දීපාවලි සඳේ එළිය නොදැකම සුරලොව ගිය සුජිත් | සිළුමිණ

දීපාවලි සඳේ එළිය නොදැකම සුරලොව ගිය සුජිත්

2014 අප්‍රේ්ල් මාසයේ තමි­ල්නාඩු දරු­වන් තිදෙ­න­කුම නළ ළිංව­ලට වැටිලා

නළ ළිංව­ලට වැටෙන දරු­වන් බේරා­ගන්න රොබෝ අත­කුත් හදලා

 

දරු දුක තරම් දරාගත නොහෙන දුකක් මෙලොව තවත් නැත. ලේන කුලේ අප මහ බෝසතුන් පලක් නොවන බව දැනදැනත් වලිගය තෙමමින් ගොඩට ගසමින් දරුවන් බේරාගැනීමට මහ මුහුද සින්දන්නට වෙර දැරුවේද දරු දුක නිසාමය. ලොවේ කොතැනක වුව දරුවකු විපතට පත් වූ විට මුළු මහත් ලෝකයේම දරු දුක දන්නා මවුපියන්ගේ නෙත කඳුළක් උපදින්නේ එ් දරු කැක්කුම නිසාමය.

පසුගියදා මෙලොව හැර ගිය තමිල්නාඩුවේ තිරුචිරාපිල්ලි හි සුජිත් විල්සන් ගැන මේ අකුරු ලියවෙන්නේද ඒ නිසාමය.

කාගේ දරුවාත් දරුවාය. අඩි හයසියයක් ගැඹුරු, නිහඬ මර උගුලක් වුණු අනාරක්ෂිත පටු ළිඳ තුළට දරුවා වැටුණේ සවස් කාලයේ ක්‍රීඩා කරමින් සිටියදීය. ඒ සවස 5.45ටය. සුජිත් විල්සන් දුගී පවුලක දෙවැනි දරුවාය. ළිඳට ඇද වැටෙන විට යන්තම් ජීවත්ව සිටියේ අවුරුදු දෙකක් පමණය. අවුරුදු දෙකක් යනු දැනුම් තේරුම් ඇති වයසක් නොවේය. හරි නම් මවගේ ඇස් සීමාවෙන් පිට යා යුතු නැතිය. එහෙත් සුජිත් සෙසු දරුවන් සමඟ සෙල්ලම් කිරීමට මේ අනාරක්ෂිත ළිඳ පිහිටා තිබූ භූමිය වෙත ගියේය.

තමිල්නාඩුවේ එවැනි සිදු වීම් මහා අමුත්තක් නොවන්නේය. දරිද්‍රතාව යනු තමිල්නාඩුවට අමුතු දෙයක් නොවේය. ඡායාරූපවල දැක්වෙන අන්දමට සුජිත් මේ වසර දෙක ජීවත් වී සිටියේද කුඩා ගෙපැළකය. ඇතැම් විට මවුපියන් දෙදෙනාම ජීවිකාව වෙනුවෙන් වෙහෙසෙනවා විය හැකිය. කෙසේ වුවද එක්වරම ළිඳ තුළට වැටෙන සුජිත් නතර වන්නේ මහපොළොව මතුපිට සිට අඩි 29ක් ගැඹුරේය.

පුංචි පැටියාට බය හිතෙන්නට ඇත. ළිං කට කෙතරම් කුඩා වුවද මේ කුඩාවා ඒ ළිං කටටත් වඩා කුඩා වූයේ කරුමයට විය යුතුය. සුජිත් ගැන නිසි අවධානය ලබා නොදුන් මවුපියන්ට හෝ ඔහු සමඟ සෙල්ලම් කළ යහළුවන්ට දොස් පවරා වැඩක් නැත. සැබවින්ම දොස් පැවරිය යුතු නම් ඊට නියම සුදුස්සා තමිල්නාඩු රජයය. ඉන්දීය මධ්‍යම රජයය.

