මහපො­‍ෙළාව ප්‍රකම්පනය වූ දා | සිළුමිණ

මහපො­‍ෙළාව ප්‍රකම්පනය වූ දා

 

එදා අද මෙන්
පොළෝ­ත­ලයේ
ඉරක් නොම ­විය
සඳක් නොමවිය
දිලී නිවෙ­මින්
යළිත් දිදු­ලන
තාරකා එළි පවා නොම­විය
පිරුණු ගන­ඳර වැලැඳි මිහි­කත
සසල නොමවිය
නිස­ස­ලම විය
එදා අද මෙන් පොළෝ­ත­ලයේ
චල­න­කාරී සවිය නොම ­විය
සසල නොවනා වායු තලයේ
කෙලෙස කිසිදා හඬක් නික්මෙද
එවන් නිස­සල පරි­ස­රය තුළ
නිහ­ඬ­තා­වය පමණි වූයේ
එකෝ­මත් එක කලෙක සක්වළ
චල­න­යෙන් යළි සසල වූයෙන්
තුමුල වා ගැබ ගිගුම් දෙව­මින්
මියුරු තත්සර උපත සිදු ­විය


නාදයේ උපත ගැන පණ්ඩිත් අ
ම­ර­දේ­වයෝ ‘ගී සර මුව­රද’ නම්
ස්වකීය ග්‍රන්ථයේ එලෙස සට­හන් කරති.

න නාදේන වීණා ගීතඃ

න නාදේන විණා ස්වරඃ

න නාදේන වීණා නෘත්‍යඃ

තස්මානන්දාත්මකෘ ජගත්

මේසංස්කෘත කවියා පවසන්නේ නාදයෙන් තොර ගීතයක් නැති බවය; නාදයෙන් තොර ස්වර ද නැති බවය; නාදයෙන් තොර ස්වර ද නැති බවය. නාදයෙන් තොර නෘත්‍යයක්ද නැති බව ය; එහෙයින් මුළු ලොව ම නාදාත්මක බව ය. අමරදේවයන් පවසන්නේ ද මේ සක්වලෙන්, මේ පොළොවෙන් ම නාදය බිහි වූ බව ය. ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් පැවසුවේ ද එය ම ය. එපමණකුදු නොව දෙබුසි, බිතෝවන්, චායිකොවුස්කි, ප්‍රාන්ස් ලිස්ට් ඈ නිර්මාණවේදීන් ද ප්‍රකට කළේ එ සත්‍ය ම ය.

මේ මහපොළොවේ රිද්මය ද, සිහින්, ලතාවත්, ගීතවත්, රළු, සුමුදු, තියුණු, පැහැදිලි ඈ නොයෙක් නාද ස්වර ද පමණක් නොව පක්ෂීන්ගේ සුසුම් රට ද, ගස්බෙනයකට තට්ටු කළ විට නැ‍ඟෙන නාදයේ ප්‍රකම්පනය ද, සියුම් පත්‍ර සෙලවීමෙන් නැ‍ඟෙන සර සරය ද එක සේ හඳුනන අපූර්ව නිර්මාණකරුවෝ දෙපළක් අපට සිටියහ. එයින් එක් තුඟු ගසක් 2008 වසරේ ඔක්තෝබර් 24 දා අප අතරින් සමගෙන ගිය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයෝ ය. අනෙක් විසල් වෘක්ෂය මහපොළොවට සිය අප්‍රමාණ යුතුකම ඉටුකොට වසර තුනකට පෙර අද වන් දිනෙක අප අතරින් වියෝවූ පණ්ඩිත් අමරදේවයෝ ය. මේ විසල් නිර්මාණකරුවන් දෙපළ සමඟ ම අවසන් පුවත්පත් සම්මුඛ සාකච්ඡා කිරීමට මට ලැබීම එක් අතකින් දෛවය මට දුන් දඬුවමකි; අනෙක් අතින් ජීවමාන ව සිටියදී ඔවුන්ට යුතුකම් ඉටු කිරීමට මට ලබාදුන් වරප්‍රසාදයකි.

