ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් ජනතාවට ඡන්දපොළට යෑමට ඇත්තේ තව සතියකටත් අඩු කාලයකි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව නියෝජනය කරන විශාල ම දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය, පසුගියදා 2019 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කරන්නට යෙදුණි. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී ‘සාපේක්ෂව හොඳ අපේක්ෂකයා’ සජිත් ප්‍රේමදාස බව අපගේ තීරණය විය.
අපේක්ෂා කළ අයුරින් ම දෙමළ ජාතික සන්ධානයේ මේ තීරණය සිංහල අන්තවාදීන් අවුස්සාලීමට සමත් ව තිබේ. 2005 වසරේදී මුදල් ගනුදෙනුවක් හරහා උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට සිය ඡන්ද අයිතිය භාවිත කිරීමේ අවස්ථාව අහිමි කරන ලද බවට චෝදනා ලැබ සිටින පාර්ශ්වය විසින් ම දෙමළ සන්ධානය සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීම පිටුපස රහස් ගිවිසුම් සහ මුදල් ගනුදෙනු ඇති බවට බියක් සමාජය පුරා පතුරුවමින් සිටී. තවද අවුරුදු තුනකට ආසන්න කාලයක් සියලු පක්ෂවල අදහස් ලබාගනිමින් රාජ්‍යයේ ස්වභාවය පිළිබඳ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය තුළ ඇති කරගත් පැහැදිලි කරගැනීම් පිළිබඳ ව සුපුරුදු ඒකීය-ෆෙඩරල් රංගනය මතුකරමින් තුළින් ජනතාව තුළ හුඹස් බියක් නිර්මාණය කිරීමට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරමින් සිටී.
ව්‍යවස්ථා සම්පාදන කටයුතුවලදී රටේ ඒකීයභාවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ව්‍යවස්ථාව තුළ ‘ඒකීය’ යන වචනය තිබිය යුතු බව සිංහල ජනතාවගේ මතය බව අපට පැහැදිලි විය. එමෙන්ම කොළඹ කේන්ද්‍ර කරගත් පාලනයක් වෙනුවට ආණ්ඩුකරණය, වඩාත් ජනතාවට සමීප විය යුතු බවට ද ඒ සාකච්ඡාවලදී එකඟත්වයක් ඇතිකර ගැනුණි. ඒ අනුව 2016-2019 කාලයේදී අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමේ කාර්යයේදී එකඟතාව පැවතුණේ ‘ඒකීය’ රටක් තුළ උපරිම බලය බෙදීමක් සිදු කිරීම උදෙසා ය.
ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ දෙවැනි අතුරු මෙහෙයුම් වාර්තාව මගින් පෙන්වා දී තිබුණු අන්දමට ශ්‍රී ලංකා ජනරජයේ ස්වභාවය පැහැදිලි කිරීමට, ‘ඒකීය රාජ්‍ය’ හා එහි දෙමළ පරිවර්තනය වන ‘ඔරුමිත්තනාඩු’ යන වචන භාවිත කිරීමට එකඟ වුණි. එමඟින් අදහස් වූයේ නොබෙදුණු සහ බෙදිය නොහැකි රටක් යන්නයි. වෙනත් අයුරින් කියතොත් එය රටේ ඒකීයත්වය ආරක්ෂා වන බව තහවුරු කිරීමකි. මෙවැනි අලුත් වචනයක් හඳුන්වාදීමට හේතු සාධක වූයේ තවදුරටත් Unitary සහ ඊට සමාන දෙමළ වචනය වන ‘ඔට්ටයාච්චි’ යන වචන භාවිත කිරීමට ඇති නොහැකියාවයි. එනම් 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ලංකාවේ නීති සම්පාදන ආයතන කිහිපයක් දක්නට ලැබුණි. මධ්‍යම රජයේ බලය බෙදාහැරීමක් ලෙස පළාත් සභා පිහිටු විණි. අනෙක් අතට ‘ඒකීය රාජ්‍ය’ යන සිංහල වචනයේ අර්ථය වන්නේ ‘එක් රටක්’ යන්නයි.
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ මේ නිර්වචනවලට එකඟ වූව ද, ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී වෙනම පිරිසක් ලෙස ක්‍රියාකරන ඒ්කාබද්ධ විපක්ෂය ඊට ඒකඟ නොවිණි. සාම්ප්‍රදායික Unitary යන වචනයම භාවිත කළ යුතුය යන්න ඔවුන්ගේ ස්ථාවරය විය.
කෙසේවුවද මේ වනවිට ලෝකය පුරා Unitary හැඳින්වීම බරපතළ අර්බුදයකට ලක්ව තිබේ. හොඳ ම නිදසුන වන්නේ මහා බ්‍රිතාන්‍යයයි. ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තයේ අර්ධ නිදහසක් පැවතුණත් බ්‍රිතාන්‍ය තවමත් ඒකීය රටක් ලෙස හැඳින්වේ. එමෙන්ම ඒකීය සහ ෆෙඩරල් යන නිර්වචනවලින් ඔබ්බට ගොස් තමන්ට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ආකෘති වැළඳගැනීමට ද ලොව පුරා රටවල් ක්‍රියාකර තිබේ.
