“මුල් ගුරුතුමාගේ ඩෙන්න ඩෙනා ඩෙනෝ” | සිළුමිණ

“මුල් ගුරුතුමාගේ ඩෙන්න ඩෙනා ඩෙනෝ”

එක්දහස් නවසිය හතළිස් අටේ වර්ෂයේ වයඹ පළාතේ බිංගිරිය ප්‍රදේශයේ තාරණ - උඩවෙල මිශ්‍ර පාඨශාලාවේ සේවය කළ අමරදාස දිසානායක මුල්ගුරුන්නාසේ “තැනේ හැටියට ඇණේ ගසන” ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතුව කටයුතු කළ කාර්යශීලී පැරණිම ගුරුවරයෙකි. දිනක් මෙම පාසලේ සිසු සිසුවියන් ගුරු මඬුල්ලද සමඟින් ඔහු හෙට්ටිපොළ නගර මධ්‍යයේ පිහිටි පාසලක පැවැති ක්‍රීඩා උත්සවයකට සහභාගිවීමට ගියේය. ක්‍රීඩා උත්සවය අවසානයේ සෑම පාසලක්ම නාට්‍යයක් රඟ දැක්විය යුතු විය. උඩවෙල පාසලේ උසස් පන්තියක සිසුවකු මේ සඳහා පුහුණුකර තිබුණේ හරක් අං තට්ටුවක් හිස පැලඳගෙන එක්තරා නාට්‍යයක් රඟ දැක්වීමටය. මේ සඳහා පුරුදු පුහුණුකර තිබුණේ පාසලේ ඉහළ පන්තියක පිරිමි ළමයෙකු වූ අතර නියමිත වේලාවට ඔහු ඉන් මඟ හැරියේ නගර මධ්‍යයේ එය රඟ දැක්වීම ලජ්ජාවට කරුණක් යැයි සිතා විය යුතුය.

මේ නිසා මහත්සේ කලබලයට පත් දිසානායක මුල් ගුරුන්නාන්සේ ඒ සඳහා තම පාසලේ වෙනත් ශිෂ්‍යයෙකුට මේ සඳහා ඉදිරිපත් වන ලෙස අණ කළද කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් නොවීය. අවසානයේ ආචාර්ය මණ්ඩලයේ කවුරුන් හෝ එයට ඉදිරිපත් වන ලෙස කීවද එයට ද ප්‍රතිචාරයක් නොවූ කල්හි මෙම නාට්‍ය පුරුදු පුහුණු කළ ගුරුවරයාවත් මේ සඳහා ඉදිරිපත් වන ලෙස පැවසීය. ඔහුද එය ප්‍රතික්ෂේප කළේය. මින් මහත්සේ කෝපාවිෂ්ට වූ මුල් ගුරුන්නාන්සේ නාට්‍ය සඳහා නියමිත වේලාවද එළඹ තිබූයෙන් වටපිට බලා හනික තම වේට්ටිය කැසපොට ගසා හරක් අං තට්ටුව හිස පැලඳගෙන “ඩෙන්න ඩෙනා ඩෙනෝ” කියමින් තාලයට නටන්නට පටන් ගත්තේ නාට්‍ය සංදර්ශනය නැරඹීමට පැමිණි සිය ගණනක් සිසුන් හා ගුරුවරුන් සිනහ හඬද අත්පොළසන් ද මධ්‍යයේය.

දිසානායක මුල්ගුරුන්නාන්සේගේ එම මනා රැඟුමට මුල් තැන ලැබුණේ අනෙකුත් සියලුම නාට්‍යයන් පරදවමිනි. උඩවෙල පාසල වෙනුවෙන් ලද තෑගි බෝගද ලබාගත් දිසානායක මුල්ගුරුන්නාන්සේ සිය පාසල් දරුවන් හා ගුරු මණ්ඩලයද සමඟින් තම පාසල වෙත ආපසු ගියේ සිසුන්ගේ ද මඟ දෙපස සිටි මවුපියන්ගේ ද මහත් අත්පොළසන් හා ඔල්වරසන් මධ්‍යයේය. අවශ්‍ය අවස්ථාවේ ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් වන්නා ශ්‍රේෂ්ඨයෙකි. ඔහු නිසා ඔහුගේ පමණක් නොව ඔහුගේ පාසලේ ද ප්‍රදේශයේ ද අභිමානය ඉන් ආරක්ෂා කෙරිණ.

විශ්‍රාමලත් ආචාර්ය ඩී.එන්. දිසානායක 
බිංගිරිය

Comments