සුනිල් සාන්ත, ආනන්ද සමරකෝන්, දේවාර් සූර්යසේන ආදී සංගීත නිර්මාණවේදීන් ආ මඟ සපැමිණි මේ නිර්මාණකරුවෝ ඔවුන් ආ මඟ වඩාත් අර්ථවත් කළෝ ය; අඩුපාඩු පූර්ණය කළෝය. ඉනික්බිති ඔවුන් සිය ගුරුතන්හි ලා සලකා ගුරුවරයකුට සිසුවකුගෙන් ලැබිය හැකි පූර්ණ කෘතගුණය දැක්වූවෝ ය. එබැවින් ඒ මඟ පෙන්වූවන් කෙතරම් භාග්‍ය සම්පන්න වන්නට ඇත්ද? ආචාර්ය කේමදාසයන් නික්ම යෑමෙන් 2008 වසරේදී මහපොළොව ප්‍රකම්පනය වූයේ යම්සේද, අද ඊටත් වඩා නිසරු බිමක් නිර්මාණය වී ඇති බැවින් අමරදේවයන් නික්ම යන සඳ මහ පොළොව ප්‍රකම්පනය වන්නේ ය.

එදා කේමදාසයන් මා හා පැවසුවේ මහ පොළොවේ නාදය නොහඳුනන්නකුට සංගීතය නොදැනෙන බව ය. මෙදා අමරදේවයන් පැවසුයේ සද්ජන ඇසුර සංගීතඥයකුට කෙතරම් ආශිර්වාදයක් ද කියා ය. එදා කේමදාසයෝ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ ගසක් යට තැබූ පුටුවක ඉඳගෙන අවට ගස් කඳන් අල්ලා බලන්නට මහපොළොවට අත තබා බලන්නට මට අැර­ියුම් කළ අයුරු මා පෙලඹවූ අයුරු අදටත් නෙතට කඳුළක් උපද්දවන්නේ ය. මීට වසර තුනකට පෙර සිය 88 වැනි ජන්මදිනය දා අමරදේවයන් සර්පිනාව වයමින් නෙක නාද රටා, රාග, තාල එකින් එක පැහැදිලි කරමින් ගී ගැයුවේ මතක් වන සෑම මොහොතක ම නෙතට කඳුළක් නංවමිනි. විමලා අමරදේවයන් ද, මා මිත්‍ර රංජන ද එතුමාට අනුප්‍රාණය සැපයූහ.

මේ සියල්ල ම හෘදය සංවේදී මතකයන් ව හදවත රිදුම් දෙනු දැනේ.

මේ මුළු මහත් විශ්වය ම එක ම නාදාවලියකි. අනන්ත අප්‍රමාණ නාද රටා අතරින් අප සොයා ගත යුත්තක් තිබේ. ඒ අප හදවතින් නැගෙන නාදයයි. ඒ අව්‍යාජ නාදය සොයා ගැනීමට මඟ පෙන්වූ මේ කලාකරුවෝ කිසිදිනෙක මේ වැටෙන වැහි බිඳුවකින් හෝ අප නඟන සුසුම් පොදකින් වෙන් වී නොයන්නෝ ය. ඔවුහු සදාකාලික වේ.

හෙළ වීණාවේ තත් සුසර කරගත නොහැකි සඳ ඒ තත් එකින් එක බිඳී යන සඳ මේ ලොව අමධුර නාදයන්ගේ රජදහනක් වේ ද? අමරදේවයන්ගේ වියෝවේ දුක්ඛයෙන් පෙළෙන මට මුහුණු ‍පොතේ සඳහන් ව තිබූ හදවත කකියවන කවියක් පාඨක සහෘදයකු එවා තිබිණි. සාලින්ද රණසිංහ නම් ඒ සහෘදයා එවූ මේ කවිය කියවා බලන්න. එදා මේ කව ලියූ කවියා එය ලියා තිබෙන්නේ මහගමසේකරයන්ට ය. මෙදා ඔහු අමරදේවයන් වෙනුවෙන් ද එය ම ලිවිය යුතු යැයි තීරණය කරන්න ඇත.

ඔය හදින් ගළපාපු පදවලට තත් තියා

නුඹෙ අඩුව නොදැනෙන්න තාලයට කිය කියා

කැලේ මැරුණාට තනි ගහක් වී හිටි එයා

අන්තිමේ ඒ ගහත් අද උදේ ම මිය ගියා

එදාට වඩා අද අපට එතුමන්ගේ අඩුව සිත පාරන්නේ ය. එතුමා ගිය මඟ ගිය බොහෝ දෙන එකතු ව සුන්දර ලොවක් මීට එපිටින් තනා ඇතැයි සිතෙන්නේ ඒ සුන්දර හෘදය සංවේදී කලාකරුවන් පිළිබඳ මතකය සෝබර වීම වැළැක්වීමට විනා සමනය කර ගන්නට නම් නොවේ.

ඡායාරූප - දයාන් විතාරණ

 

Comments