මෙසේ ගෙවුණු වසර තුළ සිදුවුණු ව්‍යවස්ථා සම්පාදනය යනු නිදහසින් පසු ප්‍රථම වතාවට දෙමළ ජනතාවගේ ද සහභාගීත්වය ඇතිව සිදුකෙරුණු ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියකි. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක හා එක්ව දෙමළ ජාතික සන්ධානය ද ඒ ක්‍රියාවලියට එක්වූයේ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අපේක්ෂා මුදුන් පත්කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ සුබවාදී බලාපොරොත්තුව පෙරදැරි කරගනිමිනි.
එහෙත් දැන් සිදුව ඇත්තේ වචන කිහිපයක් මුල් කරගනිමින් 60 වසරක් පුරාවට ඔඩු දුවමින් පැසවන තුවාලයක් බඳු ජාතික ප්‍රශ්නය විසඳාගැනීමට මේ පවතින අවස්ථාව අහිමි කරගනිමින් බලා සිටීම ය.
කවුරුන් කෙසේ කුමක් කීවද දෙමළ ජාතික සන්ධානය යනු මෙරට දෙමළ ජනතාවගේ අභිලාෂය නියෝජනය කරන දේශපාලන පක්ෂය බවට විවාදයක් නැත. දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ මන්ත්‍රීන් 18 දෙනාගෙන් 16 දෙනෙකු ම දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීන් වීම ඊට හොඳ ම සාක්ෂියයි. එනිසා රට තීරණාත්මක මැතිවරණයක් අබියස තිබියදී දෙමළ ජනතාව වෙනුවෙන් තීරණයක් ගැනීමේ වගකීම අප ඉදිරියේ පවතී.
මේ අතර ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ TNPF පක්ෂයත් අනතුරුව සී.වී. විග්නේෂ්වරන්ගේ TMK පක්ෂයත් නිවේදනය කර සිටියේ තමන් කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට සහාය නොදක්වන බවත්, දෙමළ ජනතාවට තමන් කැමැති අපේක්ෂකයකුට සිය ඡන්දය භාවිත කළ හැකි බවත් ය. එහෙත් එසේ තම ඡන්ද දායකයන්ට මඟපෙන්වීමේ වගකීමෙන් බැහැර වීමේ හැකියාවක් දෙමළ ජාතික සන්ධානයට නැත.
දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 16න් 14ක් ම ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සාමාජිකයෝ වෙති. එවන් පසුබිමක සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරන ඒ පක්ෂයේ නියෝජිතයන් 50 දෙනෙකු පසුගියදා ඉකුත් ඉරිදා (3) මුණගැසුණේ 2019 ජනාධිපතිවරණයේදී සහාය දක්වන අපේක්ෂකයා කවුද යන්න තීරණය කිරීම වෙනුවෙනි. එහිදී පක්ෂයේ සෑම සාමාජිකයකුගේ ම අදහස වූයේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස වෙනුවෙන් මෙවර ඡන්දයේදී අපගේ සහාය ලබාදිය යුතු බවයි.
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ තීන්දුව ලැබීමට ප්‍රථම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම ද රැස්ව මේ ගැන කතිකා කොට තිබූ අතර එහිදී සෙසු පක්ෂ නායකයන්ගේ අදහස වී තිබුණේ ද සජිත් ප්‍රේමදාසට සහාය දැක්විය යුතු බව ය. ඒ අනුව ඉකුත් සතිය ආරම්භයේදී දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාසට සහාය දක්වන බව නිවේදනය කෙරුණි.
මේ තීරණය ගැනීමේදී අප විසින් සලකා බලන ලද තවත් කරුණු කිහිපයක් ම තිබුණි. රාජ්‍ය මුදල් මිලියන ගණනින් අවභාවිත කිරීම පිළිබඳ චෝදනා ඇති පුද්ගලයකු රටේ ජනාධිපති පුටුවට තරග කරන පළමු අවස්ථාව ලෙස ද ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන ආගමනය සැලකිය හැකිය. ඔහු වංචා, දූෂණ හා පැහැරගැනීම් ඇතුළු අපරාධ ගණනාවකට වගඋත්තරකරුවකු වේ. අනෙක් අතට සජිත් ප්‍රේමදාස මහතාට කිසිදු විටෙක දූෂණ චෝදනා එල්ල වී නැත. ඔහු මහන්සි වී වැඩ කර ප්‍රතිඵල පෙන්වූ අයකු ලෙස ප්‍රසිද්ධියක් දිනූ අයෙකි.
මේ පසුබිම යටතේ, නොවැම්බර් 16 ජනාධිපතිවරණය වර්ජනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් දෙමළ ජනතාවට නැත. ඒ වෙනුවට ඔවුහු ඉදිරියට පැමිණ ඡන්දය දිනීමේ වැඩි ඉඩකඩක් ද ඇති “වඩා හොඳ” අපේක්ෂකයා වෙනුවෙන් සිය ඡන්දය භාවිතා කරනු ඇති බව මගේ විශ්වාසයයි.