1817 ඌව මහා නිද­හස් කැරැල්ල ජීව­මාන කළ වාරි­ය­පොළ සුමං­ගල හිමි පිළි­බඳ හෙළි­ වන අප්‍ර­කට තොර­තුරු (2 කොටස) | සිළුමිණ

1817 ඌව මහා නිද­හස් කැරැල්ල ජීව­මාන කළ වාරි­ය­පොළ සුමං­ගල හිමි පිළි­බඳ හෙළි­ වන අප්‍ර­කට තොර­තුරු (2 කොටස)

ති­හා­සය පිළි­බඳ මහා­චාර්ය තුඹුල්ලේ සීල­ක්ඛන්ද හිමිපා‍ණෝ, ඉංග්‍රීසි කොඩිය ඇද දමා පෑගුවේ වාරි­ය­පොළ සුමං­ගල හිමි ම බව දැඩි ලෙස තර්ක කරන අතර, මෙම හිමි තමා අයත් කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්කයේ වයඹ පළාතේ පිහිටි වාරි­ය­පොළ ට අයත් බව ද දක්වා සිටී. මෙයින් කොඩි පුවත සනාථ කිරී­මට, උන්ව­හන්සේ අස්ගිරි මහා විහා­රයේ තිබූ පුස්කොළ පොතක වාර්තා­වක් ඉදි­රි­පත් කරති. (සිළු­මිණ 1986.5.18) එමෙන් ම වාරි­ය­පොළ හිමි ගැන උන්ව­හන්සේ 1984 පළ කළ පොතේ එය සංශෝ­ධන නොමැ­තිව එසේම පළ­කර තිබේ.

එන­මුත්, කොඩිය පහ­තට ඇද පෑගු­වායි කියනු ලබන හිමි නමගේ එහි සඳ­හන් ‘වාරි­ය­පොළ දීපං­කර’ යන නම, පාඨ­ක­යාට දැන­ගන්න තිබූ අයි­තිය අහෝ­සි­වන අන්ද­මට, ඒ හිමිගේ වඩාත් වැද­ගත් පැවිදි නම කපා හැර “වාරි­ය­පොළ නායක සාමීන් වහන්සේ” පම­ණක් සඳ­හන් කරති. මේ පුස්කොළ පත් ඉරු කව­දා­වත් කළ එළි­යට නොඑනු ඇතැයි සීල­ක්ඛන්ද හිමි සිතු­වාට සැක නැත. නමුත්, සීල­ක්ඛන්ද හිමි ගේම මතයේ සිට, මේ සංවා­දයේ යෙදුණු ගරු වි.ජ.මු. ලොකු­බ­ණ්ඩාර ඇමැති තුමා, මේ පුස්කොළ පත් ඉරුවේ ඡායා­රූ­පය පම­ණක් නොව, අදාළ පෙළද 1986.6.8 සිළු­මිණ පත්‍රයේ පළ කළේය.

මේ අනුව, පැහැ­දිලි වන ආකා­ර­යට ඉංග්‍රීසි කොඩිය ඇද පහ­තට දැමූ කතාව සත්‍ය වුවත් නොවු­වත්, පත් ඉරුවේ සඳ­හන්ව ඇත්තේ, දළඳා නඩු­වට සම්බන්ධ වාරි­ය­පොළ සුමං­ගල හිමි නොව, අස්ගිරි මහා විහා­රයේ අනු­නා­යක මෙන්ම, ඉංග්‍රී­සීන් විසින් සුදු­හු­ම්පොළ විහා­රයේ නායක ලෙස පත්ක­රන ලද වාරි­ය­පොළ දීපං­කර හිමි බවයි. මේ දෙදෙනා සක්සු­දක් සේ පැහැ­දිලි වන පරිදි එක් අයෙකු නොව, වෙන වෙනම දෙදෙ­නෙකි.

