ආරවුල විසදන්න ගිය ඉඩම් නිලදාරිනිය පුළුස්සයි | සිළුමිණ

ආරවුල විසදන්න ගිය ඉඩම් නිලදාරිනිය පුළුස්සයි

යම් අයකු පණ පිටින් පුළුස්සා දැමීම ශිෂ්ඨ සම්පන්න සමාජයක අගය කරන්නක් නොවෙයි. එනමුත් දේපල ආරවුලක් හේතුවෙන් ආදායම් නිලදාරිනියෙකු ඇයගේ කාර්යාලයදීම පණ පිටින් පුළුස්සාදැමූ සිදුවීමක් ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රදේශයෙන් වාර්ථා වේ.

ආදායම් නිලදාරී විජය රෙඩ්ඩි මහත්මිය ප්‍රහාරය සිදු වූ ස්ථානයදීම සදුදා දින මිය ගිය අතර ඇයව බේරාගැනීමට තැත් කළ අයෙක් පිළිස්සුම් තුවාල ලබා අගහරුවාදා දින මිය ගොස් ඇත. 
 
ප්‍රාදේශීය වෙලාවෙන් 1.30ට පමණ ප්‍රහාරය සිදු වන අවස්ථාවේ විජය රෙඩ්ඩි මහත්මිය ඇගේ කාර්යාලයේදී කේ. සුරේෂ් නම් තැනැත්තාව හමුවෙමින් සිට ඇති අතර ඔහු පිළිස්සුම් තුවාල සහිතව ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණි බව ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසයි.
 
පාරේ ඇවිදිමින් සිටි ඔහුව පොලිසිය විසින් රෝහල්ගත කර ඇත. 
 
රෙඩ්ඩි මහත්මියව බේරාගැනීමට තැත් කළ චන්ද්‍රියා හා ගුරුනාතම් ද පිළිස්සුම් තුවාල ලබා ඇත. ඔවුන් පවසන පරිදි ඇය දොර අඟුලුදාගෙන සිට ඇත.

"ඇය දොරේ අඟුල ඇරගෙන පිටතට පැමිණියා. අපි සුරේෂ්ව ඉවතට ඇදගැනීමට උත්සාහ කළා. ඇය බිම ඇද වැටුණු අතර සිතීමටත් පෙර ගින්න පැතිරීගියා" යැයි තුවාල වලින් මියයාමට ප්‍රථම ගුරුනාතම් පවසා ඇත. 
 
අසල ගමක වෙසෙන සුරේශ් මෙම ගිනි තැබීමේ සිදුවීමට සැක කරන අතර  ඔහු හා ඔහුගේ පවුලේ උදවිය ඉඩම් නඩුවක පැටලී ඇත.
 
සුරේෂ්ගේ පියා, ක්‍රිශ්නා මහතා පවසා සිටියේ ඔහු හා සහෝදරයා අතර ඉඩම් නඩුවක් පවතින බවත් සුරේෂ් නිලදාරිනියව හමුවීමට ගිය හේතුව තමා නොදන්නා බවත්ය. 
 
මෙම ප්‍රහාරය එක් අයෙකු විසින් සිදු කරන ලද්දක්ද නැතහොත් ඔහුට උදවු ලැබුණාදැයි සොයන බවට පොලිස් කොමසාරිස් මහේෂ් බගවාත් මහතා මාධ්‍යට පවසා ඇත. 
 
 
 

Comments