එළි­යට දැම්මෙ පොඩි කොට­සයි... මුළු කතා­වම මිනිස්සු ඇහුවා නම් ඔය කට්ටි­යට ඉන්න වෙන්නෙ ඇඳුම් නැතිව | සිළුමිණ

එළි­යට දැම්මෙ පොඩි කොට­සයි... මුළු කතා­වම මිනිස්සු ඇහුවා නම් ඔය කට්ටි­යට ඉන්න වෙන්නෙ ඇඳුම් නැතිව

 

සු­ගි­යදා දුර­ක­ථන හඬ­පට හා වීඩියෝ පට හරහා මතු වූ ආන්දෝ­ල­නා­ත්මක දේශ­පා­ලන කාරණා සම්බ­න්ධ­යෙන් හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණ­ව­ර්ධන මහතා සමඟ කළ කතා­බ­හකි.

මහින්ද රාජ­පක්ෂ ආණු­ඩුව සමයේ සිදු වූ මූල්‍ය වංචා හා අක්‍ර­මි­කතා සම්බ­න්ධ­යෙන් බර­ප­තල චෝදනා එල්ල වුණේ ඔබට? 2015වේදි අපේ ආණ්ඩුව පරා­ජය වීමත් සමඟ හොර­කම් ජඩ­කම් වංචා දූෂණ ඔක්කොම දේ වල් කළේ මෙයා තමයි කියල කාව හරි බිල්ලට දෙන්න රාජ­ප­ක්ෂ­ලාට ඕන වුණා. ඒ අව­ස්ථාවේ මට ලැබුණු ආරංචි අනුව හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මැති­තු­මයි, නාමල් රාජ­ප­ක්ෂයි, බැසිල් රාජ­ප­ක්ෂයි එක­තු­වෙලා මාව මේ වෙනු­වෙන් බිල්ලට දීලා සජින් ද වාස් තමයි හොරා කියල මුලු රට­ටම පෙන්වන්න ඕන කියලා තීර­ණ­යක් අරන් තිබුණා. ඒ අනුව හිටපු ජනා­ධි­ප­ති­තුමා ඩලස් අල­හ­ප්පෙ­රු­ම­ටයි විමල් වීර­වං­ශ­ටයි කියලා තිබුණා මට විරු­ද්ධව කතා කරන්න කියලා. ඒ අනුව “දැන් අපි ළඟ මැක්කෝ නෑ... මැක්කො හැලිලා ඉන්නේ, දැන් අපි පිරි­සි­දුයි ” කියලා ඩලස් අල­හ­ප්පෙ­රුම වේදි­කා­වට නැගලා කිව්වා. එහෙම කරල මාව බිල්ලට දුන්නා. ඊට පස්සේ මට ඇප ලබා­දෙන එකට මැදි­හ­ත්වෙලා ඒවා නව­ත්වලා ඒ අයගේ අව­ශ්‍ය­තා­වය ඒ අය ඉටු කර­ගත්තා.

මහින්ද රාජ­පක්ෂ ආණ්ඩුව කාලේ මහ­ජන මුදල් හොර­කම් කළේ කොහො­මද,ඒව හංගලතියෙන්නේ කොහෙද කියලා ඔබ දන්න බව ඔබ කළ කතා­ව­කින් කියැ වුණා. මේ කියන දේ බොරු­නම් 13වෙනි­දට කලින් ප්‍රසිද්ධ සංවා­ද­ය­කට එන්න කියලා ඔබ අභි­යෝග කර­නවා.සියලු දේ වෙන්නෙ ඔබට ඇති­වුණ බව කියන තර්ජ­න­යෙන් පස්සෙ. ඔබ මේ කියන කතා දේශ­පා­ලන ප්‍රලාප නොවන බවට සහ­තික වෙන්න පුළු­වන් ද?

