‘පෙරදිග සංගීත කලාපයේ සාන්තුවර සටන්කාමියා’ සුනිල් සාන්ත ද? | සිළුමිණ

‘පෙරදිග සංගීත කලාපයේ සාන්තුවර සටන්කාමියා’ සුනිල් සාන්ත ද?

පදනම් ආයතනයේ පසුගියදා (07) පැවැති සුනිල් සාන්ත සමරු උත්සවයේදී ‘පෙරදිග සංගීත කලාපයේ සාන්තුවර සටන්කාමියා’ යන මැයෙන් කළ දේශනය ආශ්‍රය කරගෙන නූතනයේ අපට සිටින ඉතා සුවිශේෂී සංගීතඥයකු වන අජිත් කුමාරසිරි සමඟ කළ කතාබහකි මේ .

මෙරට සිටිය දුර්ලභ ගනයේ සංගීතඥයකු වන සුනිල් සාන්ත ඔබේ ජීවිතයට බලපාන්නේ කොහොමද?

අතේ තඹ ශතයක් නැති වුණත් පොහොසත් අදහස් තියෙන මිනිහෙක් විදියට ජීවත් වෙන්නේ කොහොමද කියන එක මම ඉගෙන ගත්තේ සුනිල් සාන්තගෙන්. තවත් විදියකින් කිව්වොත් අතේ පිච්චියක් නැතිව මියුසික්කාරයෙක් විදියට පවතින්නේ කොහොමද කියන එක මට ඉගැන්නුවේ සුනිල් සාන්ත.

ඔබේ දේශනයේදී එක ස්වරයකින් ගීතයක් නිර්මාණය කළ ලොව පළමු සංගීතඥයා සුනිල් සාන්ත බව ඔබ සඳහන් කළා.

දැනට සොයාගන්න තියෙන දත්ත අනුව වෘත්තීය සංගීත ක්ෂේත්‍රය ඇතුළෙ තනි ස්වරයකින් ගීතයක් නිර්මාණය කළ ලෝකයේ සිටින පළමු සංඟීතඥයා ඔහුයි. එහි යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන් නමුත් මෙතෙක් වාර්තා වන පළමු ඒක ස්වර සංගීත කොම්පොසිසන් එක කරල තියෙන්නේ සුනිල් සාන්ත. ඒ තමයි ‘ගුම් ගුම් ගුම්’ කියන ගීතය. පස්සේ 1950 ගණන්වල විතර හංගේරියන් කොම්පොෂර් කෙනෙක් මේ දේ කරල තියෙනවා. එයාද මෙයාද ඉස්සෙල්ලා කළේ කියල දන්නේ නැහැ. නමුත් මේ දෙන්නගෙ භාවිතා දෙක දෙයාකාරයි. සුනිල් සාන්ත සින්දුවක් කියන්නේ. ඔහු නාදරටාවක් තමයි නිර්මාණය කරන්නේ. දැනට තියෙන තොරතුරු අනුව සුනිල් සාන්ත තමයි මේ අත්හදා බැලීමේ ලොව පළමුවැනියා වෙන්නේ. එය ඔහු තනිව අධ්‍යනය කර කළ දෙයක් බව විශ්වාසයෙන් කියන්න පුළුවන්.

සංගීතය ඇතුළෙ ඒ යුගයේ හිටපු අයගෙන් සුනිල් සාන්ත වෙනස් වෙන්නේ කොහොමද?

එයාට කලින් හිටිය ආනන්ද සමරකොන් ගත්තොත්; ඔහු ගායනා කරන ගීත එයාම ලියල, එයාම තනුව දාගෙන, එයාම කියනවා. මේ දෙන්නගෙම මේ ගුණය අප දකිනවා. නමුත් ආනන්ද සමරකෝන්ගෙන් පස්සෙ කරලියට එන සුනිල් සාන්ත ඒ වැඩේ ඉතාම දක්ෂ විදියට කරනවා. ඔහු ඔහුටම ආවේණික ස්වාධීන ශෛලියක් ගොඩනඟනවා. ඔහු ඒ සඳහා විශාල ලෙස අත්හදා බැලීම් කරනවා. ඔහු එය තමන්ගේ ජීවිතය බවට පත්කර ගන්නවා. ඔහුට ඒ නිසාම ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඔහු ගොඩනගන සංගීත අනන්‍යතාව තුළ බොහෝ සෙයින් යුරෝපීය ලක්ෂණ තිබෙනවා. නමුත් ගොඩක් අය එය නාමකරණය කරන්නේ දේශීය සංගීතය කියලා.

