ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා බාලිකා ශූරතාව 14 වැනි වරටත් වලල ඒ. රත්නායකට | සිළුමිණ

ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා බාලිකා ශූරතාව 14 වැනි වරටත් වලල ඒ. රත්නායකට

බාලිකා වයස අවුරුදු 18න් පහළ මීටර් 1500 තරගයේ මුල් ස්ථාන 03ම හිමිකර ගැනිමට සමත් වුයේ වලල ඒ.රත්නායක විද්‍යාලයේ ක්‍රීඩිකාවන්ය. ප්‍රථම ස්ථානය ඩබ්ලිව්.ඒ.කේ. එදිරිසුරිය ( 319) දෙවන ස්ථානය ආර්.එම්. රත්නායක (315) සහ තෙවන ස්ථානය එච්. එම්. දිල්රුක්ෂි (316)
බාලිකා වයස අවුරුදු 18න් පහළ මීටර් 1500 තරගයේ මුල් ස්ථාන 03ම හිමිකර ගැනිමට සමත් වුයේ වලල ඒ.රත්නායක විද්‍යාලයේ ක්‍රීඩිකාවන්ය. ප්‍රථම ස්ථානය ඩබ්ලිව්.ඒ.කේ. එදිරිසුරිය ( 319) දෙවන ස්ථානය ආර්.එම්. රත්නායක (315) සහ තෙවන ස්ථානය එච්. එම්. දිල්රුක්ෂි (316)

 

 

ධ්‍යාපන අමාත්‍යාංශය 35 වැනි වරටත් සංවිධානය කළ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාව දුටුවේ සුපුරුදු පරිදි බාලිකා ශූරතාව වලල ඒ. රත්නායක විදුහලට සහ බාලක මලල ක්‍රීඩා ශූරතාව බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට හිමිකර දෙමින්ය. සමස්ත මලල ක්‍රීඩා ශූරතාව බස්නාහිර පළාතට හිමිවූ අතර අනුශූරතාව මධ්‍යම පළාතට සහ තෙවැනි ස්ථානය වයඹ පළාතට හිමිවිය.

දක්ෂතම ක්‍රීඩිකාව ෂෙලින්ඩා ජැන්සන්

 

2000 - 19 කාලයේ බාලිකා ශූරතාව 14 වතාවක් දිනා ගැනීමට වලල ඒ. රත්නායක විදුහල සමත්ව තිබෙන අතර 2001 - 02 - 03 මෙන් ම 2006 - 07 - 08 යන වර්ෂවලදී බාලක - බාලිකා ද්විත්ව ශූරතාවයත් දිනා ගැනීමට ද සමත්ව තිබේ. බාලිකා ශූරතාව හිමි කර ගැනීමේදි වලල බාලිකාවන් රැස් කර ගත් ප්‍රසාද ලකුණු 235 බාලක - බාලිකා විදුහලක් හිමි කර ගත් වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වීමද විශේෂත්වයකි.

 

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී මහත් බලාපොරොත්තු තබාගෙන සිටි මීගමුව මාරිස්ස්ටෙල්ලා. කොටහේන ශාන්ත බෙනඩික්ට්, වලල ඒ. රත්නායක බාලකයන් පසෙකට තල්ලු කර දමමින් හලාවත ශාන්ත මරියා විදුහල බාලක මලල ක්‍රීඩා අනුශූරතාව දිනා ගැනීමට සමත් විය. ඔවුන්ට වඩා එක් ලකුණක් අඩු වූ වලල ඒ. රත්නායක විදුහලට තෙවැනි ස්ථානය හිමි විය.තරගාවලිය පුරාම විශිෂ්ට දස්කම් දැක්වූ වලල බාලිකාවෝ තරගයකින් තොරව ම මෙවර බාලිකා ශූරතාව දිනා ගැනීමේදි ප්‍රසාද ලකුණු 235ක් හිමි කර ගැනීමට සමත් වූහ. අනුශූරතාව රත්නපුර සුමන බාලිකා විදුහලට සහ තෙවැනි ස්ථානය රාජගිරිය ගේට්ටේ ජාත්‍යන්තර පාසලට හිමි විය.