මම මේ හැම ප්‍රකා­ශ­යක්ම ඉතා වග­කී­මෙන් ප්‍රකාශ කරන්නේ. මාව හොරා හැටි­යට පෙන්න­නවා නම් මට විරු­ද්ධව අධි­ක­ර­ණයේ තියෙන නඩු­වල මට කිසි­යම අයථා දේප­ලක් හෝ ටෙන්ඩ­ර­යක් හෝ ඩීල් එකක් හෝ කමි­ෂන් එකක් හෝ අල්ල­සක් හෝ ගත්ත බවට ඔප්පු කරන්න. එහෙම චෝද­නා­වක් තියෙ­නව කිය­ල­වත් ඔප්පු කරන්න. එහෙම එකක් ඇවිල්ල නැහැ. එහෙම නඩු­ව­කුත් නැහැ. පරි­ක්ෂ­ණ­ව­ලින් ඒ වගේ කිසිම දෙයක් හොයා­ගන්න බැරි වුණා. මා සතු දේවල් එළි­පිට විනි­විද භාව­යෙන් යුතුව තියෙ­නවා. ඒ නිසා ඒ අය කරපු කිසිම දේකට මගේ කිසිම සම්බ­න්ධ­තා­ව­යක් නැහැ කියල ඔප්පු වුණා.

නමුත් ඒ කාලේ වුණු දේවල් ගැන හොඳ අව­බෝ­ධ­යක් මට තියෙ­නවා. මං ඒක ඇතුළෙ හිටපු මනු­ස්ස­යෙක්. ඒක මේ රටම දන්නවා. මං ඊයේ රිලීස් කරපු හඬ පටි­යෙ­දිත් රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන මහ­ත්ත­යට මාත් එක්ක සංවා­දෙ­කට එන්න කියල අභි­යෝ­ග­යක් කළා. මොකද එයානේ දැන් පොහො­ට්ටුවේ චණ්ඩි­යා­වෙලා දඟ­ලන්නේ. එතු­මට තනි­යෙන් එන්න බැරි නම් තව කාව හරි එක්ක ගෙන එන්න. ඇවිත් 2010 -2015 අතර කාලය තුළ වෙච්ච දූෂ­ණය ගැන අපි දෙන්නා කතා කරමු. එනිසා ඔහු නියෝ­ජ­නය කරන රාජ­පක්ෂ පවුල පිරි­සි­දුයි කියල මේ රටේ බහු­තර ජන­තා­වට ඔප්පු කරල පෙන්වන්න එතු­මට යුතු­ක­මක් තියෙ­නවා. ඒ යුතු­කම ඉෂ්ට කරන්න ප්‍රසිද්ධ සංවා­ද­ය­කට එන්න. ඇවිත් මේ අභි­යෝ­ගය භාර ගන්න.

ඔබම කියන විදි­හට රාජ­පක්ෂ ආණ්ඩුව වංචා කරලා තිබෙන්නේ මහ­ජන මුදල්. අපට තිබෙන ප්‍රශ්නය මේ වංචා දූෂණ ගැන ඔබ දන්නව නම් ඇයි මේ තරම් කාල­යක් නිහ­ඬව හිටියෙ කියන එක...ඔබ දන්නවා මහ­ජන දේපල වංචා කිරීම වසන් කිරී­මත් වර­දක්?

මට ඇඟිල්ල දික්වෙන කොට මම දන්න දේවල් තමයි මම කියන්නේ. ඒක වසන් කිරී­මක් නෙමෙ­යිනෙ. මං දන්න ඒවා හැම තැනම කියන්න ඕන ඒ අව­ස්ථාව හා වාතා­ව­ර­ණය අනු­වයි.

ඔබ ඔය කියන මේ මුදල් සඟ­වල තියෙන්නෙ කොහේද?

ආවට ගියාට මේවා කතා කරන්න බැහැනෙ. මාත් වග­කී­මෙන් වැඩ කරන්න ඕනනේ. ඒ අයට ප්‍රසිද්ද වේදි­කා­වක සංවා­ද­යට එන්න කියන්න... මං ඒක ඒවෙ­ලා­වට කිය­න්නම්.

