගෞරවය නම් මා ඉමහත් පරිශ්‍රමයෙන් ඉදි කළ ලාංකේය අනන්‍යතායෙන් හෙබි සුභාවිත ගී මඟ දිවි හිමියෙන් සුරක්ෂිත කිරීමය.

මා මියගිය පසු “ආයෙත් එවැන්නෙක් පහළ වෙන්නේ නැහැ..., නැහැ..., නැහැ...,” කියා ප්‍රකාශ කිරීම, ඒ ඍණාත්මක සිතුවිල්ල කෙබඳු රටක වුවද දියුණුවට අහිතකරය. අපෙන් පසු ඒ යෂ්ටිය අතට ගත හැකි දූපුතුන් වඩාත් බිහි කිරීමට අවැසි සමාජ පසුබිම සාදා දීම ඊට වඩා උසස් නොවේද?

මා වැනිම මහා ගාන්ධර්වයන් මේ පින් කෙත හෙළ රන් දෙරණේ ඉදිරියටත් පහළ විය යුතුය. එහිලා අනුබලය සපයන කලාව, සංස්කෘතිය, ජනමාධ්‍ය, අධ්‍යාපනය පිළිබඳ ජාතික රාජ්‍ය ප්‍රතිපත්තියක් ප්‍රමිතිකරණයක් ඉතා අවැසිය.

දයාබර දූපුතුන්ට දෙව්ලොව සිට ලියන මේ දීර්ඝ ලිපිය දැන් මම අවසන් කරමි. මනුලොවදී මා කළ අවසන් ප්‍රකාශය අනුව මට දැන් අවැසි බුදු හිමි සෙවණේ සිහිල ලැබීමටය. එස්. මහින්ද හිමිගේ පබැඳුමක් සංගීතවත් කරමින් එදා මා ගැයූ මේ ගීත ඛණ්ඩය මගේ දූදරු පිරිස යළි යළිත් සිහිපත් කරත්වා.

‘ජාතිය රන් විමනක් වේ

ආගම මිණිපහනක් වේ

එය රැක ගන්නට මෙලොවේ

සමත් වෙතොත් පුත නුඹ වේ’

මීට,

ශ්‍රී ලංකා මාතෘ භූමියට සදා හිතැති

අමරදේව

සරසවි දෙව්ලොවින් අප මාතෘ භූමියට පතිත වූ මේ ලිපිය ඉමහත් ගෞරවයෙන් සියලු ජනී

ජනයාගේ පහන් සංවේගය පිණිස

ෙමලෙස ලියා දැක්වූයේ

Comments