හෙළ මියැසිය රසාලිප්ත කළ ගාන්ධර්වයාණෝ | Page 2 | සිළුමිණ

හෙළ මියැසිය රසාලිප්ත කළ ගාන්ධර්වයාණෝ

හෙළ මියැසිය ගීත මාධුර්යයෙන් රසගැන්වූ මහා ගාන්ධර්වයාණන් වූ අමරදේවයන් සිය ජීවන ගීතාවලිය ගැයූ අයුරු විමසා බලන්නට සිතේ. 1927දෙසැම්බර් මස පස් වන දින මොරටු පුරවරයේ උපන් මේ මහා ගාන්ධර්වයාගේ බාල කාලය ගෙවෙන්නට වූයේ පියාගේ ආභාසය සමඟ සංගීතයට වූ නැඹුරුවත් සමඟිනි. දොන් ජිනෝරිස් පෙරේරා සහ මැගී වෙස්ලිනා මෙන්ඩිස් දෙපළගේ පවුලේ බාලම දරුවා වන්නේ අමරදේවයන් ය. පියාගේ බෞද්ධත්වය හා මවගේ කතෝලිකත්වය යන මහා සංස්කෘතික මිශ්‍රණයකින් හෙතෙම කුඩා කල සිට ආභාසය ලබන්නට විය. ඔහුගේ පියාගේ වෘත්තිය වූ වයිලීනය නිපදවීම සංගීතය කෙරෙහි ඔහුගේ ආසක්ත බව නිරායාසයෙන්ම වැඩි විය. තම මව ආගමික ගීතිකා ගයන විට වයලීනයේ තත් නිරායාසයෙන් හඬවමින් ඔහු සංගීතයේ නම් මහා ග්‍රන්ථයේ පරිච්ඡේදයක් ලියන්නට සැරසුණි. වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා වූ හෙතෙම පසු කලෙක ඩබ්ලිව් ඩී අමරදේව බවට පත් විය. අමරණීය ආත්මයක් ඇති යන අර්ථයෙන් ඔහුට මේ නම තබනු ලබන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසිනි.

අමරදේවයන් සිය අධ්‍යාපන ගමන ආරම්භ කළේ සද්ධර්මෝදය මිශ්‍ර පාසලෙනි. ඉන්පසුව හෙතෙම පාණදුර සුමංගල විද්‍යාලය කළුතර විද්‍යාලය, බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය යන පාසල් සියල්ලෙන්ම අධ­්‍යාපනය ලැබුවේය. අමරදේවයන්ට සිය සංගීත හැකියාව ප්‍රථමයෙන් විදහාපාන්නට හැකි වන්නේ අශෝකමාලා චිත්‍රපටයේ පසුබිම් සංගීතයට ප්‍රධාන වයලින් වාදකයා ලෙස එක් වීමෙනි.

ඔහු වයලින් වාදනයට යොමු වන විට අමරදේවයන්ගේ පියා ඔහුට වයලීනයක් සාදා දෙයි. පියා යටතේ වයලීන වාදනය හැදෑරිම අරඹයි. 1950 වර්ෂයේ දී ඉන්දියාවේ භාත්කණ්ඩේ සංගීත ආශ්‍රමයට ඇතුළත්ව සංගීතය පිළිබඳ විධිමත් හැදෑරීමක් හැදෑරීම් කරයි. සංගීතයේ විධිමත් ලෙස හැදෑරීමෙන් පසුව අමරදේවයෝ මෙරටට පැමිණ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා විදුලි සංස්ථාව හා සම්බන්ධ වෙති. ශ්‍රී ලාංකේය දේශීය සංගීතය තුළ පර්යේෂණ රාශියක් සිදු කිරීමට අමරදේවයන් ක්‍රියා කරන්නේ මෙහිදීය.

සරල ගීතය නිර්මාණය කිරීම සඳහා අමරදේවයන්ගෙන් ලැබුණු පිටුවහල විශාලය. වර්තමානයෙන් පවා රසික හද මනසෙහි රසඥතාව තමා වෙත නතු කර ගත් වික්ටර් රත්නායක, ටී එම් ජයරත්න, සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි වැනි ගායකයන්ට ඒ සඳහා පෙර මං සලකුණු සපයනු ලබන්නේ අමරදේවයන් විසිනි.

