තුඟු මනුසත් ගු ණැති විරු බල නැඟූ සෙන්පති | සිළුමිණ

තුඟු මනුසත් ගු ණැති විරු බල නැඟූ සෙන්පති

වසර 30 ක බිහිසුණූ ත්‍රස්තවාදයක් අවසන් කර ගෙවී ඇත්තේ එක් දශකයක් පමණි. එම දශකය තුළ බියෙන් සැකයෙන් තොරව මෙම රම්‍ය දිවයිනේ ඕනෑම අඩවියකට පිවිස නිරුපද්‍රැතව ආපසු නි‍ෙවසට ඒමේ හැකියාව අපි ලදිමු. එම නිදහස ඉබේ ලැබුණක් නොවේ. එය දසදහස් ගණනක් රණවිරුවන් අහිමි කර ගනිමින් විසිපන්දහසකට අධික සෙබළුන්, නිලධාරීන් ආබාධිත කරමින් වසර 30ක් මුළුල්ලේ කළ කැපවීමක ප්‍රතිඵලයකි.

මෙම කැපවීම් කළ, බිහිසුණූ සංග්‍රාමයන්ට මුහුණට මුහුණ දී සටන් කළ සොල්දාදුවෝ , සෙනවියෝ, සෙන්පතියෝ සිය සේවා කාලය අවසන් කරමින් විශ්‍රාම ගන්නා වකවානුවට එළැඹී සිටිති. සමහරු දැනටමත් විශ්‍රාම ගොසිනි. පසුගියදා එවැනි විරෝධාර සෙන්පතියකු වූ විශිෂ්ට මිනිසෙකු වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් කුමුදු දමයන්ත පෙරේරා විශ්‍රාම ගත්තේය.

මහනුවර කිංස්වුඩ් විදුහලේ ආදි ශිෂ්‍යයකු වූ කුමුදු පෙරේරා වර්ෂ 1984 දී යුද හමුදාවට බැඳී දියතලාව යුද හමුදා ඇකඩමියට ඇතුළවී පුහුණුව අවසන් කර 1986 වර්ෂයේදී දෙවන ලුතිනන්වරයකු ලෙස කොමිසන් ලබා සිංහ රෙජිමේන්තුවට එක්විය. දෙවන ලුතිනන්වරයකු ලෙසින් සංග්‍රාම භූමියට අවතීර්ණ වූ ඔහු තිස්වසරක යුද සමයේ සළකුණු වූ විශේෂිත මෙහෙයුම් රාශියකටම සිය දායකත්වය ලබා දුන්නේය. යාපනය ටෙලිකොම් මධ්‍යස්ථානය සහ පූනේ පොලිස් ස්ථානය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීම, කුමුදු පෙරේරාගේ කැපී පෙනෙන දායකත්ව මෙහෙයුම්ය .

වඩමාරච්චි, ජයශක්ති, බලවේගය, අග්නිකීල, අකුණු පහර, රණඝෝෂා ආදී සංග්‍රාම ක්‍රියාවිතයන්හි දී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමඟ සටනේ නිරත වූ කුමුදු පෙරේරා එම බිහිසුණු සංග්‍රමයන්හි දී ත්‍රස්තවාදීන්ගේ මෝටාර් ප්‍රහාරයකට සහ ස්නයිපර් ප්‍රහාරයකට ගොදුරු වී දෙවතාවක්ම තුවාල ලැබීය. යුද සමයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ඉතා උච්චව පැවති මුලතිව්, මන්නාරම, මඩු, කිලිනොච්චි සහ නගර්කෝවිල් ආදී එල්ටීටීඊ අණසක බලවත්ව පැවති ප්‍රදේශවල වසර විසි දෙකක් සේවය කළ කුමුදු පෙරේරා රණවික්‍රම සහ රණශූර පදක්කම් දෙවතාව බැගින් සහ උත්තම සේවා පදක්කම සහ විශිෂ්ට සේවා විභූෂණ යන පදක්කම් වලින් පිදුම් ලබා සම්මානනයට පත් අභීත සෙනෙවියෙකි.