ඒකාලය වනවිට අනගාරික ධර්මපාල ප්‍රමුක පරම විඥාර්ථ සමාගම විසින් ඇති කර තිබූ බලපෑම, මුණිදාස කුමාරතුංග ප්‍රමුඛ හෙළ හවුල ඇති කළ බලපෑම හා සිංහල මහසභාව විසින් ඇති කරමින් තිබූ දේශපාලන බලපෑමත් එක්ක; අධිරාජ්‍ය විරෝධී බටහිර විරෝධී ආකල්ප ඉදිරියට එනවා. මේකත් එක්ක කිසියම් ජාතිකවාදී ස්වරූපයක් රට තුළ ගොඩනැගෙනවා. මේකට මුහුණ දෙන්නේ කොහොමද?

ඒ කාලය වනවිට බ්‍රිතාන්‍යයෙන් නිදහස් වීමත් එක්ක ජාතිකවාදී ප්‍රවණතාව ලංකාව තුළ වගේම ඉන්දියාව තුළත් මතු වෙමින් තිබුණා. ඉන්දියාවේ ඉඳල සුනිල් සාන්ත මෙහෙට එද්දී එයාට සමීපව ඇසුරු කරන්න හම්බ වුණේ කුමාරතුංග මුනිදාස වගේ අය. නමුත් ඔහු තාගෝර් ව්‍යාපෘතිය ඇතුළේ වැඩුණු කෙනෙක්. මේ ව්‍යාපෘතිය ඇතුළෙ තමතමාගේ ප්‍රදේශවලට ගිහින් වැඩ කරන්න ඕන විදිය පිළිබඳ දැක්මක් අදහසක් එක්ක තමයි සුනිල් සාන්ත ලංකාවට එන්නේ. ඒ වෙද්දි ශාන්ති නිකේතනය කියන්නේ ඉතාම උසස් කලා නිකේතනයක්. එහි කලා අධ්‍යයන කිසියම් සීමාවකට කොටු වුණේ නැහැ. ඒ නිසා එමඟින් බිහි වූ කලාකරුවන් කිසියම් සම්ප්‍රදායක හෝ සංගීත ශෛලියක වහලුන් වුණේ නැහැ. නමුත් ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ අධ්‍යාපනයක් තමයි භාත්ඛණ්ඩේ සංගීත පාසලින් ලැබුණේ. සුනිල් සාන්ත ශාන්ති නිකේතනයේ ඉඳල භාත්ඛණ්ඩේ යනවා. ඉතින් මේ දෙකෙන්ම උකහාගන්නා දේත් එක්ක තමයි සුනිල් සාන්ත ලංකාවට එන්නේ. නමුත් සුනිල් සාන්ත මින් තෝරා ගන්නේ ඉතාම සාධනීය පැත්තයි. ඒ කියන්නේ තාගෝර් ව්‍යාපෘතියයි. මෙතනින් තමයි ලංකේය සංගීතයේ අර්බුදය ආරම්භවෙන්නේ; මෙතන ඉඳල තමයි සංගීතයේ බෙදීම පටන් ගන්නේ.

ඒ කොහොමද?

‘ශ්‍රාස්ත්‍රීය’ සංගීතය නැත්නම් ‘මාර්ග’ සංගීතය කියල එකක් තියෙනවා; ඒ සම්ප්‍රදාය ගොඩනැඟුණේ භාත්ඛණ්ඩේ හරහා. ශාන්ති නිකේතනය හරහා ගොඩනැඟුණේ මීට සම්පූර්ණයෙන් ම ප්‍රතිවිරුද්ධ සංකල්පයක්; ඒක තමයි අපි ‘දේශ්’ කියල හඳුන ගන්නේ. ඉන්දියානු සංගීතය ඉගෙන ගන්න යද්දි ‘මාර්ග’ සංගීතය තමයි සම්භාව්‍ය රාගධාරී උසස්ම සංගීතය කියල අපේ ඔළුවට දාල එවන්නේ. ඉතින් ශාන්ති නිකේතනයට හා භාත්ඛණ්ඩේ ගිය අය නියෝජනය කළ අදහස් අනුව මේ බෙදීම ආරම්භ වෙනවා.

