රජ ගෙය හැඩ කරන ප්‍රභූ උද්‍යා­නය ගෝර්ඩන් උයන | Page 2 | සිළුමිණ

රජ ගෙය හැඩ කරන ප්‍රභූ උද්‍යා­නය ගෝර්ඩන් උයන

ආචාර්ය කුසු­ම්සිරි කොඩි­තු­වක්කු කෞතු­කා­ගාර පාලක, ජේත­වන කෞතු­කා­ගා­රය, බාහිර කථි­කා­චාර්ය, පුරා­විද්‍යා හා උරුම කළ­ම­නා­ක­රණ අධ්‍ය­යන අංශය, ශ්‍රී ලංකා රජ­රට විශ්ව­වි­ද්‍යා­ලය මිහි­න්තලේ

 

කොළඹ නග­රයේ ඓති­හා­සික ස්ථාන අත­රින් ඉතා වැද­ගත් ස්ථාන­යක් ලෙස, කොළඹ කොටුවේ ගෝර්ඩන් උද්‍යා­නය (Gordan Garden) හැඳි­න්විය හැකිය. අතී­තයේ රජ ගෙදර නමින් හැඳින්වූ වර්ත­මාන ජනා­ධි­පති මන්දි­ර­යට යාව පිහිටි බැවින්, එය මහ­ජ­න­යාට සමීප ස්ථාන­යක් නොවේ. උද්‍යා­න­යක් බවට පත් වූයේ බ්‍රිතාන්‍ය යුග­යේදී වුවද එම ස්ථානයේ ඉති­හා­සය පෘතු­ගීසී යුගය දක්වා ඈතට දිව­ය­න්නකි. ඒ බව සනාථ කෙරෙන පෘතු­ගීසී රාජ්‍ය ලාංඡ­නය සහිත ගලක් අදද එම උද්‍යා­නයේ දැකිය හැකිය. එය කොළඹ නග­රයේ ඇති පැර­ණිම පෘතු­ගීසි ස්මාර­කය ලෙස හැඳි­න්විය හැකිය.

 

මුලින්ම එම ස්ථානයේ ශාන්ත ෆැන්සිස් මුනි­ඳුන්ට කැප කරන ලද දේව­ස්ථා­න­යක් ඉදි කළ පෘතු­ගී­සීහූ, එය ඔවුන්ගේ සුසාන භූමි­යක් ලෙසද ප්‍රයෝ­ජ­න­යට ගත්හ. පෘතු­ගී­සීන්ගේ පැමි­ණී­මෙන් පසුව කතෝ­ලික ආගම වැල­ඳ­ගත් (දොන් ජුවන්) ධර්ම­පාල රජු (1551-1597) මිය ගිය පසු ඔහුගේ දේහය මිහි­දන් කරන ලද්දේ ද මෙහි ය. කෙසේ වෙතත් 1656 දී කොළඹ කොටුව, ලන්දේ­සීන් යට­තට පත් වූ අතර එතැන් සිට මෙය පෙර­දිග ඉන්දීය සමා­ගමේ (V.O.C - de VereenigdeOostlndisheComÉgnie/the United East India Company) නිල දේව­ස්ථා­නය හා සුසාන භූමිය බවට පත් විය.

1749 දී ලන්දේ­සීන් ජූලි­යස් වැල­න්ට­යින් ස්මයින් ෆන් ගොලෙන්ස් (JulliusVelentyn stein van Gollennesse) ආණ්ඩු­කා­ර­ව­ර­යාගේ මූලි­ක­ත්ව­යෙන් ආදු­රුප්පු වීදියේ පල්ලිය Wolvendhal Church ඉදි කිරී­මෙන් අන­තු­රුව එම දේව­ස්ථා­නය අත්හැර දැමූ අතර ක්‍රම­යෙන් එය නට­ඹුන් බවට පත්ව­න්නට විය.

ඒ අනුව 1813 දී බ්‍රිතාන්‍ය පාල­ක­යන් විසින් එය කඩා ඉවත් කරන ලද අතර එහි තිබූ භාණ්ඩ හා සොහොන් ගල්, ආදු­රුප්පු වීදියේ පල්ලියේ තැන්පත් කරන ලදී. ඒ අතර ඕලන්ද ආණ්ඩු­කා­ර­ව­රුන් පස් දෙනෙ­කුගේ සොහොන් ගල් ද විය. පැර­ණිම සොහොන් ගල 1607 වර්ෂ­යට අයත් වේ. එලෙස ශාන්ත ෆැන්සිස් දේව­ස්ථා­නයේ සිට ආදු­රුප්පු වීදියේ පල්ලි­යට රැගෙන ආ සොහොන් ගල් අතර ධර්ම­පාල රජුගේ සොහොන් ගලද තිබී ඇති අතර එය 1832 දී ඉන් ඉවත් කොට කොටුව ශාන්ත පීතර දේව­ස්ථා­න­යට ගෙන ගොස් එහි තැන්පත් කර ඇති බව පෙරේරා හා රයි­මන් a(Perera/Reiman - Report on the Historical Manuscript Commission at Wolvendhaal 1939) සඳ­හන් කරයි.

ශාන්ත ෆැන්සිස් දේව­ස්ථා­නයේ අව­ශේෂ අතර තිබී ආදු­රුප්පු වීදියේ පල්ලි­යට රැගෙන ගොස් ඇති භාණ්ඩ අතර බෞතිස්ම කිරීම සඳහා ප්‍රයෝ­ජ­න­යට ගන්නා ජල බඳු­නක් (baptismal font) ද වෙයි. එය ඕලන්ද ආණ්ඩු­කා­ර­ව­ර­යෙකු වූ රයි­ක්ලොෆ් ෆන් හුන්ස් (Rijckloff van Goens) විසින් සිය දිය­ණිය බෞති­ස්මය ලැබීම නිමි­ත්තෙන් ප්‍රදා­නය කරන ලද්දකි. ඒ බව එම බඳු­නෙහි ඕලන්ද බසින් මෙසේ සඳ­හන් කර තිබේ.