පත්ඉ­රු­වල ඇති නාම ප්‍රශ්නය මතු­වන විට, සීල­ක්ඛන්ද හිමිට අලුත් අභි­යෝ­ග­ය­කට මුහුණ දීමට සිදු වූ බව පෙනේ. එයට පිළි­ම­යක් වශ­යෙන්, සිය ස්ථාව­රය වෙනස් නොකර, දළදා නඩු­වට හෝ, කොඩි පුව­තට අදාළ හෝ, තම කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යට වාරි­ය­පොළ හිමි අයත් යයි තර්ක කරන සීල­ක්ඛන්ද හිමි, තම අභි­ම­තය පරිදි, උන්ව­හ­න්සේගේ මෙතෙක් හැඳින් වූ නමට, අලු­තෙන් තවත් කොට­සක් පට බැඳ “වාරි­ය­පොළ සුමං­ගල දීපං­ක­රා­භි­දාන” ලෙස, හිමි­වරු දෙදෙ­නාගේ ම නම් දෙක එකට අමුණා දෙදෙ­නාම එක් අයෙකු ලෙස පාඨ­ක­යාට හුවා දක්වයි. (වාරි­ය­පොළ මා හිමි, පිටු 170,171) උන්ව­හ­න්සේට කෙසේ වෙතත්, පිටින් සිටින අපට මෙය පෙනෙන්නේ ප්‍රශ්න­යක් තිබු­ණාට වඩා උග්‍ර වන බවයි.

විකෘතිය

මේ අපූර්ව නම් ආරෝ­ප­ණය පිළි­ගත හොත්, මේ දෙදෙ­නා­ගේම ඉති­හා­සය විකෘති වනවා පම­ණක් නොව, මේ පුස්කොළ පත්ඉ­රුවේ ම නිවැ­ර­දිව සඳ­හන් “අස්ගිරි විහා­රයේ අනු­නා­යක පද­විය ලැබී කර­වන වාරි­ය­පොළ දීපං­කර” මෙන්ම, ඉංග්‍රී­සීන් විසින්, එම තන­තු­රට අම­ත­රව සුදු­හු­ම්පොළ පන්සලේ නායක ධූර­යට පත් කරනු ලැබූ උන්ව­හ­න්සේට වන්නේ කුමක් ද? වාරි­ය­පොළ සුමං­ගල හිමි ට වඩා ලිඛිත දීර්ඝ ඉති­හා­ස­යක් ඇති මේ හිමි ඉති­හා­ස­යෙන් මැකී යනවා නේද? එප­ම­ණක් නොව, ‘වාරි­ය­පොළ සුමං­ගල දීපං­කර’ යනු­වෙන් හිමි නමක් මුළු ඉති­හා­ස­යේම නැති බැවින්, සත්‍ය වශ­යෙන් ‘වාරි­ය­පොළ සුමං­ගල’ වශ­යෙන් ඉති­හා­සය බබ­ළ­වන ජාතික වීර හිමි ද, නිකම්ම මනඃ­ක­ල්පිත චරි­ත­යක් වනු ඇති නේද?

වාරි­ය­පොළ සුමං­ගල හිමි, අස්ගිරි මහා විහා­රයේ අනු­නා­යක වශ­යෙන් සිටි බව ද 1984 සීල­ක්ඛන්ද හිමි පළ කළ පොතේ දැක්වේ. මෙයද සම්පූ­ර්ණ­යෙන් සාව­ද්‍යය. මහ­නු­ව­රට ආසන්න, හාරි­ස්ප­ත්තුවේ පිහිටි යටි­හ­ල­ගල විහා­රය සම්බ­න්ධ­යෙන් කල­වානේ හිමි සහ පලී­පාන හිමි අතර ආරෝ­වක් විය. මේ හබේ අස්ගිරි මහා විහා­රයේ මහා­නා­යක යට­න්වල සුනන්ද හිමි සහ අනු­නා­යක කොට­ගම හිමි ඉදි­රියේ 1829 විභාග වූ අතර, කල­වානේ හිමිගේ වාසි­යට තීන්දු විය.