සවස 5.45ට ළිඳ තුළට ඇද වැටෙන සුජිත් බේරාගැනීමට උත්සාහ දැරීම ප්‍රාථමික ලෙස ආරම්භ කෙරෙන්නේ රාත්‍රී 8ට පමණය. එතෙක් වේලා ඔහු හුදකලාව ළිඳ ඇතුළේය. ළිඳ යැයි කිවුවාට සැබවින්ම එය මහ පොළොවේ ඉතා ගැඹුරේ සිට ජලය ලබාගත හැකි අන්දමේ නළ ළිඳකි. පුංචි සුජිත් එහි අඩමානයට හිර වී සිටියේ ඔහුගේ දෑත හෝ පහළට හෙළාගත නොහැකි තරම් කුඩා ඉඩක රැඳෙමිනි. ඇතැම් විට මේ පටු ගැඹුරු ළිං කටවල් වසා දැමීමට කිසිවකුත් අවධානයක් නොදක්වන්නට ඇත්තේ එහි ඇති පටු බව නිසාම මිනිසකු එතුළට ඇද වැටීමේ ප්‍රතිශතය අවම බැවින් විය හැකිය. එහෙත් සුජිත් වැනි කුඩාවුන්ගේ ආරක්ෂාව අමතක කර දැමීම සම්බන්ධයෙන් වගකීමෙන් බැහැර වීමට කිසිවකුට හැකියාවක් නැත.

දකුණු ඉන්දියාවේ වගාවන්ට ජලය ලබාගැනීම සඳහා මෙවැනි ඉතා ගැඹුරු නළ ළිං හෑරීම බහුල වශයෙන් සිදු කෙරෙයි. පසුව භාවිතයෙන් ඉවත් කෙරෙන එවැනි නළ ළිං බහුතරයක් ආවරණය කිරීමෙන් තොරව පවතින්නේ ඔවුන්ගේම දරුවන්ට මර උගුල් බවට පත් වෙමිනි. පුංචි සුජිත් ඇද වැටෙන්නනේද එවැනි මර උගුලකටය.

රාත්‍රී 8 සිට ආරම්භ කෙරෙන මුදාගැනීමේ මෙහෙයුම් අවසන් වන්නේ එයින් දින තුනකට පසු සුජිත් මිය ගොස් ඇති බව තහවුරු වීමෙන් පසුවය. ප්‍රථමයෙන්ම සාමාන්‍ය උපක්‍රම යොදමින් ළිඳ අභ්‍යන්තරයට කැණ දරුවා බේරාගැනීම කෙරෙහි අවධානය යොමු වුවද එයින් දරුවාට හානියක් වෙතැයි තක්සේරු වූයෙන් විකල්ප ක්‍රම භාවිත කිරීමට මුදාගැනීමේ කණ්ඩායම්වලට සිදු විය. ඒ සමඟම සුජිත් බේරා ගැනීමේ මෙහෙයුම ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමත් සමඟ වඩාත් වැඩි අවධානයක් ලබා දෙමින්, යන්ත්‍ර සුත්‍ර සමඟ දියුණු තාක්ෂණයද යෙදවීමට තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව උත්සාහ දැරීය. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තමිල්නාඩු ප්‍රාන්ත සෞඛ්‍ය සහ පවුල් සුබසාධන ඇමතිවරයා පවසා තිබුණේ තමන් සුජිත් බේරාගැනීමේ මෙහෙයුම ආරම්භ කළ දින රාත්‍රියේ සිට එම භූමියෙන් පිටතට නොගිය බවයි. කෙසේ වුවද මුළු මහත් ලෝකයේම අවධානය යොමු වූ මේ අවස්ථාවේදී තම කීර්තිනාමය රැකගැනීමට තමිල්නාඩු දේශපාලනඥයන් උපරිම උත්සාහ දරන බවක් නම් පෙනී ගියේය. පසුව ප්‍රාන්ත දේශපාලනඥයන් පවසා තිබුණේ තමිල්නාඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ වන ද්‍රවිඩ මුන්නේත්‍රකළහම් සහ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍රකළහම් පක්ෂ දෙකේම දේශපාලනඥයන් එක්ව දරුවා බේරාගැනීම වෙනුවෙන් යාතිකා කළ බවයි.

කෙසේ වුවද දීපවාලී සඳ නැඟ එන විටත් බැස යන විටත් පුංචි සුජිත් සිටියේ ළිං කුහරය තුළ මරුවා සමඟ සටන් වදිමිනි. දරුවාට ඔහු ඇද වැටුණු ළිං කුහරයෙන් පහළට දමන ලද බටයක් මඟින් ඔක්සිජන් ලබා දුන් අතර මවගේ කටහඬද අසන්නට සලස්වන ලදී. ඒ අතරතුර ළිං කුහරයට සමාන්තරව වෙනත් කුහරයක් සෑරීම ආරම්භ කරනු ලැබුවේ ඒ ඔස්සේ ගොස් හරස් කැණීමක් කර දරුවා බේරා ගැනීමටය. ඒ උත්සාහයේදී පුංචි සුජිත් සිර වී සිටි තැනින් යළිත් පහළට ඇද වැටෙන්නට වූයේය. මෙවර ඔහු ජීවිතයෙන් තවත් ඈත් වෙමින් නතර වූයේ අඩි 88ක අභ්‍යන්තරයේය. ජීවත් වීම පිළිබඳ අපේක්ෂා සුජිත්ගෙන් ගිලිහෙන්නට වූයේ ඒ සමඟිනි. මීට පෙර තමිල්නාඩුවේම මේ අන්දමින් නළ ළිං තුළට ඇද වැටුණු දරුවන් අඩි 30 - 40 සීමාවේදී බේරාගෙන තිබුණද අඩි 88ක් යනු මුදාගැනීමේ කණ්ඩායම දුර්මුඛ කරන්නක් විය. කෙසේ වුවද ඔවුන් උත්සාහය අතහැරියේ නැත.