අශෝකමාලා චිත්‍රපටයේ වයලින් වාදකයා වීම නිසා සී.ටී. ප්‍රනාන්දුගේ ඇසුර ඔහුට හිමිවෙයි. ‘පීනමුකෝ කළුගඟේ’ ගීතය අමරදේවයන්ට රචනා කර දෙන්නේ ද ඔහුය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිත්‍ය ගායකයකු බවට පත්වීම අමරදේවයන්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස දැක්විය හැකිය. දකුණු ඉන්දියානු හා ද්‍රවිඩ සංගීත රටාව පිළිබඳව ද විවිධ අත්හදා බැලීම් හා පර්යේෂණ සිදු කළ අමරදේවයන් මහගම සේකරයන්ගේ පද රචනා විෂයෙහි සිදු කළ සංගීතමය සැරසිල්ල සුවිශේෂී වේ. එමෙන් ම නිවහල් ජාතියක් බවට පත්ව සිටි ශ්‍රී ලාංකිකයන් කෙරෙහි අපටම අනන්‍ය වූ සංගීතයක් ගොඩ නගා ගැනීමට අමරදේවයන් සිදුකළ මෙහෙය විශිෂ්ටය.

සිංහල සංගීතය පිළිබඳ සිදු කළ අත්හදා බැලීම්වලින් පසුව හෙළ ගීත සාහිත්‍යයට සුලලිත මධුර සහ අර්ථාන්විත ගීත විශාල ප්‍රමාණයක් අමරදේවයෝ තිළිණ කරන්නට වූහ. එහිලා ඔහු සතුව තිබූ සාහිත්‍ය ඥානය හා සංගීතමය ඥානය මනාව සුසංයෝග වූ බව කිව හැකිය. කෙසේ වෙතත් ගීත ගායනයෙන්, තනු නිර්මාණයෙන්, සංගීත අධ්‍යක්ෂණයෙන් වේදිකා නාට්‍ය කලාවටත් සිනමාවටත් අමරදේවයන්ගේ සංගීතමය සෙවණැල්ල නිබඳව ලැබිණි. කරදිය, නල දමයන්ති ආදී වේදිකා නාට­්‍යවලත් රන්මුතුදූව, අදට වැඩිය හෙට හොඳයි, සිකුරු තරුව, ගම් පෙරළිය, ගැටවරයෝ, ආදරයයි කරුණාවයි, දෙලොවක් අතර, වෙසතුරු සිරිත ආදී සිනමා නිර්මාණ කෙරෙහි ද අමරදේවයන්ගේ හරවත් රසබර සංගීත දායකත්වය නොඅඩුව ලැබුණි. අමරදේවයන්ගේ සංගීතමය හා කලාත්මක පරිඥානය උදෙසා ඔහුගේ ප්‍රතිභාන්විත නිර්මාණ ශක්තිය උදෙසා සම්මානයෙන් පිදුම් ලැබූ අවස්ථා ද බොහොමයකි. පිලිපීන රමොන් මග්සයිසායි සම්මානය, ඉන්දියානු පද්ම ශ්‍රී සම්මානය, ශ්‍රී ලංකාවේ කලා කීර්ති, ජනාධිපති සම්මානය ආදී සම්මාන රාශියකට ද පාත්‍ර වූ එතුමා අභාවප්‍රාප්ත වන තුරුම අඛණ්ඩව සිව්වසරක් ස්ලිම් නීල්සන් ජනතා සම්මාන තුළ ජනප්‍රිය ගායකයාට හිමි සම්මානය දිනා ගත්තේය.

ශ්‍රී ලාංකේය සංගීත අනන්‍යතාව විෂයයෙහි මහා බලයක් වූ අමරදේවයන්ගේ නිසඟ නිර්මාණ හැකියාව හා යුග යුග ගණන් සංගීතය බැබළවූ ඒ මහා පෞරුෂය සැබැවින්ම අමරණීය වේ. 2016 නොවැම්බර් මස 3 වන දින අමරදේවයන් සිය ජීවන ගීතය ගයා නිම කළේ 88වන වියේ දී ය. ඒ වන විට ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය හොබවමින් සිටියේය. හෙළයේ මහා ගාන්ධර්වයා මෙලොවින් සමුගෙන තෙවසරක් ගතවන මේ මොහොතේ අපේ සිත් තුළ ජනිත ඒකායන පැතුම නම් එතුමන්ට පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා යන පැතුමයි.

 

Comments