නමුත් අපි දැක්කා 2009 වෙන­කම් කිසි­යම් ආකා­ර­යකයහ­පත් පාල­න­යක් රාජ­පක්ෂ ආණ්ඩුව ගෙන ගියා. 2010න් පස්සෙයි මේ තත්වය සම්පූ­ර්ණ­යෙන්ම වෙනස් වෙන්නෙ. ඒ වෙනස් වීම ඔබත් දැක්කා. එහෙම වෙන්න හේතුව මොකක්ද?

මේ රටේ හැම ක්ෂේත්‍ර­ය­කම ප්‍රශ්න මේත­රම් සංකීර්ණ වුණේ 2010න් පස්සේ තමයි. ඒකට මූලික හේතු­වක් තිය­නවා. මේ ප්‍රශ්න මේත­රම් සංකීර්ණ වුණේ නාමල් රාජ­පක්ෂ මැති­තු­මාගේ දේශ­පා­ලන ආග­ම­න­යත් එක්කයි. ඒ ආග­ම­න­යත් එක්ක මහින්ද රාජ­පක්ෂ මහ­ත්තයා මේ රට ජාති වශ­යෙන් වෙන් කළා. ආගම් වශ­යෙන් වෙන් කළා. අන්ත­වා­දය ගෙනල්ල හැමෝ­වම බෙදල බෙදල, පක්ෂ කඩල, පක්ෂ විනාශ කරල, ආගම් විනාශ කරලා, ජාති­වා­දය ඇති කරලා, නාමල්ව උඩට ගේන්නේ කොහො­මද බැලුවා. මේ සිය­ල්ල­ටම මුල 2020න් පස්සේ නාමල්ව මුල්පු­ටුවෙ තියන්නේ කොහො­මද කියල සැල­සුම් සකස් කරපු එකයි. ඒකෙ එක පිටු­වක් තමයි දවස් 52 වැඩ පිළි­වෙළ. නාමල් වෙනු­වෙන් පාර්ලි­මේ­න්තුවේ කණ්ඩා­ය­මක් හදලා, පන­හක් හැටක් ගෙනල්ලා පාර්ලි­මේ­න්තුවේ වාඩි කර­වලා, නාමල්ට පොහො­ට්ටුවේ නාය­ක­ත්වය දීලා එත­නින් රාජ­පක්ෂ මහ­ත්තයා ඉවත් වෙන්න හිටියෙ. නමුත් බැසිල් රාජ­පක්ෂ මැති­තුමා ඒකට එකඟ නැති නිසා ඒක කර­ගන්න බැරි­වුණා.

ඔබ මේ දේවල් කියන්නේ යූඇ­න්පී­යට විකි­ණිලා කියල චෝද­නා­වක් එල්ල වෙනවා.

ඕවා පට්ට­පල් බොරු. මට ඒ කාලේ කතා කරන්න අව­ස්ථා­වක් තිබුණේ නැහැ. ඒව­ගේම මේ දේවල් නිකන් කතා කරල වැඩ­කුත් නැහැ. ගොඩක් අයට ඉක්ම­නින් අම­තක වෙනවා. අපේ ගම්වල කතා­වක් තියෙ­නවා කොකාට වාර­යක් ආව නම් තිත්ත­ය­ටත් වාර­යක් එනව කියලා. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ තිත්තය ගෙ වාරේ.

දැන් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යත් පොහො­ට්ටුව එක්ක එකතු වෙලා ශක්ති­මත් ගම­නක් යනවා. දැන් තිත්ත­යගෙ වාරෙ අව­සන් වේගෙන එනවා කියලා ඔබට හිතෙන්නෙ නැද්ද? ඔබ හිතන්නේ මහින්ද මහ­ත්තයා නැතිව පොහො­ට්ටු­වට අනා­ග­ත­යක් තියෙ­යිද?