මේ වන විට ලොව පුරා සුජිත් වෙනුවෙන් බලාපොරොත්තු දල්වා ගත් මිනිසුන් බිහි වන්නට විය. සුජිත්ගේ ජීවිතය වෙනුවෙන් දෙවියන් යදින මිනිසුන් තමිල්නාඩුවේ මෙන්ම ඉන් කිලෝමීටර් දහස් ගණන් එපිටින් ද සිටිනු දැකගත හැකි විය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද සුජිත් කෙරෙහි අවධානය දැක්වූ බව සඳහන් වුවද දරුවා වෙනුවෙන් කිසියම් සැලකිය යුතු මෙහෙයක් කිරීමට ඔහුට හැකි වූයේ යැයි සඳහනක් නැත.

ඉන්දියාව යනු දියුණු තාක්ෂණයෙන් හීන රටක් නොවේ. එහෙත් තමිල්නාඩුව නම් තමිල්නාඩුවමය. අතිශයින් දරිද්‍ර ජනතාවක් වෙසෙන, දවසේ වැඩිහරියක් කුසගින්නේ පසු වන දරුවන් බහුල, ණය බරින් පීඩිත ජනතාවක් සහිත තමිල්නාඩුව පවතින්නේ සමස්ත ඉන්දියාවේ දීප්තියෙන් වැසී ගොසිනි. එහෙත් මෙහිදී තමිල්නාඩු ප්‍රාන්තය සෙසු රටවලින් තබා ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවලින් හෝ දරුවා බේරාගැනීම සම්බන්ධයෙන් උපකාර ලබාගත් බවක් සඳහන් වන්නේ නැත. එසේ වුවා නම් ඇතැම් විට පුංචි සුජිත්ට යළි මවගේ ඇකයේ උණුසුම ලබන්නට හැකි වන්නට තිබිණි. මීට වසර කිහිපයකට පෙර තායිලන්තයේ උමඟක් තුළ සිර වූ දරුවන් දොළොස් දෙනා බේරාගන්නට මුළු ලෝකයම එක් වූ අයුරු තමිල්නාඩුවට අමතක වීම කනගාටුවට කරුණකි.

දීපවාලී සඳ නැඟ එන විටත් පුංචි සුජිත්ගේ කෙඳිරිලි හඬ සමඟ ඔහු හුස්ම ගන්නා ශබ්දයද මුදාගැනීමේ කණ්ඩායම් විසින් ශ්‍රවණය කරමින් සිටියද දීපවාලී සඳ බැස යන විට සුජිත්ගේ ආශ්වාස ප්‍රශ්වාසය තවදුරටත් දැනුණේ නැත. එදින රාත්‍රී 10 පමණ වන විට මුදාගැනීමේ මෙහෙයුම් නැවතී නොතිබුණද දරුවාගේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු බිඳ වැටෙන බව සාක්ෂාත් විය. පසුදාට එළි වන යාමයේදී මුදාගැනීමේ සේවකයන්ගේ නෙත් කෙවෙනි බර කරමින් පුංචි සුජිත් රැඳී සිට ළිං කුහරයෙන් ඔහුගේ සිරුර නරක් වීමෙන් නැඟෙන දුර්ගන්ධය දැනෙන්නට විය.

පුරා දින දෙකකට ආසන්න කාලයක් මවු උණුසුමෙන් තොරව, වතුර උගුරක් හෝ නැතිව, බියෙන් පීඩිතව ඔහු විඳි වේදනා එලෙස නිම විය. ඒ දක්වා එකසේ දහදිය වැගිරූ මුදාගැනීමේ සේවකයෝ 550 දෙනෙක් තමන් වැගිරූ දහදිය අපතේ ගිය බැවින් දුක් වූහ. සඳු දින සවස වන විට ඔවුහු සුජිත් රැඳී සිටි ස්ථානයට ළඟා වුවද තවදුරටත් පොඩිත්තාගේ මුවේ කිරි සිනා දක්නට නොවීය.