මේ නඩු තීන්දු­වට සාක්ෂි වශ­යෙන් අත්සන් කළ හත් නම­ගෙන් එක් අයෙකු වූයේ, එව­කට අස්ගිරි විහා­රයේ වැඩ විසූ වාරි­ය­පොළ සුමං­ගල හිමිය. මෙයින් තහ­වුරු වෙන්නේ උන්ව­හන්සේ අනු­නා­යක නොවූ බවත්, නේවා­සි­කව අස්ගිරි විහා­රයේ සිටි බැවින් නඩු විභා­ග­යට නිරී­ක්ෂ­ක­යෙකු ලෙස පෙනී සිටි බවත්ය. නඩු තීන්දු­වට සාක්ෂි වශ­යෙන් අත්සන් කළ හත් නමම, ජ්‍යෙෂ්ඨ හිමි­වරු බව නඩු තීන්දු­වේම සඳ­හන් වේ. මේ අනු­වද, ඉති­හා­සයේ තවම පෙනෙන්නේ, වාරි­ය­පොළ සුමං­ගල හිමි මැදි­හත්ව ඇත්තේ මධ්‍යම පළාතේ කට­යු­තු­ව­ලට පම­ණක් මිස, වයඹ පළාතේ හත්කෝ­රලේ සිද්ධීන් ට නොවන බවයි.

වාරි­ය­පොළ සුමං­ගල හිමි, මධ්‍යම පළාතේ, මාතලේ වාරි­ය­පො­ළට අයත් වන බව කිසිම සැක­ය­කින් තොරව, අන් සියලු අති­රේක සාක්ෂි අබි­බවා තහ­වු­රු­වන තවත් වාර්තා­වක් ඉති­හා­සයේ සට­හන්ව තිබේ. මහ­නු­වර, මර­ණ­මං­ච­කයේ සිටි, දකුණු මාතලේ, දෙව­නගේ ගෙදර අබේ­කෝන් මුදි­ය­න්සේ­ලාගේ දුග්ගන්නා රාල, 1798, තමාට ඇප උප­ස්ථාන කළ, එව­කට මහ­නු­වර විසූ තම බාල පුත්‍රයා වූ ඇල්ලේ­පොළ කුඩා උන්නාන්සේ වෙත, අනික් දරුවෝ තිදෙනා ඉදි­රි­පිට දී, තමන්ට අයත්, මාතලේ පිහිටි, ගොඩ මඩ සියලු දේපොළ, නිර­වුල්ව භුක්ති විදී­ම­වස්, ඔහුට තල්ප­තක් මත ලියා දුනි. මේ දීම­නා­වට භික්ෂූන් වහ­න්සේලා සත් නමක් ඇතුළු දහ­තුන් දෙනෙක් සාක්ෂි වශ­යෙන් අත්සන් කළ අතර, එයින් එක් නමක් වූයේ, වාරි­ය­පොළ සුමං­ගල හිමියෝ ය.

ලේඛ­න­ග­තව ඇති මේ විස්තර අනුව, දළඳා නඩු­වට හෙවත් ඌව මහා කැරැ­ල්ලට පණ පෙවූ මේ වීරෝ­දාර සඟ රුවන, ප්‍රත්‍යක්ෂ වශ­යෙන්, දකුණු මාතලේ, මැද­සිය පත්තුවේ, වාරි­ය­පොළ, ගොඩ­පොළ කටු­දෙ­ණිය පන්ස­ලට අයත් බව පැහැ­දිලි වේ. මේ විහා­ර­ස්ථා­නය වරින් වර පාළු­වට ද ගියේය. 1815 ද, නැවත 1827 දී ද, මෙය පාළු­වට ගොස් තිබුණ බව පෙනේ. මොන යම් හේතු­වක් නිසා, මෙහි නේවා­සි­කව සිටි භික්ෂූන් වහ­න්සේලා, වාරි­ය­පොළ සුමං­ගල හිමි ඇතුළු, අඛ­ණ්ඩව එහි වාසය කළ බවක් නොපෙනේ. උන්ව­හ­න්සේලා වඩා පහ­සු­කම් ඇති මහ­නු­ව­රට සංක්‍ර­ම­ණවී තිබේ. මේ අනුව ඇතැම් පින්ව­තුන් පන්ස­ලට පූජා කළ ඉඩම් නැවත ඔවු­න­ටම හිමි විය. ඇතැම් ඉඩම් කොටස් මුඩු බිම් පනත යටතේ, ඉංග්‍රීසි ආණ්ඩුව වගා­වන් සඳහා විකුණා දැමීය. ඒවා ගොඩ­පොළ සහ වාරි­ය­පොළ වතු යාය­වල් බවට පත් විය. (1909, වාරි­ය­පොළ වතු යායේ වැඩ බලන අධි­කාරී වූයේ, තෝමස් මැක් ලැව්ලන් නැමැ­ත්තෙකි.) 1860 දී, මේ විහා­ර­ස්ථා­නය, වාරි­ය­පොළ, වරා­පි­ටිය සහ දුඹු­කොළ ගම්වා­සීන් විසින් ප්‍රති­සං­ස්ක­ර­ණය කරන ලදී.