‘දේශ්’ කියල කියන්නේ ඒ ඒ දේශවල තිබෙන යම් යම් නාදමාල සමඟ සම්මිශ්‍රවෙමින් ගොඩනගන ඒ රටට අනන්‍යවූ සංගීතයකට; නමුත් ඒක ගතිකයි. වෙනස් වෙනවා. මේ දෙක අතරින් භයානකම සංගීත සංකල්පය තමයි ‘මාර්ග’ සංගීතය. මොකද මේ සංගීතය පැවතුනේ දෙවියන් කරා යෑම සඳහායි. මේ සංගීතය තමයි සහරාන්ලා බිහිවීමට මූලික වුණේ. වෙනත් විදියකින් සහරාන්ගේ බෝම්බය කියන්නේ ඒ ක්ලැසිකල් මියුසික්වලට ම තමයි. ඒ නිසා මියුසික්වලින් දෙවියන් හොයාගෙන යන කට්ටිය මේකට වගකියන්න ඕන.

සහරාන් සංගීතයට ප්‍රතිවිරුද්ධ එකක් විදියට ‘දේශ්’ කියන සංකල්පය ගොඩනැඟුණත්; පසුකාලීනව මාර්ග සංගීතය මේක ඇතුළටත් රිංග ගත්තා. අද අපේ අය දේශීය සංගීතය කියල කෑගහන්නේ මෙන්න මේ සංකල්ප දෙකෙන් ඉපදුණ සංගීතයකට. එත කොට මේ සංකල්ප දෙකම ඉන්දියාවෙන් ආපු ඒවා. හින්දියෙන් ‘දේශ්’ කියන එකම තමයි මෙහේ ‘දේශීය’ කියල කියන්නේ. එහෙම නැතුව ලංකාවට අනන්‍ය වෙච්ච සංකල්පයක් නෙමෙයි. සුනිල් සාන්ත ඔහුට ලැබුණු අධ්‍යාපන පදනම උඩ මෙන්න මේ ‘දේශ්’ සංගීත සම්ප්‍රදාය ගොඩනඟනවා. ඒ නිසා ඔහුගේ සංගීත භාවිතාව තුළ යුරෝපීය සංගීතය දකින විට අපට පුදුම හිතෙනවා. කොටින්ම සහරාන් කරණය වුණු සංගීතයෙන් කිසියම් විදියකට අපව මුදවන්න උත්සාහ ගන්න සංගීතඥයා තමයි සුනිල් සාන්ත.

කුමාරතුංග මුනිදාස හොඳින් ඉංග්‍රීසි බස හදාරනවා. අනෙකුත් භාෂා හදාරනවා ඔහු භාෂා වාග් විද්‍යාඥයෙක් වෙන්නේ ඒ විදියට. සුනිල් සාන්තත් ඒ විදියට යුරෝපීය සංගීතය හදාරන්න ඇති නේද?

අද වගේ නෙමෙයි එදා කෙනෙකුට ඕන වුණත්; යුරෝපීය සංගීත සම්ප්‍රදායක් ඉගෙන තැනක් තිබුණේ නැහැ. මේ කලාපයටම තිබුණේ ඉන්දියාවේ තිබුණු සාන්ති නිකේතනය සහ භාත්ඛණ්ඩේ විතරයි. ඔහු ඒ කෙරෙහි දැක්වූ උනන්දුව කැපවීම නිසා එවැනි නිර්මාණ බිහිවෙන්න ඇති කියල හිතෙනවා. ඔහු පාවිච්චි කරන හාමනී සහ උපක්‍රම පාවිච්චි කරන්න දැනුම ගත්තේ කොහොන්ද කියන එක අදටත් ප්‍රශ්නයක්. නමුත් ඔහු මේ දේවල් ඉගෙන ගත්තේ කොහොමද කියල අපි හොයාගෙන යනකොට ඉන්ද්‍රජිත් සුරවීර ඒ සඳහා මතයක් ඉදිරිපත් කළා. සුනිල් සාන්ත රේඩියෝ කාර්මිකයෙක් විදියට කටයුතු කරපු නිසා ඔහු තමන් සතු රේඩියෝ සුසර කරමින් වෙනත් රටවල විකාශනය කරන සංගීත වැඩසටහන්වලට සවන් දෙන්න ඇති කියලා. ඒ නිසා ඉන්දියාවට ගිහින් ඉගෙනගෙන ආපු අනෙක් අයට නොතිබුණු දෙයක් ඔහු තුළ තිබුණා කියල. නමුත් මේ දේවල් උපකල්පන මිසක් සත්‍යමයි කියල කියන්න බැහැ. ඇතැම් විට ශාන්ති නිකේතනයෙන් ලබපු දැනුම ඊට ඉවහල් වුණා වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔහුගේ ස්වයං අධ්‍යයනවල ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන්.

‘පෙරදිග සංගීත කලාපයේ සාන්තුවර සටන්කාමියා’ සුනිල් සාන්ත කියල කිව්වම තරමක් ගැටලුකාරියි. ඒ ගැන ටිකක් පැහැදිලි කළොත්?