කුමුදු පෙරේරාය දියතලාව යුද හමුදා ඇකඩමියට සිංහ රෙජිමේන්තුවෙන් පත්වූ ප්‍රථම කොමඩාන්ට්වරයා ලෙස සිංහ රෙජිමේන්තු ඉතිහාසයට එක්වෙයි. 55, 59, 22 යන සේනාංකයන්හි සේනාවිධායක ධූරය දැරූ කුමුදු පෙරේරා 51 සේනාංකයේ දෙවතාවක්ම සේනා විධායක ධූරය දරමින් සේනා විධායක ධූරය පස් වතාවක් උසුලන ලද සෙන්පතියෙකු ලෙස සටහන් තබා ඇත. යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති ධූරය සහ වන්නි ආඥාපති ධූරය එකවර හොබවන ලද ඔහු මධ්‍යම පළාතේ ආඥාපති ධූරයද හොබවන ලදී. විශ්‍රාම ගන්නා විට කුමුදු පෙරේරා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වගකීම් උසුලමින් සිටියේය.

රණශූරත්වයට අමතරව නිර්මාණාත්මක හැකියාවෙන්ද පිරිපුන් කුමුදු පෙරේරා යාපනය සරවනමුත්තු වලව්ව ප්‍රතිසංස්කරණ කටයුතු වලදී ප්‍රතිසංස්කරණ සැලසුම් කටයුතු හරහා තම සැඟවුනු කුසලතා විදහා දැක්වීය. එසේම විල්පත්තු වනාන්තරය සුරකිනු වස් නැවත රුක් රෝපණය කිරීමේ සංකල්පනාවේ හිමිකරු වූ හෙතෙම ඒ කටයුත්තේදී පුරෝගාමී මෙහෙවරක නිරත විය. ඉංග්‍රීසි සහ සිංහල භාෂා හැසිරවීමේ මනා පරිචයක් කුමුදු පෙරේරා සතුවිය. කුමුදු පෙරේරා දෙස් විදෙස් සමුළු ගණනාවකටම යුධ හමුදාව නියෝජනය කරමින් සහභාගි වූයේය.

බිහිසුණු යුද්ධයකට මැදිව සිටි සාමාන්‍ය අහිංසක වැසියන්ගේ ජීවිතය මේ සෙන්පතියාව කම්පනය කළේය. උතුරුකරයේ වාසය කරන තමිල් අරුසම් නැමති දරුවාගේ කැපකරු පියාණන් ඔහුය. සිවිල් මිනිසුන්ගේත්, රට වෙනුවෙන් ජීවිතය කැප කළ සොල්දාදුවන්ගේත් යහපත සහ පහසුව වෙනුවෙන් තම නිළ බලයෙන් කළ හැකි උපරිමය කිරීමට ඔහු සෑම විටම වෙහෙස විය.

මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජනරාල් විජය විමලරත්න, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආදී ජ්‍යෙෂ්ඨයින්ගේ මාර්ගෝපදේශකත්වය ලබන්නටද කුමුදු පෙරේරාට අවස්ථාව ලැබුණි. මේජර් ජනරාල් චාගී ගාල්ලගේ, මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි, මේජර් ජනරාල් නන්දන උඩවත්ත සහ වත්මන් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඔහුගේ සමකාලීනයෝ වූහ.

වසර තිස්හයක හමුදා ජීවිතය තුළ ඉතා නිහඬ චරිතයක් වූ මේජර් ජනරාල් කුමුදු පෙරේරා සිය සේවය ඉතාම ගෞරවනීයව සහ පවිත්‍රව ඉටු කරමින් තම කණිෂ්ට නිලධාරීන්ට ආදර්ශයක් සැපයූ සෙන්පතියෙකි. මෙබඳු මිනිසුන් නිර්මාණය කරගැනීම රටකට පහසු කටයුත්තක් නොවේ. ඔවුන් සේවයෙන් සමුගන්නා විට පහසුවෙන් පිරවිය නොහැකි හිදැසක් පෙනෙන්නේ එබැවිනි. ශිරෝමී මාසකෝරාල හා විවාහ වී සිටින කුමුදු පෙරේරා දෙදරු පියෙකි.

Comments