 

තරුෂිට වාර්තා පිට වාර්තා

වලල ඒ. රත්නායක විදුහලේ තරුෂි කරුණාරත්න වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 400 තත්පර 56. 54 කින්ද, මීටර් 800 විනාඩි 02:14 :26 කින්ද, මීටර් 100 x4 සහාය දිවීමේ තරගය ( වලල කණ්ඩායම ) තත්පර 50.04 කින්ද, මීටර් 800x4 සහාය දිවීමේ තරගය ( වලල කණ්ඩායම) විනාඩි 03:56:32 කින් නිම කරමින් වාර්තා පිට වාර්තා පිහිටුවීමට සමත් වුවාය. මෙහිදී මීටර් 800x4 සහාය දිවීමේ තරගය සඳහා වැය කළ විනාඩි 03:56:32 කාලය පාසල් මට්ටමේ වයස අවුරුදු 16-21 අතර ඕනෑම වයස් කාණ්ඩයක බාලිකා කණ්ඩායමක් ඉතිහාසයේම වාර්තා කරන ලද හොඳම කාලයයි.

තරගාවලියේ මිශ්‍ර පාසල් මලල ක්‍රීඩා ශූරතාව ද වලල බාලක බාලිකාවෝ දිනා ගනිද්දි, එහි අනුශූරතාව රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලට සහ තෙවැනි ස්ථානය කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයට හිමි විය. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ පැවැති සියලු තරග ඉසව් සැලකිල්ලට ගනිමින් පිරිනැමූ සමස්ත තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වූ පාසලට හිමි වූ ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලයට හිමි විය. එහි අනුශූරතාව ශාන්ත පීතර විද්‍යාලයට සහ තෙවැනි ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයට හිමි විය.

 

මලල ක්‍රීඩා තරගාවලියේ බාලක අංශයෙන් වාර්තා 27ක් සහ බාලිකා අංශයෙන් වාර්තා 22ක් වශයෙන් සමස්ත තරගාවලියේ වාර්තා 49 බිහිවීම විශේෂත්වයකි.

 

වයස අවුරුදු 18න් පහළ බාලක මීටර් 400 ඉසව්ව තත්පර 47.53කින් නිම කරමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් වූ වෑකඩ මහා විදුහලේ රවිඳු ඩිල්ෂාන් බණ්ඩාර තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි කර ගනිද්දි, තරගාවලියේ දක්ෂත ම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට වයස අවුරුදු 20න් පහළ මීටර 200 බාලිකා ඉසව්ව තත්පර 24.48කින් නිම කළ රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ෂෙලින්ඩා ජැන්සන් සමත් වූවාය. රවිඳු ඩිල්ෂාන් බණ්ඩාර ධාවන ඉසව්වල දක්ෂත ම ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට හිමි සම්මානය ද දිනා ගැනීමට සමත් විය.

මේ අතර වයස අවුරුදු 16 - 18 - 20න් පහළ බාලිකා ශූරතා ත්‍රිත්වයම වලලට හිමි වූ අතර, මේ වයස් කාණ්ඩවල සහාය දිවීමේ ශූරතාව ද ඔවුන්ට හිමි විය. මෙම වයස් කාණ්‍ඩවල බාලක සහාය දිවීමේ ශූරතාව ශාන්ත පීතරයන් හිමි කර ගනිද්දී, එහි අනුශූරතාව වලලට හිමි විය.


‍නාලක සර් හරි සැරයි ජයග්‍රහණයේ රහස එයයි

රවිඳු ඩිල්ෂාන් බණ්ඩාර - වෑකඩ මහා විදුහල

35 වැනි සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියට එන කොට මොන වගේ බලාපොරොත්තුවක්ද තිබුණේ.?

හොඳට තරග කරලා දිනන්න තමයි හිත‍ාගෙන ආවේ. බලාපොරොත්තු වුණ විදියටම ඉලක්කයට යන්න පුළුවන් වුණා. එහෙම විශේෂ දෙයක් නම් නෑ. මුල ඉඳලම එකම විදියට තමයි තරග කළේ. ප්‍රතිවාදීන්ගෙන් තරගයක් තිබුණා. ඒක මට ලොකු උදව්වක් වුණා කියලා හිතනවා වාර්තාවට පවා යන්න. මොරටුව ශාන්ත සෙබස්තියන් ඉස්කෝලේ නවිෂ්ක ‍ගෙන් තමයි හොඳම අභියෝගය එල්ල වුණේ. අවසන් පූර්ව තරගය තත්පර 48.89 කට සහ අවසන් තරගය තත්පර 47.53 කට යන්න පුළුවන් වුණා.

මේ වගේ වාර්තාගත කාලයකට යන්න පුළුවන් වෙයි කියලා හිතුවාද?

වාර්තාවකට යන්න පුළුවන්වෙයි කියලා නම් හිතුවේ නෑ. මගේ මූලික ඉලක්කය වෙලා තිබුණේ පළමුවැනියා වෙන්න. පරණ වාර්තාව තිබ්බේ තත්පර 48.18 කට. අවසන් තරගය තත්පර 48.00 ට වගේ දුවන්න තමයි ටාගට් කරගෙන හිටියේ. නවිෂ්කගේ අභියෝගයත් එක්ක මට හොඳ කාලයකට යන්න පුළුවන් වුණා.