සඳුදා සවස් කාලයේදී යළි හිරු එළිය සහිත පොළොව මතුපිටට සිරුර ගෙන එන විට සුජිත් පුරා දින තුනක් පොළොව අභ්‍යන්තරයේ හිරවී සිටියේය. මරණ පරීක්ෂණයෙන් පසුව ඉතා කුඩා පෙට්ටියක තැන්පත් කළ පොඩිත්තාගේ සිරුර යළිත් මහපොළොව යට තැන්පත් කෙරුණි. එහෙත් මෙවර නම් අඩි 88ක් තරම් ගැඹුරේ නොව අඩි 6ක් ගැඹුරේ ය. සුජිත් වෙනුවෙන් කඳුළු සැලුවේ තමිල්නාඩුව හෝ ඉන්දියාව පමණක් නොවේය. අපේ රටේද කාර්යාල, පාසල් මෙන්ම නිවෙස්වලද සුජිත්ගේ ජීවිතය වෙනුවෙන් හදවත් උණුවූ මිනිසුන්ගේ ප්‍රාර්ථනා සුලබ විය. ඔහු මියගිය පසු ලෝකය පුරා බොහෝ දෙනෙකුගේ නෙත් අග කඳුළු විය. මේ පුංචි පොඩිත්තා මරණයත් සමඟ මුළු ලෝකයේම ආදරය දිනාගෙන සිටියේය.

කෙසේ වුවද මෙහෙයම් කටයුතු සම්බන්ධයෙන් චෝදනා ද එල්ල වන්නට වූයේ එවා විධිමත් ලෙස සිදු නොවූ බව පවසමිනි. හිටපු ඉන්දීය ජනාධිපති අබ්දුල් කලාම්ගේ උපදේශකයකු වන පොන්රාජ් පවසා තිබුණේ මුදාගැනීමේ කටයුතු කිසිවිටෙකත් විද්‍යාත්මක ප්‍රවේශයක් යටතේ සිදු නොවුණු බවයි. එමෙන්ම මුල සිටම තම හැකියාවන් තක්සේරු කරමින් ආධාර ලබා නොගැනීමද දෝෂයක් විය. වරින් වර වැස්සෙන්ද මෙහෙයුම් කටයුතුවලට බාධා වූ බව සඳහන්ය. කෙසේ වුවද පුංචි සුජිත් මරණයෙන් පසු පොළොවේ අඳුරු අාගාධයට නොව ආලෝකවත්ව බබළන දෙව්ලොවට පහසුවෙන් යන්නට ඇත.

එහෙත් අවධානය යොමු කළ යුතු වැදගත්ම කරුණ වන්නේ සුජිත්ට මරණය දක්වා දිගු වූ අතිශය කටුක අත්දැකීම ලබා දුන් ඒ බිහිසුණු නළ ළිං රාශියක් අදටත් තමිල්නාඩුව පුරා ඉතා අනාරක්ෂිතව පැවතීමය. අනෙක් අතට ඉතිහාසය විමසා බලන විට පෙනී යන්නේ එලෙස ඉතා ගැඹුරු, පටු ළිං කුහරයන්ට ඇද වැටී මිය ගිය පළමු වැනියා සුජිත් නොවන බවයි.

තමිල්නාඩු වාර්තාවකට අනුව ගතවූ වසර පහළොව ඇතුළත අවම වශයෙන් කුඩා දරුවන් 15ක් පමණ අනාරක්ෂිත නළ ළිං තුළට ඇද වැටී මිය ගොස් තිබේ. තොරතුරු විමසා බැලීමේදී මෑත කාලීනව සිදු වූ එවැනි සිදුවීම් රැසක තොරතුරු වාර්තා වෙයි.

2013 වසරේ තමිල්නාඩුවේ, තිරුවන්නාමලෙයි දිස්ත්‍රික්කයේ පුලාවන්පදි ගමේ වයස අවුරුදු 6ක දැරියක් එවැනි අනාරක්ෂිත, අත්හැරදමන ලද නළ ළිඳකට වැටී මියගොස් ඇත.