ඉන්දියාව කේන්ද්‍රීයව පෙරදිගට ඇති වුණු බලපෑම ගැනයි. ලංකාවේ භාවිත සංගීතය ඇතුළෙ පෙරදිග සංගීත කලාපයේ සාන්තුවර සටන්කාමියා සුනිල් සාන්ත කියල මං කියන්නේ ඒ නිසයි. එහෙම නැතිව පෙරදිග ද? අපරදිග ද? කියල අහන ප්‍රශ්නය ඇතුළෙ හැඟවෙන; ඉනිදියානු මියුසික්ද? වෙස්ටන් මියුසික්ද ? කියන දේ හැඟ වීමට නෙමෙයි. මොකද ඔහු වාමාංශික පක්ෂවලටත් කරන්න බැරිව ගිය සටනක් මියුසික් ඇතුළේ කරනවා. අපට ඉන්දියාවත් එක්ක වාමාශික අරගලයකට යන්න තිබුණා. නමුත් අප එහෙම කළේ නැහැ. උදාහරණයක් විදියට කිව්වොත් ඒකාලේ වෙනකොට සෙලීනා පෙරේරා පවා හිටියේ ඉන්දියාවේ.

මේ අධ්‍යනය ඇතුළෙ ඔබට හමුවුණ සුනිල් සාන්ත පරිපාලනය පිළිබඳව කවරාකාරයේ මතවාදයක් දරපු කෙනෙක්ද? ඔහුගේ සංගීතය ඇතුළෙ තිබුණු මතවාදී භූමිකාව ඔබ කියවන්නේ කොහොමද?

ඉන්දියානු පරිපාලනය ඇතුළෙ රට පලනය කරන්න එන්නේ නේරු. නේරුගෙ ජනසන්නිවේදන ඇමති වෙන්නේ ඩී.වී. කෙස්කර්. ඔහුගේ අදහසක් තිබුණා ඉන්දියාව තුළ ඉන්දියානු සම්භාව්‍ය සංගීතය; නැත්නම් දෙවියන් ළඟට යන සහරාන් සංගීතය ගොඩනඟා ගන්න ඕන කියල. එවකට ඉන්දියානු රජයේ සංගීත අංශයේ උපදේශකයා ලෙස කටයුතු කරන්නේ රතන්ජංකර්. රතන්ජංකර් නීතියක් ගෙනත් ඕල් ඉන්දියා රේඩියෝව තුළ චිත්‍රපට සංගීතය හා බටහිර සංගීතය විකාශනය තහනම් කරනවා. මොකද එවකට ඉන්දීය චිත්‍රපට සංගීතයේ තිබුණේ යුරෝපීය ආභාසයක්.

රට ජාතිය ගොඩනඟනවා දේශීයත්වයට මුල් තැන දෙනවා කියල නේරුලා ආරම්භ කළ මේ ක්‍රියාවලිය ඇතුළේ ඔවුන් යුරෝපීය මියුසික් තහනම් කරනවා. මේ නිසා ඉන්දියානුවන් රේඩියෝ සිලෝන් අහන්න පෙලඹෙනවා. ඒ වෙද්දි රේඩියෝ සිලොන් එකේ සහරාන් ශාස්ත්‍රීය සංගීතයට එහා ගිය දේවල් විකාශනය වෙනවා. ඉන්දියානු වැසියන් රේඩියෝ සිලොන් අහන්න පෙලඹෙන්නේ ඒ නිසා.

නමුත් මේ ඉන්දියාවේ පරිපාලනය ගත්ත තීරණය මොන විදියකින් හරි ලංකාවටත් එනවා. ඒ අනුව රතන්ජන්කර්ව ලංකාවට ගෙන්වනවා. ඒක වුණේ කෙහොමද කියන කාරණය පිළිබඳව ලිඛිත සාක්ෂි නැති වුණත් ඉන්දියානු රජයයි රේඩියෝ සිලෝන් එකයි අතර සම්බන්ධයක් ගොඩනැඟී තිබුණු බව ඒකෙන් තේරුම් ගන්න පුළුවන්. මොකද ඉන්දියාවේ තහනම නිසා රේඩියෝ සිලොන් අහන්න ඉන්දියාවේ මිනිස්සු පෙලඹුණාම රතන්ජන්කර් මෙහේ ඇවිත් සංගීතය තහනම් කරනවා; ගායකයන් ශ්‍රේණිගත කරනවා. මේ ඉන්දියානු මැදිහත් වීමට යම් යම් ආකාරවලින් සුනිල් සාන්ත විරුද්ධ වෙනවා. මොකද සුනිල් සාන්ත එයාගේ සංගීතය ඇතුළෙ විවිධ කලාපවලට ගිහින් තියෙනවා. ඔහුගේ සංගීතය ඇතුළෙ යුරෝපියන් සංගීතයේ ආභාසය තිබෙනවා. ඒවා මේ අයට රුස්සන්නේ නැහැ.