ක්‍රීඩකයකු වන පසුබිම ගොඩනැ‍ගුණේ කොහොමද?

අට වසරේ ඉඳලා තමයි මලල ක්‍රීඩාවට යොමු වුණේ. ඒ අංජුල සර් යටතේ. වෑකඩ මහා විද්‍යාලයට තමයි මුල ඉඳලම ගියේ. සාමාන්‍ය මට්ටමින් පාසලේ තියෙන පහසුකම් එක්ක ක්‍රීඩාව කරගෙන ඉදිරියට ආවා. දැන් පුහුණුවීම් කරන්නේ කොට්ඨාශ ක්‍රීඩා උපදේශක නාලක ප්‍රසන්න සර් යටතේ. සර් ටිකක් සැරයි තමයි. ඒ නිසා තමයි අපට මේ වගේ ටාගට්වලට යන්න පුළුවන් වෙලා තියෙන්නේ.

ඉසව්වක් විදියට මීටර් 400 තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණාද?

ඔව්, පළාත් මලල ක්‍රීඩා තරගාවලියක සහාය දිවීමේ තරගයක මගේ කොටස හොඳට දුවනවා දැකලා තමයි නාලක සර් මට මීටර් 400 ඉසව්ව ගැන අදහස ඔලුවට දැම්මේ. ඊට පස්සේ අපි කතා කරගෙන තමයි ඉසව්වක් විදියට මීටර් 400 තෝරා ගත්තේ. ඊට කලින් මීටර් 100 – 200 ඉසව් වලින් පළාත් සහ සමස්ත ලංකා වර්ණ පවා දිනාගෙන තියෙනවා. 2017 ඉඳලා සමස්ත ලංකා ආවා. 2018 දී වර්ණ දිනා ගත්තා. මේ අවුරුද්දේ වාර්තාවක් එක්ක දක්ෂම ක්‍රීඩකයා වුණා.

සමස්ත ලංකා ජයග්‍රහණයක් වාර්තා කරගත් පළමු වතාවද?

ඔව්, දක්ෂම ක්‍රීඩකයාට අමතරව දිවීම් ඉසව්වල දක්ෂම ක්‍රීඩකයාට හිමි සම්මානයත් දිනා ගන්න පුළුවන් වුණා.

ඔබේ පාසලෙන් මෙවර සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලියට කී දෙනෙක් ආවාද?

අපේ ඉස්කොලෙන් ක්‍රීඩකයන් අට දෙනෙක් සහ ක්‍රීඩිකාවක් තරගාවලියට ආවා. 16න් පහළ, දුර පැනීමේ බාලක තරගයෙන් ඔකඳ පළමුවැනි ස්ථානයත්, 20 න් පහළ මීටර් 5000 ඉසව්වෙන් ලක්මාල් තුන්වැනි ස්ථානයත් දිනා ගත්තා.

ඔබේ පාසලට මේ වගේ සුවිශේෂි ජයග්‍රහණයක් හිමි වූ පළමු වතාවද?

ඔව්, අපේ පාසලේ මලල ක්‍රීඩාව පටන් අරගෙන අවුරුදු හතරක් විතර වෙනවා. මේ අවුරුදු හතරෙම මම කොට්ඨාශ, කලාප, පළාත් තරගවලට ඉදිරිපත් වෙලා දිනලා තියෙනවා.

මෙවර සමස්ත ලංකා ජයග්‍රහණයට කලින් කොට්ඨාශ - කලාප - පළාත් තරගවල ඔබේ දක්ෂතා?

කොට්ඨාශ තරගාවලියේ මීටර් 400 තත්පර 50 කට වගේ දිව්වේ. කලාප සහ පළාත් තරග තත්පර 49 කට වගේ දුවලා තමයි සමස්ත ලංකා තත්පර 47. 53 කට දිව්වේ.

 

පුහුණු වීම් කරන්නේ කො‍ෙහද? පහසුකම් එහෙම තියෙනවාද?

වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කරන්නේ. පාසලේ ලැබෙන පහසුකම් එක්ක අඩු පාඩු හදා ගෙන යනවා. නාලක සර් අපට හොඳ පුහුණුවක් ලබා දෙනවා. විදුහල්පතිතුමා ඇතුළු පාසලේ සියලුම දෙනා මේ ගමනට උදව් කරනවා. ඒ සියලුම දෙනා මේ ජයග්‍රහණයේදී මාත් එක්ක හිටියා.

Comments