2014 වසරේ අප්‍රේල් මාසයේදී වයස අවුරුදු තුනක් වූ ආර් මධුමිතා දැරියද අඩි 500ක් ගැඹුරු නළ ළිඳකට ඇද වැටී අඩි 30ක් ගැඹුරේ හිර වන්නීය. ඇය ඇද වැටෙන්නේ වල්ලිපුරම්හි ස්වකීය පියාගේ ගොවිපොළේ වූ නළ ළිඳටය. එය පොලිතින් කොළයකින් ආවරණය කර තිබූ අතර අය සෙල්ලම් කරමින් සිටින විට වැරදීමකින් ළිඳ මතට අඩිය තබා තිබේ. පැය 19ක මෙහෙයුමකින් පසු දැරිය ගොඩගත් නමුත් රෝහලේදී ඇය ජීවිතක්ෂයට පත් වූවාය.

ඒ අවාසනාවන්ත සිදු වීමෙන් දින කිහිපයක් ඉක්ම යත්ම තමිල්නාඩුවේ තිරුනෙල්වේලි දිස්ත්‍රික්කයේ කුතලාපුරි ගමේ අවුරුදු හතරක් වූ හර්ෂන්ද නළ ළිඳකට ඇද වැටුණේය. එහෙත් වඩා වාසනාවන්ත වූ හර්ෂන් පැය 5කට පසු බේරාගනු ලැබීය. තවමත් 2014 අප්‍රේල් මාසය ගෙවී ගොස් නැත. තමිල්නාඩුවේම තිරුවන්නාමලෙයි දිස්ත්‍රික්කයේ කිදම්පලායම් ගමේ මාස 18ක් වයසැති සුජිත් නම් වූ දරුවාද නළ ළිඳකට ඇද වැටුණේය. පැය 24ක මෙහෙයුමකින් පසු ගොඩට ගනු ලැබුවේ ඔහුගේ සිරුරය. ඔහු ඇද වැටුණු ළිඳ අඩි 200ක් ගැඹුරු වූ අතර ඔහු සිරවී සිටියේ අඩි 47ක් ගැඹුරේය. ඒ අනුව 2014 අප්‍රේල් මාසයේදී පමණක් දරුවන් ළිංවලට ඇද වැටීමේ සිදු වීම් තුනක් වාර්තා වූයේය.

මේ අතර මධුරෙයි නගරයේ වැසියකු වන එම්. මනිගන්ධන් ළිංවලට ඇද වැටෙන දරුවන් මුදාගැනීම වෙනුවෙන්ම රොබෝ අතක් නිර්මාණය කළේය. එය හඳුන්වනු ලැබුවේ ‘නළ ළිං රොබෝ‘ යනුවෙන්ය. ඔහු මේ උත්සාහය දරා තිබුණේ 2003දී මෙවැනිම නළ ළිඳකට ඇද වැටුණු ඔහුගේ කුඩා පුත්‍රයා බේරා ගැනීමට කළ අසීරු උත්සාහය දැකීමෙන් පසුවය.

එමෙන්ම 2014 අප්‍රේල් නිරුපද්‍රැතව බේරා ගැනුණු හර්ෂන්ට අමතරව 2004 වසරේ වින්ඩිගල් දිස්ත්‍රික්කයෙන් සහ 2014 වසරේ ක්‍රිෂ්ණගිරි දිස්ත්‍රික්කයෙන්ද ජීවත් වීමේ වාසනාව ලත් තවත් දරුවන් දෙදෙනෙක් මුදාගත් බවට වාර්තා තිබේ. එහෙත් එලෙස ළිංවලට ඇදවැටුණු බොහෝ දරුවන් ඔවුන් මෙන් වාසනාවන්ත වූයේ නැත.

මේ හේතුවෙන්ම 2010දී භාවිතයට නොගන්නා නළ ළිං නිශ්චිතව ශක්තිමත් ආවරණ යොදා වසා දැමිය යුතු බවට ඉන්දීය අධිකරණයක් විසින් නියෝගයක්ද නිකුත් කරනු ලැබීය. එහෙත් පැනවූ නීති නියෝග කිසිවක් පුංචි සුජිත්ගේ ජීවිතය රැකදීමට සමත් නොවීය. එමෙන්ම අදටත් තමිල්නාඩු භූමියේ ඒ මේ අද දිවයමින් කෙළිදෙළෙන් පසුවන දහස් ගණනක් සුජිත්ලාගේ ජීවිතද ආරක්ෂිත යැයි පැවසිය නොහැකිය. එබැවින්ම මේ අනාරක්ෂිත මර උගුල් වසා දැමීමට ඉන්දීය රජයේ දැඩි අවධානය යොමු විය යුතුමය. ඒ අතරම තම කුඩා කිරිකැටියන්ගේ ආරක්ෂාව සැලසීමට සියලු මවුපියන් තරයේ සිතට ගත යුතුමය.

Comments