මොන­වද මේ කියන්නෙ. ඔය පොහොට්ටු රැඳීලා තියෙන්නේ මහින්ද රාජ­පක්ෂ මහ­ත්තයා වටා සිටින අන්ධ භක්ති­ක­යින් පිරිස නිසා. මේ ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදි වුණත් අයියා නැත්තම් මල්ලි නෑනේ. අයියා නැත්තම් මල්ලිගෙ රැස්වී­ම­කට සීය­ක්වත් මිනිස්සු එන්නේ නැහැ. ඒක තමයි යථා­ර්ථය. හැමො­ටම හැම­දාම වැජ­ඹෙන්න බෑනෙ. මහින්ද රාජ­පක්ෂ කියන සාධ­කය දේශ­පා­ල­න­යෙන් විශ්‍රාම ගත්ත දව­සට ඔය පක්ෂය දියා­රු­වෙලා ගිහින් හොයා­ග­න්නත් නැතුව යනවා. ඒක අද සජින් ද වාස් කිව්වා කියලා ලියලා තියා ගන්න.

විමල් වීර­වංශ මහ­ත්තයා මුස්ලිම් අන්ත­වාදීවිශ්ව­වි­ද්‍යාල ඇති කරලා සහ­රාන්ලා හැදු­වයි කියපු ත්‍රස්ත­වා­දි­යෙක් කියල හංවඩුගහපු හිස්බුල්ලා අද පොහො­ට්ටුව වෙනු­වෙන් ඡන්දය ඉල්ල­නවා කියන කතාව ඇත්තක් ද.?

ඔව්. එය ඇත්තක්. මේ සම්බ­න්ධ­කම් ඇති වුණේ අද ඊයේ නෙමෙයි. අන්ත­වා­දය ජාති­වා­දය වපු­රන්න ආග­ම්වා­දය වපු­රන්න ඔවුන් පාවිච්චි කරපු ඉත්තා මේ පුද්ග­ලයා. බැසිල් රාජ­පක්ෂ මහ­ත්තයා බිලිය ගණ­න්ව­ලින් මේවට උදව් කළේ. නමුත් ජන­තාව එදා එතුමා දෙවෙ­නි­ම­නා­පය ගෝඨා­බය රාජ­ප­ක්ෂට දෙන්න කිය­න­කොට මුස්ලිම් ජන­තාව ප්‍රති­චාර දැක්වුවෙ එතු­මට හූ තියල ගල්ව­ලින් ගහලා.

ඔබ ලොහාන් රත්වත්තේ එක්ක කරපු දුර­ක­තන සංවා­ද­යක් අපි ඇහුව්වා. ඔබව නව­ත්වන්න කිසි­යම් පාර්ශ්ව­යක් තර්ජ­නය කළ බව එහිදී කියැ වුණා?

මට තර්ජ­නය කළේ එතුමා නෙමෙයි. එතුමා මට පණි­වි­ඩ­යක් පම­ණයි කිව්වේ. ඒ පණි­වි­ඩය එතුමා ඉස්සෙ­ල්ලාම දුන්නේ මගේ භාර්‍යා­වට. ඊට පස්සෙ තමයි එතු­මට මම ඒ ඇම­තුම ගත්තේ. ඔබ සවන් දුන් දුර­ත­ථන ඇම­තුමේ විදි­යට මට තර­ජ­නය කරන්නේ මහින්ද රාජ­පක්ෂ මහ­ත්තයා. අද වෙන­කම් ඔවුන් ඒක ප්‍රති­ක්ෂේප කරල නැහැ. ඇත්තම කිව්වොත් නීති උප­දෙස් අනුව එහි සම්පූර්ණ පිට­පත අපි එළි­යට දැම්මේ නැහැ. මම මේ සම්බ­න්ධ­යෙන් පොලි­සි­යට පැමි­ණි­ල්ලක් කරල තියෙ­නවා. සම්පූර්ණ එක දැම්මොත් ඔය තියන රෙදිත් ගල­ව­ගෙන තමයි කට්ටි­ය­ටම යන්න වෙන්නේ.