Door Rijckloff van Goens en Esther de SolommeZyhehuysurouw is ditbeckenaen de ColomboseKerkvereet tot gedagteris van haerdogter Esther Ceylonia van Goens die deerstehieruit den H Doop is ingelijft is geboren den xiv en gedoopt den xvii junyAo MDCLXVII wege Ropy 206 ¼ ඩෙකර් (Dekker The Dutch in Ceylon) විසින් ඉංග්‍රීසි බසට පරි­ව­ර්ත­නය කර ඇති එම ලේඛ­න­යෙහි සිංහල අද­හස මෙසේය.

මේ බඳුන රයි­ක්ලොෆ් ෆන් හුන්ස් හා සිය බිරිය වූ එස්තර් ද සොල­මන් (Esther de Solomne) විසින් ඔවුන්ගේ දිය­ණිය වූ එස්තර් සිලෝ­නියා වැන් ගොන්ස් (Esther Ceylonia van Goens) ශුද්ධ වූ බෞති­ස්මය ලැබීම නිමි­ත්තෙන් ප්‍රදා­නය කරන ලදී. 14 වැනි දින උපත ලැබූ ඇය බෞතිස්ම කරන ලද්දේ 1667 ජූනි 17 වෙනි දිනදී ය. මෙහි (බඳුනේ) බර (වටි­නා­කම) ග්‍රෑම් 206 ¼ කි.

1813 දී ශාන්ත ෆ්‍රැන්සිස් දේව­ස්ථා­නය කඩා ඉවත් කිරී­මෙන් වසර කිහි­ප­ය­කට පසුව එම භූමිය උද්‍යා­න­යක් බවට පරි­ව­ර්ත­නය කොට තිබේ. එහෙත් ජල­මල් වැනි උද්‍යාන අංග එක් කොට එය වැඩි දියුණු කර ඇත්තේ 1907 දී එනම් ආතර් ගෝර්ඩන් ආණ්ඩු­කා­ර­ව­ර­යාගේ පාලන සම­යේ­දීය. ඊට ගෝර්ඩන් උද්‍යා­නය යන නාමය එක් වී ඇත්තේ එතැන් පටන්ය. ඒ වන විට එහි බිම් ප්‍රමා­ණය අක්කර 3ක් පමණ වී තිබේ.

ආතර් ගෝර්ඩන් ආණ්ඩු­කා­ර­ව­රයා එම උද්‍යා­නය වැඩි දියුණු කිරීම කෙරෙහි වඩාත් උත්සුක වූයේ ඒ වන විට ඔහුගේ නිල නිවා­සය වූ රජ ගෙද­රද උද්‍යා­න­යේම කොට­සක පිහිටා තිබී­මයි. එය එම ස්ථානයේ ඉදි කර ඇත්තේ, 18 වන සිය­ව­සේ­දීය. ඒ ශ්‍රී ලංකාවේ අව­සාන ඕලන්ද ආණ්ඩු­කා­ර­ව­රයා වූ වෑන් ඇන්ගල් බීක් (Van Angel Beek 1794-96) ගේ පෞද්ග­ලික නිවා­ස­යක් ලෙසිනි. ඉන්ප­සුව 1804 ජන­වාරි 17 වැනි දින එය රජ­යට පවරා ගෙන තිබේ. ඒ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි ආණ්ඩු­කා­ර­ව­රයා වූ සර් පෙඩ්රික් නෝර්ත් යටතේ සේවය කළ සිවිල් නිල­ධා­රි­යෙකු වූ ඇන්ගල් බික් ආණ්ඩු­කා­ර­ව­ර­යාගේ මිනි­බි­රි­යක හා විවාහ වී සිටි ජෝර්ජ් මර්වින් ලෙස්ලි නැමැත්තා රාජ­කා­රි­මය වශ­යෙන් සිදු වූ මුදල් ඌන­තා­වක් පිය­වීම සඳහා රික්ස් ඩොලර් 35,000කට රජ­යට විකි­ණීම නිසාය.

ඉන් අන­ත­රුව 1831 දී රොබට් හෝර්ටන් ආණ්ඩු­කා­ර­ව­රයා විසින් පවුම් 700ක් වැය කොට මෙම මන්දි­රය පිළි­ස­කර කොට ශ්‍රී ලංකාවේ ආණ්ඩු­කා­ර­ව­රුන්ගේ නිල නිවා­සය හෙවත් රජ ගෙදර බවට පත් කරන ලදී. 1852 දී යළිත් ඇන්ඩ­ර්සන් ආණ්ඩු­කා­ර­ව­රයා ද මෙහි අලු­ත්වැ­ඩියා කට­යුතු සිදු කර තිබේ. ඕලන්ද හා බ්‍රිතාන්‍ය වාස්තු­වි­ද්‍යා­ත්මක ලක්ෂණ සංක­ල­නය වූ දෙම­හල් මන්දි­ර­යක් වන මෙය වර්ත­මාන ජනා­ධි­පති මන්දි­ර­යයි.

ගෝර්ඩන් උද්‍යා­නය අද අපට පසක් කරන්නේ පෘතු­ගීසී, ලන්දේසී හා ඉංග්‍රීසී පාලන යුග සැබැ­ඳෙන සිය­වස් පහක පමණ ඉති­හා­ස­යක ප්‍රෞඩ­ත්ව­යයි.

Comments