නමුත් රේඩියෝ සිලොන්වල පටිගත කරන පළමු සින්දුව ‘ඕලු පිපීලා’ සුනිල් සාන්තගේ. සුනිල් සාන්තගේ මේ විරෝධය රතන්ජංකර්ලට වගේම මෙහේ හිටපු සහරාන් සංගීතකාරයන්ටත් හිසරදයක් වෙනවා. මේ නිසා ඉන්දියාවේ නේරු, ඩී.වී.කේස්කර්, රතන්ජංකර්ලා ප්‍රමුඛ පිරිස වගේ මාර්ග සංගීතය අනුදත් සහරාන්වාදී මතවාදීන් පිරිසක් සරච්චන්ද්‍ර ප්‍රමුඛ කොටගෙන මෙහේ බිහිවෙනවා. මේ කාලයේදීම තමයි ලංකාවේ පරිපාලන බලය කොල්ලකන්න දේශපාලන පක්ෂ බිහි වෙන්නේ. පසුකාලීනව මේ පක්ෂ අතරට එනවා ජේ.වී.පී කියල පක්ෂයක්. ඔවුන් ඉන්දියානු ව්‍යාප්තවාදය කියල සටන් පාඨයක් ජනප්‍රිය කරනවා. එතනදි සුනිල් සාන්ත විෂය හදාරමින් කළ ඉන්දියානු විරෝධය නොපෙනී යනවා. හරිනම් ඔවුන් උත්තේජනය විය යුතුව තිබුණේ එතනින්.

අද තියෙන මේ වාමාශිත පක්ෂවලට සංස්කෘතික දැනුමක් නැහැ. ඔවුන්ගේ මතවාද බොහොමයක් ආනයනය කරපු ඒවා. තමන් දේශපාලනය කරන පොළවෙන් උකහාගත්ත දේවල් නෙවෙයි. එහෙම වුණා නම් මේ විදියේ වැඩවසම් මානසිකත්වයක මේ රටේ ජනතාව ඉන්න විදියක් නැහැ. ඔවුන්ට ඒක මේ රටේ කරන්න බැරි වෙන්නේ ඒ සංස්කෘතික අධ්‍යයනය දේශපාලන ව්‍යාපෘතිය තුළට ගේන්න දැනුමක් නැති වීමයි. ඒ නිසා තමයි අදත් තමන්ගෙ වැඩ බිම අත ඇරල බලය පස්සෙන් කෑදර විදියට දුවන්නේ. සංස්කෘතික වුණු මිනිස්සු එහෙම දුවන්නේ නැහැ. නමුත් සුනිල් සාන්ත මැරෙනකම්ම මේ සංස්කෘතික අරගලය කරනවා. ඒ නිසා තමයි ‘පෙරදිග සංගීත කලාපයේ සාන්තුවර සටන්කාමියා’ කියලා මා ඔහුව හඳුන්වන්නේ.

දේශපාලන පක්ෂය කියන්නේ සංස්කෘතික මිනිසා හදන එකට නෙමෙයිද?

එහෙම තමයි කියන්නේ. නමුත් දේශපාලන පක්ෂ කියන්නේ සංස්කෘතික මිනිසා විනාශ කරන එකට. මොකද ඒ අය සංස්කෘතිකවෙලා ඉන්න ඕනනේ අනික් අය හදන්න. ඒ අය සංස්කෘතික නැත්තම් කොහොමද එහෙම වෙන්නේ. ඒක මේ මොහොතේ සියලු පක්ෂවලට වලංගුයි. කලාව වෙනුවෙන් පෙනී ඉන්න අය ජනාධිපතිවරණයට පක්ෂවලට බෙදිලා ගෝත්‍රික විදිය සටන් කරන හැටි දැක්කම මේක හොඳට පේනවා. ඔවුන් ළඟ සංස්කෘතික මිනිසෙක් නැහැ. ඒ නිසා නියම දේශපාලන අරගලය කියන්නේ තමන් හදාරන විෂය තුළ ඉඳගෙන කරන සංස්කෘතික පෙනී ඉඳීමටයි. ඒ පෙනී ඉඳීම සුනිල් සාන්ත තුළ තිබුණා.

Comments