මේ වගේ දේවල් කියල යම් විදි­ය­කින් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­ත්තයා බල­යට ආවොත් ඔබේ ජීවි­ත­යට තර්ජ­න­යක් ඇති නොවෙයි කියලා ඔබට විශ්වාස කළ හැකිද?

අපි හැමෝම මැරෙන්නේ එක පාරයි. මගේ ශරී­රයේ හුස්ම යන්නේ කවද්ද කියල තීර­ණය කරන්නේ මහින්ද රාජ­ප­ක්ෂ­වත් ගෝඨා­භය රාජ­ප­ක්ෂ­වත් නෙමෙයි. ඒක මගේ දෛව­යෙන් එන එකක්. ඒ නිසා අපි මේවගේ තීන්දු තීරණ ගන්න­කොට මර­ණෙට බය­වෙලා තීරණ ගන්න බැහැ. අපි මේ සටන කරන්නේ 2019 යේ නොවැ­ම්බර 18 වෙනිදා ඉඳල ආයිත් මේ රට ඇතුළෙ නිද­හසේ හුස්ම ගන්න. ඒ වෙනු­වෙන් ජීවි­තය වුණත් පරි­ත්‍යාග කරන්න මම සුදා­නම්. ඒ නිසා තමයි මම බය නැතුව එළි­යට බැස්සේ.

 මේ වන විට එම්සීසී ගිවි­සු­මට විශාල විරෝ­ධ­යක් ඇති­වෙලා තියෙ­නවා. මේ විරෝ­ධය ඇති වෙන්නෙ පොහො­ට්ටුව පාර්ශ­ව­යෙන්. මේ විරෝ­ධය ජාතිය බේර­ගන්න කරන විප්ල­ව­යක ආර­ම්භය කියලා ජන­තා­ව­ගෙන් යම් පිරි­සක් විශ්වාස කර­නවා. ඔබ එකඟ ද? 

ඇත්ත­ටම මේකට පොහො­ට්ටුව දක්වන විරෝ­ධය තනි­ක­රම ‍ප්‍රෝඩාවක්. ඒව­ගේම විහි­ළු­වක්. මහින්ද රාජ­පක්ෂ ආණ්ඩුව කාලේ අපියි එම්සීසී එක පට­න්ගත්තේ. ඒක පී.බී ජය­සු­න්දර මහ­ත්ත­යට බාර­දීලා ඒක එයා හරි­යට කරන්නෙ නැහැ කියලා මහ බැංකුව යටතේ අජිත් නිවාඩ් කබ්රාල් මහ­ත්ත­යට බාර දුන්නා. එතුමා ඒ කාලේ ඒ වැඩේ හොඳට කර­ගෙන ආවා. ඒ සඳහා අපි යම් යම් එක­ඟතා ඇති කර­ගත්තා. නමුත් අපේ ආණ්ඩු­වට මානව හිමි­කම්, පුද්ග­ල­යින් නැවත පදිං­චි­කි­රීම්, මාධ්‍ය­වේ­දීන් පැහැ­ර­ගෙන යෑම් වැනි චෝදනා එල්ල වුණු නිසා ඒ වැඩ පිළි­වෙළ පස්සට ගියා.

එම්සීසී කියන්නේ රටේ දියු­ණුව වෙනු­වෙන් ලැබෙන ලැබෙන සහ­නා­ධා­ර­යක් පම­ණයි. මේ අය දැන් දන්නවා ඒ අය පරා­දයි කියලා. ඒ නිසා මේ අයට ඕන මේ රටට එන මේ ඩොලර් මිලි­යන 480 නවත්ත ගන්න. මොකද මේ අයට ඕන හැම­දාම මේ රටේ ජන­තාව දුක්වි­ඳි­නව දකින්න. ඒ අය දියුණු වෙලා බුද්ධිය වැඩු­ණම ජාති­වා­ද­යට ආගම් වාද­යට ඡන්දය නොදෙන බව මේ අය දන්නවා.

Comments