ශිෂ්‍ය හිමිනමක් නැහැ

සීල­ක්ඛන්ද හිමි­පාණෝ, වාරි­ය­පොළ සුමං­ගල හිමිට පැවිදි ශිෂ්‍ය­යෙක් සිටි බවට උන්ව­හන්සේ විසින් සකස් කළ ‘වාරි­ය‍ෙ­පාළ මාහිමි’ නම් පොතේ ශිෂ්‍යානු හෝ ඥාති ශිෂ්‍ය පර­ම්ප­රා­වක් පෙළ ගස්වා තිබේ. නමුත්, උන්ව­හ­න්සේට ශිෂ්‍ය­යෙක් සිටි බවක් කිසිම ඓති­හා­සික ලේඛ­න­යක සඳ­හන් වී නැත. උන්ව­හන්සේ දඹුලු මූක­ළානේ ද විසූ වේ, ඒ සමඟ ඉංග්‍රී­සීන් හිර භාර­යට ගත් ගිහි මිනි­සුන් තිදෙ­නෙකු සම­ඟය. උන්ව­හන්සේ යාපනේ හිර­ගෙ­දර සිටි­ය­දීත් උන්ව­හ­න්සේට ආව­තේව කිරී­මට සිටියේ ගිහි පුද්ග­ල­යෙකු බව, මේ හිමි නිද­හස් කළ ලේඛ­නයේ පවා සට­හ­න්කර තිබේ. පැවිදි ශිෂ්‍ය­යෙක් සිටියේ නම්, ඒ රාජ­කා­රිය අනි­වා­ර්ය­යෙන් ම ඉටු කරනු ලැබීය. යුත්තේ ඒ ගෝල නම විසිනි. මේ මුල් ලේඛ­නය පරීක්ෂා කර බැලීමි.

මේ අනුව, සීල­ක්ඛන්ද හිමි සක­ස්කර ඇති වාරි­ය­පොළ සුමං­ගල හිමිගේ නම ඇතු­ළත්, ඉන් ඉදි­රි­යට, තමන් වහ­න්සේගේ නමත් වීර සුමං­ගල හිමි පර­ම්ප­රා­වට ඇතු­ළත් වන පරිදි පෙළ ගස්වා ඇති පැවිදි පර­ම්ප­රාවේ නිවැ­රදි භාවය කෙරෙහි කිසිම විශ්වා­ස­යක් තැබිය නොහැක.

වාරි­ය­පොළ හිමි, මාතලේ හිමි නමක් බවට සනා­ථ­වන මෙත­රම් කරුණු තිබි­යදී, උන්ව­හ­න්සේගේ අයි­තිය පිළි­බ­ඳව, කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­යත්, මහ­නු­වර දිස්ත්‍රි­ක්ක්‍රි­ක­යත් අතර පව­තින මේ අරෝ­වේදී, ඇත්ත තත්ත්වය පෙන්වා දීමට යටත් පිරි­සෙ­යින් මාතලේ දිස්ත්‍රි­ක්ක­යෙන් කිසි­වෙක් එදත් මෙන් අදත් ඉදි­රි­පත් නොවීම විශ්ම­යට කරු­ණකි. ඊටත් වඩා පුදු­මය වන්නේ, රටේ නිද­හස පතා සතු­රාට එරෙ­හිව, ජීවිත ආශාව පවා පර­දු­වට කැප­කර, කැරැ­ල්ලට පණ පෙවීම සඳහා, සතු­රාගේ පාලන බලය බිඳ හෙළී­ම්වස් දළදා වහන්සේ රහසේ ගෙන යාමේ වර­දට යුද්ධා­ධි­ක­ර­ණය විසින් ජීවි­තා­න්තය දක්වා හිර දඬු­ව­ම­කට යටත් කොට, මහ­නු­ව­රින් ගාල්ල­ටත්, එයින් යාප­නේ­ටත් පිටු­ව­හල් කළ සත්‍ය සිද්ධිය, සම්පූ­ර්ණ­යෙන් අම­තක කිරී­මය.

වාරි­ය­පොළ හිමි ප්‍රති­මාව

වාරි­ය­පොළ සුමං­ගල හිමි, කොඩිය වම් අතින් බිම දමා, දකුණු අත දික්කර ඉතා තර්ජ­නා­ත්මක ස්වරු­ප­යක් පිළි­බි­ඹු­වන අයු­රින් නිමවා ඇති ප්‍රති­මා­වක් මහ­නු­වර මහ මළුවේ ඉදි­කර තිබේ. මෙවැ­න්නක් තුඹුල්ලේ සීල­ක්ඛන්ද හිමි අනු­ග්‍ර­හ­යෙන් කුරු­ණෑ­ගල වාරි­ය­පොළ පාර අයිනේ ඉදි­කර ඇත. සැල­සුම් වූයේ, හෙන්රි වෝඩ් ප්‍රති­මාව මෙන් ම, මෙයද ප්‍රධාන පාරට මුහුණ ලා පිහි­ටු­වී­ම­ටය. එසේ වුව­හොත්, එය සෘජු­වම මුහුණ ලා පිහි­ටන්නේ, වැව හරහා, මල්වතු මහා විහා­රය දෙස­ටයි. මා නිවැ­රැදි නම්, එය එසේ ඉදි­විය.

කෙසේ වෙතත්, එව­කට මල්වතු මහා විහා­රයේ මහා නායක වූ සිරි­ම­ල්වත්තේ ආනන්ද හිමි, එයට දැඩි ලෙස විරුද්ධ වූහ. මහ­නු­වර ඓති­හා­සික තොර­තුරු ගැන විශා­රද දැනු­මක් තිබූ බව පිළි­ගැ­නුණු උන්ව­හන්සේ, ඔය කොඩි කතාව අමූ­ලික බොරු­වක් බවත්, එවැ­න්නක් ළඟදී නිර්මා­ණය කර ප්‍රචා­රය කර හැරිය එය සිදු නොවූ බවත් පවසා, අවශ්‍ය නම්, මල්වතු විහා­රය දෙසට නැතුව ඕනෑම දිසා­ව­කට මුහුණ ලා එය ඉදි­කර ගන්නා මෙන් දැන්වීය.

මෙයින් සංවි­ධා­න­ක­යින්ට ප්‍රශ්න ගණ­නා­ව­කට මුහුණ දීමට සිදු විය. ඊට විරුද්ධ දිසා­වට මුහුණ ලා ඉදි කළොත්, එනම් නාථ දේවාලෙ පැත්තට, එහි පිටු­පස මහා මාර්ගය දෙසට පම­ණක් නොව, මල්වතු මහා විහා­රය දෙසට හැරවේ. එය බර­ප­තළ ගැට­ලු­වකි. තර්ජ­නා­ත්මක ශෛල්‍ය­යෙන්, අත­දිග හැර අඹා ඇති මේ ප්‍රති­මාව, දළදා මාළි­ගය දෙසට මුහුණ හරවා පිහි­ටු­වීම, කිසි­සේත් නුසු­දුසු විය. ඊට ප්‍රති­වි­රුද්ධ, එනම් රැජින හෝට­ලය දෙසට හැරෙ­ව්වොත්, එහි පිටු­පස දළදා මාළි­ගය දෙසට හැරෙනු ඇත. එය දළදා වහ­න්සේට කෙරෙන අප­හා­ස­යකි.

කෙසේ හෝ, සැල­සුම් කළ පරිදි, මහ­ම­ළුවේ එව­කට ඉදි­කර තිබූ පාද­ස්ථ­ලය කඩා ඉවත් නොකර, වෙන වික­ල්ප­යක් නොවූ වෙන්, අව­සා­නයේ, එය මත දළදා මාළි­ගය දෙස­ටම මුහුණ ලා පිළි­රුව පිහි­ටු­වී­මට සිදු විය.

Comments